Home » මීගොඩ ආර්ථිකයේ කොල්ලයේ මහ මොළකරු ඇල්ලූ හැටි

මීගොඩ ආර්ථිකයේ කොල්ලයේ මහ මොළකරු ඇල්ලූ හැටි

by Mahesh Lakehouse
February 24, 2024 12:30 am 0 comment

මීගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට පසුගිය 12 වෙනිදා අලුයම යතුරුපැදියකින් කඩා වදින දෙදෙනෙක් ගිනි අවි පෙන්වා මංගල ට්‍රේඩර්ස් වෙ‍ෙළඳ ආයතනය කොල්කන්නේ එහි මුදල් අයකැමිවරියට ද වෙඩි තබාය.

දෛනික ගනුදෙනුවලින් උපයා ගත් තිස් හතළිස් ලක්ෂයක මුදලක් එදා එක්රැස්ව තිබුණත් කොල්ලකරුවන්ට ඒ අතරෙන් රැගෙන යාමට හැකියාව ලැබෙන්නේ රුපියල් 45,900ක මුදලක් පමණි. ඒ මුදල් අයකැමිවරිය ලෙස එහි සේවය කළ විසිතුන් හැවිරිදි වියේ පසු වූ ඩිල්ෂානි ගුණසේකර නමැති තරුණිය විසින් වෙඩි කාගෙන එම මුදල් තොගය ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීම හේතුවෙනි. ඒ ඇය වැඩි ආරක්ෂාවට එම මුදල් තොගය මුදල් බහාලන ලාච්චුවේ නොදමා ලාච්චුව සමඟ තිබුණු කබඩ්ඩුවට දමා තැබූ බැවිනි.

කොල්ලකරුවන් ගිනිඅවි අමෝරා ගෙන වෙ‍ෙළඳ ආයතනයට කඩා වදින විට ඇය මුලින්ම කරනු ලබන්නේ කබඩ්ටුවේ අගුල් ලා එහි යතුර අතට ගෙන කොල්ලකරුවන්ට නොදැනෙන්න ඇය හැඳ සිටි ඇඳුම් අස්සට දමා ගැනීමය. ඒ බව නොදත් කොල්ලකරුවන් ලාච්චුව විවර කර කොල්ලකන්නේ ඒ තුළ තිබුණු රුපියල් 45,900 ක මුදල පමණි. එය ප්‍රමාණවත් නොවූ තැන ඇයට තර්ජනය කරනු ලබන්නේ කබඩ්ටුව විවෘත කරන ලෙසය. ඒ මෙම වෙ‍ෙළඳ ආයතනය තුළ රුපියල් කෝටි ගණනක මුදලක් සංසරණය වන බව කොල්ලකරුවන්ට කල්තියා තොරතුරු ලැබී තිබුණු බැවිනි. ඇය එහිදී යතුර කොල්ලකරුවන් අතට පත්කරනවා වෙනුවට කෑමොර දෙන්නේ තමා සතුව එහි යතුර නොමැති බව කියමිනි. ඒ නිසාම කොල්ලකරුවන්ට සිදු වන්නේ රුපියල් 45,900කින් සෑහීමට පත්ව එම ස්ථානයෙන් පළා යන්නටය. කොල්ලකරුවකු සිය අත වූ ගිනිඅවියෙන් වෙඩිල්ලක් පත්තු කරන්නේ ඒ අතරතුරදීය. ෂොට්ගන් වර්ගයේ ගිනිඅවියකින් තැබූ එම වෙඩිල්ලේ මූනිස්සම් කිහිපයක් ඒ මොහොතේ මුදල් අයකැමිවරියගේ උදරයට ද වැදුණේය.

ගිනිඅවියක් රැගෙන අලුත්ම යතුරුපැදියකින් ආර්ථික මධස්ථානයට කඩා වැදී වෙඩි තබා කොල්ලකරුවන් පලාගොස් පැය භාගයක් යනතුරුම පොලිස් නිලධාරියෙක් ආර්ථික මධ්‍යස්ථානය පැත්ත පළාතේ නොවීය. ආර්ථිකයේ ආරක්ෂාවට යෙදවා සිටි පොලිස් නිලධාරියෙක් පවා ඒ මොහො‍ෙත් සොයා ගන්නට නොවීය. ඒ ඔවුන් ආර්ථිකය ඉදිරිපිට ඇති මුරපළේ ඉහළ මහලේ සැප නින්දකට වැටී සිටි බැවිනි.

පොලිස් නිලධාරීන් ඇහැරී නිල ඇඳුම් ඇඟලා ගෙන එන විට කොල්ලකරුවන්ගේ හෙවණැල්ලක්වත් ආර්ථික මධ්‍යස්ථානය තුළ තබා ඒ අවටත් නොවීය. මෙම කොල්ලය ගැන විමර්ශන පැවැත්වීමට එහි ආ මීගොඩ පොලිසියේත් බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේත් නිලධාරීන්ට ඒ නිසාම සිදුවන්නේ ආර්ථික මධ්‍යස්ථානයේ වෙ‍ෙළඳසල්වල සවිකර ඇති ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂා කරමින් කොල්ලකරුවන් කොටු කර ගැනීමට මෙහෙයුමක් දියත් කරන්නටය.

විමර්ශන කණ්ඩායම්වල විශේෂ අවධානයක් එහිදී යොමු වන්නේ කොල්ලකරුවන් පැමිණි යතුරුපැදිය කෙරෙහිය. එම යතුරුපැදියේ සවිකර තිබුණු අංක තහඩුවට අනුව කළ විමර්ශනයේදී පෙනී ගියේ එය නැඟෙනහිර පළාතේ පුද්ගලයකුට අයත් එකක් බවය. රාජගිරියේ පිහිටි මූල්‍ය ආයතනයකින් කල්බදු ක්‍රමයට මිල දී ගත් එම යතුරුපැදියේ හිමිකරු ගැන සොයා බැලීමේදී අනාවරණය වන්නේ ඒ වන විටත් එම යතුරුපැදිය නැඟෙනහිර පළාතේ ඇති බවය. එමඟින් පැහැදිලි වන්නට වූයේ ව්‍යාජ අංක තහඩුවක් සවි කරගත් යතුරුපැදියකින් කොල්ලකරුවන් පැමිණ ඇති බවකි. ඒ අනුව තවදුරටත් යතුරපැදියේ අංක තහඩුව ඔස්සේ හඹා යාමෙන් පලක් නොවන බව වටහා ගත් විමර්ශන නිලධාරීන් යතුරුපැදිය පැමිණි ‍හා පලා ගිය මඟ ඔස්සේ හඹා යන්නට ගත්තේ ආරක්ෂක කැමරා පිරික්සමිනි. එයත් එතරම් සාර්ථක නොවන්නේ අතරමඟ යම් ස්ථානයකදී යතුරුපැදියේ ගමන් මඟ සොයා ගැනීමට නොහැකි වීමෙනි.

මෙම කොල්ලය සිදු වූ ආකාරය ගැන කළ විශ්ලේෂණයකදී මීගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ප්‍රියන්තට පෙනී යන්නට වූයේ මෙම කොල්ලය ආර්ථික මධ්‍යස්ථානය ඇතුළේම අයකුගේ සම්බන්ධයක් නොමැතිව කිරීමට හැකියාවක් නොමැති බවය. මෙම කොල්ලය පිටුපස ආර්ථික මධ්‍යස්ථානයේ ඇතුළේ සිටින අයකුගේ සම්බන්ධයක් ඇතැයි ඔහු තදින්ම විශ්වාස කළේය. එම පුද්ගලයා හඳුනාගැනීමට හැකි නම් ආර්ථික මධ්‍යස්ථානයේ කොල්ලයේ සුලමුල හෙළි කර ගැනීමට හැකිවනු ඇතැයි ඔහු සිතුවේය.

පූගොඩ පැපිලියවල පිහිටි ඉඩම් හිමි වැවිලිකරුවකුගේ නිවෙසකට යතුරුපැදියකින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙක් නිවෙස් හිමියාට ගිනි අවියක් එල්ල කර බිය ගන්වා රුපියල් ලක්ෂ 20කට ආසන්න රන් භාණ්ඩ කොල්ලකන්නේ ද මේ අතරතුරදීය. ඒ මීගොඩ ආර්ථික මධ්‍යස්ථාන කොල්ලයෙන් පැය 20ක් ඉක්ම යන්නට මත්තෙනි. කොල්ල කන්නේ එම නිවෙස් හිමි ව්‍යාපාරිකයා පැළද සිටි රන් භාණ්ඩය. පවුම් එකොළහමාරක් බරැති රන් මාල දෙකක්, පෙන්ඩන් දෙකක්, මුදු තුනක් සමඟ ජංගම දුරකතනයක් ද ඔවුන් කොල්ලකා තිබුණේය. මේ ගැන එම නිවෙස් හිමි ව්‍යාපාරිකයා පැමිණිලි කරනු ලබන්නේ පූගොඩ පොලිසියටය. එම පැමිණිල්ලට අනුව අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හර්ෂණ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එම ව්‍යාපාරිකයාගේ නිවෙසට ගොස් විමර්ශන ආරම්භ කරනවාත් සමඟ එතැනට එන්නේ විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත මාරසිංහගේ නායකත්වයෙන් යුත් පොලිස් පරීක්ෂක ගුණතිලක ඇතුළු නිලධාරීන් කණ්ඩායමකි.

ඒ හැරුණු කොට විශේෂ කාර්ය බළකායේ පූගොඩ කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එම්. ඒ. එම්. පී. වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායමක් ද එහි පැමිණ සිටියහ. බෙලිඅත්තේ පස් පුද්ගල ඝාතනයේ අබිරහස පවා විසඳමින් වෙඩික්කරුවන් හඳුනා ගත්තේද මාරසිංහ ඇතුළු ගෝනහේන කඳවුරේ නිලධාරීන්ය. අපරාධකරුවන් හඹා ගොස් කොටු කර ගැනීමේ දක්ෂ විමර්ශකයන් පිරිසකගෙන් සැදුම්ලත් ගෝනහේන කඳවුරේ නිලධාරීන් සමඟ පූගොඩ කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් පූගොඩ පැපිලියවල කොල්ලය ගැන සොයා බැලීමට යන්නේ ද හිතුමතේට නොව, විශේෂ කාර්ය බළකායේ සේනා විධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දරගේ උපදෙස් මත විශේෂ කාර්ය බළකායේ බස්නාහිර උතුර කලාපය භාර ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධිර සහ සහකාර පොලිස් අධිකාරී ජයවර්ධන යන නිලධාරීන්ගේ දැනුම්දීමට අනුවය. මේ අය විමර්ශන ආරම්භ කරනු ලබන්නේ තනි කණ්ඩායමක් ලෙසිනි.

කොල්ලකරුවන් කොටු කර ගැනීම පූගොඩ පොලිසියේ නිලධාරීන්ගේ මෙන්ම විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ එකම අරමුණ විය. ඒ වෙනුවෙන් විශේෂ කාර්ය බළකායට අවශ්‍ය සහාය ලබා දීමට කොන්දේසි විරහිතව පූගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුරේෂ් සිල්වා පියවර ගත්තේය.

පැපිලියවල ව්‍යාපාරිකයාව කොල්ලකෑ කොල්ලකරුවන් පැමිණි යතුරුපැදිය හා කොල්ලකරුවන්ගේ හැඩරුවත් ඔවුන් අත වූ ගිනිඅවියත් ඊට පෙර දින මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ කොල්ලයට පැමිණි කොල්ලකරුවන් හා සැසඳෙන බව පෙනී යන්නේ තරගයකින් තොරව නිදහස් මනසකින් මෙම නිලධාරීන් විසින් එක් කණ්ඩායමක් ලෙස කළ මූලික විමර්ශනයේදීය. ඊට සාක්ෂි ගෙන දුන්නේ ආරක්ෂක කැමරාවල සටහන්ව තිබුණු කොල්ලකරුවන් දෙදෙනා යතුරුපැදියේ නැඟී ගමන් කරන වීඩියෝ දර්ශනය. කොල්ලකරුවන් අත වූ ගිනිඅවියේ හැඩරුව දැන ගන්නේ ව්‍යාපාරිකයාගෙනි. ඊට අනුව මෙම කොල්ලයට පැමිණි කොල්ලකරුවෙක් අත තිබී ඇත්තේ බඳ කැපූ ෂොට්ගන් වර්ගයේ ගිනිඅවියකි. මීගොඩ කොල්ලයට ද රැගෙන විත් තිබුණේ ද ඒ ආකාරයේම ගිනිඅවියකි. මීගොඩ කොල්ලයට පැමිණි කොල්ලකරුවන් පැලඳ සිටි යතුරුපැදි හිස් ආවරණවල පැහැය හා හැඩරුව ද පූගොඩ කොල්ලකරුවන් පැලඳ සිටි හිස් වැසුම් සමඟ ගැළපුණේය. යතුරුපැදිය පවා මීගොඩ කොල්ලයේ යතුරුපැදියට සමානකම් ඇති බව පෙනී ගියේය. ඒ අනුව මෙම කොල්ලකෑම් දෙකම එකම කණ්ඩායමක වැඩක් බව වටහා ගත් විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ අණදෙන නිලධාරී නිශාන්ත මාරසිංහ ඇතුළු නිලධාරීන් පූගොඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති හර්ෂ පෙරේරා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සමඟ පන්නන්ට ගන්නේ කොල්ලකරුවන් ගමන් කළ මඟ ඔස්සේය. ඒ ආරක්ෂක කැමරා පරීක්ෂා කරමිනි.

මෙය ඉතා ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. පැපිලිවල සිට කිරිඳිවැල දෙසට මුලින්ම ආරක්ෂක කැමරා පරීක්ෂා කරමින් මෙම කණ්ඩායම එදා ගමන් ගත්තේ යතුරුපැදිය ඒ දෙසට ගමන් කර තිබුණු බැවිනි. කොල්ලකරුවන් ගමන් ගත් එම යතුරුපැදිය කිරිඳිවැල සිට ගමන් ගන්නේ රදාවාන හරහා වැලිවේරියටය. වැලිවේරියෙන් දකුණට හැරවෙන යතුරුපැදිය කන්ද කපාපු හන්දිය ඔස්සේ ගමන් කර තිබුණේ කිරිල්ලවල දෙසටය. ඒ වන විට කිලෝ මීටර් 18 ක් දුර මෙම නිලධාරීන් මඟ දෙපස ඇති ආරක්ෂක කැමරා පරීක්ෂා කරමින් යතුරුපැදියේ ගමන් මඟ හඹා ගොස් තිබුණේය. තවත් ආරක්ෂක කැමරා කිහිපයක් පරීක්ෂා කරමින් ඉදිගහමුල්ල පාරට ගමන් කළ නිලධාරීන්ගේ ගමනාන්තය සනිටුහන් වන්නේ කිරිල්ලවල ඌරුවල් මාවතෙනි. ඒ වන විට තවත් කිලෝ මීටර් 06ක් පමණ ගමන් කර තිබුණේය. ඒ වන විට දින තුනක් තිස්සේ ආරක්ෂක කැමරා 45ක් පමණ නිරීක්ෂණය කරමින් ඉදිරියට ආ නිලධාරීන් කණ්ඩායමට පෙනී යන්නේ ඌරුවල් මාවතට ඇතුළු වූ යතුරුපැදිය එදින එළියට නැවත ගොස් නැති බවය. ඒ අනුව විශේෂ කාර්ය බළකායේ මාරසිංහ ඇතුළු නිලධාරීන් අනුමාන කරනු ලබන්නේ කොල්ලකරුවන්ගේ ආරක්ෂක නවාතැන්පොළ තිබිය යුත්තේ එම ප්‍රදේශයේ බවය.

පූගොඩ කොල්ලය සහ මීගොඩ කොල්ලය එකම කණ්ඩායමකගේ වැඩක් බවට ඒ වන විටත් මීගොඩ පොලිසියේ ස්ථානාධිපති නෙවිල් ප්‍රියන්තගේ ද කන වැකී තිබුණේය. ඒ වන විටත් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සිටියේ ඌරුවල් මාවත වට කර වැඩ අල්ලා ය. එම මාවතේ පිහිටි පාළුවට ගිය නිවෙසක් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. වසා දමා තිබුණු එම නිවෙස පිහිටි මිදුල සියුම් නිරීක්ෂණයකට ලක් කරන විට පෙනී යන්නේ යතුරුපැදියක ටයර් සලකුණුය. වැලි පොළොවේ සටහන්ව තිබුණු එම ටයර් සලකුණු සමඟ ඇතිවන සැකය මුල්කරගෙන එහි පිටුපස දොර කඩා නිලධාරීන් ඇතුළු වන්නේ ඒ තුළ කිසිවකු හෝ සැඟවී සිටීදැයි සැකහැර දැන ගන්නටය. එහෙත් ඔවුන් බලාපොරොත්තු වූ අයුරින් එහි කිසිවකුත් නොසිටියේය. ඒ වෙනුවට එහි තිබී හමුවන්නේ ආරක්ෂක කැමරාවල සටහන්ව තිබුණු එක් කොල්ලකරුවකු ඇඳ සිටි බැනියමක් සහ හෙල්මට්ටුවකි. කොල්ලකරුවන් මෙම නිවෙසේ රැඳී සිට ඇති බවට පැහැදිලි සාක්ෂියක් එසේ සොයාගනු ලබන්නේ විශේෂ කාර්ය බළකායේ ගෝනහේන දෙවැනි කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ගුණතිලක ඇතුළු නිලධාරීන් කණ්ඩායමකි. ඒ අය සොයාගත් මෙම ඇඳුම සහ හෙල්මට්ටුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා භාරගනු ලබන්නේ මීගොඩ පොලිස් ස්ථානාධිපති නෙවිල් ප්‍රනාන්දු විසිනි.

ඔය අතරතුර විශේෂ කාර්ය බලකාය මෙම නිවෙසේ හිමිකරු කවුරුන්දැයි කියා සොයා බලන්නට ද අමතක නොකළේය. නිවෙසේ හිමිකරු සිසිර කුමාර නමැති අයකු බව අනාවරණය වන්නේ එහිදීය. එම පුද්ගලයාගේ ජංගම දුරකතන අංකය ද සොයාගත් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂක ගුණතිලක එම පුද්ගලයාට ඇමතුමක් ගත්තේය. ඒ වන විට ඔහු රැඳී සිටින්නේ සිය බිරිය සමඟ කිරිබත්ගොඩ ප්‍රදේශයේය. පොලිස් පරීක්ෂක ගුණතිලක උත්සාහ දරන්නේ ඔහුව උපක්‍රමශීලිව යම් ස්ථානයකට ගෙන්වා ගෙන අත්අඩංගුවට ගැනීමටය. එහෙත් ඊට පෙර ඉස්සර වන්නේ මීගොඩ පොලිසියේ ස්ථානාධිපති නෙවිල් ප්‍රනාන්දුය. ඒ අනුව මීගොඩ ආර්ථික මධ්‍යස්ථාන කොල්ලයේත් පූගොඩ කොල්ලයේත් පළමු සැකකරු ලෙස සිසිර කුමාරව අත්අඩංගුවට ගනු ලබන්නේ මීගොඩ පොලිස් ස්ථානාධිපති නෙවිල් ප්‍රනාන්දුය. කඩවත ඇවිදින මංතීරුව ආසන්නයේ පිහිටි අවන්හලකින් කොල්ලකරුවන් පැදවූ යතුරුපැදිය සොයා ගන්නේද නෙවිල් ප්‍රනාන්දුය.

ඒ ප්‍රශ්න කිරීම් හමුවේ සිසිර කළ හෙළි කිරීම් ඔස්සේය. අවන්හල් හිමිකරු සිසිරගේ මිතුරෙකි. ඔහු නිතර යන එන තැනක් වූ එම අවන්හලේ ද කොල්ලකරුවන් දිනක් දෙකක් රැඳී සිට ඇත. ඔවුන් ඊට පෙර බියගම පැත්තේ ද ව්‍යාපාරික ආයතනයක් කොල්ලකා තිබුණේය. කොල්ලකා රැගෙන එන රන් භාණ්ඩ උකස් කර මුදල් කර තිබුණේ අවන්හල් හිමිකරුය. පූගොඩින් කොල්ලකෑ රුපියල් ලක්ෂ විස්සක් පමණ වටිනා රන් භාණ්ඩ උකස් කර තිබුණේ රුපියල් ලක්ෂ හතහමාරකටය. ඒ අනුව අවන්හල් හිමිකරු ඩිලාන් සංජීව ද මී‍ගොඩ ස්ථානාධිපති නෙවිල් ප්‍රනාන්දු විසින් අත්අඩංගුවට ගත්තේය.

තමන්ගේ අතට හසුවුණු සිසිර කුමාර මීගොඩ පොලිසියේ අත්අඩංගුවට පත්වීම ගැන යම් සිත්තැවුලක් විශේෂ කාර්ය බළකායට ඇතිවූවත් ගෝනහේන කඳවුරේ නිශාන්ත මාරසිංහ ඇතුළු නිලධාරීන් ඒ තුළින් පසුබට වූයේ නැත. සිය විමර්ශන ඉදිරියටම කරගෙන ගියේ මීගොඩ පොලිසියේ නිලධාරීන්ට සොයා ගැනීමට නොහැකි වූ ගිනිඅවිය සොයා ගනිමිනි. එම අවිය විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සොයා ගනු ලබන්නේ සිසිර කුමාරගේ නිවෙසේ පෝරණුවක් යට සඟවා තිබුණු අඟල් හතරේ පී.වී.සී. බටයක් තුළ බහා තිබියදීය.

ගිනිඅවිය සොයා ගැනීමෙන් පමණක් සීමා නොවන විශේෂ කාර්ය බලකා ගෝනහේන කඳවුරේ නිලධාරීන් එදා මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැල කොල්ල කා පලා යන මොහොත් එහි මුදල් අයකැමිවරියට වෙඩි තැබූ වෙඩික්කරුවා ද හඳුනා ගනිමින් ඔහුව ද අත්අඩංගුවට ගත්තේය. ඒ ගොඩකවෙල අලිපිටියේ ඔහුගේ හොර අඹුවගේ නිවෙසේ රැඳී සිටියදීය. වයස අවුරුදු 33ක් වන ඔහු නමින් සුජිත් කුමාරය. තිස්සමහාරාමය කොහොඹගස් පැලැස්සේ පදිංචිකරුවෙක් වූ ඔහු යුද හමුදාවෙන් පලාවිත් සිටි සෙබළෙකි. ඒත් එක්කම මෙම කොල්ලයට සම්බන්ධ තවත් කිහිප දෙනෙකුගේම තොරතුරු විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට ලැබෙන්නට ගත්තේය. යතුරුපැදිකරුව මහියංගණයේදී අත්අඩංගුවට ගනු ලබන්නේ ඒ අනුවය.

මාරසිංහ ඇතුළු නිලධාරීන් විසින් කරනු ලබන දැනුම්දීමට අනුව අම්පාර කලාප අණදෙන නිලධාරී පොලිස් අධිකාරී ගුණසිරි සහ සහකාර පොලිස් අධිකාරී ගිහාන් ගුණරත්න යන නිලධාරීන්ගේ මෙහෙයැවීමෙන් මහඔය කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එම්.එස්.ඊ. මානවඩු සහ අරන්තලාව කඳවුරේ පොලිස් පරීක්ෂක ජී. වී. චන්දන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ඒකාබද්ධ මෙහෙයුමකින් එම යතුරුපැදිකරුව කොටු කර ගන්නේ මහියංගණය සේනානිගම ප්‍රාථමික විදුහල ඉදිරිපිටදීය. ඔහු නමින් දිනේෂ් අවිශ්කය. 31 හැවිරිදි වියේ පසු වූ ඔහු මහියංගනය , 20 කණුව , මාපාකඩ පදිංචිකරුවෙකි.

මේ අතර මීගොඩ ආර්ථික මධ්‍යස්ථාන කොල්ලයේ මහමොළකරුවන් දෙදෙනෙකුව අත්අඩංගුවට ගනු ලබන්නේ විශේෂ කාර්ය බළකායේ කතරගම කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ලීලාරත්න ඇතුළු කණ්ඩායමකි. ඒ අතර දකුණුට මිරිස්කුඩු බෙදන ධනවත් ව්‍යාපාරිකයෙක්ද සිටියේය. ගෝනහේන කඳවුරෙන් කළ දැනුම්දීමකට අනුව ලීලාරත්න ඇතුළු නිලධාරීන් පිරිසක් තිස්සමහාරාමය යෝද කණ්ඩිය, වැලිපොතේවෙලට යන්නේ මීගොඩ කොල්ලයේ මහමොළකරු බවට හඳුනා ගත් නිහාල් විජේසිංහ නමැති අයකු කොටු කර ගන්නටය. 42 හැවිරිදි වියේ පසු වූ ඔහු ඒ පැත්තේ සිටි ගේම්කාරයෙකි. හිරේ විලංගුවේ ද වැටී ඇති අයකි. විශේෂ කාර්ය බළකායේ කතරගම කඳවුරේ නිලධාරීන් යෝද කණ්ඩියට යන විටත් ඔහු සිටින්නේ නිවසින් පැන මිතුරකුගේ නිවෙසක සැඟවීය. ඒ බව හෙළි කරගත් කතරගම කඳවුරේ නිලධාරීන් වටලන්නේ එම මිතුරාගේ නිවෙසය.

දකුණට මිරිස් කුඩු බෙදන තිස්සමහාරාමයම නම කියූ හැටි දන්නා මිරිස් කුඩු ව්‍යාපාරිකයා ඔහුය. කායවර්ධන මධ්‍යස්ථානයක් පවා පවත්වා ගෙන යන එම ව්‍යාපාරිකයාගේ නිවෙසේ රැඳී සිටියදී නිහාල් විජේසිංහ අත්අඩංගුවට ගත් විශේෂ කාර්ය බලකා කතරගම කඳවුරේ නිලධාරීන් මීගොඩ කොල්ලය ගැන ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නට වූයේ ඊට ගෑවුණු තවත් අය කවුරුන්දැයි දැන ගැනීමටය. මිරිස් කුඩු ව්‍යාපාරිකයා ද විශේෂ කාර්ය බළකායට කොටුවන්නේ එහිදීය. ඒ මෙම කොල්ලය සැලසුම් කිරීමට නිහාල් විජේසිංහ සමඟ ඔහු ද සම්බන්ධව සිට ඇති බැවිනි. දිමුතු නිරෝෂන් නමැති 38 හැවිරිදි වියේ පසුවූ එම ව්‍යාපාරිකයාව ද ඒ අනුව විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වන්නේ මීගොඩ කොල්ලයේ මහ මොළකරුවෙක් ලෙසිනි.

මීගොඩ කොල්ලයට වෙඩික්කරු සහ යතුරුපැදිකරු යොදන්නේත් ඒ අයට නවාතැන් පහසුකම් මෙන්ම යතුරුපැදිය සපයා දෙන්නේත් නිහාල් විජේසිංහය. කිරිල්ලවලින් මීගොඩ පොලිසිය අල්ලා ගත් සිසිර ද ඔහුගේ මිතුරෙකි. මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැල් කොල්ලය පවා ඔහු සැලසුම් කරනු ලබන්නේ කෝටි දෙක තුනක් අතට ගන්නට බලාගෙනය. ඊට අවශ්‍ය තොතුරු නිහාල් විජේසිංහට ලැබී තිබුණේ මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වසර 06ක් තිස්සේ විවිධ රැකියාවල නිරතව සිට දැන් කුඩා ලොරි රථයක් කුලියට ධාවනය කරමින් සිටින්නෙකි. නමින් ඔහු පෝද්දුව හේවගේ ඉන්ද්‍රසිරිය. අවුරුදු 45ක් වයසැති ඔහු මීටියාගොඩ ඕවිටිගම පදිංචිකරුවෙකි. විශේෂ කාර්ය බලකායේ පූගොඩ කඳවුරේ අණදෙන නිලධාරී එම්. ඒ. එම්. පී. වික්‍රමසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ඔහුව කොටු කර ගන්නේ හෝමාගම පිහිටි සිල්ලර වෙලෙඳසලකදීය.

මෙම කොල්ලයට සම්බන්ධ තවත් අයෙක් ගැන තොරතුරු හෙළි වන්නේ ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේදීය. වාහනවලට බෆල් සහ එල්. ඊ. ඩී. බල්බ් සවි කරන ව්‍යාපාරික ස්ථානයක සේවයේ නිරතව සිටි ඔහුත් මීගොඩය. 32 හැවිරිදි වියැති අමදොරුතුප්පහිගේ ෂෙහාන් සංදීප නමැති ඔහුව කොටු කර ගනු ලබන්නේ ගොඩගම පිහිටි නවාතැන්පොළක් ඉදිරිපිටදීය.

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය තුළ සිදු වූ කොල්ලයේ සැඟවුණු බොහෝ රහස් එළියට එන්නේ මේ දෙදෙනාගෙන් ප්‍රශ්න කරන්නට ගත්විටය. මෑතක සිට ඔහුගේ පවුලේ ආර්ථිකය දුර්වල වන විට මොවුන් හිතන්නේ කුමක් හෝ දෙයක් කර අතමිට සරුකර ගන්නටය. මේ ගැන ඔහු කියන්නේ සිය මිතුරා වූ ෂෙහාන්ටය. එහිදී ඔහු යෝජනා කරන්නේ ආර්ථික මධ්‍යස්ථානයේ ඇති තරම් මුදල් ඇති බැවින් ඒ කාට හරි වැඩක් දෙන්නටය. එහෙත් එතරම් දෙයක් කිරීමට තරම් හයි හත්තියක් ඉන්ද්‍රසිරිට නොවීය. ඒ වැඩේ භාර ගන්නේ ෂෙහාන්ය.

ඔවුන්ගේ ඉලක්කය බවට පත්ව තිබී ඇත්තේ වෙලෙඳසැල් දෙකකි. මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ ආරක්ෂාවට පොලිස් මුරපොලක් ඇතත් මුරපොලේ සිටින නිලධාරීන් මැදියම පසුවීමත් සමඟ ආර්ථික මධ්‍යස්ථානයේ රැඳී නොසිටින බව මෙන්ම අලුයම් කාලය වන විට ඔවුන් මුරපොළ වසා දමා නින්දට යන බවට පවා තොරතුරු නිහාල් විජේසිංහට ලබා දෙන්නේ ඉන්ද්‍රසිරිය.

කොල්ලය සිදු කිරීමට දින නියම කරගත් නිහාල් විජේසිංහ සිය පිරිවර සමඟ තිස්සමහාරාමයේ සිට පැමිණෙනුයේ 11 වෙනිදා සවස් කාලයේදීය. ඒ පැමිණි ඔවුන් එකිනෙකා මුණ ගැසෙන්නේ හෝමාගම බස් නැවතුම්පොළ අසලදීය. එහිදී ඉන්ද්‍රසිරිට පැවරෙන්නේ ආරක්ෂාව ගැන සොයා බලා ආර්ථික මධ්‍යස්ථානයට පැමිණිය යුතු වේලාව දැන්වීමය. කොල්ලකන්නේ කුමන වෙලෙඳසැල දැයි තීරණය කරනු ලබන්නේ ද ඒ මොහොත්දීය. ඒ එදා මංගල ට්‍රෙඩර්ස් වෙලෙඳසැලේ සිටින්නේ මුදල් අයකැමි සහ ගෝලයෙක් පමණක් වූ බැවිනි. එදා අලුයම ඉන්ද්‍රසිරි විසින් දුරකතන ඇමතුමක් නිහාල් විජේසිංහට ලබා දෙමින් කට්ටිය එවන්නැයි කියන්නේ ද පොලිස් මුරපොළ වෙත ගොස් පොලිස් නිලධාරීන් නිදාගෙන සිටින්නේදැයි සැක හැර දැන ගැනීමෙන් අනතුරුවය.

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට යතුරුපැදියකින් දෙදෙනෙක් කඩා වැදී මංගල ට්‍රේඩර්ස් වෙ‍ෙළඳසැල කොල්ලකා පලා යන්නේ එම දුරකතන ඇමතුමට අනුවය. රුපියල් කෝටි දෙක තුනක මුදලක් ඉලක්ක කර සිදු කළ එම කොල්ලයෙන් ඔවුන්ට අවසානයේදී අතට ලැබෙන්නේ රුපියල් 45,900ක මුදලක් පමණි. මේ නිසා දෙවැනි කොල්ලය සැලසුම් කරනු ලබන්නේ මීගොඩ කොල්ලයේ පාඩුව පියවා ගැනීමටය. ඊට අවශ්‍ය පහසුකම් සපයන්නේ සිසිර කුමාරය. 13 වෙනිදා උදෑසන පූගොඩ ව්‍යාපාරිකයාව කොල්ලකන්නේ ඒ අනුවය.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division