ශ්‍රී ලංකාවේ 2008 වර්ෂයේදී ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය ගොඩනඟන ලද්දේ නැනෝ තාක්ෂණය තුළින් රටට යම් මෙහෙවරක් කිරීමේ අරමුණ පෙරදැරි කරගෙනය. මේ ආයතනය විසින් කළ දිගුකාලීන පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස අපේක්ෂිත සහ අනපේක්ෂිත භාවිත රැසක් නැනෝ තාක්ෂණය මඟින් බිහි කරගෙන ඇත.
මෙහිදී ආරක්ෂක, සන්නිවේදන, බලශක්ති, ආහාර, වෛද්‍ය, ප්‍රවාහන, කෘෂිකර්මය, රෙදි පිළි, බහු අවයවික සුවඳ විලවුන්, සහ ඉලෙක්ට්‍රොනික් විද්‍යාව යනාදී විවිධ ක්ෂේත්‍රවල වඩා සාර්ථක වැඩි දියුණුවක් ඇති කිරීමට නැනෝ තක්ෂණයේ දායකත්වය ලැබී ඇත. එසේම වර්තමානය වනවිට ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණය මඟින් නැනෝ බයෝ තාක්ෂණය භාවිත කර පිළිකා රෝගීන්ගේ පිළිකාව වර්ධනය වන ස්ථානයටම අදාළ ඖෂධ ස්ථානගත කිරීමට නව සොයා ගැනීම් සිදු කර ඇත. ග්‍රැෆයිඩ්වලින් ග්‍රැෆින් නිපදවීම ඇතුළු නව මානයන් සොයා යමින් මේ වනවිට අප රටට මේ නව සොයාගැනීම් සම්බන්ධයෙන් පේට්න්ට් බලපත්‍ර 12ක් හිමි කරගෙන ඇත. මෙම ආයතනයේ නැනෝ තාක්ෂණය පිළිබඳ විද්‍යඥයන් ඇතුළු කාර්ය මණ්ඩලය 80කට ආසන්න වෙයි.
මෙවැනි ක්ෂේත්‍ර ගණනාවක පර්යේෂණ සිදු කරන මෙම පිරිසගේ ස්වභාවික වර්ණක සොයා යාම තවත් එක් ක්ෂේත්‍රයක් පමණි. යම්කිසි කෙනෙකුගේ කසළ තවත් කෙනෙකුට මුදල් ඉපැයීමේ මාර්ගය බවට පත් කර ඒ තුළින් පේට්න්ට් බලපත්‍රයක් සහිතව ජාත්‍යන්තර වෙළෙඳපොළට යාමේ අවකාශය උදා කර ගැනීමට මේ වනවිට ඔවුන් සමත් වී ඇත. එනම් ඉවතලන තැඹිලි කෝම්බ භාවිත කරමින් ස්වභාවික ඇඟලුම් වර්ණක නිෂ්පාදනය කිරීමට මේ ආයතනයේ විද්‍යාඥයන් පිරිසකට සිය පර්යේෂණ තුළින් සොයා ගැනීමට හැකි වී තිබේ.
මෙසේ ඇඟලුම් ක්ෂේත්‍රයට අදාළ ව වර්ණක නිපදවීම සම්බන්ධයෙන් තෙමසක් තුළ උසස් තාක්ෂණය උපයෝගී කොට ගනිමින් සිදු කරන ලද පර්යේෂණ තුළින් ජයග්‍රහණය උදා කරගැනීමට ඔවුන්ට හැකිවී තිබේ. ඇඟළුම් ක්ෂේත්‍රයට අදාළ වර්ණ ගැන්වීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය මඟින් ලොව ප්‍රථම වරට ඉවතලන තැඹිලි කෝම්බයෙන් ඇඟලුම් වර්ණ ගැන්වීම සඳහා භාවිත කරන ස්වභාවික වර්ණක රැසක් නිපදවීම සිදු කර ඇත. මේ පර්යේෂණය සිදු කර ඇත්තේ එම නැනෝ තාක්ෂණ ආයතනයේ ෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය නුවන්ද සිල්වා විසිනි. එහිදී විද්‍යාඥ කසිදු ප්‍රමෝද් සහ නිලුපුලි රත්නායක, ආයතනයේ ප්‍රධාන පරිපාලක නිලධාරී තුෂාර වජිර පෙරේරා ඇතුළු කාර්ය මණ්ඩලයේ පූර්ණ සහයෝගය ද මේ සඳහා ලැබී තිබේ.
එම විද්‍යාඥයන් පවසන ආකාරයට යුරෝපය ඇමරිකාව ඇතුළු ලෝකයේ රටවල් විශාල සංඛ්‍යාවක සිය ඇඟලුම් වර්ණ ගැන්වීම සඳහා භාවිත කරන්නේ මිනිස් සිරුරට සහ ස්වභාවික පරිසරයට අහිතකර කෘත්‍රිම රසායනික අඩංගු ඇඟලුම් වර්ණකය. එම ප්‍රමාණය වර්ෂයකට ටොන් ලක්ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවක් වන බව ද පැවසේ.
මිනිස් සිරුරට සහ ස්වභාවික පරිසරයට අහිතකර වර්ණක සම්බන්ධයෙන් ඇති ගැටලුවට බොහෝ පර්යේෂණකයන් විසඳුම් සෙවීමට අවධානය යොමු කර තිබිණි. රසායනික වර්ණ භාවිතයට විසඳුමක් ලෙස තැඹිලි කෝම්බය උපයෝගී කර ගනිමින් සකස් කරන ලද ඇඟලුම් වර්ණ ගැන්වීමේ ස්වභාවික ක්‍රමවේදය සකස් කර ඇත්තේ ඉවතලන තැඹිලි කෝම්බයකින් වීම සුවිශේෂී කරුණකි. කාලීන අවශ්‍යතාවක් අනුව මෙම ස්වභාවික වර්ණක නිපදවීම සහ අඩු වියදමකින් සියයට සියයක් සාර්ථක වර්ණකයක් වෙළෙඳපොළට හඳුන්වාදීමට හැකිවීම අපේ රට ලද ජයග්‍රහණයක් සහ මහත් ගෞරවයකි.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ නැනෝ තාක්ෂණය පිළිබඳ ෙෂ්ඨ විද්‍යාඥයකු වන ආචාර්ය නුවන් ඩී. සිල්වා අප සමඟ අදහස් දැක්වීමේදී සඳහන් කළේ මෙය සියයට සියයක් සාර්ථක නිෂ්පාදනයක් වන බවත් අඩු පිරිවැයකින් වැඩි ප්‍රතිලාභයක් අත්පත් කර ගැනීමට හැකි නිෂ්පාදනයක් වන බවත්ය. ශරීරයට සහ පරිසරයට අහිතකර රසායනික යෙදූ කෘතිම වර්ණක භාවිතයෙන් ඉවත් වීමට ලොවපුරා මේ වන විට ස්වභාවික ඇඟලුම් වර්ණ සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කරමින් පවති. එයට පිළියමක් ලෙස මේ ස්වභාවික නිෂ්පාදනය සිදු කළ බව ආචාර්ය නුවන් පවසයි.
ශ්‍රී ලංකාවේ ඇඟලුම් වර්ණ ගැන්වීම සම්බන්ධයෙන් ප්‍රමුඛ පෙළේ ආයතනයක් විසින් කරන ලද යෝජනාවකට අනුව ස්වභාවික අමුද්‍රව්‍යයක් වන ඉවතලන තැඹිලි කෝම්බ භාවිත කරමින් ස්වභාවික වර්ණක නිපදවීමේ රසායනික ක්‍රියාවලිය මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ සිදු කිරීමට නැනෝ තාක්ෂණ ආයතනයේ මේ විද්‍යාඥයන් පිරිස සමත් වී ඇත. ෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය නුවන් පවසන ආකාරයට මෙවැනි ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගනිමින් ස්වභාවික වර්ණක සැකසීමට ලෝකයේ බොහෝ රටවල පර්යේෂණ සිදු කරමින් පවතිනවා. අපිත් ඒ පිළිබඳව නිරන්තර පර්යේෂණවල නිරත වන අතර මින් පෙර අපි තේ දලුවලින් ද ඩයි වර්ගයක් නිපදවනු ලැබුවා. එහෙත් තැඹිලි කෝම්බවල තියෙන සංයුතිය ගැන අපි නිරීක්ෂණයක් කළා. එය සියයට සියයක් සාර්ථක අමුද්‍රව්‍යයක්. ජලීය මාධ්‍ය භාවිත කරමින් නිස්සාරණය ක්‍රියාවලිය සිදු කළා. ජලය ඉවත් කර ඉන් අනතුරුව මෙය පවුඩර් එකක් ලෙස ලබා ගන්නවා. මෙය අඩු වියදමකින් සොයා ගත හැකි ස්වභාවික ද්‍රව්‍යයක් නිසා වැඩි දියුණු කිරීමට වඩාත් හේතු වුණා. එසේම මිනිස් සිරුරට කිසිදු අහිතකර තත්ත්වයක් නැහැ. වර්ණ වෙනස් වීමකට ලක් වෙන්නේ නැහැ. හොඳ වර්ණක හතරක් පමණ මෙයින් ලබා ගන්න හැකියි. කිසිදු අවර්ණ වීමක් සිදු වන්නේ නැහැ. ජාත්‍යන්තර තලයේ වර්ණක වර්ගයක් ලෙස මෙය භාවිත කිරීමට හැකියාව තියෙනවා. මාස තුනක වැනි කාලයක් තුළ අපි මෙය නිපදෙව්වා. අපිට නිරීක්ෂණය වුණා, ඇතැම් රටවල යම් යම් ස්වභාවික නිෂ්පාදනවලින් වර්ණක සකස් කර ගත්ත ද බොහෝවිට එම වර්ණක හිරු කිරණට නිරාවරණය වූ පසු අවර්ණ වීම ද සිදු වෙනවා. මේ සංයෝගය එසේ වෙන්නේ නැහැ.
අපි මාස තුනක පමණ කාලයක් පුරා මේ පර්යේෂණය සිදු කරමින් ඉන් අනතුරුව තැඹිලි ගෙඩියෙන් අපි වර්ණ හතරක් සොයා ගත්තේ වර්ණකවල ප්‍රධාන සංයෝගයන් හඳුනා ගැනීමෙන් සහ එහි රසායනික ව්‍යුහයන් වෙනස් කිරීම තුළින් එය සිදු කළා. ඉන් අනතුරුව ප්‍රසර ආයතනය විසින් රසායනික සංයෝගයන් සියයට 5ක් පමණ යොදා ගනිමින් මෙහි වර්ණ සංයෝග විශාල සංඛ්‍යාවක් සකස් කර ගත්තා. එසේම මේ පර්යේෂණවලින් අපි සොයාගත් මේ වර්ණක ඇඟලුම් සඳහා යොදා ගත්විට අවර්ණ වීමක් සිදු නොවෙන බව අපි එකම වර්ණක යෙදූ මධ්‍යයක් උපයෝගී කරගනිමින් සොයා ගත්තා. එසේම තැඹිලි ගෙඩියකින් ලොකු අයකුගේ ඇඳුම් දෙකක් වර්ණ ගන්වන්න පුළුවන්. කොට්න් නයිලොන් සහ පොලියස්ටර් වැනි ඇඳුම්වලට මේ වර්ණක පාවිච්චි කරන්න පුළුවන්. යුරෝපය වැනි බටහිර රටවල මේ ස්වභාවික ඩයිවලට විශාල ඉල්ලුමක් තියෙනවා. මෙය මිනිස් සිරුරට අහිතකර නැහැ.
එසේම රසායනික වර්ණක ජලයට එකතු වීමෙන් පිරිසිදු ජලයට හානි වෙනවා. ඒවා මිනිස් සිරුරට අහිතකර ලෙස බලපානවා. අපි දන්නවා තැඹිලි කෝම්බයක් කියන්නේ ඉවතලන දෙයක්. විශේෂයෙන් ඩෙංගු උවදුර නිසා තැලි කෝම්බය විශාල ගැටලුවක් වෙලා තියෙනවා. මේ ගැටලුවට එක්තරා පිළියමක් ලෙසයි මේ වර්ණක නිපදවීම සිදු කළේ. මේ වනවිට ලෝකයේ බොහෝ බටහිර රටවල් සහ ඇමෙරිකාව වැනි රටවල් ඉල්ලන්නේ කෘත්‍රිම රසායනික නැති ස්වභාවික වර්ණක අමුද්‍රව්‍යවලින් සකස් කළ ඇඟලුම්. රෙදි සහ නිමැවුම් රෙදි ලෙස අපි ප්‍රමිතියකින් යුතු ඇඟළුම් අපනයනයේ දී විශාල සමාගම් රැසක් මේවන විටත් එම ස්වභාවික අමුද්‍රව්‍ය යොදා ගැනීමට සුදානම්. එය ඇත්ත වශයෙන් ම අපේ රට ලබන විශාල ජයග්‍රහණයක්. මෙහි වර්ණක ගැන සිදු කළ සියලු විද්‍යාත්මක පර්යේෂණ සියයට සියයක් සාර්ථක නිසා අපි මේ සම්බන්ධයෙන් සියයට සියයක් වගකීම් දරනවා.
ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණය ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ උසස් තාක්ෂණය යොදා ගනිමින් තැඹිලිවලින් ස්වභාවික වර්ණක සකස් කරගැනීම සම්බන්ධයෙන් මූලික අදහස ලබා දුන්නේ ලංකාවේ ඇඟලුම් වර්ණ ගන්වන පුද්ගලික ආයතනයක් විසිනුයි. ඒ අය තැඹිලි කෝම්බයෙන් සැකසූ ස්වභාවික වර්ණකයක අවශ්‍යතාව සම්බන්ධයෙන් අදහසක් මතු කළා.
විදේශ විනිමය ගේන ප්‍රබලම මාධ්‍යයක් වන්නේ ඇඟලුම් ක්ෂේත්‍රයයි. මේ ආයතනයට ද විදෙස් ආයතනවලින් ඉල්ලීමක් ඇවිත් තියෙනවා. මෙය සියයට සියයක් ස්වභාවික වර්ණකයක් වෙනවා. ඇඟලුම් ක්ෂේත්‍රයේ ඉන්න දැවැන්තයෝ රසායනිකවලින් සහ කෘත්‍රිම වර්ණකවලින් බැහැර ස්වභාවික වර්ණකයන්ගේ අවශ්‍යතාව මතු කරනවා. අද වන විට ලංකාවේ ප්‍රබලම විදෙස් රටවල්වලට ඇඟලුම් සපයන ආයතනයන්ගේ ඉල්ලීමක් වෙලා තියෙන්නෙත් ස්වභාවික අමුද්‍රව්‍යවලින් වර්ණ ගන්වන ලද ඇඟලුම්වල අවශ්‍යතාවයි. මේ වර්ණකය නිපදවීමට පළපුරුදු ෙෂ්ඨ විද්‍යාඥයකු වන ආචාර්ය නුවන් විද්‍යාඥයන් දෙදෙනෙකු වන කසිඳු සහ නිලුපුලී සමඟ ස්වභාවික වර්ණක නිපදවීමට පර්යේෂණය කළා. ඒ නිසා මෙය ආරම්භ කර මාස දෙකහමාරක් තුනකට ආසන්න කාලයක දී සාර්ථක කර ගත්තා. තැඹිලි කෝම්බයේ පවතින ස්වභාවික වර්ණක සංඝටකයන් ඒකරාශී කරමින් එය ඇඟලුම්වලට උරා ගැනීමෙන් අනතුරුව විශාල වාර ගණනක් සේදීමෙන් අනතුරුවත් වර්ණය වෙනස් නොවන බවට තහවුරු වුණා.
අවශ්‍ය කරන ප්‍රමිතිය සකස් කර ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ නියාමයනයන්ට අනුකූල වන ලෙස මෙය නිෂ්පාදනය කර තියෙනවා. ඒ නිසා පේටන්ට් බලපත්‍රයකට ද ඉල්ලීම් කළා. එය අපිට ලැබෙයි කියලා අපිට විශ්වාසයක් තියෙනවා. ඉන්පසුව අපි ඒ තාක්ෂණය ගුණාත්මක ලෙස නිෂ්පාදනය කළා. ඉන් අනතුරුව රටක් ලෙස ලෝකයේ දැවැන්ත ඇඟලුම් ඉල්ලුම්කරුවන්ගේ ඇඟලුම්වලට මේ වර්ණක යොදා ගැනීමට හැකියාව තියෙනවා. මේ හරහා ඩොලර් නිපදවීමට හැකියාවක් තියෙනවා. ලංකාවට විශාල ඩොලර් ගලා ඒම මෙන්ම ස්වභාවික වර්ණක නිපදවීමේ කේන්ද්‍රස්ථානයක් බවට ද පත්කර ගැනීමට හැකියාව මෙයින් ලැබෙනවා. ස්වභාවික වර්ණක භාවිත කරන ඇඟළුම් ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් බවට අපේ රට පත් කරගැනීමට හැකියාව ලැබෙනවා.
එසේම ඇඟලුම් කර්මාන්තයේ ඉන්න දැවැන්තයන්ට මේ වර්ණක වෙනත් රටවලට විකිණීමට ද හැකියාව ලැබෙනවා. ඉවත දමන තැඹිලි කෝම්බවල වර්ධනය වන මදුරුවෝ මර්දනය මෙන්ම වක්‍රාකාරව රැකියා රැසක් ද මේ මඟින් නිපදවෙනවා.ඉවතලන තැඹිලි කෝම්බ එකතු කර ගන්න සැපැයුම් දාමයක් සකස් කර ගැනීමට අවශ්‍ය වෙනවා. තැඹිලි කෝම්බ එකතු කරගන්න ඉතාමත් කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් ටිකක් ඒකරාශී කර ගත යුතුයි. එතැනින් ඒ අයට ආදායමක් ලැබෙනවා. එසේම මේ නිෂ්පාදන මහ පරිමාණයෙන් සිදු කිරීම නිසා විදෙස් විනිමය ද ලැබෙනවා. අපේ ආයතනයෙ මේ වනවිටත් විශාල පර්යේෂණ සිදු කෙරෙමින් පවතී.
එසේම මේ වන විට ස්වභාවික මිනිරන් පුල්මුඩේ ඉල්මනයිට් ටයිටේනියම් ආදියෙන් පර්යේෂණ රැසක් කර තිබෙයි. එමෙන්ම මේ වන විට ලංකාවේ නිපදවන කුරුඳු මඟින් දියවැඩියාව සඳහා ඖෂධ පෙත්තක් නිර්මාණය කර එම ඖෂධ ඉන්දුනිසියාව එංගලන්තය වැනි රටවලට අපනයනය කරනු ලබයි. ග්‍රැෆින් තාක්ෂණය මඟින් මලබැඳීම වැළැක්වීමට නව තීන්ත වර්ග නිපදවීම සිදු කර ඇත. ඇත්ත වශයෙන්ම ලංකාවේ පර්යේෂණය කරන ආයතනයක් ලෙස සොයා ගනු ලබන නව නිපදවීම්වලින් පුද්ගලික අංශය සමඟ හවුලේ කටයුතු කර එම නිෂ්පාදන ජාත්‍යන්තරයට බෙදා දීම නැනෝ තාක්ෂණ ආයතනයේ ප්‍රමුඛ අරමුණ බව ප්‍රධාන විධායක නිලධාරීවරයා පවසයි.