Home » ගම්පහ පෙතියාගොඩ කුඩු තුෂාරගේ කෝටි හයක දේපළ ගැන විමර්ශන

ගම්පහ පෙතියාගොඩ කුඩු තුෂාරගේ කෝටි හයක දේපළ ගැන විමර්ශන

by thanushika
March 2, 2024 12:30 am 0 comment

යුක්තිය මෙහෙයුම ආරම්භයත් සමඟ පාතාල නායකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් මෙන්ම ඔවුන්ගේ ගෝලබාලයන් ද තැන තැන සැඟවෙන්නේ පොලිසියෙන් බේරුමක් නැති තැනය. පොලිස් වසම් මට්ටමින් අපරාධකරුවන් එකිනෙකා ගැන සවිස්තර වාර්තා සැකසෙද්දී ඇතැමුන් උත්සාහ කළේ රටින් පැන යෑමටය. රටේ තැනින් තැන කෙරුමන් එකා දෙන්නා පොලිසියට කොටු වන්නේ ඔවුන් අසාධාරණයෙන් ඉපැයූ මුදල් මෙන්ම දේපොළ ද සමඟිනි.

ගම්පහ, පෙතියාගොඩ ප්‍රදේශයේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ මෙන්ම නීති විරෝධී වැඩවල නිරත ‘කුඩු තුෂාරගේ’ ද සෙල්ලම් අවසන් වන්නේ යුක්තිය මෙහෙයුමෙනි. ඒ කුඩු තුෂාර සතු දේපොළ තහනම් නියෝගයක් ද නිකුත් කරමින් පොලිස් භාරයට ගැනීමෙන් පසුවය.

ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ සහ ගම්පහ (i) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නාලක ඩබ්ලිව්. සේනානායකගේ උපදෙස් මත ලද තොරතුරකට අනුව කුඩු තුෂාරගේ නීති විරෝධී වත්කම් පිළිබඳ සෙවීමේ විමර්ශන ඇරඹෙන්නේ පසුගියදාය. බෙම්මුල්ල පොලිසියේ ස්ථානාධිපති, ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරින් කුඩු තුෂාරට පොලිස් දැල එළන්නේ ඉන් අනතුරුවය.

පොලිස් නිලධාරින් මෙන්ම හමුදා නිලධාරින් ද එක්ව පසුගිය දිනෙක තුෂාරගේ ගම්පහ, පෙතියාගොඩ නි‍ෙවස වටලන්නේ ඔහු අත්අඩංගුවට ගැනීමටය. ඒ නීති විරෝධී අයුරින් වත්කම් ඉපැයීම සම්බන්ධයෙනි. මුළු නි‍ෙවසම පරීක්ෂා කළද කුඩු තුෂාර සොයා ගැනීමට හැකි වන්නේ නැත. ඒ වන විටත් කුඩු තුෂාර මෙන්ම බිරියත් නිවෙසින් පැන ගොස් සිටි නිසාය. පොලිස් නිලධාරින්ගේ ඉව කෙසේ හෝ ඔහුට දැනී තිබිණ.

වත්තේ එක් පසෙක බස්, ලොරි මෙන්ම යතුරුපැදි කිහිපයකි. පොලිස් නිලධාරින් මේ සියලු වාහන පොලිසියට රැගෙන එන්නේ කුඩු තුෂාරට පොලිසියට භාර වන ලෙසට ද දන්වමිනි. දින කිහිපයක් ගතවුණ ද ඔහු පොලිසියට පැමිණියේ නැත. පොලිසිය ද සිටියේ කුඩු තුෂාර ගැන හොඳ සෙවිල්ලෙනි. කුඩු තුෂාරට රට ගමන් තහනමක් ද පැනවෙන්නේ ඔය අතරය. ඒ පොලිස් නිලධාරින් මොහු රටින පැන යා හැකි බවට උසාවියට දැන්වීමෙන් අනතුරුවය. රට ගමන් තහනම පනවා ගත වන්නේ දින කිහිපයකි. ගැලවිල්ලක් නැති බව දැනගන්නා කුඩු තුෂාර නීතිඥයකු මාර්ගයෙන් උසාවියට භාර වන්නේ තම දේපොළ නිදහස් කරගන්නා අටියෙනි. ඒ වන විටත් පොලිසිය මහාධිකරණය මඟින් දේපොළවලට තහනම් නියෝග ගෙන අවසන්ය.

මෙලෙස බස් රථ දෙකක්, කුඩා ලොරියක්, ත්‍රීවීලරයක්, යතුරුපැදි පහක්, රූපවාහිනී යන්ත්‍රයක්, ඔප්පු කිහිපයක් ද පොලිසිය මහාධිකරණයට ඉදිරිපත් කර තිබිණි. එම දේපොළවල වටිනාකම කෝටි 6කට අධිකය. ඒ අනුව දේපොළවලට මාස තුනක තහනම් නියෝගයක් ලැබී තිබුණු අතර යුක්තිය මෙහෙයුමෙන් ප්‍රාදේශීය පොලිසියකින් දේපොළවලට තහනම් නියෝගයක් ලබා ගත් පළමු සිදුවීම මෙය වේ.

උසාවියට භාර වුණු කුඩු තුෂාර ඇප මත මුදා හැරෙන්නේ ඔය අතරය. ඒ ගිය ද පොලිසිය සිටියේ ඔහු ගැන හොඳ සෙවිල්ලෙනි. ඇප මත නිදහස්ව ගොස් ගත වන්නේ ද දින කිහිපයකි. මළ ගෙදරක බූරුවා ගසන තැනක කුඩු තුෂාර අයිස් විකුණමින් සිටියදී අත්අඩංගුවට පත් වන්නේ ඉන් පසුවය. කුඩු තුෂාරගේ බිස්නස් වැඩියෙන් සිදු වන්නේ බූරු පොළවලදීය. මොහු ද තදින් සූදුවට ඇබ්බැහි වූවකු වන අතර අවට මළ ගෙවල් සොයා යමින් බූරු පොළවල්වල කාලය ගත කරමින් එහි පැමිණෙන්නන්ට අයිස් අලෙවි කිරීම සිදු කරයි. මත්ද්‍රව්‍ය විකුණා සොයන මුදල් ලක්ෂ ගණනින් යොදා බූරු ගැසීම ද කුඩු තුෂාරගේ පුරුද්දකි. අයිස් සමඟ අත්අඩංගුවට ගන්නා මොහු මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. කුඩු තුෂාරගේ දේපොළ තවමත් බෙම්මුල්ල පොලිසියේ තබා ඇත්තේ මහාධිකරණයෙන් තහනම් නියෝගයක් ලබා ගෙනය.

සොරකම් සහ මත්ද්‍රව්‍ය විකිණීම සම්බන්ධයෙන් උසාවිවල නඩු කිහිපයක් ඔහුට විරුද්ධව පවතින අතර මහාධිකරණයේ ද නඩුවක් විභාග වෙමින් පවතී. කෙසේ හෝ තවමත් කුඩු තුෂාර තම දේපොළ ඉපැයූ අයුරු ඔප්පු කර පෙන්වීමට සමත් වී නැත. සාධාරණව දේපොළ උපයා ඇත්නම් ඒවා නැවත ලැබෙන්නට ද පුළුවන. එහෙත් මේ දේපොළ උපයා ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් බවට ඔප්පු වුවහොත් රාජසන්තක වීමට ද ඉඩ ඇත. ඕනෑම කෙනකු මුදල් ඉපැයිය යුත්තේ සාධාරණවය. මත්ද්‍රව්‍ය හේතුවෙන් පවුල් විශාල සංඛ්‍යාවක් වර්තමානය වන විට විනාශ වී ගොසිනි. ඒ මෙවැනි මහා පරිමාණ මත්ද්‍රව්‍ය අලෙවිකරුවන් නිසාය. කුඩු තුෂාර නැවත මාර්තු 7 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ සහ ගම්පහ (i) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නාලක ඩබ්ලිව්. සේනානායකගේ උපදෙස් මත ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනාරච්චි, බෙම්මුල්ල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් තාරකගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රණවීර, උප පොලිස් පරීක්ෂකවරුන් වන වික්‍රමසිංහ, උදයශාන්ත, බණ්ඩාරනායක, පොලිස් සැරයන්වරුන් වන (60804) බණ්ඩාර, (60900) ප්‍රදීප්, (2926) පුෂ්පානන්ද, (13092) අංජන, (55460) ධනපාල, (55466) සෙනෙවිරත්න, පොලිස් කොස්තාපල්වරුන් වන (82559) කුමාර, (88713) විජේකෝන්, (99892) රන්දුනු සහ (37801) ලක්මාල් යන නිලධාරීහු වැටලීමට එක් වූහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division