ඔහු විශ්‍රාමික පොලිස් සැරයන්වරයෙකි. විශ්‍රාම ගියද ඔහුට තම රාජකාරිය පෙර මෙන් හොඳට හුරුපුරුදුය. රාජකාරි දිවියෙන් විශ්‍රාම ලබා ජීවිතයේ සැඳෑ කාලය ඔහු ගතකරන්නේ තමන්ටම කියා පටන් ගත් ගොඩනැඟිලි ද්‍රව්‍ය වෙළෙඳ ආයතනයේ කටයුතුවල නියැළෙමිනි. ඒ රාගම, ගනේමුල්ල, පොකුණ හන්දිය, මැද්දගොඩ ප්‍රදේශයේය. මහ දවාලේ එම වෙළෙඳසල ඉදිරිපිටට යතුරුපැදියෙන් පැමිණියේ ගැටව් දෙදෙනෙකි. ඔවුන් සිටියේ සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය වන සේ හෙල්මට් පැලඳගෙනය. කොළ කැබැල්ලක් දික්කරමින් මුදලාලි අසලට පැමිණි පුද්ගලයා එහි ඇති බඩු තොගය ලබා දෙන ලෙස කළ ඉල්ලීමට අවනත වෙමින් බෝතලයේ තිබූ ඇණ ටික තරාදියට දමා කිරන්නට වූයේ තම රාජකාරිය වෙත වැඩි අවධානය යොමු කරමිනි.“ඒයි දීපං ඔය මාලේ. ගලවපං ඉක්මනට. නැත්තං වෙන්නේ උඹට මැරුම් කන්නයි මගෙං”
එකවර පිහියක් ඇද ගත් ඔහු විශ්‍රාමික පොලිස් සැරයන්වරයාට තර්ජනය කරමින් ගෙල පැලඳ සිටි මාලය ඉල්ලා සිටියේ යක්ෂයකු ලෙස කඩා පනිමිනි. ඔහු පොලිස් සේවයේ යෙදී සිටියදී මෙල්ල කර ඇත්තේ නම් මෙවැනි පුද්ගලයින් එකෙක් දෙන්නෙකු නොවේ, බුරුතු පිටිනි. එහෙයින් කෙසේවත් බියගුළු සිතක් ඔහුට නොවීය. ඔහු සැනෙකින් මුගුරක් අතට ගත්තේ එහෙයිනි. ඊළඟ තත්පරයේ දෙදෙනා පොර බදන්නට වූයේ දමිළ චිත්‍රපටයක සටන් ජවනිකාවක් පරිද්දෙනි. එකෙකුට එකෙක් දෙවැනි නොවන ලෙස බිම පෙරළෙමින් ටික වේලාවක් සටන ගෙන ගියත් අවසානයේ කෙසේ හෝ ජයග්‍රහණය කළේ ආගන්තුක පුද්ගලයාය. අනෙකා සිටියේ යතුරුපැදිය පණ ගන්වාගෙන විමසිල්ලෙන් වටපිට බලමින්ය. විශ්‍රාමික පොලිස් සැරයන්වරයාව මෙල්ල කරගත් කොල්ලකරු ඔහු සතු රන් මාලය කඩාගෙන දඩිබිඩි ගා පැන ගත්තේ යතුරුපැදියේ පිටුපසටය. ඊළඟ තත්පරයේ යතුරුපැදිය ඉගිල ගියේ පවනට බඳු වේගයෙනි.
“අනේ සර්, කඩේට ආව දෙන්නෙක් මගේ කරේ තිබුණ පවුම් දහයක් බර රත්තරං මාලෙ කඩාගෙන පැන්නා. පවුම් දෙකක් බර පෙන්ඩන් එකකුත් තිබුණා. බඩු ගන්න එන විදිහටමයි ආවේ. කෝටි දෙකකටත් වැඩිය වටිනවා සර් මගේ බඩු ටික”
ඔහු තම දුක්ගැනවිල්ල එසේ ඉදිරිපත් කළේ රාගම පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරා වෙතය.
වැඩබලන ස්ථානාධිපතිවරයා මේ පිළිබඳ තම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට දැනුම් දී කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ආරම්භ කළේ හැකි ඉක්මනිනි. අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සුභාෂණ ඇතුළු කණ්ඩායම සිද්ධිය වූ ස්ථානයට පිටත් කරයැවීමට ද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කටයුතු කෙළේ අවශ්‍ය තොරතුරු එක්රැස් කර ගැනීමටය.
අවට නිවෙස් තිබුණද කිසිවෙකුත් මෙම සිද්ධිය දැන නොසිටීම ද අවාසියකි. එමෙන්ම පාළු ස්වභාවයක් ඉසිලූ මෙම ප්‍රදේශයේ සීසීටීවී නොතිබීම ද විමර්ශනයට ගෙන දුන්නේ පාඩුවකි. කෙසේ වුවද විමර්ශකයින් උත්සාහය අත්හළේ නැත. කොල්ලය සිදු වූ පොකුණ හන්දියේ සිට සීසීටීවී කැමරා 148ක් පරීක්ෂා කරමින් දත්ත එක්රැස් කළේ එහෙයිනි. පසුගිය අටවැනිදා ගනේමුල්ල, කඩවත ප්‍රදේශවල දවස පුරා සිදුකළ මෙහෙයුමකින් පසු එක් සැකකරුවකු කඩවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ඔහු යතුරුපැදියේ පිටුපස ගිය පුද්ගලයාය. ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ප්‍රධාන සැකකරු වන පැදිකරු පිළිබඳව අනාවරණය කරගත් අතර ඔහු අත්අඩංගුවට පත්වන්නේ ත්‍රීරෝද රථයක් මංකොල්ලකෑමේ නඩුවකට කඩවත පොලිසියට භාර වීමට පැමිණි අවස්ථාවේදීය.
එදින ඔවුන් මෙම කොල්ලය සඳහා පැමිණ තිබුණේ ස්කූටි වර්ගයේ යතුරුපැදියකිනි. එය ගනේමුල්ලේ ඔවුන්ගේ මිතුරෙකුට අයත් එකකි. නිවෙසක් කුලියට ගැනීමට අවශ්‍යව ඇති බැවින් එය බැලීමට යාම සඳහා යැයි පවසා ඔවුන් මිතුරා රවටා කොල්ලය සඳහා යතුරුපැදි ය ඉල්ලාගෙන තිබිණි.
කල්ලියේ ප්‍රධානියා පොලිස් අත්අඩංගුවට පත්වන්නේ හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 200ක් ද සමඟිනි. කොල්ලයට පැමිණි යතුරුපැදියද පොලිසිය භාරයට ගැනිණි. ඔවුන් සන්තකයේ තිබූ රන් භාණ්ඩ උකස් කළ රිසිට්පත් ද පොලිසිය භාරයට ගත්තේ වැඩි අපහසුවකින් තොරවය.
කොල්ලය සිදුකළ දිනම රන් පෙන්ඩනය රාජ්‍ය බැංකුවකට උකස් කර එක්ලක්ෂ තිස්හය දාහක මුදලක් ලබා ගැනීමට ඔවුන් කටයුතු කර තිබූ අතර රන් මාලය පෞද්ගලික උකස් මධ්‍යස්ථානයකට උකස් කර රුපියල් එකොළොස් ලක්ෂ විසි දෙදාහක් ලබාගෙන තිබුණේ අතට ආ ‘වාසනාව’ උරගා බලමිනි.
මේ මුදලින් සිදු කිරීමට ඔවුන්ට බොහෝ කටයුතු තිබිණි. එක් සැකකරුවෙකුගේ නැගණියගේ මල්වර උත්සවය උත්සවශ්‍රීයෙන් සැමරීමට රුපියල් ලක්ෂ හතක මුදලක් වැය කර තිබුණේ කිසිම ලෝබකමකින් තොරවය. රුපියල් ලක්ෂ පහකට CT 100 වර්ගයේ යතුරුපැදියක් මිලදී ගෙන තිබුණි.
ඉතිරි මුදල් මත්කුඩු පානයට වැය කරමින් විනෝද වූයේ ඊළඟ දිනයේ තවත් කොල්ලයක් සිදුකර මුදල් උපයාගත හැකි බැවිනි. එහෙත් අවසානයේ සිදු වූයේ කොල්ලයට පැමිණි යතුරුපැදිය මෙන්ම මිලදී ගත් යතුරුපැදියත් පොලිසිය භාරයට පත් කිරීමටය. එමෙන්ම කොල්ලයට පැමිණෙන විට පැලඳ සිටි හිස් වැසුම් දෙක, කබායන් දෙක මෙන්ම රන් මාලය හා පෙන්ඩනය ද මේ වන විට ඇත්තේ පොලිසිය භාරයේය.
මොවුන් සමඟ මෙම කල්ලියේ තවත් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් අතර අවුරුදු විසි දෙකත් විසිනවයත් අතර වයස්වල පසුවන මෙම සැකකරුවන් ගනේමුල්ල, කඩවත ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බැසිල් ක්‍රිෂාන්ත ජයවර්ධන, සහකාර පොලිස් අධිකාරී අර්ජුන කොඩිකාරගේ උපදෙස් මත රාගම පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කසුන් සුභාෂණ, උප පොලිස් පරීක්ෂක අබේරත්න, සැරයන් (27096) උපනන්ද, කොස්තාපල්වරුන් වන (78997) පෙරේරා, (79574) සඳුන්, (90446) අනුරුද්ධ, (98003) රණතුංග, (97984) සේනාධිර, (102059) ඉෂාර සහ (103755) රිදීවිට යන නිලධාරීහු මෙම වැටලීමට සහභාගි වූහ.
• ඡායාරූප – රාගම සමූහ කේ.එස්. හැන්නදී
විනීතා මානෙල් ගමගේ - හල්තොට සමූහ