Home » අතේ සල්ලිවලින් හිරු එළියේ බලය

අතේ සල්ලිවලින් හිරු එළියේ බලය

පොඩි මිනිහාගේ ගමට දෙන අපූරු මහැදුරු...

by Mahesh Lakehouse
February 17, 2024 12:30 am 0 comment

මේ හමුව ජීවිතයේ විරල භාග්‍යයක් සේ හඟිමි. සූර්ය බල ගම්මාන සංකල්පය ලෝකයට හඳුන්වා දුන් ඒ මහා විද්වතා සිටියේ ඉතා සරල මානුෂවාදී දැක්මකින් අප සමඟ ගැඹුරු සංවාදයක යෙදෙමිනි. මට සිහිවන්නේ මේ පොළොවට ආදරය කරමින් එය සාර භූමියක් කිරීමට කටු කොහොල් හැරපියා පුරන් බිම සැකසීමට අසිමිත උත්සාහයක් දරන දිරිමත් ගැමියෙකි. ඔහු ලෝකය නම කී සැණින් ගරු කරන ජ්‍යෙෂ්ඨ සම්මානිත මහාචාර්ය අයි. එම්. ධර්මදාසයන් ය. ඒ විශිෂ්ට ශ්‍රී ලාංකේය භෞතික විද්‍යාඥයා ඉක්මවා ගොස් ඈත ශුෂ්ක ගමක අව්‍යාජ ගැමියකුගේ අධ්‍යාත්මය මතුවෙමින් ඇති අයුරු දකිමි. ඒ උපදින මානුෂීය සංවේදනය මහා ගැඹුරු එකකි.

මහේෂාඛ්‍ය සමාජයේ රැස් නොවැදුණු කුරුණෑගල ඈත දුර්ගයක පිහිටි කදුරුවැව ගමේ අට දෙ‍ෙනකුගෙන් යුතු දුගී ගොවි පවුලක සිවුවෙනියා ලෙස ඉපදී සැතපුම් ගණන් පා ගමනින් ගොස් ගමේ ප්‍රාථමික පාසලෙන් අධ්‍යාපනය ලබා අධ්‍යාපනයේ ප්‍රභාවෙන් ලෝකයේ දොරටු විවර කරගත් මේ විද්වතා තවමත් ස්වකීය පර්යේෂණ කාර්යයන්හි ක්‍රියාශීලී එංගලන්තයේ Sheffield Hallam සරසවියේ ජ්‍යෙෂ්ඨ සම්මානිත මහාචාර්යවරයෙකි. සූර්ය බලශක්තිය සම්බන්ධව පර්යේෂණ කළ ලොව ප්‍රමුඛම භෞතික විද්‍යාඥයන් කීප දෙනා අතර මහාචාර්ය අයි. එම්. ධර්මදාස ද වෙති.

සූර්ය බලශක්තිය ඉලක්ක කරගත් විශිෂ්ට පර්යේෂණ පත්‍රිකා දෙසිය හැටක් පළ කළ, පේටන්ට් බලපත්‍ර 6ක් ලබා ගෙන සිටින, පර්යේෂණ කෘති දෙකක් බිහි කළ මේ විද්වත් ප්‍රමාණිකයා සූර්ය බලශක්ති ගම්මාන සංකල්පය ලංකාව තුළ රෝපණය කරනුයේ ස්වකීය පෞද්ගලික ධනයෙනි. ඒ සිය උපන් ගම වූ කදුරුවැවෙනි. ඉන් අනතුරුව සූර්ය බලශක්ති ගම්මාන පහක් ඔහුගේ පූර්ණ මැදිහත්වීම මත ඔහු හා සම්බන්ධ වූ සත්පුරුෂයන් විසින් ස්ථාපිත කර අතිශය සාර්ථක ලෙස බලගන්වමින් තිබේ. මේ විෂයට අදාළ රටේ වගකිව යුත්තන් හමුවී සූර්ය බලශක්තියෙන් රට දියුණු කළ හැකි ක්‍රම සැලසුම් සමඟ ඉදිරිපත් කළත් ඵලදායී නොවූ අවස්ථාවක ඔහු විසින්ම සිය සංකල්පීය ව්‍යාපෘතිය මේ පොළොවේ යථාර්ථයක් කර තිබේ.

“මම උපන්නේ ඉතාම වියළි දුෂ්කර පළාතක. හැබැයි අපේ ගම හරිම ලස්සනයි. තාත්තා හොඳ ගොවියෙක් අම්මා ගෙවිලියක්. දුෂ්කරතා ගොඩාක් තිබුණා. අපිට වතුර නැති නිසා අහස් දියෙන් තමයි වගා කටයුතු කළේ. එක අවුරුද්දක් ගොයම පැහුණොත් අවුරුදු දෙක තුනක් පැහෙන්නේ නැති වෙන්න පුළුවන්.

ඒ කාලේ ඉස්කෝලේ ගියේ ගොඩාක් වෙලාවට පිරිමි ළමයි විතරයි. ඉස්කෝලේට හැතැප්ම තුනක් පයින් යනවා. ආපහු පයින් එනවා. ඒක ගෑනු ළමයින්ට අනාරක්ෂිත නිසාම එයාලා හතර පහ පන්තිවලට ගියාට පස්සේ නවතිනවා. අපේ පවුලෙ ගෑනු ළමයි හතර දෙනාට වුණෙත් ඒකමයි.

1956 වනවිට මම හිටියේ දෙකේ පන්තියෙ. ඒ කාලෙ තමයි නිදහස් අධ්‍යාපන සංකල්පයත් එක්ක පාසල් ව්‍යාප්ත වෙන්නේ. ඉතින් අපේ ගම් තුනට ඉස්කෝලයක් ලැබුණා. ගුරුවරු තුනක් දෙනෙක් ආවා. ඉස්කෝලෙට නමක් තිබුණා. නමුත් එය පවත්වා ගන්න භූමියක් හෝ ගොඩනැඟිලි නෑ. අපේ පන්සල වේරගල රජමහා විහාරයේ හොඳ වෙලාවට තිබුණා හොඳ බණමඩුවක්. බණමඩුවේ 1 සිට 5 දක්වා පන්ති පැවැත්වූවා. ඒ කාලයේ දී තමයි අපේ තාත්තාලා ශ්‍රමදානයෙන් ගමේ ඉස්කෝලය හැදුවේ. ඒ තමයි කදුරුවැව ප්‍රාථමික විද්‍යාලය.

මම පහේ පන්තියෙන් පාස්වෙලා ඇහැටුවැව ඉස්කෝලෙට ගියා. ඒක කනිෂ්ඨ විද්‍යාලයක්. ඉස්කෝලේ විද්‍යා විෂය තිබුණෙ නෑ. මම 8 පන්තියට එනකොට විද්‍යාව කරන දෙවැනි කණ්ඩායම හැටියට මම තෝර ගත්තා විද්‍යාව කරන්න. විද්‍යාගාරයක් වෙනුවට තිබුණේ කළු ලෑල්ලක් සහ කාමරයක් විතරයි. එහෙන් ගුරු හිඟය. ඉස්කෝලෙට ගුරුවරු ආවත් නවතින්නෙ නෑ. ඉංග්‍රීසි සහ ගණිතයට ගුරුවරු නෑ. ඒත් අපිට හිටියා හොඳ විදුහල්පතිවරයෙක් එල්.පි දිසානායක කියලා. එතුමා ගුරුමණ්ඩලය සහ මවුපියන් එක්ක එකතු වෙලා විද්‍යාගාරයක් හැදුවා. විදුහල්පතිතුමා කිව්වා විද්‍යාව විෂයෙන් ඉස්සරවෙලාම පාස් වෙන වැඩිම ලකුණු තියෙන තුන් දෙනාට ශිෂ්‍යත්වයක් හදලා දෙනවා කියලා. මම විද්‍යා විෂයයන්ගෙන් ඒ ලෙවල් කරන්න පාස් වුණා. මට ශිෂ්‍යත්වය ලැබුණා. විද්‍යාව විෂයෙන් උසස් පෙළ කරන්න ඉබ්බාගමුව සෙන්ට්‍රල් ආවා. ගොඩාක් මහන්සි වෙලා වැඩ කළා. උසස් පෙළ සමත් වෙලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යන්න හැකි වුණා. ඒ ඉබ්බාගමු මධ්‍ය මහා විද්‍යාලයේ ඒ වසරෙ විශිෂ්ටම ප්‍රතිඵල සහිත ශිෂ්‍යයා විදිහට.

ඒ ලෙවල් කරනකොට මහරගම ගුරු විද්‍යාලයේ ට්‍රේනින් එන්ට්‍රන්ස් ලිව්වා. ශිෂ්‍යයන්ගෙන් ගන්නවා සියයට පහක් ඒ කාලයෙදි පුහුණු ගුරුවරු විදිහට හදලා එළියට දාන්න. මම ගුරු විද්‍යාල විභාගෙනුත් පාස් වුණා. මට ලොකු ප්‍රහේලිකාවක් වුණා ආර්ථික ප්‍රශ්නය නිසා විශ්වවිද්‍යාලයට යනව ද, ගුරු පත්වීම අරන් වැටුප් සහිත රැකියාවක් කරනව ද කියලා. ගුරු විද්‍යාලයට ගියොත් අවුරුදු දෙකක් ඉන්න වෙනවා. රස්සාවත් තියෙනවා. විශ්වවිද්‍යාලයට ගියොත් අවුරුදු තුනක් දරා ගන්න වෙනවා. මම හොඳට හිතලා අන්තිමට විශ්වවිද්‍යාලේ යන්න තීරණය කළා. අවසාන දවසෙ තාත්තා ඇහුවා මොකද කරන්නේ කියලා. මම පැහැදිලි කළාම තාත්තා මට මෙහෙම කිව්වා. පුතා බය නැතිව ඉස්සරහට යන්න. මට ඇති වෙන්න ඉඩම් තියනවා. ඒවා විකුණලා හරි පුතාට වියදම් කරන්නම් කියලා. ඒක තවමත් මගේ කන්වල දෝංකාර දෙනවා.

පේරාදෙණියෙ ගිහින් පළමු අවුරුද්දේම විභාගයෙන් භෞතික විද්‍යාව ඒ සාමාර්ථ්‍යයක් අරන් භෞතික විද්‍යාව විශේෂ උපාධියක් කරන්න තේරුණා. දැන් අවුරුදු 03 අවුරුදු 04ක් වෙලා. සතුටක් දැනුණත් මගේ ආර්ථික ප්‍රශ්නය ඊට වඩා උඩින් තිබුණේ. මම ප්‍රොෆසර් ළඟට ගිහින් ආර්ථික ප්‍රශ්න නිසා මට ස්පෙෂල් කරන්න බෑ. සාමාන්‍ය උපාධිය කරන්නම් කියලා. එය හොඳට තේරුම් ගත් මහාචාර්ය ඔස්මන් ජයරත්න කිව්වා ඔයා ජෙනරල් කරන්න මහන්සි වෙලා. හොඳ ක්ලාස් එකක් ගත්තොත් අපි ඔයාව ඩිපාර්ට්මන්ට් එකට අරන් ප්‍රතිඵල හොඳ හින්දා අපි විශේෂ අවස්ථාවක් දෙන්නම් විශේෂවේදී උපාධිය කරන්න කියලා. ඒක ඒ විදිහටම වුණා. මම භෞතික විද්‍යාව සහාය කථිකාචාර්යවරයෙක් විදිහට කටයුතු කරන ගමන් විශේෂවේදී උපාධිය කරලා ප්‍රථම පන්තියේ උපාධියක් ගත්තා.

මම උපාධිය දක්වා සියලුම අධ්‍යයන කටයුතු කළේ සිංහලෙන්. භෞතික විද්‍යා විශේෂවේදී උපාධිය කළ අවුරුදු දෙකක කාලය තුළ තමයි ඉංග්‍රීසි අධ්‍යයන මාධ්‍යයට මාරු වුණේ. ඒ වගේ විෂයක් නොදන්නා භාෂාවකින් හැදෑරීම හිතා ගන්න බැරි තරම් අපහසුයි. අපට ඉගැන්නුවේ එංගලන්තයෙන් ආපු කථිකාචාර්යවරු ඔවුන්ගේ කතා විලාශය කොහොමත් තේරුම් ගන්න බෑ. ඒත් ඒ අභියෝගය භාර ගත්තාම ආපහු හැරෙන්න පුළුවන්කමක් තිබුණේ නෑ මගේ තත්ත්වයේ හැටියට. මම අනෙක් සහෝදර ශිෂ්‍යයෝ එක්ක සාකච්ඡා කරලා ටියුට් ලිව්වා. අහගත්තා. ඒ මාස හයෙන් පස්සේ කොහොමහරි අල්ලගෙන අවසානයේ දී පළමු පන්තියේ සාමාර්ථ­්‍යයක් ගත්තා.

ඊට පස්සේ පේරාදෙණිය සරසවියට ආධුනික කථිකාචාර්යවරයෙක් විදිහට සම්බන්ධ වෙලා අවුරුදු තුනකට පස්සේ මට පොදු රාජ්‍ය මණ්ඩලයෙ ශිෂ්‍යත්වයක් ලැබුණා එංගලන්තයේ ඩැරන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය කරන්න. මම එංගලන්තයට ගියේ 1977 දී. ආචාර්ය උපාධියක් කරන්න සාමාන්‍යයෙන් අවුරුදු තුනක් හතරක් යනවා. මට අධ්‍යාපනය කරන ගමන් වැඩ කරන්න වර්ක් පර්මිට් එකක් හදලා දුන්නා මගේ මහාචාර්යවරයා. ආචාර්ය උපාධිය අවුරුදු 03න් සම්පූර්ණ කරලා ලංකාවට ඇවිත් නැවත පේරාදෙණිය සරසවියේ භෞතික විද්‍යා අංශයේ කථිකාචාර්යවරයෙක් විදිහට සම්බන්ධ වුණා.

මගේ ආචාර්ය උපාධියෙ කොටසක් තමයි සූර්ය බලයෙන් විදුලිය නිපදවීම. එය මට ඉතා ප්‍රිය විෂයයක්. ඒ ආසාව උඩ මෙහෙ ඇවිත් වැඩ කළත් අවුරුදු හතරක් යනකොට ගොඩක් ගැටලු ආවා. මම 1984 දී නැවත එංගලන්තයට ගියා. එදා ඉඳන් අද වෙනකම් එංගලන්තයේ වැඩ කළේ.

කාඩිෆ් විශ්වවිද්‍යාලයෙ භෞතික විද්‍යා අංශයට සම්බන්ධ වුණා. එතැන අවුරුදු 04ක් වැඩ කළේ සූර්ය විදුලි ජනනය ගැන. පර්ර්යේෂණ පත්‍රිකා 20ක් ලිව්වා. ඒ නිසාම මාව බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් එකට සම්බන්ධ කරගත්තා. ඒකෙ තිබුණා සෝලා සෙල්ස්, සෝලා පැනල්ස් හදන්න. ඒ ගෲප් එකට මම ගියේ 1988 අවුරුද්දෙ. එතැන අවුරුදු 2ක් වැඩ කරන කොට ව්‍යාපෘතිය ඉවර වුණා. ඊට පස්සේ Sheffield Hallam සරසවියෙ තමයි මම අවුරුදු 32ක්ම වැඩ කරලා අවුරුද්දකට උඩ දී ඉගැන්වීමෙන් විශ්‍රාම ගියේ. නමුත් පර්යේෂණ ව්‍යාපෘතිවලින් ඉවත් වුණේ නෑ. මම ආචාර්ය උපාධි 30ක් සුපවයිස් කළා ඒ කාලෙදී. ඒ වගේම පර්යේෂණ පත්‍රිකා 250ක් පමණ පළ කර තිබෙනවා. පේටන්ට් පත්‍ර 06ක් තියෙනවා. සියලුම පේටන්ට් බලපත්‍ර තියෙන්නේ ආලෝකයෙන් විදුලිය නිපදීමට සම්බන්ධව. දැන් මම සම්මානිත මහාචාර්යවරයෙක් ලෙස කටයුතු කරනවා.

මුල් කාලයේදි අපි උගන්වමින්, පර්යේෂණ කරමින් පුණර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කළා. මම බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් එකේදි දැක්කා මේ තාක්ෂණය දැන් හොඳට පරිණත වෙලා; මම කල්පනා කළේ මේ දැනුමින් කොහොමද දුප්පත් ජනතාව පෝෂණය කරන්නේ කියන එක.

මම හිතුවා ලංකාවෙ විශ්වවිද්‍යාලවලත් මේ පර්යේෂණ පවත්වන්න. පේරාදෙණිය, කොළඹ, කැලණිය, රුහුණ, මොරටුව සම්බන්ධ කරගත්තා. මගේ බලාපොරොත්තුව වුණේ අපේ දේශීය විශ්වවිද්‍යාලවල පර්යේෂණ ඇති කර සහයෝගීතා ව්‍යාපෘතියක් ඇති කරන්න. ලංකාවට ආපු හැම වෙලාවකම මම හැම තැනම ගිහින් සූර්ය බල ශක්තියෙන් කරන්න පුළුවන් දේවල් මහජනයාට කියලා දුන්නා. මේ අතර එක්සත් රාජධානියේ ජාත්‍යාන්තර සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් (Department for International Development) අරමුදල් ගත්තා. ඒ අරමුදල් මට ලැබුණේ බ්‍රිතාන්‍ය කවුන්සිලය හරහා. ඒ කාලයේ උසස් අධ්‍යාපනය සම්බන්ධ ව්‍යාපෘති යටතේ මට මේක දුන්නා අවුරුදු 06ක්. ඒක ලැබුණේ දැනුම හුවමාරු කරගන්න. අපි හැම අවුරුද්දෙම වැඩමුළු, සම්මන්ත්‍රණ තිබ්බා. ලංකාවට විද්වත්තු ගෙන්නුවා. ලංකාවෙන් එක්සත් රාජධානියට වෘත්තිකයන් අරන් ගියා. ඒ එක්කම මම විධායක ජනාධිපතිවරු දෙන්නෙක් සහ හිටපු විද්‍යා හා තාක්ෂණ ඇම­ැතිවරු පෞද්ගලිකව මුණගැසී සැලසුමුත් දීලා කිව්වා මේ ව්‍යාපෘතිය ලංකාවට හොඳයි කියලා. මේ විදිහට ප්‍රවර්ධන වැඩසටහන මම අවුරුදු 32ක් කරගෙන ආවා.

මම රටට ඇවිත් මේ වැඩ කටයුතු ප්‍රවර්ධනය කරන අතරේදීම සැලසුම් කළා සූර්ය බලශක්ති ගම්මාන ව්‍යාපෘතිය. මේක සැලසුම් කළේ 1992 ඉඳලා. නමුත් ඒවට අවශ්‍ය අරමුදල් හොයාගන්න අමාරුයි. මම ලංකාවට ආවාම හැමදාම මම උපන් ගමට යනවා. එක දවසක් ගමේ ඉස්කොලේ විදුහල්පතිතුමා කිව්වා සර්… මේ ඉස්කෝලෙ වහන්න යන්නේ කියලා. ඒ මම පන්සලේ බණමඩුවේ ප්‍රාථමික අධ්‍යාපනය ලබද්දි අපේ තාත්තලා ශ්‍රමදානෙන් හදපු ඉස්කෝලේ. පාසලට වතුර නෑ. විදුලිය නෑ. ගුරුවරු නෑ. ළමයි 20 දක්වා අඩු වෙලා. මම කල්පනා කළා ඉස්කෝලේ වහන්න දෙන්න බෑ කියලා. මම පළවෙනි සූර්ය බලශක්ති ගම්මානය පටන් ගත්තා මගෙ ගමෙන්. ඒ 2008 දී. මට අරමුදල් තිබුණෙ නෑ. මගෙම මුදල් වියදම් කරලා මුලින්ම කළේ ඉස්කෝලෙට විදුලිය ගන්න එක. ග්‍රිඩ් එක තිබුණා පාරේ. මුලින්ම පාසලට විදුලිය සහ ජලය ලබාදී මූලික සක්‍රිය කිරීම කළා.

අපි සූර්ය බලශක්ති ගම්මාන ව්‍යාපෘතියෙන් අදහස් කළේ ගමට ආදායම උත්පාදනය වන ව්‍යාපෘති බීජයක් පැළ කිරීම. එය දියුණු කරන් පැළ බෙදා ගැනීම ගමේ සමාජයේ වැඩක්. මුලින්ම මේකට සූර්ය බලය යොදා ගන්නේ කොහොමද කියලා මම බැලුවා. ගමේ තිබුණා වතුර බෙදා හරින ක්‍රමවේදයක් වතුර පොම්ප කරලා. වතුර පොම්ප කළේ ඩීසල්වලින්. ගමේ කට්ටිය ඔක්කොම වතුර බිල ගෙවනවා බැංකු කවුන්ට් එකකට. මුදල් එකතු කරලා ඩීසල් ගන්නවා. මම හැදුවා ඩීසල් පොම්පය විකල්පයක් විදිහට තියාගෙන සූර්ය බලශක්තියෙන් ජලය පොම්ප කිරීමේ ක්‍රමවේදයක්. ඒ කාලේ ඒ වැඩේට පවුම් 4,000ක් විතර ගියේ.

මේ ව්‍යාපෘතියෙන් සිද්ධ වුණේ පිරිවැය සඳහා යන වියදම නැතිවීම. ඒ අයට ඩීසල් ගන්න ඕන නෑ. ජල බිලට එකතු වන මුදල බැංකුවේ තිබෙනවා. සූර්ය බලශක්ති ගම්මානයේ සංකල්පය මේකයි. දුප්පත් ගමක් හෝ ගම් පොකුරක් තෝරාගෙන ආදායම් උපදවන ක්‍රමයක් හදලා දෙනවා. මුල්ම ගමේ දී සිද්ධ වුණේ වතුර බිල ගෙවනවා. පිරිවැයක් නැති නිසා බිලට ගෙවන සියලුම මුදල් ඉතිරි වෙනවා. ඒක සෑහෙන ලොකු මුදලක්.

මේ වැඩේට ගමේ තියෙන්න ඕන ග්‍රාම සංවර්ධන සමිතියක්. ගැහැනු පිරිමි සමව ඉන්න ඕන. එතකොට එතැන ඉබේම පාලනයක් වෙනවා. මුදල් පරිහරණය විනිවිද භාවයකින් වෙන්න ඕන. ඊළඟට ශ්‍රමදානවලින් පොදු වැඩ කරනවා.

මම වැහෙන්න ගිය ගමේ පාසලට විදුලිය සහ ජලය අරන් දුන්නා. මගේ මල්ලි අධ්‍යාපන දෙපාර්තමේන්තුව හරහා පරිගණක දෙකක් අරන් දුන්නා. ගමේ අය දැක්කා පාසලේ ලොකු පිබිදීමක්. පළවෙනි අවුරුද්ද වනවිට ළමයි 20 ළමයි 85 වුණා.

අවුරුද්දක් ඇතුළත පන්ති කාමරයක් සහ පුස්තකාලය හැදුවා. ඒ සූර්ය ශක්තියෙන් බලගැන්වෙන වතුර පොම්පය නිසා ඉතිරි කරගත්තු මුදලින්. මේ වනවිට හැම අවුරුද්දෙම ශිෂ්‍යත්ව ප්‍රතිඵලය සියයට 60ක්. මහව කොට්ඨාසයේ ප්‍රාථමික පාසල් 186න් මේ ඉස්කෝලෙ තියෙන්නේ දෙවැනි තැන. දැන් කදුරුවැව ගම ලෝක ප්‍රසිද්ධයි පළවෙනි සූර්ය බලශක්ති ගම්මානය කියලා.

දෙවැනි ගම හැදුවේ පුල්මුඩේ. තුන්වැනි ගම නොච්චිය. හතරවැනි එක පූදිය නගර්. පස්වැනි එක එංගලන්තයේ තිබෙන හෙළ සරණ සුබසාධන සංවිධානයෙ 25 වැනි සංවත්සරය වෙනුවෙන් කළේ. ඒ සඳහා සම්පූර්ණ මුදල එම සංවිධානයෙන් දුන්නා.“ ඒ කටයුත්ත වෙනුවෙන්ම එම සංවිධානයේ ගාමිණි ජයසිංහ මේ වනවිට ලංකාවේ ගත කරයි. ඔහු දැනට ජීවත් වෙමින් සිටින්නේ අෙමරිකාවේය. ඔහුගේ බිරියගේ මූල්‍ය දායකත්වයෙන් තවත් ගම්මානයක් බල ගැන්වීමේ සූදානමක් ගැන ඔහු අප සමඟ පැවසුවේය.

“ මේ ඉතිරි හැම වැඩටම අපේ සංගමයක් තිබෙනවා Association of Professional Sri Lankans in U.K කියලා. අපි හැමෝම එකතු වෙලා මේ ව්‍යාපෘතිය කළේ. මේ සැරේ අපි ආවේ එක්වර ගම් තුනක් ගොඩ නඟලා යන්න. තන්තිරිමලේ සෝබිතගම, පානම ගම සහ මඩියාව තමයි ඒ ගම්මාන. සෝබිතගමට උදව් කරන්න බ්‍රිතාන්‍ය ජාතික පවුලක් සූදානම්. දැන් ලැබෙන සහායත් එක්ක මේ පාර ගම් පහක්ම හදලා යන්න පුළුවන්.“ නැවත මහාචාර්යවරයා හඬ අවදි කළේය.

“මැඩියාව ගමේ මිනිස්සු අලි වැටක් ඉල්ලුව අපෙන් අපි එයාලට ඒක කරලා දෙනවා නමුත් අලි වැට විසඳුමක් නෙමෙයි. අපි නව පරික්ෂණයක් කරන්න යනවා අලි වැට ගැන. කෙන්යාවේ අලියා පන්වන්නේ මී මැසි අලි වැටෙන්. තිරස් කඹයක් ඇදලා මීටර පනහින් පනහට මී මැසි පෙට්ටි තියනවා. මේක කෙන්යාවල කරනවා නම් ඇයි අපට කරන්න බැරි. කාලෙකදි මී මැස්සො වියළි යනවා කියලා ජනතාව කියනවා. එහෙනම් මී මැස්සන්ට හිතකර පරිසරයක් අපි හදමු. මේක සාර්ථකව කළොත් හැම තැනම කරන්න පුළුවන්. පරාගනය, වෙනවා. ඵලදාව වැඩි වෙනවා. පැණි ලැබෙනවා.

නොච්චියෙ අපි කළේ කිලෝවෝට් හතක සෝලා වහලයක් හදලා ග්‍රිඩ් එකට සම්බන්ධ කරන එක. ඔක්කොම නිපදවෙන විදුලියට මුදල් ලැබෙනවා මාසෙකට රුපියල් 15000ක් විතර විදුලි බල මණ්ඩලයෙන්. ඒ මුදල ඇති වතුර පොම්පාගාර වල විදුලි බිල ගෙවන් ඒක ක්‍රියාත්මක කරන්න. පස්සෙ ඒ අයට වතුර පිරිපහදු කරගන්න යන්ත්‍රයක් රජයෙන් අරන් දුන්නා. ඒ අය වතුර පිරිපහදු කරලා අවට ගම් අටකට විකුණනවා ඉතාම අඩු මුදලකට. ඒ ලැබෙන ආදායම ගම වෙනුවෙන් වියදම් කරනවා. දැනට ලක්ෂ 50ක ෆික්ස් ඩිපොසිට් එකක් දාලා තියෙනවා. තව ලක්ෂ දහයක් වියදම් කරලා ඔවුන් ගොඩනැඟිල්ලක් හදන්න යනවා.

දැන් මේ වෙන චින්තන වෙනස එක්ක මෙය හොඳ කාලයක් මේ රට දියුණු කරන්න. මේ වැඩේ කරන්න පුළුවන් හිරු එළියෙන්. සමූහයක් වශයෙන් කරන්න පුළුවන් ක්‍රමවේදය තමයි ක්‍රියාත්ම කරන්න අවශ්‍ය. ‍රටේ ජල විදුලිය, සුළං විදුලිය, සූර්ය බල ශක්තිය, ජීව ස්කන්ධ සහ ජීව වායුව කියන පුණර්ජනනී බලශක්ති එකතු කළොත් මේ රට දියුණු කරන්න පුළුවන්. තීරණ ගැනීම ඒ අයගේ වගකීම.“

රටක් වෙනුවෙන් කළ හැකි ඵලදායි සැලසුම් කොතරම් දැයි සිතමි. තමන්ගේ දැනුම පර්යේෂණ පරිචය සහිතව ලෝකයේ විශිෂ්ටම මහාචාර්යවරයෙක් මිලක් රහිතව සිය දැනුම උපන් රටට දීමට සැරසී සිටියි. එහෙත් අපේ මිනිස්සුන්ට ඇසෙන්නේ නැත. තීරණ ක්‍රියාත්මක කරන අයගේ ආබාධිත තත්ත්ව නොවේ නම් අපට මේ තරම් දුර්ග කාල ගත කරන්නට සිදුවන්නේ නැත.

  

ඡායාරූප – තිලක් පෙරේරා

ටානියා මෝසස්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division