Home » මියගිය සීයා හීනෙන් කී මැණික් නිධානය ගන්න ගිය හය දෙනාම ඇතුළට

මියගිය සීයා හීනෙන් කී මැණික් නිධානය ගන්න ගිය හය දෙනාම ඇතුළට

මිහිර විජේසේකර - මාරවිල සමූහ

by thanushika
February 24, 2024 12:30 am 0 comment

හලාවත පොලිස් කොට්ඨාසයේ ආරච්චිකට්ටුව ‍පොලිසියේ බුද්ධි අංශ නිලධාරීන්ට තොරතුරක් ලැබෙන්නේ කිසියම් පිරිසක් නිධානයක් ගැනීමට කටයුතු කරන බවකි. ආරච්චිකට්ටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර අබේරත්න, හලාවත සහකාර පොලිස් අධිකාරි ධම්මික හපුගොඩ දැනුම්වත්කර උපදෙස් ලබාගන්නේ බුද්ධි අංශ දුන් තොරතුරුවලට අනුවය. වහා ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා බුද්ධි නිලධාරීන්, සිවිල් ඇඳුම් ඇඳගත් පොලිස් නිලධාරින් යොමුකර වැටලීමේ සැලසුම් සකස් කිරීමට කටයුතු කළේය.

ආරච්චිකට්ටුව පොලිස් ස්ථානයේ සිට කිලෝමීටර් 15ක් පමණ දුරින් ‘බුරුතකැලේ’ ප්‍රදේශයේ ඉඩමක මෙම කැණීම් සිදු කරන බවට ලැබූ තොරතුරුවලින් අනාවරණය විය. කැණීම් සිදු කරන්නේ රාත්‍රී කාලයේය. අනතුරුව ලද තොරතුරුවලට අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ලබා දුන් උපදෙස් මත රාත්‍රී හතට පමණ සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් කණ්ඩායමක් සහ බුද්‍ධි අංශ නිලධාරීන් එම ස්ථානය බලා පිටත් විය.

සිද්ධිය වන ඉසව්වට ගොස් කිලෝමීටරයක පමණ දුරක් තබා ජීප් රථය නවතා පා ගමනින් ගොස් ජාවාරම්කරුවන්ට නෙදැනෙන සේ එම ස්ථානයට එකවර කඩා පැනීමට හැකි අයුරින් පොලිස් නිලධරයෝ ස්ථානගත වූහ. එය තරමක ලඳු කැලෑ සහිත තැනකි. ජාවාරම්කරුවෝ බරටම වැඩය.

උදලු, සවල්, වේවැල් කූඩ ඇතුළු කැණීම් උපකරණ රැසකි. කපු මහතෙකු ද ඒ අතරය. පහන් පත්තු කර මල් බුලත් තබා යාතිකා පැවැත්වීමට ඔව්හු සූදානම්ය. පහන්වලින් නිකුත් වන පෙනෙන නොපෙනෙන එළියෙන් කපුවා ඇතුළු හත්දෙනෙක් මෙතැන සිටින බව හඳුනා ගැනීමට වැඩි වේලාවක් ගත නොවීය. කපුවා යාතිකා පවත්වන්නේ ඇසෙන නොඇසෙන ගානටය. ඒ තරමටම ඔවුන් පරෙස්සම්ය. ඒ අතර පොලිස් නිලධාරියෙක් ප්‍රධාන පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර ඇමතුවේය.

“සර් දැන් එන්න. අරුන් වැඩේ පටන්ගන්න යන්නෙ” අවදියෙන් සිටි ඕඅයිසී රවීන්ද්‍ර අදාළ ස්ථානයට පයින් යෑමට කටයුතු කළේය. කැණීම් සිදු කරන තෙක් සියලු දේ සිදුවන ආකාරය පොලිස් නිලධරයෝ හොඳින් නිරීක්ෂණය කළහ. පාන්දර එකහමාර පමණ විය. කපුවාගේ යාතිකාව අතරතුර කූඩ, උදලු, ලනු රැගෙන දෙදෙනෙක් පතල තුළට බැස්සේය.

එතැන යහමින් කැණීම් සිදුවේ. පෙර තිබූ පරෙස්සමද ඔවුන්ට අමතකය. රැහයි නාදය පරදා නිධන් හොරුන්ගේ හඬ ඉස්මතු වේ. වැටලීම සිදු කිරීමට හොඳම වෙලාව බව ඕඅයිසී රවීන්ද්‍ර තීරණය කළේය. අණ ලැබෙන තුරු සිටි පොලිස් නිලධාරීන් ලැබූ අණ සමඟ වහා ක්‍රියාත්මක විය. සැලසුම් කළ පරිදි කඩා පැනීම සිදුවිය. කුමක් සිදු වූවාදැයි නිධන් හොරුන්ට සිතීමටවත් නොහැකි විය. කීප දෙනෙක් දුවන්නට සැරසුණහ. ඒ සමඟම ඕඅයිසී රවීන්ද්‍ර කටහඬ අවදි කළේය.

“කවුරුත් දුවන්න හදන්න එපා දිව්වොත් වැඩ වරදියි” ඔහු කෑගැසුවේය.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ අණට කීකරු වීම හැර කළ යුත්තක් නොමැති විය. අඩි 22ක් පමණ ගැඹුරට කැණීම් සිදුකර ඇති වළෙහි සිටි දෙදෙනා ගොඩට ගැනිණි. ඔවුන් පිය පුතු දෙපළකි. පියාට අවුරුදු පනස් හයකි. පුතාට අවුරුදු තිහකි.

“උඹලා මොකද කරන්නේ”? ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විමසුවේය.

“මේ ඉන්නේ මගේ පුතා එයාගේ මැරුණ සීයා එයාට හීනෙන් කියලා තියෙනවා මෙතන මැණික් නිධානයක් තියෙනවා කියල… අඩි 25ක් පමණ ගැඹුරට හෑරුවොත් මැණික් හම්බ වෙයි කියලත් කිව්වලු . ඒකයි මේ හෑරුවේ.”

පසුදා පහන් වන විට පොලිස් කූඩුවේ සිටි හතම අධිකරණ නියෝගයෙන් බන්ධනාගාරගත කැරිණි.

යාතිකා සිදු කළ කපුවා දිවුලපිටියේය. පිය පුතු දෙපළ බුරුතකැලේ ප්‍රදේශයේය. කැණීම් සිදු කළේ අක්කර පහක පමණින් යුත් ඔවුන්ගේ ඉඩමේය. සෙසු සැකකරුවන් මීමුරේ, මාරවිල, කොටුගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවෝය.

මෙම ස්ථානයේ යාතිකාව සඳහා භාවිත කරන ලද ද්‍රව්‍ය හා කැණීම් උපකරණ රැසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනිණි.

හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලූෂන් සූරියබණ්ඩාරගේ නියෝගයෙන් හලාවත සහකාර පොලිස් අධිකාරි ධම්මික හපුගොඩගේ උපදෙස් පරිදි ආරච්චිකට්ටුව වැඩ බලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රවින්ද්‍ර අබේරත්නගේ මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂක තරංග, සැරයන්වරුන් වන 41387 සෙනෙවිරත්න, 36497 ජයවීර, 41354 අබේසිංහ, පොලිස් කොස්තාපල්වරුන් වන 26904 ජයතිස්ස, 1706 රත්නායක, 62536 නිශ්ශංක, 37679 ප්‍රවීන්, 92773 දිසානායක නිලධාරීන් මෙම වැටලීම සිදු කළහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division