Home » රට යන්න දුන් රුපියල් ලක්ෂ 40 ඉල්ලා මිතුරා නිවසේ රඳවාගත් ටියුෂන් ගුරුවරයා ඇල්ලුවේ මෙහෙමයි

රට යන්න දුන් රුපියල් ලක්ෂ 40 ඉල්ලා මිතුරා නිවසේ රඳවාගත් ටියුෂන් ගුරුවරයා ඇල්ලුවේ මෙහෙමයි

by thanushika
February 17, 2024 12:30 am 0 comment

උගත්කම තිබූ පමණින් කෙනෙකු බුද්ධිමතෙකු නොවන බවට හොඳම උදාහරණයක් සපයන කතාවක් හික්කඩුව පොලිසියෙන් පසුගියදා වාර්තා විය.

මේ දිනවල ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමත් සමඟ පොලිස් නිලධාරින් දිවා රෑ නොබලා වැටලීම් සිදු කරමින් සිටියි. ඒ අතර පසුගිය 7 වැනිදා පොලිස්පති සහන මැදිරියට ලද පැමිණිල්ලක් යොමු කෙරුණේ හික්කඩුව පොලිසියටය. එම පැමිණිල්ලෙන් කියැවුණේ මීටියාගොඩ ප්‍රදේශයේ කිසියම් ස්ථානයක පුද්ගලයකු බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවකි.

හික්කඩුව පොලිසියට එම පැමිණිල්ල ලැබුණද ‘මීටියාගොඩ‘ ප්‍රදේශය අයත් වනුයේ මීටියාගොඩ පොලිස් වසමටය. එහෙත් හික්කඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සඳසිරි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රභාත් තමා වෙත කැඳවා පැවැසුවේ මේ සිද්ධිය වී ඇත්තේ හික්කඩුව පොලිස් බලප්‍රදේශයේ නොවූවත් එම පැමිණිල්ල ගැන විමර්ශනයක් කරන ලෙසටය.

ඒ අනුව විමර්ශන නිලධාරි කණ්ඩායමක් පොලිස්පති සහන මැදිරියට පැමිණිලි කළ පුද්ගලයාගෙන් වැඩිදුර තොරතුරු ලබාගත්තේය.

“සර්… පහුගිය දවස් දෙකේම මං දන්න සර් කෙනෙක් මට කතා කරනවා. එයා මගෙන් රුපියල් ලක්ෂ 40ක් ඉල්ලනවා. මට තේරුණ විදිහට ඒ සර් කවුරුහරි බලෙන් රඳවගෙන ඉන්නවා වගේ. මං ඇහුවා සර්ට මොකක්හරි කරදරයක්ද කියලා… එයා ඉංග්‍රීසියෙන් මට කිව්වා ‘ඔව්‘ කියලා. ඒ සර්ගෙ මෙන්න මේ ෆෝන් නොම්මරෙන් තමයි මට කතා කළේ…“ අදාළ පුද්ගලයා පොලිස් නිලධරයන්ට එසේ කීවේය.

ඒ අනුව එම පුද්ගලයා දුන් දුරකතන අංකය ඔස්සේ හික්කඩුව පොලිස් නිලධාරින් විමර්ශනයක් ඇරැඹීය. එහිදී ජීපීඑස් තාක්ෂණය ඔස්සේ ‘දුරකතන ලොකේෂන්‘ වාර්තා මඟින් අදාළ ජංගම දුරකතනය ක්‍රියාත්මක නිවස සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට ගතවූයේ පැය දෙකක් වැනි කෙටි කාලයකි. එනම් 7 වැනිදා දහවල් එක වෙද්දී පොලිස් පරික්ෂක ප්‍රභාත් ඇතුළු කණ්ඩායමක් මීටියාගොඩ, තෙල්වත්තෙ, මලවැන්න, නෙල්සන් මෙන්ඩිස් මාවතේ පිහිටි එම නිවෙස සොයා ගියේය.

 

එම නිවස ගාල්ල ඇතුළු දකුණු පළාතේ රසායනික විද්‍යා උපකාරක පන්ති ගුරුවරයෙකු පදිංචිව සිටි නිවෙසකි. නිවසේ සිටි උපකාරක පන්ති ගුරුවරයා 28 හැවිරිදි රසිකය. එම නිවසේ ඔහු පදිංචිව සිටියේ දරුමල්ලන් සහ දෙමාපියන්ද සමඟිනි. පොලිසිය නිවසට යද්දී එම නිවසේ සාලයේ පුද්ගලයකු සිටියේය.

“ඔයා කවුද?” පොලිස් නිලධාරියෙක් විමසීය.

“මං ඩොක්ට කෙනෙක්…” එම පුද්ගලයා කීවේය.

“ඇයි ඔබතුමා මේ ගෙදර ඉන්නෙ…?” පොලිස් නිලධාරියෙක් එලෙස විමසුවේය.

“අනේ මහත්තයා මං දවස් තුනක් තිස්සෙ මේ ගෙදර බලෙන් තියාගෙන ඉන්නෙ…” නිවසේ සිටි එම පුද්ගලයා පොලිස් නිලධරයන්ට එලෙස කීවේය.

අදාළ පුද්ගලයා 40 හැවිරිදි අයෙකි. වැඩිදුර විමර්ශනයේදී හෙළි වූයේ මංජුල නමැති ඔහු බදුල්ල මහ රෝහලේ හිටපු නාරි හා ප්‍රසව වෛද්‍යවරයෙක් බවය.

“මහත්තයා මෙයා මගෙන් රුපියල් ලක්ෂ 40ක් ගත්තා… ඒක දෙන්නේ නැතිව මඟ හරිනවා. ඒක නිසා තමයි මං මෙයාව ගෙදර තියාගෙන හිටියේ… මං කිව්වේ කාගෙන්හරි ඉල්ලලා මට ඒ සල්ලි ඉක්මනට ගෙනල්ලා දෙන්න කියලා…“ නිවසේ සිටි රසික නමැත්තා පැවැසීය.

පොලිස් නිලධාරීන්ට සියල්ල වැටහෙන්නට වැඩි වෙලාවක් ගත වූයේ නැත. නිවසේ රඳවාගෙන සිටි හිටපු වෛද්‍ය මංජුල රුපියල් ලක්ෂ 40ක් දීමට පසුගිය දින දෙකේ වරින්වර සිය මිතුරෙකු අමතා මුදල් ඉල්ලුවේ ගුරුවරයාගෙන් ගැලවීමටය.

මංජුලගේ මිතුරා තමන්ට ලැබුණු දුරකතන ඇමැතුම් ගැන පොලිස් සහන මැදිරියට එලෙස පැමිණිලි කිරීමත් සමඟ හික්කඩුව පොලිස් නිලධාරින් වහා ක්‍රියාත්මක වී තිබිණි. වෛද්‍ය මංජුලගේ පාපොච්චාරණය පරිදි සැකකාර රසායනික විද්‍යා ගුරුවරයා අත්අඩංගුවට ගැනුණේ ඒ මොහොතේදීය. එම රසායනික විද්‍යා උපකාරක පන්ති ගුරුවරයා සහ හිටපු වෛද්‍යවරයා අතර විරසකය ඇතිවන කතාන්දරය පොලිස් පොතේ ලියැවෙන්නේ මෙලෙසිනි. ඒ වෛද්‍යවරයා සහ සැකකරු පොලිසියට කැඳවාගෙන ඒමෙන් පසුවය.

මංජුල බදුල්ල මහ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍යවරයකු ලෙස සේවය කළේය. එසේම ඔහු බදුල්ලේ පදිංචිකරුවෙකි. කොවිඩ් වසංගතය ආරම්භවූ 2020 වසරේදී මංජුල වෛද්‍ය වෘත්තියට සමු දී ජපානයේ රැකියාවකට ගියේය. එහෙත් ඔහු වැඩි කලක් විදෙස් රැකියාව නොකළේය. වසරකට පමණ පසු මෙරටට ආ මංජුල වෛද්‍ය වෘත්තියට ද සමු දුන්නේය. අනතුරුව ඔහු උපකාරක පන්ති ගුරුවරයකු ලෙස කලඑළි බසින්නට වූයේ ජීව විද්‍යාව විෂයක් ලෙස උගන්වමිනි.

ඔහු ඒ සඳහා තෝරාගත්තේ උපකාරක පන්ති පැවැත්වීමට ඉමහත් ජනප්‍රිය දකුණු පළාතේ ගාල්ල නගරයේ ආයතනයකි. කලක් ගත විය. එම උපකාරක පන්ති ගුරු වෘත්තිය ඔස්සේ ඔහුට විවිධ පුද්ගලයෝ හඳුනා ගැනීමට හැකි වූහ. රසික ද ඒ අතර විය. රසික රසායනික විද්‍යා උපකාරක පන්ති ගුරුවරයෙකු ලෙස මංජුල ජීව විද්‍යාව පන්ති කළ ආයතනයේම පන්ති කරමින් සිටියේය.

මේ දෙදෙනා කලක් යද්දී කුලුපග මිතුරන් විය. මංජුල හිටපු වෛද්‍යවරයා රසිකගේ නිවසට යමින් එම නිවස ආගන්තුක තැනක්

නොවන තරමට බැඳියාවක් ඇති කර ගත්තේය. රසිකගේ විවාහයේ එක් සාක්ෂිකරුවකු ලෙසට අත්සන් තබා තිබුණේද මංජුලය.

“මංජුල සර්… දැන්නම් ලංකාවේ හිටියට ඇතිවෙලා තියෙන්නෙ…“ දිනක් රසික මංජුලට කීවේය.

“මං දන්න කෙනෙක් ඉන්නවා… රසික ඔයාට ඕනෙනම් ලේසියෙන්ම ඔස්ට්‍රේලියාවේ රස්සාවක් හොයාගන්න පුළුවන්…මොකද ඔයාට උගත්කමත් තියෙනවානේ…“ මංජුල එලෙස කීවේය.

චීන විශ්වවිද්‍යාලයකින් තොරතුරු තාක්ෂණ උපාධියක්ද ලබාගෙන සිටි රසිකගේ සිත මංජුලගේ කතාවෙන් පිනා ගියේය.

“කොහොමද සර් වැඩේ කරගන්නෙ…“ රසික ඇසීය.

“හැබැයි ලක්ෂ 40ක් විතර යනවා…“ මංජුල කීවේය.

ලක්ෂ 40ක් සොයාගෙන රසායනික විද්‍යා ගුරු රසික තම ‘රට යෑමේ‘ සිහිනය සපථ කර ගැනීමේ නොතිත් ආසාවෙන් පසු වන්නට විය.

මාස කීපයක් ගත විය. මංජුල කී ආකාරයෙන් ‘වැඩ‘ සිදු නොවන අයුරකි. රසික, මංජුලගෙන් මුදල් ඉල්ලන්නට විය. එහෙත් හිටපු වෛද්‍යවරයා රසිකව මඟ හරිමින් මුදල් දීම ද අදිමදි කළේය.

අනතුරුව මංජුල තමා මුදල් දීම පැහැර නොහරින බව සපථ කරමින් රසික විසින් තමන් හට රුපියල් ලක්ෂ 40ක මුදලක් දුන් බවට සාමදාන විනිසුරුවරයකු ඉදිරියේ තහවුරු කළ ලිපියක්ද ගෙනැවිත් රසිකට දුන්නේය. ඒ පසුගිය නොවැම්බර් මාසයේ දිනෙකය.

එවැනි ලිපියක් දුන්නද මංජුල මුදල් දෙන ආකාරයක් නොවීය. මංජුලගෙන් මුදල් ලබා ගැනීමට රසික ‘ප්ලෑන‘ක් ගැසුවේය. එම සැලැසුම ඔහු ක්‍රියාත්මක කළේ පසුගිය පස්වැනිදාය.

එදින මංජුල සිය උපකාරක පන්ති ආයතනයෙන් පවත්වන මතුගම, දොඩංගොඩ ශාඛාවේ පන්තියක් අවසන්කොට ඔහු නවාතැන්ගෙන සිටි ස්ථානයට යාමට බසයකට නැඟීමට සිටියේය. ඒ කළුතර, දොඩංගොඩ මලබොඩ හන්දියේය.

ඒ මොහොතේ සිය මෝටර් රථයෙන් එම ස්ථානයෙන් ගමන් කරමින් සිටියේ රසිකය. ඔහු මෝටර් රථය මංජුල අසලම නැවැත්වීය.

“මංජුල සර් මාත් එක්ක යන්න පුළුවන්… මං සර් ගිහින් දාන්නම්… නඟින්න… නඟින්න…“ රසික කීවේය.

මංජුලද කිසිම චකිතයකින් තොරව මෝටර් රථයට ගොඩ වීය. දක්ෂිණ අධිවේගී මාර්ගයේ පැමිණි මෝටර් රථය බද්දේගම හුවමාරුවෙන් පිටතට පැමිණ මීටියාගොඩ තෙල්වත්තේ පිහිටි රසිකගේ නිවෙසට ගියේය.

රසිකගේ නිවසේ අයද මංජුල ඉතා හොඳින් දැන සිටියේය. මේ අතර මංජුලගේ දුරකතනයද ලබාගත් රසික ඔහුගෙන් ලබාගත් රුපියල් ලක්ෂ 40ක මුදල ඉල්ලන්නට වූයේ තර්ජනාත්මක ස්වරූපයේ වදන් ද කියමිනි.

පසුගිය පස්වැනිදා රසික විසින් නිවෙසට ගෙන ආ මංජුල හත් වැනිදා දින තෙක්ම මුදල් ඉල්ලා කරදර කරමින් එම නිවෙසේ රඳවාගෙන සිටියේය. මංජුල සිය ජංගම දුරකතනයෙන් කිසියම් අයකුට කතා කළ යුත්තේද ‘ස්පීකර්‘ ක්‍රියාත්මක කරගෙනය.

“මංජුල සර්… ඔයා ගාව නැත්නම් මට කොහෙන්හරි සල්ලි ඉල්ලලා ඕන… නැත්නම් මේක මොන විදිහට විසඳෙයිද දන්නෙ නෑ…“ රසික එලෙස කීවේය.

ඒ අනුව මංජුල සිය මිතුරෙක් අමතා රසිකගේ නිවෙසේ රඳවා සිටි දින දෙක තුළදී නිතර කතා කළේ ලක්ෂ 40ක මුදලක් ඉල්ලමිනි. ඔහුට හැඟුණේ සිය මිතුරු වෛද්‍යවරයා කිසියම් කරදරයකට පැටළී ඇති ආකාරයයි. එම නිසා ඔහු ඒ බව පැමිණිලි කළේ පොලිස්පති සහන මැදිරියටය.

හික්කඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සඳසිරිගේ මූලිකත්වයෙන් අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති ප්‍රභාත් ගුණසේන ඇතුළු කණ්ඩායම සිදුකළ ක්ෂණික වැටලීම නිසා අපරාධයක් වීමට මත්තෙන් හිටපු වෛද්‍යවරයා එම ස්ථානයෙන් ගලවා ගැනීමට සමත් විය.

අනතුරුව මේ පිළිබඳව හික්කඩුව පොලිසිය විසින් ගාල්ල මහේස්ත්‍රාත් අංක 2 අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු ඉදිරි විමර්ශන සිදු කෙරිණි.

මේ පිළිබඳ විමර්ශන හික්කඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සඳසිරිගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රභාත් ගුණසේන, උප පොලිස් පරික්ෂකවරුන් වන මෙන්ඩිස්, විතානාරච්චි, සැරයන් 24646 වික්‍රමරත්න සහ කොස්තාපල් 36132 තිළිණ විසින් සිදු කළහ.

ඡායාරූප – කරන්දෙණිය සමූහ

අනුරාධ ප්‍රියදර්ශන

අමිල මලවිසූරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division