Home » නිපුණතා අංක 4 හිමි අයට හොඳින්ම ගැළපෙන අංක 6 හිමියෝ

නිපුණතා අංක 4 හිමි අයට හොඳින්ම ගැළපෙන අංක 6 හිමියෝ

මෙවර නිපුණතා අංක 4ට අංක 6 - 7 - 8 - 9 හිමි අයගේ ගැළපීම

by Mahesh Lakehouse
February 24, 2024 12:34 am 0 comment

අංක විද්‍යා ජ්‍යොතිෂය

මේ ලිපි පෙළින් ඔබව දැනුම්වත් කරන්නේ අංක විද්‍යානුකූලව ඔබගේ නිපුණතා අංකයට අනුව හොඳ සබඳතාවක් සඳහා වඩාත් ගැළපෙන සහකරුවා, සහකාරිය හෝ හවුල්කරුවා සම්බන්ධව හඳුනාගන්නා ආකාරය පිළිබඳවය.

ඔබේ සහ ඔබ ගැළපීම බලන අයගේ නිපුණතා අංකය සොයාගන්නා ආකාරය නොදන්නා අයගේ දැනගැනීම සඳහා සැකෙවින් දක්වමි. මේ සඳහා ඔබගේ උපන් අවුරුද්ද, මාසය සහ දිනයට අදාළ සියලු අංක තනි අංකයක් වන ලෙස එකට එකතු කළ යුතුය. උදාහරණ ලෙස 1992-11-23 දින උපන් අයෙකුගේ නිපුණතා අංකය සොයමු. 1+9+9+2+1+1+2+3 = 28, 2+8 = 10, 1+0 = 1. මේ අනුව උදාහරණයෙන් පෙන්වන අයගේ නිපුණතා අංකය 1 වෙයි. මේ ආකාරයට ඔබගේ සහ ඔබ ගැළපීම බලන අයගේ ද නිපුණතා අංක සකස් කරගන්න. ඔබගේ අංකයට එම අංක කෙතරම් දුරට ගැළපෙනවා ද යන්න හඳුනා ගැනීමට පුළුවනි. ඒ අනුව මෙවර ඒ ඒ අංකවලට නිපුණතා අංක 4 අයගේ ගැළපීම කෙසේ ද යන්න බලමු.

නිපුණතා අංක 4ට නිපුණතා අංක 6 අයගේ ගැළපීම

නිපුණතා අංක හතර හිමි යම් අයෙක් වේ නම් ඔහුට නිපුණතා අංක හය පුද්ගලයන් ඉතා හොඳින් ගැළපෙන බව සඳහන් කළ හැකිය. මේ දෙදෙනා අතර යහපත් සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීමේ හැකියාව ඇති කරයි. කරන කටයුතු බෙදාහදාගෙන සමඟි සම්පන්නව ගෘහ ජීවිතය තුළ ඉතා යහපත් ආකාරයෙන් ජීවත්වීමේ හැකියාව මොවුන්ට ඇත. මොවුන්ගේ විශේෂයෙන්ම වැරදි පිළිගන්නා ගතිය සහ වරදට සමාව දීමේ ස්වභාවයන් දැකිය හැකි වෙයි. එමෙන්ම සෑම විටම විශ්වසනීයභාවය ප්‍රමුඛකොට සලකයි. උත්සාහවන්ත බව සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීම දෙදෙනා තුළම මනාව පවතී. මුදල් කළමනාකරණයේදී දෙදෙනාම ඉතා ප්‍රවේසම් සහගතව කටයුතු කරයි.

දෙදෙනාම දියුණු වීමේ ආසාවෙන් කටයුතු කරන හෙයින් සාර්ථකත්වය උදාකර ගැනීම අපහසු නැත. අංක හතර හිමියා තරමක් ආවේගශීලී ඉක්මන් තීන්දු තීරණ ගන්නා අයෙකු වුවද අංක 6 හිමියා සතු විනෝදශීලී සෑම දෙයක් කෙරෙහිම සුබවාදී හැඟීමකින් යුතුව බැලීමේ ආකල්පය නිසා යම් මතභේද ඇති වුවද ඒවා සමථයට පත්කර ගැනීමේ හැකියාව ඇති කරයි. එකිනෙකාට අවංකව දෙදෙනාම කටයුතු කිරීම හේතුවෙන් ඉතා සාර්ථක දීර්ඝ සබඳතාවක් පවත්වාගෙන යෑමේ හැකියාව පවති.

නිපුණතා අංක 4ට නිපුණතා අංක 7 අයගේ ගැළපීම

මෙම අංක දෙක අතර ගැළපීමද යහපත් සම්බන්ධතාවකි. දියුණු වීමේ කැමැත්ත දෙදෙනා තුළම එක සේ පවතී. යහපත් කායික මානසික සබඳතාවක් ඇතිව ජීවත් වීමේ හැකියාව ඇති කරයි. එකිනෙකා වෙනුවෙන් ඇප කැපවී කටයුතු කිරීමේ ගුණයෙන් යුක්ත වෙයි. මූල්‍ය කළමනාකරණය සම්බන්ධව අංක හත හිමියන් තරමක් දුර්වලතාවක් දැක්වුවද අංක හතර හිමියාගේ ඒ සම්බන්ධව පවතින දක්ෂතාව මත එය සමනය කරගැනීමේ හැකියාව පවතී.

අංක හත හිමියන් ආගමට ධර්මයට ලැදි අධ්‍යාත්මික නැඹුරුතාවක් ඇති ශාස්ත්‍රීය දේවල් හැදෑරීමට කැමති පුද්ගලයන් වන අතර අංක හතර හිමියා එම දේවල් උපේක්ෂාවෙන් විඳ දරා ගනී. විශේෂයෙන් මෙහිදී පිරිමියා අංක 4 වී අංක හත ස්ත්‍රිය වීම තුළ වඩා යහපත් සම්බන්ධතාවක් ඇතිකර ගැනීමේ හැකියාව පවතී. අංක හතර හිමියාගේ විමසා බලා කටයුතු කිරීම, විධිමත් බවක් සහ පිළිවෙළක් ඇතිව ක්‍රියා කිරීම යනාදී ගුණාංග නිසා අංක හත හිමියාගෙන් යම් අඩුපාඩුවක් සිදුවුවද ඒවා සමථයකට පත් කර ගැනීමේ හැකියාව ඇති කරයි. එමෙන්ම අංක හතර හිමියාගෙන් අංක හත හිමියාට හොඳ ආරක්ෂාවක් ද සැලසෙයි.

මෙම අංක මාරු වී යෙදුණත් එනම් ස්ත්‍රිය අංක හතරවී පිරිමියා අංක හත වී යෙදුණත් ගැටලුවක් ඇති කරන්නේ නැත. එකිනෙකාගේ සිතුම් පැතුම් සහ ස්වභාවයන් මනාව තේරුම්ගෙන යහපත් ආකාරයෙන් ශක්තිමත්ව දීර්ඝකාලීන සබඳතාවක් පවත්වාගෙන යාමට දෙදෙනාටම හැකියාව ඇත.

නිපුණතා අංක 4ට නිපුණතා අංක 8 අයගේ ගැළපීම

මෙම අංක හිමි දෙදෙනෙකු අතර ඇතිවන සබඳතාව ද යහපත් ආකාරයෙන් දීර්ඝ කාලයක් පවත්වාගෙන යෑමේ හැකියාව ඇතිකරන සම්බන්ධයකි. මෙම අංක හිමි පුද්ගලයන් දෙදෙනා තුළම මනා උත්සාහය කැපවීම මෙන්ම වෙහෙස මහන්සි වී කටයුතුවල නිරත වීමේ ගුණය පවතින නිසා ඉතා හොඳ සාර්ථකත්වයක් ජීවිතය තුළ උදාකර ගත හැකිය.

අංක හතර හිමි පුද්ගලයා තුළ පවතින සාර්ථකත්වයට පත්වීමේ අභිලාෂය කැපවීම සහ විශ්වසනීයභාවයත් විධිමත් බව සහ කළමනාකරණ හැකියාව ආදි ගුණාංගයන්ට අංක අට හිමියා තුළ පවතින්නා වූ බලාපොරොත්තු සහගත බව, ලෞකික දියුණුව පිළිබඳ දැඩි කැමැත්ත මෙන්ම කටයුතු සොයා බලා කිරීම යනාදී ගුණාංගයන් එකතු වීමෙන් හොඳ සංකලනයක් ඇති වෙයි. නමුත් මෙහිදී දෙදෙනා අතර යම් මතභේද ඇතිවීමේ හැකියාව පවතී. එයට හේතුව වන්නේ අංක අට පුද්ගලයා නිතරම තමා මූලික කොට සිතීමත් තම ආධිපත්‍යය නිතරම පැතිරවීමට උත්සාහ දැරීමත් නිසා අංක හතර හිමියා සතු සාමකාමී නිස්කලංක නිදහස් ක්‍රමානුකූල පිළිවෙත සමඟ ගැටීම් ඇතිවීමයි. අංක අට හිමියා තුළ පවතින දුර්වලතාවක් වන්නේ තම හදවතේ තිබෙන නියම ආදරණීය හැඟීම සහ කැපවීම ප්‍රායෝගිකව ඔප්පු කිරීමට අපොහොසත් වීමයි. මෙය සෑම විටම අංක හතර හිමියාට හුදෙකලා බවක් ජීවිතය තුළ ඇති කිරීමට හේතු වෙයි. මෙවැනි දෙදෙනෙක් මතභේදවලින් තොරව සාර්ථකව ඉදිරියට යාමට නම් මෙවැනි තත්ත්වයන් හොඳින් අවබෝධ කරගෙන කටයුතු කළ යුතුමයි.

නිපුණතා අංක 4ට නිපුණතා අංක 9 අයගේ ගැළපීම

මෙවැනි නිපුණතා අංක දෙකක් හිමි දෙදෙනකුගේ එකතුවීම ද යහපත් ආකාරයෙන් සම්බන්ධතාව කාලයක් පවත්වාගෙන යෑමේ හැකියාව ඇති කරන බව ප්‍රකාශ කළ හැකිය. දෙදෙනාගේම සමාන සිතුවිලි සහ ගති ලක්ෂණයන් පවතී. දෙදෙනාම ඉවසීමෙන් කටයුතු කරන අය වෙයි.

එකිනෙකාගේ හැඟීම් සහ සිතුවිලි හොඳින් තේරුම් ගැනීමේ හැකියාව මේ දෙදෙනාට ඇත. අංක හතර හිමියා තුළ පවතින්නා වූ සාර්ථකත්වය වෙනුවෙන් පිළිවෙළකට ක්‍රමානුකූලව මහන්සි වී කැපවීමෙන් ක්‍රියා කිරීමේ ගුණයත් නිවැරදි මනා මූල්‍ය කළමනාකරණයත් අංක නවය පුද්ගලයා වඩාත් අගය කරයි. එමෙන්ම අංක නවය පුද්ගලයා සතුව පවතින සමාජශීලී මානව හිතවාදී ගුණය ආගම ධර්මය කෙරෙහි නැඹුරු යහපත් ගුණාංගයන්ට මෙන්ම අලුත් අදහස්වලට අංක හතර හිමි පුද්ගලයා වඩාත් ප්‍රිය කරයි. මේ ආකාරයෙන් සාමූහික ගමනක් යාමට මේ දෙදෙනාට හැකියාව ඇති කරයි. නමුත් දෙදෙනා අතර ප්‍රතිවිරුද්ධ අදහස් ඇතිවීම සහ මතභේදයන් ඇතිවීමේ හැකියාව ද යම් යම් අවස්ථාවල ඇති කරයි.

අංක නවය හිමි පුද්ගලයා සතුව පවතින ඉක්මන් වේගවත් සිතුවිලි සහ ක්‍රියාශීලී ගතිය අංක හතර හිමි පුද්ගලයාගේ ක්‍රමානුකූල විධිමත්භාවය සමඟ ගැටීම් ඇති කළ හැකිය. නමුත් දෙදෙනාටම අවබෝධයෙන් යුක්තව කටයුතු කිරීමේ හැකියාව පවතින නිසා සහ සාමකාමී බව අගය කිරීම නිසා ප්‍රශ්න ඇතිවුව ද ඒවා නිරාකරණය කරගෙන ඉදිරියට සම්බන්ධතාව සාර්ථකව පවත්වාගෙන යාමේ හැකියාව ඇතිකරයි.

නිපුණතා අංක 5 අයගේ ගැළපීම් පිළිබඳව ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී, ඒ.ජේ. දීපාලෝක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division