Home » යුක්තිය මෙහෙයුම බලගන්වන හමුදා ශක්තිය

යුක්තිය මෙහෙයුම බලගන්වන හමුදා ශක්තිය

by thanushika
February 24, 2024 12:30 am 0 comment

මෙරට තිස් වසරක යුද සමයේදී යුද හමුදාව කළ සේවාව අතිවිශිෂ්ටය. යුද සමයෙන් අනතුරුව ද යුද හමුදාවට පැවරී ඇති සේවාව ද අතිමහත්ය. ජාතික ආරක්ෂාව ඒ අතින් ප්‍රධානයි. ත්‍රස්තවාදය මර්දනය මෙන්ම මෙරට පාතාලය මත්ද්‍රව්‍ය මර්දනයට යුද හමුදාව ලබා දුන් මෙන්ම දැනටමත් ලබා දෙන සහයෝගය සුවිශේෂීය.

යුද හමුදාවේ සන්නද්ධ බුද්ධි බළකාය යුද සමයේදී සිදු කෙළේ අතිවිශාල සේවාවකි. ත්‍රස්තවාදීන්ට බරපතළ හානි සිදුවූයේ බුද්ධි බළකාය සිදුකරන ලද බුද්ධි මෙහෙයුම්වල ප්‍රතිඵලයක් වශයෙනි. වර්තමානයේ ඒ බුද්ධි සේවාව පාතාලය, මත්ද්‍රව්‍ය අපරාධ සහ වෙනත් ජාවාරම් මර්දනය සඳහා අවශ්‍ය තොරතුරු සම්පාදනයෙන් පොලිසිය සහ සෙසු ආරක්ෂක අංශවලට ලබා දෙන සේවය ද සුළුපටු නොවේ.

යුක්තිය මෙහෙයුම ආරම්භ වීමෙන් අනතුරුව පොලිසිය දිවා රෑ නොමැතිව සිදු කරන ලද සෝදිසි මෙහෙයුම්වලදී යුද හමුදාවෙන් ලැබුණු සහයෝගය සුළුපටු නැත. එසේම සන්නද්ධ බුද්ධි බළකායේ නිලධරයන්ගෙන් ලැබුණු සහයෝගයෙන් යුක්තිය මෙහෙයුම පෝෂණය වූවා යැයි කීවොත් එය වරදක් නොවේ.

යුද හමුදා බුද්ධි අංශ පාතාලය, අපරාධ ජාවාරම් සහ දූෂණ ක්‍රියා මර්දනය සඳහා සුවිශේෂී කාර්යභාරයක නිරත වන්නේ යුද හමුදාවේ ලුතිනන් ජනරාල් විකුම් ලියනගේගේ මූලික මඟපෙන්වීම මත සහ ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ගේ උපදෙස් මතය.

යුද හමුදා බුද්ධි අංශ 2023 වසරේදී පාතාලය, අපරාධ සහ මත්ද්‍රව්‍ය මර්දනය වෙනුවෙන් කළ සේවාව ද ඉතාම වැදගත්ය. බුද්ධි අංශ එලෙස පොලිසියට සහ සෙසු ආරක්ෂක අංශවලට ලබා දුන් තොරතුරුවලට අනුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සැලකිය යුතු පිරිසක් අත්අඩංගුවට ගැනීමට හැකි විය. එම සංඛ්‍යාව 482කි.

යුද හමුදා බුද්ධි අංශ එලෙස ලබා දුන් තොරතුරුවලට අනුව අදාළ වැටලීම්වලදී පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ සෙසු ආරක්ෂක අංශ විසින් අල්ලා ගන්නා ලද කේරළ ගංජා ප්‍රමාණය කිලෝ 320කි. ගංජා කිලෝ 93කි. අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 03කි.

යුද හමුදා බුද්ධි අංශ ලබා දුන් තොරතුරුවලට අනුව පොලිසිය හෙරොයින්, අයිස්, කූෂ්, මාෂ් මත්ද්‍රව්‍ය තවත් සැලකිය යුතු ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගෙන තිබිණි.

යුද හමුදා බුද්ධි තොරතුරුවලට අනුව කංසා හේන් ගණනාවක් ද වටලා විනාශ කරන ලද කංසා පැළ ප්‍රමාණය ලක්ෂ 5කට ආසන්නය. නීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද සිගරැට් 54,000ක් පමණ ද යුද හමුදා බුද්ධි තොරතුරුවලට අනුව අත්අඩංගුවට ගෙන තිබුණේ 2023 වසරේදීය.

නීති විරෝධී මත්පැන් වැටලීම සඳහා ද හමුදා බුද්ධි අංශ පොලිසිය සහ සෙසු ආරක්ෂක අංශවලට ලබා දුන් තොරතුරු ඉතා සත්‍ය එමෙන්ම විශ්වාසදායක එමෙන්ම ප්‍රතිඵල සහිත විය. දේශීය සහ විදේශීය මත්පැන් ලීටර 4000ක් පමණ එසේ අත්අඩංගුවට ගෙන තිබිණි. පුද්ගලයන් 15 දෙනෙකු පමණ ද මේ ජාවාරම් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනිණි.

එමෙන්ම යුද හමුදා බුද්ධි අංශ 2024 වසරේදී සිදුකරන ලද බුද්ධි මෙහෙයුම්වලදී අනාවරණය කරගත් තොරතුරුවලට අනුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 04ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. එය මෑත කාලයේ ගොඩබිමදී අත්අඩංගුවට ගැනුණු ලොකුම අයිස් මත්ද්‍රව්‍ය තොගය බවට ද තොරතුරු වාර්තා විය.

කේරළ ගංජා කිලෝ 103ක්, දේශීය ගංජා කිලෝ 190ක්, බීඩි කොළ කිලෝ 2170ක්, හොර සිගරැට් 39380ක්, මත්පෙති 4380ක්, කංසා පැළ 84,698ක් සහ හොර මත්පැන් තොගයක් යුද හමුදා බුද්ධි අංශ, පොලිසිය සහ ආරක්ෂක අංශවලට ලබා දුන් තොරතුරුවලට අනුව අත්අඩංගුවට ගෙන තිබුණේ ද 2024 වසරේදීය. මෑතකදී යාල වනෝද්‍යානයට අයත් ප්‍රදේශයක මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය කංසා හේන් ද යුද හමුදා බුද්ධි අංශ මඟින් ලද තොරතුරු අනුව යුද හමුදා භට කණ්ඩායම් විසින්ම වටලා තිබීම ද සුවිශේෂීය.

කලක් ජාතික ආරක්ෂාව වෙනුවෙන්ම ඇප කැපවුණු යුද හමුදා බුද්ධි අංශ මේ වන විට මෙරට පාතාලය, අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම් වැළැක්වීම සඳහා බුද්ධි තොරතුරු පොලිසිය සහ සෙසු ආරක්ෂක අංශවලට ලබා දෙමින් සිදුකරන සේවාව ද අගය කළ යුත්තකි. යුක්තිය මෙහෙයුමේදී ද යුද හමුදාවේ දායකත්වය ඉතා ඉහළින්ම කැපී පෙනීමට එයත් එක් සුවිශේෂි හේතුවකි.

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division