Home » පුත්තලමේ කාන්තා ඝාතනයක සුලමුල අට වසරකට පසු හෙළිවූ හැටි

පුත්තලමේ කාන්තා ඝාතනයක සුලමුල අට වසරකට පසු හෙළිවූ හැටි

by thanushika
February 24, 2024 12:30 am 0 comment

යුක්තිය සමඟ සක්‍රිය වී සිටින පොලිස් නිලධරයෝ අපරාධකාරයන් පසුපස දිවා රෑ නොබලා හඹා යද්දී යටගිය අපරාධ කිහිපයක සැකකරුවන් සහ කට්ටි පනිමින් සිටින වැරැදිකරුවන් පොලිසියට හසුවූ අවස්ථා පසුගිය දිනවල බොහෝ සේ වාර්තා විය. එසේම යුක්තිය මෙහෙයුමට සමගාමීව පොලිසිය සිදුකරන සුවිශේෂී මෙහෙයුම්වලට බියේ මේ වන විට බොහෝ අපරාධකාරයන් නිහඬය. නැතිනම් රටින් පලා ගොසිනි.

ඉකුත් දා පුත්තලම ප්‍රදේශයෙන්ද යට යමින් තිබූ අපරාධයක සුලමුල අනාවරණය කරගැනීමට පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධරයන්ට හැකි වන්නේ මෙවැනි වටපිටාවකදීය.

මීට වසර 8කට පමණ පෙර එනම් 2016 වසරේ සැප්තැම්බර් 03 වැනිදා කල්පිටිය, ශ්වේතපොළ තරුණියක ඝාතනයේ සැකකරු පුත්තලම දිස්ත්‍රික්කයෙන්ද පලා ගොස් වසර 8ක් පුරා සැඟවී සිටියදී අත්අඩංගුවට ගැනීමට ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරිලාල්ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට හැකි වූයේය. ඒ සැකකාර 37 හැවිරිදි නුවන් සම්පත් නමැත්තා පුත්තලමෙන් පලාවිත් වෙනත් කතක් සමඟ පවුල් කමින් බුලත්සිංහල ප්‍රදේශයේ ජීවත් වෙමින් සිටියදීය.

එලෙස අබිරහසක් බවට පත්වෙමින් තිබූ මේ මිනිස් ඝාතනය විමර්ශනවලට අදාළ ලිපි ගොනුව නැවත අධ්‍යයනය කරමින් එහි සුලමුල දින හයක් වැනි කෙටි කාලයකදී අනාවරණය කර ගැනීමට පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරිලාල් ඇතුළු කණ්ඩායමට හැකිවූ පුළුල් විමර්ශනය මෙලෙසිනි.

පුත්තලමේ දුප්පත් පවුලක උපන් නුවන් පාසල් ගියේ නැත. ඔහු කුඩා කල සිටම පුත්තලම ප්‍රදේශයේ පොල් වතුවල පොල් සහ අතු ඇහිඳීම රැකියාව ලෙස කළේය. නුවන් එවකට 20 හැවිරිදිය. ඔහුට පුත්තලමේම තරුණියක වන ගයානි මුණගැසිණි. වසර දෙකක් පමණ එම හාදකම පවතිද්දී නුවන් තවත් බාල වයස්කාර දැරියක සමඟ පෙම් හුටපටයකට මුල පිරුවේය. ඇය නිරෝෂාය. ඇඟලුම් කර්මාන්ත ශාලාවක රැකියාව කළ නිරෝෂා පුත්තලමේ, තබ්බෝව ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. ගයානිගේ පෙම් හුටපටය නතර කළ නුවන් නිරෝෂා සමඟ පෙමින් වෙළෙමින් සිටියදී නුවන් අතින් නිරෝෂා අතවරයකට ලක්වූයේ නොසිතූ මොහොතකය. ඒ වන විට නිරෝෂා බාල වයස්කාරියක වූ හෙයින් දෙදෙනා ආදරයෙන් සිටියද විවාහ වීමට හැකියාවක් නොවීය. නිරෝෂාගේ පියාද වෙනත් විවාහයක් කරගෙන සිටි හෙයින් ඇය ජිවත් වූයේ මව සමඟිනි.

නිරෝෂා, නුවන් අතින් අතවරයට ලක්වීමේ සිද්ධිය කරුවලගස්වැව පොලිස් පොතේ සටහන් විය. පැමිණිල්ල අනුව නුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය ඔහු පසුපස පන්නන්නට විය. පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ නිරෝෂාගේ නඩුව ගොනු විය. අනතුරුව මහාධිකරණයට මාරුවී නඩු විභාගයද සිදු වෙද්දී නිරෝෂා, නුවන්ට දාව දරු පැටියෙක්ද බිහි කිරීමට සූදානම් වූවාය. නඩු විභාගය පැවැත්වෙන අතර නිරෝෂාට විවාහ වීමේ නිසි වයස එළැඹිණි. ඒ අනුව නිරෝෂා, නුවන් සමඟ විවාහ වීමට අධිකරණය ඉදිරියේ කැමැත්ත ප්‍රකාශ කළාය. එහෙත් නුවන් අධිකරණය මඟහරිමින් සිටියේය.

නඩු කටයුත්ත එලෙස පවතිද්දී නුවන් මදුරන්කුලියේ පොල් වතු හිමියකුට අයත් කල්පිටිය පාරේ ශ්වේතපොළ පොල් වත්තක රැකියාවට ගියේය. එම වත්තේ කාන්තාවන් කිහිප දෙනෙක්ද සේවය කළාය. ඒ අතරේ සිටි අවිවාහක කතක වූ කමනි සමඟ නුවන් පෙම් පලහිලව්වක් ඇරැඹීය. ඒ වන විට ද නිරෝෂා දූෂණය කිරීමේ නඩුව පැවැතිණි. කාලය ගෙවෙද්දී නිරෝෂා දරුවකු ප්‍රසූත කළාය. එහෙත් නුවන් කමනි සබඳතාව දිගටම කරගෙන ගියේය.

නිරෝෂා සිය කිරිකැටියා සමඟ තබ්බෝවේ ජීවත්වෙද්දී නුවන් තබ්බෝවටද යමින්-එමින් කල්පිටියේ ශ්වේතපොළ වාසය කරන කමනී සමඟ අනියම් ඇසුර පවත්වාගෙන ගියේ ඇය විවාහ කරගන්නා බවට කමනිගේ වැඩිහිටියන්ටද බොරු පොරොන්දු දෙමිනි.

ඒ අතර දෙදෙනා විවාහ වූ බව කමනිගේ වැඩිහිටියන්ට පෙන්වීම සඳහා ව්‍යාජ විවාහ සහතිකයක්ද නිර්මාණය කරගත් නුවන් එය කමනිගේ වැඩිහිටියන්ටද පෙන්වීය. ඒ අනුව නුවන් කමනිගේ නිවෙසටද යාමට-ඒමට මඟ පාදා ගත්තේය.

කමනිගේ ජීවිත කතාවද ඛේදනීයය. කමනිගේ දෙමාපියන් කුඩා කලදී ඇය හදාවඩා ගැනීමට දුන් නිවස ඇය හැදුණු වැඩුණු දැනට ජීවත්වන නිවසයි. ඒ අනුව ඇගේ නියම මවද පුත්තලමේ වෙනත් ප්‍රදේශයක ජීවත් වූවාය. ඇගේ පියා ගැන තොරතුරක් නොවීය. කමනිද මේ සියල්ල දැන සිටියාය.

මේ අතර නුවන්ගේ බිරිය වන නිරෝෂා දෙවැනි දරු ප්‍රසූතියටද ආසන්න වෙමින් සිටියාය. කමනිගෙන් නිතර මුදල් ඉල්ලීම මත නුවන් සහ කමනී අතර අඬදබර ඇතිවන්නට විය. එය නිතරම පාහේ සිදු විය.

දිනය 2016 වසරේ සැප්තැම්බර් 03 වැනිදායි. එදින රාත්‍රි නුවන්, කමනි ජීවත්වූ නිවෙසට පැමිණියේය. එම නිවසේ වාසය කරන්නේ කමනි සහ ඇය හදාවඩා ගත් වයෝවෘද්ධ කත පමණි.

රාත්‍රියේ නිවසට පැමිණි නුවන් කමනි හා බහින්බස් විය.

“මට සල්ලි කීයක් හරි දියන්කෝ…“ නුවන් කීවේය.

“කොහේ තියෙන සල්ලිද…? හැමදාම ඇවිල්ලා සල්ලි ඉල්ලනවා… මගේ ළඟ ඇති සල්ලියක් නෑ…“ යැයි කමනිද එකට එක කියන්නට වූවාය.

එලෙස බහින්බස් වීම උත්සන්න වෙද්දී එක්වර පොල්ලක් ගත් නුවන් කමනිට පහර දෙන්නට වූයේ හිත්පිත් නැත්තකු විලසිනි. ඔහු පහර දුන්නේ කමනිට පමණක් නොව වයෝවෘද්ධ කතටද පහර එල්ල විය.

එම පහර දීමත් සමඟ බයබිරාන්ත වූ වැඩිහිටි කත නිවසින් පැන ගොස් ඝණ අඳුරේ කැලෑවක සැඟවූණාය. පොලු පහර කෑ කමනි එම කපා හෙළු කෙසෙල් කඳක් මෙන් ඇද වැටුණාය. අනතුරුව මේ නරුමයා කමනි මියයන තෙක්ම පහර දුන්නේය.

මියගිය කමනිගේ සිරුරේ ඇඳුම්ද කීතූ කීතු සේ ඉරා දැමූ එම නරුමයා නිරුවත් වූ සිරුරට දසවධ දී එම ස්ථානයෙන් පලා ගියේය.

පසුදින කමනිගේ නිවසට කුඩා දරුවෙක් පැමිණියේ කිසියම් අවශ්‍යතාවකටය. එම දරුවා නිවැසියන්ට කතා කළද කිසිම හාහූවක් නැත. නිවසට එබුණු දරුවා දුටු දෙයින් තිගැස්සී හඬා වැටෙමින් දිව ගියේය. ඔහු අවට අය දැනුම්වත් කළේය.

ඒ සමඟ එම මනුෂ්‍ය ඝාතනය අවට වැසියන්ට සැල විය. පසුදා පෙරවරුවේ එසැණින් ඒ පිළිබඳ පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119 ඔස්සේ පුත්තලම පොලිසිය දැනුම්වත් කිරීමටද ඒ වන විට එම ස්ථානයට රොක් වී සිටි අවට වැසියන් කටයුතු කළේය. එවකට එම ප්‍රදේශය අයත් වනුයේ පුත්තලම පොලිස් වසමටය.

පුත්තලම පොලිසිය පුළුල් විමර්ශනයක් ඇරැඹුවේ අපරාධ ස්ථාන පරීක්ෂණාගාර (සොකෝ) නිලධාරින්ද කැඳවමිනි.

රාත්‍රි නිවසින් පැන ගිය ඒ වන විට වයස අවුරුදු 70 පසුවූ කතද කැලෑවක සැඟවී සිට පැමිණියාය.

“අනේ සර් මේ දරුවාට හොඳටම ගහලා මරලා දැම්මෙ අර යකා… එකාගෙ නම නුවන්… මේ කෙල්ල බැන්දා කියල තමයි කිය කියා හිටියේ. එකා මටත් හොඳටම ගැහුවා. මං කැලේ පැනලා බේරුණේ. නැත්නම් ඒකා මාවත් මරලා…“

වැඩිහිටි කතගේ පාපෝච්චාරණය සහ ඇසින් දුටු සාක්ෂි ඔස්සේ පුත්තලම පොලිසිය මූලික විමර්ශන සිදු කළේය.

එහෙත් සැකකාර නුවන් එම ස්ථානයෙන් පලා ගිය පසු කිසිම තොරතුරක් නොවීය. විමර්ශන ද ඉබි ගමනට වැටිණි.

මේ අතර නුවන් අතින් ස්ත්‍රී දූෂණයට ලක්වූ නිරෝෂාගේ නඩුවද ක්‍රියාත්මක වෙමින් තිබිණි. එකී නඩුවට කැඳවීම සඳහා සිතාසියක් නිකුත් කෙරිණි. ඒ නඩුව අවසන් කරගැනීමට අධිකරණයට වාර්තා කරන ලෙස දන්වමිනි. එම සිතාසිය එවා තිබුණේ නිරෝෂා වෙතය. එහෙත් ඒ වන විට නිරෝෂාද තබ්බෝව ප්‍රදේශය අතහැර ගොසිනි. නුවන් ද අතුරුදන්ය.

සිතාසි ක්‍රියාත්මක නොවීම නිසා එම ස්ත්‍රී දූෂණ නඩුවට වහා සිතාසි ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් දෙමින් එය ක්‍රියාත්මක කර වාර්තා කරන ලෙස පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අධිකරණය නියෝග කෙරිණි. ඒ මීට වසරකට පමණ පෙරදීය. ඒ අනුව පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරිලාල්ගේ මෙහෙයවීමෙන් එම අංශයේම වෙනත් කණ්ඩායමක් පුළුල් විමර්ශනයක් ආරම්භ කළේය. එහිදී එම කණ්ඩායම අනාවරණය කරගන්නේ මෙකී ස්ත්‍රී දූෂකයා සහ ශ්වේතපොළ කමනිගේ ඝාතකයාත් එකම පුද්ගලයකු බවය.

දින කීපයකට පසු ස්ත්‍රී දූෂණ නඩුවේ සිතාසියට නිරෝෂා පමණක් අධිකරණයට පැමිණියාය. ඇය සිය සැමියා ලෙස නුවන් පිළිගන්නා බව අධිකරණය හමුවේ පැවැසීමත් සමඟ එම ස්ත්‍රී දූෂණ නඩුව එතැනින් අවසන් විය.

ඒ වන විට නිරෝෂා, නුවන් විසින් කාන්තාවක ඝාතනය කර ඇති බවද දැන සිටියාය. කමනි ඝාතනයෙන් පසු නුවන් නිරෝෂාද කැටුව පුත්තලමෙන් පලා ගොස් ජාඇළ, කටුනායක, මල්වතුහිරිපිටිය වැනි පෙදෙස්වල ජීවත්වෙමින් සිටියේය.

වසර අටකට පෙර සිදුවූ ඝාතනය ගැන පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේම වෙනත් කණ්ඩායමක් පරීක්ෂණ සිදුකළද සැකකරුවා නිදැල්ලේ සිටියේය.

ඉකුත් ජනවාරි 20 වැනිදා එම ඝාතනයට අදාළ තොරතුරු සහිත ලිපි ගොනුව පිළිබඳව ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරිලාල්ගේ අවධානයට ලක්විය. ඔහුගේ මෙහෙයවීම මත කණ්ඩායමක් එම විමර්ශනයට යොමු කළේය. දින හයක් ගත විය. එම කණ්ඩායම නුවන් ජීවත්වන ප්‍රදේශය අනාවරණය කරගත්තේ විමර්ශන සාර්ථක කරගනිමිනි. ඒ අනුව නුවන් පුත්තලමෙන් පලාවිත් බුලත්සිංහල ප්‍රදේශයේ සිටින බව හෙළි විය. නුවන් කොටුකර ගැනීමට දුරකතන විශ්ලේෂණ වාර්තා ඔස්සේ විමර්ශන සිදු කෙරිණි. එහෙත් සැකකාර නුවන් විසින් එම දුරකතන අංක විටෙන් විට වෙනස් කිරීම විමර්ශනවලට බාධාවක් විය.

කෙසේ හෝ විමර්ශන කණ්ඩායම් නුවන්ගේ කට්ටි පැනීමට ‘තිත‘ තබමින් අනාවරණය කරගන්නේ ඔහු නිරෝෂා බිහිකළ දරු දෙදෙනාද සමඟ වෙනත් කාන්තාවක සමඟ බුලත්සිංහල ප්‍රදේශයේ ඌරු ගොවිපොළක සේවය කරමින් ජීවත් වන බවය.

නුවන්, දරුවන් සමඟ එලෙස ජීවත්වෙද්දී නිරෝෂාත් වෙනත් විවාහයක් කරගෙන ජීවත්වෙමින් සිටි බවද පොලිස් විමර්ශන කණ්ඩායම් අනාවරණය කරගත්තේය.

සියල්ල එලෙස අනාවරණය කරගත් පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය බුලත්සිංහල ප්‍රදේශයේ නුවන් ජීවත්වූ නිවස සොයා ගොස් ඔහු අත්අඩංගුවට ගත්තේ වසර අටක පමණ කාලයක් ඔහු කළ ‘සෙල්ලම‘ට අවසානය සනිටුහන් කරමිනි. නුවන් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කෙරිණි.

පුත්තලම දිසා භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාගේ උපදෙස් මත පුත්තලම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.එස්.කේ. රූපසිංහගේ ඍජු අධීක්ෂණයෙන් පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ආර්.ඒ. චන්ද්‍රසිරිලාල්ගේ මෙහෙයවීමෙන් කොස්තාපල්වරුන් වන 67611 නිශාන්ත, 83736 ජයසුන්දර, 87153 සමීර සහ කොස්තාපල් රියැදුරු 80271 බාලසූරිය නිලධාරිහු විමර්ශන සිදු කළහ.

අමිල මලවිසූරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division