Home » කෞටිල්‍යගේ ආර්ථික විග්‍රහය

කෞටිල්‍යගේ ආර්ථික විග්‍රහය

by Mahesh Lakehouse
February 17, 2024 12:30 am 0 comment

මෙවර ආර්ථික විග්‍රහයට පදනම් වන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාසලකට ගොස් පාසල් දරුවන්ට විශේෂ අවධානය යොමු විය යුතු යැයි, රාජ්‍ය ණය බර සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශයයි.

ඒ ප්‍රකාශය කෙසේද යත් ‘රටේ හැම දරුවෙක්ම ලක්ෂ 12ක ණයකාරයෙක් ‘ යනුවෙනි. විපක්ෂ නායකවරයා බියගම පාසලකදී දරුවන් ඉදිරියේ අවධාරණය කර පැවසුවේ ‘රට පාලනය කරන වැඩිහිටියන් දරුවන්ගෙන් එම තොරතුරු සඟවන බවත් දරුවන්ටත් තොරතුරු දැන ගැනීමේ අයිතිය ඇති නිසා මේ ගැන දැනුවත් විය යුතු‘ බව ද ඔහු කීවේය.

විපක්ෂ නායකතුමා පාසල් දරුවන්ට කර ඇති ප්‍රකාශය මීට වඩා ගැඹුරින් හා තාර්කිකව සිතා බැලිය යුතුය. විශේෂයෙන්ම එතුමාගේ පියාගේ යුගයේදී (ආර්. ප්‍රේමදාස ජනාධිපති යුගයේදී) බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා ස්වකීය මංගල අයවැය කතාවේදී සඳහන් කොට ඇති ප්‍රකාශය ගැන අවධානය යොමු කළ යුතුය. ඒ ප්‍රකාශය 1989 මාර්තු 22 දින හැන්සාඩ් වාර්තාවේ සඳහන් වේ.

‘‘ඊළඟ වැරැද්ද තමයි පසුගිය අවුරුදු 11 තුළත් මේ වර්ෂයේදීත් තමුන්නාන්සේලා මේ ගරු සභාවට අය වැය ලේඛන ඉදිරිපත් කිරීමේදී අනුගමනය කර තිබෙන්නේ හිඟ අය වැය ප්‍රතිපත්තියක් වීමයි. 1977 දී අපේ රටේ අය වැය ලේඛනයේ හිඟය දස ලක්ෂ 3.022 යි. මෙවර අය වැය ලේඛනයේ හිඟය දශ ලක්ෂ 43,995 යි. 1977- 88 කාල පරිච්ඡේදය තුළදී රාජ්‍ය අය වැය ලේඛනයේ හිඟය පමණක් සියයට 1.356 කින් වැඩිවෙලා තිබෙනවා. ඒ අය වැය ලේඛනයේ ඇතිවෙලා තිබෙන දැවැන්ත හිඟය පියවා ගැනීමට අමාරු වෙනකොට මේ රට ඇතුළෙන් ඒ අය වැය ලේඛනයේ හිඟය පියවා ගන්නට සල්ලි හොයා ගන්න බැරි වෙනකොට වැඩි වැඩියෙන් පිටරටවලින් ණය ගැනීමේ සම්ප්‍රදාය තමයි අපි අනුගමනය කරලා තියෙන්නේ.

ගරු කතානායකතුමනි, 1977 දී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය දශ ලක්ෂ 13, 321යි. අද විදේශ ණය ප්‍රමාණය මිලියන 1,61,914 යි. මේ කාලපරිච්ඡේදය තුළ දී විදේශ ණයවල වැඩිවීම පමණක් ඒ කියන්නේ අපි පිටරටවලට පමණක් සියයට 1,115කින් ණය වැඩි කර තිබෙනවා. මේ රටේ ඉතාම කුඩා බිළින්දාගේ පටන් අන්තිම මහල්ලා වෙනකම් සෑම මිනිසෙක්ටම රුපියල් 10,100කට පිටරටට ණයකාරයන් කරලා තිබෙනවා. ඒ නිසා මේ ණය බර තුළින් අද ඇති වෙලා තිබෙන ප්‍රතිඵලය තමයි අවුරුද්දකදී අපි භාණ්ඩ හා සේවා පිටරටට යවලා උපදවනු ලබන විදේශ විනිමය ආදායමින් සියයට 28.8 ක් ගත් ණයවලට පොලී සහ ණය වාරික ගෙවන්නට සිදු වී තිබීම රටක් තමන්ගේ භාණ්ඩ පිටරට යවලා උපදවනු ලබන ආදායමින් සියයට 30ක් වෙනත් රටකට පොලී ගෙවන්න, වෙන රටකට ණය වාරික ගෙවන්න වියදම් කරන විට ඒ රටේ ජාතික අවශ්‍යතාවයන් ඉෂ්ඨ කරන්න ඒ ආදායමෙන් ඉතුරු වෙන්නේ සියයට 70ක් පමණයි. තව ණය ගන්න ගන්න රුපියලේ අගය අඩුවෙන්න අඩුවෙන්න මෙම ණය බර ආර්ථිකයට ඔරොත්තු නොදෙන මට්ටමට එනවා. තමුන්නාන්සේලාගේ ආර්ථික ප්‍රතිපත්තිය යටතේ දැනටමත් ණය බර ඔරොත්තු නොදෙන මට්ටමට ඇවිත් තිබෙනවා ‘‘

මේ මීට අවුරුදු 34කට පෙර පෙර ඒක පුද්ගල ණය පිළිබඳ කර ඇති එක් කතාවකි. මෙවන් කතා විශාල ප්‍රමාණයක් එවකට හැන්සාඩ් වාර්තාවලින් කියවා බලා ගත හැකිය.

මේ දැවැන්ත විදේශ ණය කන්දරාව ඔරොත්තු නොදෙන මට්ටමට පත්වීම ආරම්භ කරනු ලැබුවේ ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස යුගයේදී බව විපක්ෂ නායකතුමා අවබෝධ කරගත යුතුය. මක්නිසාදයත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු රාජ්‍ය මූල්‍ය කළමනාකරණ ක්‍රමවේද මුළුමනින්ම උඩු යටිකුරුකරණය කිරීමය. එසේ සිදු කොට අය වැය ලේඛනයක් සැකසීම ටැක්සි ඩ්‍රැයිවර්වරයකුට වුවත් කළ හැකි බව ප්‍රසිද්ධියේම ප්‍රකාශයට පත් කෙළේය. තමන්ට බලය ලබා ගැනීම සඳහා සෑම දිළිඳු පවුලකට රුපියල් 25,000ක තැන්පතුවක් බැංකුවේ තැන්පත් කරන බව දිවුරා පොරොන්දු වී බලයට පත්වීමෙන් පසු මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආර්. පාස්කරලිංගම් ගේ අත්සනින් රුපියල් 25,000ක තැන්පතුවක් ඇති බවට දිළිඳු ජනයා වෙත සහතික පතක් නිකුත් කොට ඒ තැන්පතුවල පොලිය යැයි ජාතික ඉතිරි කිරීමේ බැංකුව හරහා පොලී ගෙවීමක් ද කළ බව එතුමාගේ පුත්‍ර රත්නය වූ විපක්ෂ නායකතුමා නොදන්නවා විය නොහැකිය. නමුත් කිසිදු ශ්‍රී ලාංකික දුප්පතකුගේ නමට රුපියල් 25000ක් තබා ශත 25000ක් වත් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ තැන්පත් නොකළ බව අවශ්‍ය නම් ජාතික ඉතිරි බැංකුවෙන් විමසා දැන ගත හැකිය.

රණසිංහ ප්‍රේමදාස පමණක් නොව මෙරටේ සෑම දේශපාලන නායකයෙක්ම පාහේ පොදු ජනතාව මුළා කොට ඡන්දය ලබා ගැනීම සඳහා විවිධ සහන රජයෙන් ලබා දෙන බවට පොරොන්දු වී ඒවායෙන් කොටසක් හෝ ලබා දෙන ලදී. මේ නිසා 80 දශකයෙන් පසු ආණ්ඩුවක් එදිනෙදා පවත්වා ගෙන යාමේ වියදම් පියවා ගැනීමටවත් ප්‍රමාණවත් ආදායමක් ලංකා ආණ්ඩුවට නොමැති විය. මේ නිසා දිගින් දිගටම ආණ්ඩුවේ අයවැයේ වර්තන ගිණුමේ (ජංගම ගිණුමේ) හිඟයක් ඇති විය.

ඒ බව පහත වගුවෙන් දැක බලාගත හැකිය.

කවුරු මේ රටේ ජනාධිපති වුණත් මේ පවතින ආණ්ඩුව වෙනස් කොට වෙනත් ආණ්ඩුවක් බලයට පත් වුණත් ආණ්ඩුවක් එදිනෙදා පවත්වා ගෙන යාමට අවශ්‍ය වියදම දැරීමටවත් ආදායමක් නොමැති නිසා ඒ වියදම දැරීමට සිදුවන්නේ ද ණයවලින් බව විපක්ෂ නායකතුමා විසින් දරුවන්ට කියා දිය යුතුව ඇත. උදාහරණ වශයෙන් පසුගිය 2023 වර්ෂයේදී සියලුම මාර්ගයන්ගෙන් ලංකා ආණ්ඩුවට ලැබුණු ආදායම ට්‍රිලියන 3ක් බවත් පුනරාවර්තන වියදම (පවත්වාගෙන යාමේ වියදම) ට්‍රිලියන 4කට වැඩි බවත් 2023 වර්ෂයේදී ආණ්ඩුව එදිනෙදා පවත්වා ගෙන යාමට ට්‍රිලියනයටත් වඩා ණය ලබා ගත් බවත් සංඛ්‍යා දත්ත සටහන් සහිතව පසුගිය සති අන්තයේ සිළුමිණ පුවත්පතේ කෞටිල්‍යගේ ආර්ථික විග්‍රහයේ මොනවට පැහැදිලි කර ඇත. ගරු විපක්ෂ නායකතුමා සුහුරු පන්ති කාමර ලබා දෙන මුවාවෙන් පාසල දේශපාලන වේදිකාවක් කර ගන්නා විට පසුගිය සතියේ සිළුමිණ පුවත්පතේ පළ වූ භාණ්ඩාගාරයේ ලැබීම් හා ගෙවීම් පිළිබඳ සියලුම සංඛ්‍යා සටහන්, තොරතුරු දැනුම් දීමේ අදහසින් දරුවන්ට පහදා දෙන්නේ නම් ඒ ඉතා වටිනා දෙසුමක් වන බව කෞටිල්‍යගේ අදහසයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division