Home » කිසිදු පක්ෂයක් සමඟ අපි සාකච්ඡා කළෙත් නෑ ආරාධනයක් ලැබුණෙත් නෑ

කිසිදු පක්ෂයක් සමඟ අපි සාකච්ඡා කළෙත් නෑ ආරාධනයක් ලැබුණෙත් නෑ

පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිතීඥ අනුර ප්‍රියදර්ශන යාපා

by Mahesh Lakehouse
February 17, 2024 12:33 am 0 comment

නැවත පොදු ජන පෙරමුණට එකතු වෙනවද?

අපි ප්‍රතිපත්තිමය වශයෙන් වෙන් වෙලා ඉන්නේ. එහෙම සාකච්ඡාවක් ඇති වෙලා නැහැ. අපේ දේශපාලන කඳවුරක් ලෙස අපි කල්පනා කරනවා කොහොමද අලුත් දේශපාලන අදහසක් ගේන්නෙ කියලා. ඒ සඳහා මන්ත්‍රීවරු ගණනාවක් සහ පක්ෂවල කිහිප දෙනෙක් එකතු වෙලා ඉන්නවා. දැනට එසේ එකතු වීමක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් හම්බ වුණෙත් නැහැ. දැනට අපිට එහෙම කිසිදු තීන්දුවක් නැහැ.

එසේ නම් වෙනත් දේශපාලන පක්ෂයක් සමඟ ඔබේ කඳවුර සන්ධානගත වීමට සූදානමක් තියෙනවාද?

එහෙම කිසිදු පක්ෂයක් සමඟ අපි සාකච්ඡා කළේ නැහැ. අපි කිසිදු පක්ෂයක් සමඟ සාකච්ඡා කරන්න අවශ්‍යයි කියලා කිව්වෙත් නැහැ. ඒ අය ආරාධනා කළෙත් නැහැ. දැනට ස්වාධීනව මේ විදිහට අපි කටයුතු කරනවා.

ආණ්ඩුවෙන් කැඩිලා ගිය අය නැවත නැවත කැඩිලා යනවා. එවැනි අයට ඉදිරියට දේශපාලන ගමනක් නැහැ නේද?

ඇත්තටම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ නික්ම යාමත් සමඟ ලොකු දේශපාලන ව්‍යාකූලත්වයක් පක්ෂය තුළ ඇති වුණා. ඒ ව්‍යාකූලත්වය අනුව විවිධ මතධාරීන්, විවිධ කොටස් මෙහි නිර්මාණය වුණා. ඒ කොටස් එකතු කරගන්න අදහසක් පොදුජන පෙරමුණ තුළ ඒ කාලයේ ඇති වුණේ නැහැ.

ඔබේ දේශපාලන බල කඳවුරේ ඉදිරි දිශානතිය කෙබඳුද?

ඉදිරියේදී ලංකාවේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවිය යුතුයි. ජනතාවගේ පැත්තෙන් බැලුවාම ජනතාව ජීවත් වෙන්නේ හුඟක් අමාරුවෙන්. රට කඩා වැටිලා. අපි ස්වාධීනව ඉන්නේ. ඒත් අපි ජනතාවගේ පැත්තෙ ඉන්නවා. අපි රට ගොඩනැඟිය යුතු ක්‍රියාවලිය සම්බන්ධයෙන් පමණයි, මේ වෙලාවේ අවධානය යොමු කරන්නේ. ඒ අනුව තමයි අපේ දේශපාලන දිශානතිය තීන්දු වෙන්නේ. අපි ඇත්තටම ජනතාව වෙනුවෙන් යමක් කිරීමටයි සූදානම් වෙන්නේ. විශාල මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් අපිත් සමඟ ඉන්නවා. තවත් මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කරනවා. ඒ වගේම අපේ දේශපාලන ක්‍රියාවලිය සම්බන්ධයෙන් අපි සූදානම් වෙමින් ඉන්නවා.


මතවාද නැත්තේ මොන පක්ෂයේද?
– සජබ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර

මේ වන විට පක්ෂ අභ්‍යන්තරයේ විශාල ගැටුම් ඇති වෙලා තියෙනවා නේද?

කුමන පක්ෂයේද මතවාද නැත්තේ. ඒවා විශාල ගැටුමක් නොවෙයි. දේශපාලන ක්ෂේත්‍රයේ පක්ෂ ඇතුළේ මතවාදීමය ගැටුම් තියෙනවා. මේ වන විට ලොකුම ගැටලුව තියෙන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ. අද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ විශාල ප්‍රමාණයක් විපක්ෂයේ වාඩි වෙලා ඉන්නවා.

එජාප විශාල ප්‍රමාණයක් අද සජබ සමඟ ඉන්නවා. විපක්ෂයේ විශාල ප්‍රමාණයක් සජබ සමඟ ඉන්නවා. සජබ තමයි අද ප්‍රබලම දේශපාලන පක්ෂය. මේ පක්ෂය කඩා වට්ටන්න බොහෝ දෙනෙක් උත්සාහ කරනවා. සජිත් ප්‍රේමදාස පක්ෂ නායකතුමා ශක්තිමත් නායකයෙක්. අපේ පක්ෂය ශක්තිමත්.

දේශපාලන පක්ෂ සමඟ සන්ධානගත වීමට සිදු කළ සාකච්ඡා සාර්ථක වුණේ නැද්ද?

සාකච්ඡා සාර්ථකයි. අනිවාර්යෙන්ම රටේ 1977න් පසුව හැමදාමත් බිහිවුණේ පක්ෂ කිහිපයක් එකතු වෙලා, සාන්ධානගත වෙලා පිහිටුවන ලද ආණ්ඩු තමයි. අද මේ රටේ පක්ෂ විශාල ප්‍රමාණයක් සජබ සමඟ සන්ධානගත වීමට කටයුතු කරනවා. ඉදිරියේදී සජබ පක්ෂය වටා විශාලතම සන්ධානය බිහිවෙයි.

එහි සිංහල, බෞද්ධ, කතෝලික, මුස්ලිම් හා දෙමළ සියලුදෙනා ඒකරාශී වෙයි. විවිධ ජාතීන් විවිධ ආගම් විවිධ ක්ෂේත්‍රවලට අයත් පිරිස එකතු වෙයි. නමුත් දූෂිත දේශපාලනඥයන් හෝ වංචනිකයන් ආගමික අන්තවාදීන් අපි බඳවා ගන්නේ නැහැ.

සන්ධානගත වෙයි කිව්වට කිසිදු පක්ෂයක් තවම සන්ධානගත වෙලා නැහැනේ?

එය අපි ඉදිරියේදී දැනුම් දෙනවා. මේ වන විට විශාල ප්‍රමාණයක් සජබ වටා ඒකරාශී වීමට කැමැත්ත පළ කරලා තියෙනවා. අපේ දේශපාලන න්‍යාය සම්බන්ධයෙන් පැහැදුණ විශාල පිරිසක් අප වටා මේ වන විටත් ඒකරාශි වීමට සුදානම් එය ඉදිරි කාලයේදී සියලු දෙනාට බලාගන්න පුළුවන්.

සජබ පළමු ඉල්ලන්නේ මහ මැතිවරණයක්ද?

අපිට මහ මැතිවරණයක් හෝ ජනාධිපති මැතිවරණයක් කිසිදු ප්‍රශ්නයක් නැහැ. අපි ජයග්‍රහණය කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පැවැත්විය යුත්තේ ජනාධිපති මැතිවරණය. වත්මන් ආණ්ඩුව පළාත් සභා මැතිවරණය කල් දැම්මා.

මේ ආණ්ඩුවට තියෙන්නේ මැතිවරණ භීතිකාවක්. මැතිවරණවලට අපි සූදානම්. මේ ආණ්ඩුව ජනතාවගේ ප්‍රජාත­ාන්ත්‍රික අයිතිය උදුරා ගෙන තියෙනවා. අපි කැමැතියි මැතිවරණයකින් අපේ ජන බලය පෙන්වන්න. අපි සූදානම් මැතිවරණයකට.


ගහන මරණ එළවන ලැයිස්තු මිසක රට හදන ලැයිස්තු ජවිපෙට නැහැ
– පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක

ජවිපෙ කියනවා පොදු ජන පෙරමුණ නැවත බලයට එන්නේ නැහැ කියලා?

ජවිපෙට පුරෝකථන කරන්න ඥාන සම්භාරයක් තියෙනවාද කියන්න මම දන්නේ නැහැ. අපි පාර්ලිමේන්තුවේ පළාත් සභාවේ බලය ලබාගත් පක්ෂයක්. මගේ දෘෂ්ටියේ හැටියට සතියකට පෙර මිසක දේශපාලන පෙරළි සම්බන්ධයෙන් අනාවැකි කියන්න බැහැ. අපි හිතුවද ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයට පත්වූ ජනවරමේ හැටියට ඉවත් වෙන්න වෙයි කියලා. වත්මන් ජනාධිපතිවරයා වන රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙයි කියලා අපි හිතුවද? ඒ නිසා දේශපාලනය ගැන පූර්ව නිගමන කරන්න පුරෝකථනයන් කරන්න බැහැ. ජවිපෙට යම්තාක් දුරට ජනතාවගේ නැඹුරුවක් තියනවා කියලා හිතෙනවා.මැතිවරණයකට සතියකට පෙර එය වෙනස් වෙන්න පුළුවන්. නමුත් පොහොට්ටුව වටා හිටපු පිරිස තවමත් ඉන්නවා කියලා අපි දන්නවා.

ආණ්ඩු පක්ෂයට තියෙන්නේ මැතිවරණ භීතිකාවක් කියලා. සජබ මහලේකම් කියනවා?

මැතිවරණ කල් දැමීම ඉතිහාසයේ සිට වෙලා තියෙනවා. නමුත් වර්තමානයේ මැතිවරණ කල් දැමීමට සජබ සහ ජවිපෙ සහය දුන්නා. දැන් ඒ අයට ඒවා අමතක වෙලා. ඉතිහාසයේ ඉඳලා ගත්තාම 1970 දි සමඟි පෙරමුණු ආණ්ඩුව හැදුවේ වසර 5කට 1975 වසරේ දී එය වසර දෙකකින් දීර්ඝ කර ගත්තා. ඉන් පසුව 1978 බලය ගත්ත ජේ. ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා. 1982 වසර වෙනකල් බලයේ හිටියා. එවක මැතිවරණය කල් ගියා. 2017 පළාත් සභා මැතිවරණ කල් තැබුවේ ජවිපෙ පූර්ණ සහය මතයි. ඒ කියන්නේ එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයන්ගේ යහපාලන ආණ්ඩුව සමයේදීයි. මැතිවරණ කල් දැමීමට අවශ්‍ය පූර්ණ සහය දුන්නේ ජවිපෙ කියලා අපි කියන්නේ. යහපාලන ආණ්ඩුවම පළාත් පාලන මැතිවරණයත් කල් තිබ්බා. මේ ආණ්ඩුව පළාත් සභා මැතිවරණය කල් තිබ්බේ රටේ ඩිසල් පෙට්‍රල් නැහැ, බෙහෙත් නැහැ, වාහන දුවන්න බැහැ කියලා රට කඩා වැටුණ අවස්ථාවකයි. 2020 මාර්තු මාසයේ පවත්වන්න ගිය මැතිවරණය කල් ගියේ කොහොමද විපක්ෂයේ සජබ නඩුවක් දැම්මා කොරෝනා වෙලාවේ මැතිවරණය තියන්න එපා කියලා. ඉතිහාසය පුරා මැතිවරණ කල් දැමීමට සහය දුන්නේ අපි නොවෙයි. සජබ සහ ජවිපෙයි.

මේ පාර්ලිමේන්තුවට මහජන වරමක් නැහැ කියලා ජවිපෙ චෝදනා කරනවා.

අපිට මැතිවරණ ජය පරාජය දෙකම හුරුයි. පොදු ජන පෙරමුණ ලෙස අපි මුහුණට මුහුණ පසුගිය මැතිවරණ සියල්ල ජයග්‍රහණය කරලා තියෙනවා. විපක්ෂය කිව්වට අපිට ජනවරමක් නැහැ කියලා අපිට මහජන වරම දීලා තියෙන්නේ වසර පහකට. මහජන පරමාධිපත්‍ය අනුව අපිට ජනවරමක් තියෙනවා. මේ අය බලයට එන්න හදන්නේ රට හදන්න නොවෙයි. බලයට ඇවිල්ලා මේ රට හදන ක්‍රමවේදයක් ලැයිස්තුවක් නැහැ. මේ අයගේ ලැයිස්තුවල තියෙන්නෙ මරණ ලැයිස්තු, ගහන ලැයිස්තු, එළවන ලැයිස්තු විතරයි ඇත්තේ. අපිට වෙඩි තියලා ඝාතනය කළොත් විතරයි, අපේ ජනවරම නැති කරන්න පුළුවන්. ඉතිහාසයේ ජවිපෙ සාමාන්‍ය සිරිත ඒකනේ. ඒගොල්ලෝ ආණ්ඩුව හදන්න ඉන්නේත් ඒ දේවල්වලට. බලයට ඇවිත් විශ්‍රාම මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කරන්න තමයි උත්සාහ කරන්නේ.


අපි රුසියානු චීන සපත්තුවකට බැහැලා ඉන්නෙ නෑ 
– ජවිපෙ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්

ඔබේ පක්ෂයේ නායකතුමා ඉන්දියාවට ගියේ ඇයි?

අපි දේශපාලන ව්‍යාපාරයක් ලෙස ලෝක භූ දේශපාලනය තේරුම් ගත යුතුයි. ඉන්දියාව කියන්නේ අපේ කලාපයේ ආසන්නතම රට. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කලාපීය සහයෝගිතාව ගොඩනඟා ගැනීමේදී මේ ගමන අපිට වැදගත් වෙනවා. ඒ වගේ ම ජාතික ජනබලවේගය මේ රටේ ජනතාවත් සමඟ විශාල දේශපාලන ජයග්‍රහණ කරා යමින් තියෙනවා. අපි දේශපාලන ව්‍යාපාරයක් ලෙස ලෝක භූ දේශපාලනය තේරුම් ගෙන ඉන්නේ. ඒගේම ඕනෑම රටක් සමඟ ආර්ථික සහ දේශපාලනික වශයෙන් ගනුදෙනු කරන්නත් අපි පැකි­‍ෙළන්නේ නැහැ. අපේ පාලනයක් යටතේ අපි ඉතාම පැහැදිලිව විවෘතව කියනවා ලෝකයේ තියෙන සෑම රාජ්‍යයක් සමඟම ඒ ඒ රටවල ආර්ථික දේශපාලන තත්ත්වයක් සමඟ සබඳතා පවත්වනවා. අපේ විදෙස් ප්‍රතිපත්තිය විදේශවලට ගැති නොවන විදෙස් ප්‍රතිපත්තියක්

ජවිපෙ රාජ්‍ය ආයතන ගණනාවක් ඉන්දීය ව්‍යවසායකයන්ට දීමට සූදානම් වීම සම්බන්ධයෙන් විරෝධයක් තිබුණා නේද? දැන් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ ස්ථාවරය කුමක්ද?

අපි හැමදාම ඉන්නේ එක මතයක. ඉන්දියාවේ අදාළ සමාගමත් සමඟ අපි සාකච්ඡා කළා. මෙතැන කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සිදු වෙලා නැහැ. අපේ ක්‍රමවේදය විනිවිඳයි. ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරන නිවැරදි ප්‍රසාම්පාදන ක්‍රියාවලියක් හරහා ආයෝජන කැඳවීමයි අපේ අරමුණ. මේ සමාගම් සමඟ සාකච්ඡා කිරීමේදී මෙරට ආණ්ඩුවේ විනිවිදභාවය සම්බන්ධයෙන් ගැටලු ති‍ෙයන බවට කරුණු මතු වුණා. යම් උණුසුම් සාකච්ඡාවක් එහිදී ඇති වුණා. ඒ අය ඒ සම්බන්ධයෙන් සඳහන් කළේ මෙරට ආණ්ඩුවයි ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු වන්නේ කියලා. ආණ්ඩුවයි ඒ සදහා මැදිහත් විය යුතු වන්නේ කියලා. මේ රටේ ආණඩුව භාරගත යුතු වරද නොකරපු වරද ඒ අය භාර ගන්නේ නැහැනේ.

කුමන අරමුණකින් ද ඉන්දියාව ඔබේ පක්ෂයට මෙවැනි ආරාධනාවක් කළේ?

ජනතාවගේ හදවතේ රැඳිලා ඉන්න නායකයා අනුර දිසානායක සහෝදරයා. හදවතින් පිළිගන්න දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය. එය ඉන්දියාව පමණක් නොවෙයි; ලෝකයේ ම හැම රටම අද පිළිගන්න කරුණක්. ලංකාව ඇතුළේ පිළිගන්න දේශපාලන ව්‍යාපාරය මාලිමාව. ලෝකයේ තුළත් මේ රට සම්බන්ධයෙන් පිළිගන්න දේශපාලන ව්‍යාපාරය මාලිමාව. ඒ නිසා ඉන්දියාව විශේෂයෙන් සතුටු වෙනවා අපි සමඟ සාකච්ඡා කිරීම සම්බන්ධයෙන්.

වාමවාදී දේශපාලන බල කඳවුරක් ලෙස ජවිපෙ පෙනී සිටීමට උත්සාහ කළත් එම ලක්ෂණ ඔබේ පක්ෂයේ නැහැ කියලා මම කිව්වොත්?

අපි ලෝක දේශපාලනය පිළිබඳව මනා දැනුමකින් යුතුව කටයුතු කරනවා. නමුත් අපි කිසිදු විටක රුසියානු සපත්තුවක හෝ චීන සපත්තුවකට බැහැලා ඉන්නේ නැහැ. අපි දැමිය යුත්තේ අපේ රටට සුදුසු සපත්තුවක්. අපේ රටට සුදුසු සමාජවාදි මතවාදයන්. අපි අපේ රටට සුදුසු සමාජවාදී න්‍යාය සම්බන්ධයෙන් වඩා දැනුම්වත්. විශේෂයෙන් අපි සියලු දෙනාගේම සමානාත්මතාව ගරු කරන සමාජවාදී මතවාදයක් දරන පක්ෂයක්.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division