Home » කාචයක් දාගන්න සල්ලි නැද්ද… එන්න හෙල්ප් ඒජ් අක්ෂි රෝහලට

කාචයක් දාගන්න සල්ලි නැද්ද… එන්න හෙල්ප් ඒජ් අක්ෂි රෝහලට

by Mahesh Lakehouse
February 17, 2024 12:30 am 0 comment

මේ වන විට බෙහෙත් මිල අහස උස ය. සැත්කම් සඳහා ද දිගු පෝලිම් ය. මෙවැනි පසුබිමක, වයසට යද්දී ඇහැ කන ද නොපෙනෙන්නට ගත් විට වඩාත් අසරණ වන්නේ හව්හරණක් නැති වැඩිහිටියන් ය.

විශේෂයෙන් ඇසේ සුද මතු වී ටිකෙන් ටික පෙනීම නැති වන විට කාචයක් දමා ගන්නට තරම් වත්කමක් නොමැති වුවහොත් ඒ අසරණකම තවත් වැඩිය.

එවැනි අසරණභාවයට පත් වැඩිහිටියන් 49,000 කට ආසන්න පිරිසකට මේ වන විට අක්ෂි කාච සැත්කම් නොමිලයේ සිදු කර නැවත පෙනීම ලබාදුන් හෙල්ප් ඒජ් අක්ෂි රෝහල, එවැනි දැවැන්ත ව්‍යාපෘතියක් නොමිලයේ ක්‍රියාත්මක කරන මෙරට එකම සහ ප්‍රධානතම පුණ්‍ය ආයතනය වේ.

අතිශය දුෂ්කර ගම්මානවල ජීවත් වන අසරණ වැඩිහිටියකු වුවත්, ඇසේ සුද මතු වී, දෑස් නොපෙනී පීඩාවිඳින්නේ නම් වැල්ලවත්ත ගාලු පාරේ, සැවෝයි සිනමා ඉදිරිපිට සින්සපා පාරේ පිහිටි මෙම හෙල්ප් ඒජ් අක්ෂි රෝහලේදී කෙටි කාලයක් තුළ එම සැත්කම් නොමිලයේ කර ගැනීමේ අවස්ථාව ඇති බව හෙල්ප් ඒජ් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ සමන්ත ලියනවඩුගේ පවසයි.

” වයසත් සමඟ ඇස් පෙනීම නරක අතට හැරෙනවා. පෙනීම බොඳ වෙනවා. තත්ත්වය මොන තරම් බරපතළ වුවත් පෞද්ගලික රෝහලකින් මේ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මය කර ගන්නට අද කාලයේ බොහෝදෙනෙකුට හැකියාවක් නැහැ. මොකද, එදා වේලවත් හරියට කන්න නැති අසරණ වැඩිහිටියකුට එය දැරිය නොහැකි මුදලක්. බහුතර වැඩිහිටියන්ට වයසට යද්දී යැපෙන්නට සිදු වන්නේ දරුවන්ගෙන් වන විට මේ තත්ත්වය තවත් බරපතළයි. අවසානයේ ඔවුන් දෑස් නොපෙනී ගොසින් ජීවිතයේ අවසන් කාලයේ අන්ධභාවයට පත් වනවා.

ඉතින් ඔබ මොනතරම් දරිද්‍රතාවයෙන් පෙළුණත්, ඔබේ අම්මට තාත්තට එහෙම වෙන්න දෙන්න එපා. දිනයක් වෙන්කරගෙන ඔවුන්ව හෙල්ප් ඒජ් අක්ෂි රෝහල වෙත රැගෙන එන්න. මේ රෝහලේ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් කරන්නේ සම්පූර්ණයෙන් ම නොමිලයේ. එපමණක් නෙවෙයි, ඒ සඳහා අවශ්‍ය සියලුම සේවාවන් සහ පහසුකම් සම්පූර්ණයෙන් ම නොමිලයේ සපයනවා.

සෑම මාසයකම ඈත දුෂ්කර ගම්වලට ජංගම රථ යවන වැඩපිළිවෙළක් අප ක්‍රියාත්මක කරනවා. මොකද, ඈත පළාත්වල ඇස් පෙනීම දුර්වල වූ බොහෝ වයෝවෘද්ධ වැඩිහිටියන්ට ගෙදරින් පිට යන්නට ක්‍රමයක් නැහැ. ඉතින් ඒ අයට, ගමට එන මේ ඇස් පරීක්ෂා කිරීමේ ජංගම රථය විශාල උදව්වක්. ඇත්තටම ගමින් ගමට යන මේ මොබයිල් යුනිට්වලදී සිය දෙනකුගේ ඇස් බැලුවොත් 60කට වැඩි ප්‍රමාණයකට ඇස්කණ්ණාඩි අවශ්‍ය බව ඒ පරීක්ෂාවලින් හෙළි වනවා. නමුත් අමාරුවෙන් ඇස් පොඩි කරමින් බලනවා විනා, ඇස්කණ්ණාඩි දෙකක් ගන්නවත් මේ බොහෝ අයට වත්කමක් නැහැ. ඒ වගේම සමහර අයගේ ඇස්වල සුද ඇවිත්. සමහර අය, මිය යන තුරුම ඇසේ සුද නිසා හට ගත් අන්ධභාවයෙන් ජීවත් වෙනවා. මෙය ගම්වල ජීවත් වන හරි හමන් ආදායමක් නැති බොහෝ වැඩිහිටියන් තුළ දකින්නට ලැබෙන ඉතාම ඛේදනීය තත්ත්වයක්.

එහෙම ගමට යන ජංගම රථ තුළදී අක්ෂි වෛද්‍යවරු ඒ වැඩිහිටියන්ගේ ඇස් පරික්ෂා කර අවශ්‍ය විසඳුම නිර්දේශ කරනවා. කණ්ණාඩි අවශ්‍ය අය කණ්ණාඩි සඳහාත්, කාච දැමීමේ සැත්කම් අවශ්‍ය අය ඒ සඳහාත් යොමු කළ විට, එතැන් පටන් ඔවුන්ගේ ඒ අවශ්‍යතා වෙනුවෙන් අප ක්‍රියාත්මක වනවා. කණ්ණාඩි අවශ්‍ය අයට අප ලබා දෙන්නේ දුර සහ ළඟ දෙකම පෙනෙන ආකාරයෙන්. ඒ ඒ පුද්ගලයන්ගේ ඇස් පරීක්ෂණ කළ පසු අවශ්‍ය මිනුම් අරගෙන තමයි අපි ඇස් කණ්ණාඩි සාදා දෙන්නේ. මේ ආකාරයෙන් යුනිට් දෙකක් ලංකාව පුරා හැම මාසයකම එවැනි වැඩිහිටියන් වෙනුවෙන් ගම් නියම් ගම් කරා ගමන් කරනවා.

අප මෙම කටයුත්ත සිදු කරන්නේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සමඟ අත්සන් කර තිබෙන අවබෝධතා ගිවිසුමකට අනුවයි. ඊට අනුව, ඒ ඒ පළාතේ අක්ෂි වෛද්‍යවරුමයි මේ ජංගම වෛද්‍ය සායනවල සේවාවට එක් වන්නේ.

සෑම මාසයකම මෙවැනි ආකාරයේ ජංගම වෛද්‍ය සායන 25කට ආසන්න ප්‍රමාණයක් අප රට පුරා ගම්මානවල පවත්වනවා.

අපට ඇස්වලට කාච දැමීමට අවශ්‍ය රෝගීන් හමුවන්නේ මෙවැනි සායනවලදී පමණක් නෙවෙයි. ඇසේ සුද මතුව ඇති අසරණ වැඩිහිටියන් තව බොහෝ ප්‍රමාණයක් නගරබදවත් ජීවත් වනවා. ඒ අනුව වැඩිහිටි අන්ධභාවයට 70%කට වඩා හේතු වන්නේ ඇසේ සුද මතුවීම බව තහවුරු වී තිබෙනවා.

වැඩිහිටි ආරක්ෂණ පනතට අනුව සෑම ග්‍රාම නිලධාරි වසකමකම වැඩිහිටි සමිති 1,500ක් පමණ පිහිටුවා තිබෙනවා. ජංගම සායන පවත්වන්නට කියා මෙම වැඩිහිටි සමිතිවලිනුත් අප වෙත ඉල්ලීම් ලැබෙනවා. ඒ පළාත්වලට යනකොට එක දිගට සායන පහ හයක් පමණ අප පවත්වනවා. ඒවා බොහෝ විට ඒ පළාතේ පල්ලිය, පන්සල කෝවිල හෝ ප්‍රජාශාලාව කේන්ද්‍ර කොට ගෙනයි ස්ථානගත කරන්නේ.

මේ රෝහල ඇසේ සුද ඉවත් කිරීම සහ කාච දැමීම සඳහා සියලු පහසුකම් සහ අංගෝපාංගයන්ගෙන් සමන්විත වුවත් රෝගීන්ට නැවතීමේ පහසුකම් නැහැ. නමුත් දුර බැහැර ගම්මානවලින් පැමිණෙන රෝගීන් සඳහා පමණක් සැත්කම කළ දින රාත්‍රී නවාතැන් සහ ආහාර පහසුකම් සපයනවා. මේ සේවාව හැමෝටම දෙන්න පුළුවන් කමක් නැත්තේ, අප වෙත තිබෙන සීමිත සම්පත්වලින් වැඩි පිරිසකට දෑස් පෙනීම ලබා දෙන්නට සිදුව ඇති නිසයි.

ලංකාවේ ඕනෑම පළාතක ජීවත් වන වැඩිහිටියකුට මේ සේවාව ලබා ගන්නට පුළුවන්. ඔබ කළ යුත්තේ, 011-2589450 අංකයෙන් අක්ෂි රෝහලට කතා කර, වෙලාවක් වෙන් කරගෙන සඳුදා සහ සිකුරාදා පැවැත්වෙන අක්ෂි සායනයට පැමිණීමයි… ”

ජාත්‍යන්තරයේ පිළිගැනීමට ලක්ව ඇති ව්‍යාපාර නායකයකු සහ සමාජ සේවකයකු වන හෙල්ප් ඒජ් ශ්‍රී ලංකා සභාපති තිලක් ද සොයිසා, සිය ව්‍යාපාරික සබඳතා තුළින් ලද ධන පරිත්‍යාගවලින් සහ තමන්ගේම මුදල්වලින් මෙම රෝහල ඉදිකළේ බොහෝ පුංචියටය. පසුගිය දිනෙක අමෙරිකා එක්සත් ජනපදය පදනම් කරගත් බිස්නස් වර්ල්ඩ් ඉන්ටර්නැෂනල් සංවිධානය විසින් ඔහුට Lifetime Achievers සම්මානය පිරිනමනු ලැබුවේ, හෙල්ප් ඒජ් සේවාව ඉදිරියට පවත්වාගෙන යන්නට දරන්නා වූ එම විශිෂ්ට උත්සාහය නිසාය. තිලක් ද සොයිසා යනු, සිය ව්‍යාපාරික පිළිගැනීම සහ ජාත්‍යන්තර සබඳතාවලින් මේ රටේ අසරණ වැඩිහිටියන්ගේ ඇස් පෙනීම ලබාදීමට නිහඬව විශාල දායකත්වයක් සපයන පූර්වාදර්ශී ව්‍යාපාර නායකයෙකි. ඔහුට පිරිනමන ලද මෙම සම්මානයට අමතරව, ශ්‍රී ලංකාවේ වඩාත්ම සේවා නැඹුරු සංවිධානය ලෙස අඛණ්ඩව තුන්වන වරටත් හෙල්ප් ඒජ් ඇගැයීමට ලක් විය.

රටේ අවදානමට ලක්ව ඇති වැඩිහිටි පුරවැසියන් වෙනුවෙන් කරන්නා වූ මිල කළ නොහැකි සමාජ සහ සුභසාධන සේවාව සැලකිල්ලට ගනිමින් පිරිනමනු ලැබූ මෙම සම්මානය පිළිගනු ලැබූයේ, හෙල්ප් ඒජ් විධායක අධ්‍යක්ෂ සමන්ත ලියනවඩුගේ විසිනි.

කෙසේ වෙතත්, පවතින ආර්ථිකයත් සමඟ කිසිවක් කර කියා ගත නොහැකිව අන්ධභාවයෙන් දුක්විඳ මිය යන අසරණ වැඩිහිටියන් ඒ තත්ත්වයෙන් මුදවා ගැනීම උදෙසා හෙල්ප් ඒජ් දරන මේ උත්සාහයට මේ රටේ ඕනෑම පුරවැසියකුට ද හැකි අයුරින් දායක වීමට අවස්ථාව තිබේ.

එය, ලෝකය දකින්නට තවත් කෙනෙකුට ඔබේ දෑස් දුන්නා හා සමාන ය.

ඡායාරූප – සුදත් නිශාන්ත

ඉනෝකා පෙරේරා බණ්ඩාර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division