Home » හීනටියන ‘මාළු’ වෙළෙන්දාගේ අමුතුම ජාවාරම

හීනටියන ‘මාළු’ වෙළෙන්දාගේ අමුතුම ජාවාරම

by Mahesh Lakehouse
March 2, 2024 12:30 am 0 comment
කටුනායක ටී.කේ.ජී. කපිල

– මාළු පෙට්ටියේ කසිප්පු තබාගෙන මීගමුවේ ගම්බිම්වල මත්ලෝලීන්ට විකුණලා
– ලක්ෂයක කසිප්පු සමඟ සැකකරු අල්ලයි
– කටුනායක පොලිසියේ කොස්තාපල් අජිත්ට ලැබුණු තොරතුරක්

කටුනායක පොලිසියේ දූෂණ මර්දන අංශයේ කොස්තාපල් අජිත් වෙත අමුතු ආකාරයේ තොරතුරක් ලැබී තිබිණි. ඒ පසුගිය දිනෙකය. යුක්තිය මෙහෙයුමේ නිරත කටුනායක පොලිස් නිලධාරීන් එම මෙහෙයුමේ ප්‍රගතිය පරික්ෂා කරමින් සිටියදී කොස්තාපල් අජිත්ට මේ ඇමතුම ලැබිණි.

එයින් කියැවුණේ ගෙන් ගෙට ගොස් මාළු විකුණන වෙළෙන්දෙකු මෙන් හැසිරෙන පුද්ගලයෙකු තම යතුරුපැදියේ මාළු රැගෙන යන පෙට්ටියක් බැඳගෙන ඒ තුළ කසිප්පු රැගෙන මීගමුව සහ කටාන ප්‍රදේශවල සැරිසරමින් ඒවා වෙළෙඳාමේ නිරත වන බවයි.

මෙම තොරතුරෙන් විස්මයට පත් වූ කොස්තාපල් අජිත් කටුනායක පොලිසියේ දූෂණ මර්දන අංශයේ තවත් නිලධාරීන් කීප දෙනෙකු සමඟ මේ කසිප්පු ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීම සඳහා කදිම සැලසුමක් සකස් කරන්නට විය.

මිනුවන්ගොඩ හීනටියන ප්‍රදේශයේ බොහෝ පිරිසක් දවසේ හිමිදිරි පාන්දර මීගමුව මාළු ලෙල්ලම වෙත ගොස් තොග මිලට මාළු රැගෙන ඉන්පසු එතැන් සිට මීගමුව සිට තම නිවෙස් කරා විවිධ අතුරු මාර්ග ඔස්සේ එම මාළු අලෙවි කරමින් ගමන් කිරීම පුරුද්දක් කරගෙන තිබිණි.

කොස්තාපල් (82574) අජිත්

කොස්තාපල් (82574) අජිත්

මාළු වෙළෙඳාමේ මුවාවෙන් කසිප්පු ජාවාරම් කරන මොහු හීනටියන ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.

මාළු වෙළඳුන් පිරිස අතර මෙම පුද්ගලයා ද සිය යතුරුපැදියෙන් ‘මාළු පෙට්ටියක්’ බැඳගෙන ‘මාලෝ මාලෝ‘ කියමින් ගමන් කිරීම සිදු කරමින් සිටියේය. එහෙත් එම පෙට්ටියේ තිබුණේ කසිප්පු බව කිසිවකු දැන සිටියේ නැත. ඒ අනුව කොස්තාපල් අජිත් තම කණ්ඩායමත් සමඟ අලුයම තුනේ පමණ සිට හීනටියන ප්‍රදේශයේ විවිධ ස්ථානවල රැඳී සිටිමින් මෙම කසිප්පු ජාවාරම්කරුවා අත්අඩංගුවට ගැනීමට දැල එළා බලා සිටින්නට විය.

මේ පිළිබඳ කිසිම හාන්කවිසියක් නොදන්නා වුවත් මෙම ජාවාරම්කරුවා තමන් නිවසින් පිටත් වන වේලාව සහ ගමන් කරන මාර්ග දිනපතා වෙනස් කරන්නට තරම් සූක්ෂම මෙන්ම නුවණක් සතු විය.

කාලය සති තුනක් පමණ ඉක්මවා යමින් පැවතිණි. එහෙත් කොස්තාපල් අජිත් ප්‍රමුඛ කණ්ඩායම තම උත්සාහය අත්හැරියේ නැත. ඉකුත් පෙබරවාරි 12 වැනිදා අලුයම තුනේ සිට මෙම නිලධාරීන් පිරිස රැක සිටිද්දී ඔවුන්ගේ ජයග්‍රාහී දිනය උදා විය. WPJA 4370 දරන යතුරුපැදියෙන් රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා කසිප්පු මිලි ලීටර් 75,000 ක ප්‍රමාණයක් තම මාළු පෙට්ටියේ බහාගෙන මොහු මීගමුව බලා යමින් සිටියේය.

අලුයම මඳ අඳුරේ මොහුගේ යතුරුපැදිය වෙත එකවරම පොලිස් නිලධාරීන් පිරිස කඩා පැන මොහුට දිව යාමට අවස්ථාවක් නොදී අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් පිරිසට හැකි විය.

ඒ අනුව වසර ගණනාවක සිට මාළු වෙළෙඳාමේ මුවාවෙන් ක්‍රියාත්මක කරමින් සිටි කසිප්පු ජාවාරමට එසේ නැවතීමේ තිත වැටිණි.

සැකකරුගෙන් කසිප්පු ස්ප්‍රීතු මිලදී ගන්නා ව්‍යාපාරිකයින් ඒවාට එම ප්‍රමාණය මෙන් තුන් ගුණයක් ජලය මිශ්‍ර කිරීමෙන් අනතුරුව අලෙවි කිරීම සිදු කරන බව ද පොලිසිය විසින් අනාවරණය කර ගෙන තිබුණි.

මීගමුව සහකාර පොලිස් අධිකාරී ගාමිණි රත්නායකගේ උපදෙස් මත කටුනායක පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කුලතුංගගේ අධීක්ෂණය යටතේ කටුනායක පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සුරවීර, උප පොලිස් පරීක්ෂක නිෂ්මි මොහොමඩ්, කොස්තාපල්වරුන් වන (82574) අජිත්, (43099) කුමාරසිංහ සහ (102291) මයුර යන නිලධාරින් විසින් වැටලීම සිදු කර තිබුණි.

වැටලීම සිදු කළ නිලධාරි කණ්ඩායම

වැටලීම සිදු කළ නිලධාරි කණ්ඩායම

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division