කවිරත්න දක්ෂ කවියෙකි. අවුරුදු පහළොවේ විස්සේ කාලේ සිටම කවිරත්න කවි කීවා. ඉස්කෝලේ කාලේ පාසල් ශිෂ්‍ය සමිතියට කවිරත්නගේ කවි ගායනයක් තියෙනවාමයි. හැබැයි පාසල් කාලෙ කවිරත්න ගායනා කළේ අනුන්ගේ කවි. එස්. මහින්ද හාමුදුරුවන්ගෙ කවි ඔහු තාලෙට ගායනා කරන කොට, පාසලේ ගුරුවරු පවා අත්පුඩි ගැහුවා. ජන කවි ගායනා කළේ ඒ ඒ කවිවල රිද්මය වෙන වෙනම තෝරාගෙන කවිරත්න මන්ත්‍රි දේවියගේ විලාපය, යශෝදරාවත වැනි කවි කියන කොට සමහර ගුරුවරියො සාරි පොටෙන් ඇහැ පිසදා ගන්නවා.
කවිරත්න ටික ටික ලොකු වෙලා පාසල් ජීවිතෙන් සමුගත්තේ සාමාන්‍ය පෙළ විභාගයට ලීවට පස්සේ. දිගින් දිගටම ඉගෙන ගන්න කවිරත්නට බැරිවුණේ නිදහස් අධ්‍යාපනය හරියටම ක්‍රියාත්මක නොවෙන නිසා. එහෙම එකක් නොතිබුණා නම් කවිරත්න ජන කවිවල කියවෙන තාලෙ මොකක් හරි රස්සාවකට හුරුවෙනවා.
තාත්තා හම්බ කරන සොච්චම් මුදලෙන් ළමයි දෙන්නෙකුට උගන්වන්න බැරි තරමට අධ්‍යාපන වියදම් ඉහළයි. ඒ හින්ද කවිරත්න ඉගෙනීම නතර කළා.
හිටිවන කවි කියනවා වගේම කවිරත්න කවි ලියන්නත් දක්ෂයා.
හැබැයි ඒ ලියන කවි පත්තරවලට, ගුවන්විදුලි වැඩසටහන්වලට එහෙම යවන්න මුද්දර කවරවලට ලොකු වියදමක් යන නිසා කවිරත්නගෙ කවි සැඟවිලා තියෙනවා. ආණ්ඩුවේ කන්තෝරුවක පියන් රස්සාවෙන් විශ්‍රාම ගිය තාත්තා ලෙඩ ගානේ ගෙදරට වෙලා ඉන්න නිසාත් අම්මා උයන කඩයප්පන් රසකැවිලි ගමේ තේ කඩේ ඉතුරු වෙන නිසාත්, ජීවන ගමනේ යම් යම් දුක්වේදනා, පසුතැවිලි හමුවෙන හැම විටක සරස්වතී ඔහුට සහය වෙනවා.
ලෙඩ ඇද පිහිට වී ඇත පියෙකුගෙ දුකට
රස මුසු කරයි අම්මා පිටිගුළි වලට
කවියෙන් බඩගින්න නිවුමට බැරිකමට
ගාමන්ට් එකක ආවෙමි රැකියාවකට
කවිරත්න තෝරාගත් රස්සාව ඒ තරම් අමාරු එකක් නොවුණත් ජීවන ගමනේ අභියෝගතා පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයට එයින් පිළිතුර ලැබුණේ සාමාන්‍ය විදියට. ඒ වුණත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට පාර තනාගත් නංගි වෙනුවෙන් කවිරත්න දහඩිය මහන්සියට අගයක් ලබා දුන්නා. නංගි විශ්වවිද්‍යාලයට ගිය දවසෙ අම්මයි තාත්තායි සතුටු කඳුළු හෙළුව හැටි දුටුව කවිරත්න ගොතපු කවිය රජරට සේවයට තැපැල් කළේ ගාමන්ට් එකේ යාළුවෙක්. එයින් මාස ගාණකට පස්සේ නවරැල්ලේ ගායකයෙක් ඒ කවිය ගීතයකට නගල ගායනා කළා.
ගලයි තුටු කඳුළු ගෙදර බුදු පිළිමේ
නුඹයි ඉටු දෙවිදු මේ පැලට පැමිණි
සිහින එළිවෙනදා කුමට රන් කරඬු
හෙටක් හැදු නැගෙණි හිනාවෙමු නැවති
දෙවැට හිනැහෙනවා පිණි කඳුළු පිසදා
ඇළ ඉවුර බැලුවා මුකුළු රැළි විමසා
ලිහිණි සර වැයුණේ නිල් ගොයම් වියනේ
නුඹ දිනු අරුමේ දැනගෙනද රහසේ
හන්තාන සෙවණැල්ලේ – සිංහබා – මනමේ
ලතා මණ්ඩපයේ ඔබට හමුවන්නේ
විරාජිත චරිතේ සුපිරිසිදු සුසුමේ
සිටින් නැගෙණියනේ සිතින් අප අතරේ
කවි රත්නගේ ජීවිතේ මඩේ පිපුණු පියුමක් සේ සුවඳවත් වෙන්නේ මේ ගීතය ජනප්‍රිය වීමත් සමඟයි. ගමේ පන්සල්වල තවමත් සල්පිල් වෙන්දේසි පවත්වනවා. ජහුටං හෙවත් ගීත නාටක සංදර්ශන පන්සලට, මරණාධාර සමිති ශාලාවට හෝ වෙනත් ප්‍රජා කාර්යයකට ආධාර පිණිස පැවැත්වෙන විට විශාල වශයෙන් සෙනඟ රැස්වෙනවා. හේනට කුඹුරට ගත වෙහෙසන ගැමියන්ට ඉඳහිට ලැබෙන සැනසිලිදායක අස්වැසිල්ලකට මේ දවස ලොකුම සහායක්. ගීත නාටක නටන්නේ සල්පිලෙන් පස්සෙ මල් බඳුන් හෝ පලතුරු බඳුන් වෙන්දේසියට අරගෙන පැයක හෝ දෙකක හෝරා කාලයක් මිනිස්සුන්ගෙ විඩා නිවන්නෙ කවිරත්නගෙ කවිවලින්.
වෙන්දේසියේ රසවත් බව වැඩි වෙන්න
කවිමුතු අරන් අප අතරේ අතුරන්න
දෙන්නට කවි ලොවේ දිලිසෙන මුතු රත්න
එනුමැන සල්පිලට කිවිඳුනි කවිරත්න
එතැන් සිට විටින් විට කවිරත්නයන්ගේ රස කවිවලින් සල්පිල් බිම ලස්සන වෙනවා. “දෙබස් කථන මුද්‍රා ගීත නාටකය” පටන්ගන්නේ සල්පිල ඉවර වෙලා
දුරු කර ගන්න සංසාරේ ඝණ අඳුර
හිමිවනු පිණිස දෙව් ලොව රජ දෙව් මැඳුර
සැතපෙන කල දකින්නට සිහිනය මධුර
කවුරුද ගන්නෙ මේ වටිනා පන් පැදුර
කවිරත්න දක්ෂයා සල්පිලේ විකුණන ඔය විදිහේ භාණ්ඩ ලැබුණහම ඔහොම කවි කියනවා. දවසක් සල්පිලකට දාලා තිබුණා ලස්සන රෝස මල් දෙකක් මහල “ගුඩ් නයිට්” කියලා අකුරු මහපු කොට්ට උරයක්. මේකට කවිරත්න කියපු කවිය අදත් එයාගේ කටේ තියෙනවා. ඒකට හේතුවකුත් තියෙනවා.
ලස්සන කොට්ට උරයක් ඇත නමද ලියා
මම යමි හෙට උදේ ඒ ඉදිකටුව සොයා
ධම්මිගේ රෝස මල් දෙක උඩ ඔළුව තියා
නිදියාගන්න ආසාවක් නැතිද? ඔයා
අත්පුඩි, විසිල්, හූ හඬ සියලු ප්‍රතිචාර අතරින් රුපියල් විසි පහයි, රුපියල් තිහයි, රුපියල් පනහයි, හැත්තෑ පහයි, රුපියල් එකසිය පනහයි. ඔය විදියට කට්ටිය තරගෙට ඉල්ලපු ධම්මිගේ කොට්ට උරේ රුපියල් තුන්සිය පනහකට තීන්දු වුණා. සල්පිල ඉවර වෙලා නාට්‍ය සංදර්ශන බලල නිදි මරාගෙන කට්ටිය ගෙවල්වලට යන අතරතුර කවිරත්න ඉදිරිපිට ගෑනු ළමයෙක් හිට ගත්තා.
“අයියෙ මම ධම්මි”
“ධම්මි කිවේ?”
“ඇයි, අයියා මට කවියක් කීවේ අර කොට්ට උරය ගැන”
“ආ ඔයාද ඒක එව්වේ?”
“ඔව් … අයියගෙ කවි ලස්සනයි. අයියා දාල යන්න ලෝබයි වගේ”
“බොහොම ස්තුතියි”
“අයියගෙ ලිපිනය දෙන්න පුළුවන් ද”
වැඩේ නම් හුඟක් දුරදිග ගියා ඇඩ්‍රස් හුවමාරු වුණා. තැපැල් පියුන්ලා නිතර නිතර ගෙවල් දෙකටම ගියා. කොට්ට උරයේ රෝස මල් දෙක සැබෑම රෝස මල් බවට පත් වුණා. කාලයාගේ ඇවෑමෙන් කවිරත්නගේ තනිකඩ බව අවසන් වුණා. කවිරත්නට මනාලියක් ගෙනාපු දවසෙත් ඔහු හිටිවන කවි කීවා. එදා සල්පිලේ කවිය කවිරත්න මඟුල් දවසේ මෙහෙම වෙනස් කළා.
ලස්සන කොට්ට උරයක් සල්පිලට තියා
මන්මත් කළා ආදරවන්තියේ ඔයා
ධම්මිගේ රෝස මල් දෙක දැක දෙනෙත පියා
නිදියමි මෙයින් මතු මම ජීවිත සොයා
සත්‍ය වශයෙන්ම කවිරත්නගේ ජීවිතය ඇය නිසා රෝස මල් යහනාවක තත්ත්වයට පත් වුණා. උදේට වැඩට යනකොට බත් මුල අතට ගෙනත් දෙන සිරිත ධම්මි සිය නැන්දම්මාගෙන් උපක්‍රමශීලීව ඉල්ලා ගන්නට සමත් වූවාය. සවස ගෙදර එන කවිරත්නට සිය බිරිඳගේ තේ කෝප්පය මියුරු දිව ඔසුවක් බඳුය. නැන්දා – ලේලි ගැටුම් කවිරත්නගේ නිවසේ නොවීය. කවියට ඇලුම් කළ සිත තුළ සරස්වතිය වැඩ සිටින බැවින් ඇය ද කිවිඳියක් බඳුය. කලාකරුවකු වෙසෙන නිවස දෙව්ලොවකි. එබැවින් ධම්මි සල්පිලකින් සොයාගත් වටිනා භාණ්ඩයකට සමානය.
“කවියට හොඳ බඩුවක් හම්බවෙලා තියෙන්නේ” යහළුවන්ගේ නිගමනය ද එයයි.
වෙසක් පෝය, පොසොන් පෝය කවිරත්නට හරිම අවිවේකයි. මේ කාලේ තොරන්වල කවි කියන්න ඔහුට ආරාධනා එනවා. එවගෙන් නම් සුළු සුළු ගතමනාවක් කවිරත්නලට ලැබෙනවා.
කිරිසුදු සඳ වගේ පින්බර රැස් මූනේ
තවරාගෙන තොරන් බැලුමට එනවානේ
දන්සල්වලින් වළදා සුමිහිරි පානේ
ආධාරයක් දී යනවාද සුදු නෝනේ
එහෙම කවියක් දෙකක් අතැරපුවම තමන් සුදුයි කියල හිතාගෙන ඉන්න නෝනල ලොකු මුදලකින් තොරණට ආධාර දෙනවා. ආධාර ලියන තොරන් කමිටුවේ මහත්තය ආධාර දුන්නු අයගේ නම කවිරත්න අතට පත් කරනවා.
“විශාඛාව – සුජාතාව – සුමනා සහ යශෝදරා
පින්බර කුල කතුන් වගේ සසරේ හිමි සතුට සොයා
මේ තොරණට දුන් ආධාරය මුළු හදවතින් දරා
මෙතේ බුදුන් ළඟ නිවනට යන්න අපේ වසුන්දරා”
ඉනාමලුවේ ශාසනරතන හාමුදුරුවෝ කවිරත්නට හමුවෙන්නේ සල්පිලක කවි කියන්න ගිහින්.
“ඔබතුමා කවි ලියන් නැත්ද?”
“ලියනවා හාමුදුරුවනේ”
“කවි පොත් ලියලා නැද්ද…?”
“එහෙම ලියල නෑ, කවි ලියපු පොත් කීපයක් තියෙනවා”
“අපි පොතක් ගහලා නිකුත් කරමු”
“අපිට එහෙම දෙයක් කරන්න තරම් වත්කමක් නෑ හාමුදුරුවනේ”
“ඒකට බය වෙන්න එපා පොත් ටික අරං එන්නකෝ. මම පොතකට සුදුසු කවි ටිකක් තෝරලා පොතක් වශයෙන් හදලා ප්‍රකාශයට පත් කරන්නම්”
“එහෙමයි හාමුදුරුවනේ”
ඔබේ ආදරණීය කවියා කවිරත්න රණතුංග ලියූ ප්‍රථම කාව්‍ය සංග්‍රහ “කවි සිතක පිපුණු මල්” දොරට වැඩිමේ උලෙළ 2020 -02-20 දින ඇතුගල් පුර, පුරහලේදී පැවැත්වේ.
මෙහි මූලාසනය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය ඉනාමළුවේ ශාසනරතන නාහිමිපාණන් වහන්සේ විසින් උසුලනු ලබන අතර විශේෂ දේශනය ප්‍රවීණ මාධ්‍යවේදී ගාමිණී හේරත් කන්දෙපොළ විසින් පවත්වනු ලැබේ.
කවිරත්නගේ හිත පතුලේ රැව්දෙන කවි පොතක සිහිනය එවැනි සංකල්පනාවලින් පිරී තිබුණා.
ඔහු ගෙදර යන ගමන් මංගල කෘතිය එළිදක්වන උත්සවයේදී කරන කවි කතාව පවා මනසින් පෙළගැස්සුවා.
අසරණ අපේ හද පත්ඉරුවල රැදෙන
කවි පදවැල් සොයා නව ලොවකට බෙදන
අප වැනි කැලෑ මල්වල සුසුවද සොයන
දෙපතුළ වඳිමි හිමියනි ශාසන රතන
අම්මයි, තාත්තායි දෙන්නාට පොත පිළිගැන්වීම ලියනවා එතකොට ධම්මි, ධම්මි – නංගී දෙන්නගෙම නම් පෙරවදනට දාලා ස්තුති කරනවා. “දුන් සහය අගය කරමි” කියලා.
කවිරත්න, ගෙයි කඩුල්ල පැන්නේ දොරට වඩින පොතක උත්සව මානසිකත්වයෙන්මයි. පරණ කවිපොත් දමා තිබූ පෙට්ටි ළඟට ගියේ නෑ ඉබේම ඔහු එතැනට යැවුණා. කවිරත්නගෙ හිත ගැස්සුණා. “දෙයි හාමුදුරුවනේ” කියවුණා. ඒ පෙට්ටි තිබු තැන නෑ. වේයෝ කාපු කාඩ්බෝඩ් ගොඩක් විතරයි තියෙන්නේ.
ඒ කියන්නේ කවිරත්නගේ කවි අත් පිටපත් සියල්ලම වේයෝ කාලා. අවුරුදු දහයක් දොළහක් තිස්සේ ලියපු කවි බුදුගුණ ගී, මව්පිය ගුණ කවි, සමාජ අසාධාරණවලට එරෙහිව ලියූ කවි මනසින් මවාගත් පෙම්වතීන්ට ලියූ කවි සියල්ල අවසන්.
“අම්මේ කෝ ධම්ම?”
කවිරත්නගේ විමසුම තුළ කිසිඳු ආවේගයක් අම්මාට පෙනුණේ නෑ.
“නාන්න ගියා”
අනේ රත්තරං කෙල්ල. මේ දවස්වල ඒකිගේ වැඩේ ගේ අස්කරන එක. ඔය දූවිලි ගොඩවල් එක්ක ඔට්ටු වෙන්න එපා කියලත් මං කීවා. අද නම් උදේ ඉඳන් මොනවද ලිය ලිය හිටිය උඹ වාගේ“ අම්මාගේ පිළිතුර දයාබරත්වයෙන් පිරුණ දිගු ප්‍රකාශනයක් වුණා.
කවිරත්න අද නිවාඩු දවසෙ ගෙදර ඉන්නවා. කිසිම කතා බහක් නෑ. ඔහේ කල්පනා කරනවා. කවියක අග පේළිය හිතින් හදාගෙන මුල් පේළියක් හයියෙන් කියල දෙවෙන පේළියක් ඒ සමඟම කියල දාපු හිටිවන කවියෙක් තුන්වෙනි පදේ ගළපා ගන්න කල්පනා කරන ආකාරයක් තමයි කවිරත්න තුළ තියෙන්නේ.
“මොකද අනේ ඔයා දාහට අරන් සීයට දුන්නා වගේ කල්පනාව“
“සීයට නෙමේ පනහකටවත් දෙන්න බැරි තත්ත්වයක් තියෙන්නේ.”
“ඒ කීවේ ?”
“මගෙ පොත් වගයක් තිබ්බා සේරම වේයො කාලා”
“ඔව් මං දැක්කා, වේයෝ කාපුවා සේරම මම පිච්චුවා”
“මට කියල පුච්චන්න තිබුණා ඔයාගේ පණ්ඩිතකමනෙ”
“එහෙම කියන්න එපා අවුරුදු ගණනකින් ඔයාගෙ කාමරේ සුද්දකරල නෑ. ඒකයි මම අස්කළේ. කාඩ්බෝඩ් පෙට්ටිවල දාල පොත් ටිකක් තිබුණා ඔක්කෝම වේයෝ අල්ලලා.”
කවිරත්න කිසිවක් නොකියා යළිත් නිහඬ බවකට සම වැදුනා.
අවුරුදු ගණනාවක් තිස්සේ ලියපු කවි. ශාසනරතන හාමුදුරුවො පොතක් අච්චු ගහන්න ඉල්ලා සිටියට අද ඒ බලාපොරොත්තුව සුන් වෙලා. ධම්මි ඇවිත් ඔහු වෙත යමක් දිගු කළා.
“මේ මොක පොත්වල කොටස් එකතු කරලා, හොයන්න පුළුවන් සේරම ටික පොතක ලීවා. මගේ අතින් මොනවත් වැරදිලා තිබුණා නම් ඔයා හදාගන්න.
කවිරත්න ධම්මි දෙස ආදරයෙන් බැලුවා. අතේ වීණාවකුත් තිබුණා.
ධම්මිගේ අත්දෙකට උඩින් තව අත්දෙකක් මතුවෙලා. එක අතක පුස්කොළ පොතක් තවත් අතක නවගුණ වැලක්. ඒ ඉන්නෙ ධම්මි නෙමෙයි සරස්වතී දේවිය.“
“ඔයා මේ ටික බැලුවෙ නැත්නම් මෙහෙමවත් ඉතුරුවෙන්නෙ නෑ කවි ටික. ඔයා කළේ ලොකු උපකාරයක්.“
දිවි මග රැදුණු දුක්ගිනි සිදලු අවිය
මග බිඳ වැටී ගිය සිතකට දුන් සවිය
ඉටු දේවතාවිය පැහැබර කළ දිවිය
ඔබමය මෙතෙක් මා නොලියූ සෙත් සවිය