යක්කල මහවිට ප්‍රදේශයේදී පසුගිය හතදා දහවල් තරුණ යුවළකට කඩු පහර දී පැහැරගත් සුඛෝපභෝගී මෝටර් රථයක් සිද්ධියෙන් පැය කිහිපයක් ඇතුළත බටලීය මක්කනිගොඩ ප්‍රදේශයේදී සොයා සැකකරුවන් සමඟ අත්අඩංගුවට ගැනීමට වීරඟුල, බෙම්මුල්ල හා පල්ලෙවෙල ඒකාබද්ධ පොලිස් කණ්ඩායම්වලට හැකි වූයේ යුක්තිය මෙහෙයුමට උර දී සිටින පොලිස් නිලධාරීන්ගේ කැපවීම නිසාය. මාධ්‍ය මඟින් මහත් ප්‍රසිද්ධියක් ලැබුණු මේ කතාව පොලිස් පොතේ ලියැවෙන්නේ මෙසෙයි.
අඹුසැමියෝ තරුණ විය ඉක්ම නොවූ අයය. පදිංචිය කොළඹ – මහනුවර මාර්ගයට නුදුරු කළගෙඩිහේන ප්රදේශයේය. ජීවිතය ජය ගන්නට වෙහෙසෙන සැමියා රටට විදේශ විනිමය ගෙන එන කෝමාරිකා වගාවක නිරත වූවෙකි. දයාබර බිරියද ඔහුගේ ගමනට නිතරම අතහිත දෙන්නේ ඉදිරිය ජය ගනු රිසියෙනි. යුවළ වසර හතරකට පමණ ඉහතදී නවින පන්නයේ ‘වෙසෙල්’ වර්ගයේ මෝටර් රියක උරුමය ලබාගත්තේ එහි මූල්‍ය වටිනාකම වාරික පදනම මත ගෙවා අවසන් කරන අදහස ඇතිවය.
එහෙත් කොරෝනා වසංගතයත් සමඟ මේ යුවළගේ ආර්ථිකය වැටිණි. මෝටර් රිය වෙනුවෙන් වාරික ගෙවීම කළ නොහැකි බව තේරුම්ගත් ඔවුන් එය කල්මුණේ පදිංචිකරුවෙකුට අඩු මුදලකට විකුණා දැමුවේ වාරික නිසි පරිදි ගෙවා වාහනය නිදහස් කරගන්නා ලෙස අයැද සිටිමිනි.
මාසය දෙක ගෙවී ගියේය. දැන් වසරකට ආසන්නය. ලීසිං ආයතනයෙන් පණිවිඩයකි. හිඟ වාරික ගෙවන්න නැතිනම් නඩු දාන්න වෙනවා යැයි එයින් කියවිණි. මෝටර් රිය මිලදී ගත් අයට සැමියා ආයාචනා කළේ ඉන් අනතුරුවය. එහෙත් ඔහුගෙන් සහනදායී වදනක් ලැබුණේ නැත. ලීසිං ආයතනය වාහනය පවරාගන්නා බව දැන්වූයේ ඒ අතරය. මේ යුවළට කළ හැකි දෙයක් නොවීය. කලක් ගත විය. ඒ අතර කිසියම් මුදලක් සොයා ගන්නට මේ යුවළ සමත් වූයේය. ලීසිං ආයතනය සමඟ කතිකා කර හිඟ මුදල් ගෙවා රිය නිදහස් කර ගත්තේය. අමතර ගෙවීම් සමඟ රුපියල් ලක්ෂ ගණනක මුදලක් ඒ සඳහා යට කරන්නට ඔවුනට සිදුවිය. හිඟ මුදල් ගෙවා තියෙන්නේ ඒ මුදල ගෙවා රියේ අයිතිය පවරාගන්නා ලෙස ගැනුම්කරුට දැනුම් දෙන්නට මේ යුවළ පියවර ගත්තත් ගැනුම්කරුගේ එකඟත්වයක් පළ වූයේ නැත. ඔහු කළේ නොවටිනා මිලක් ඉල්ලීමය. මේ සම්බන්ධයෙන් දෙපක්ෂය පොලිසියට පවා ගියේ මේ ගැටලුව ලිහා ගන්නටය. ගැනුම්කරු ෂයිලොක් සේ මස් රාත්තලම ඉල්ලද්දි සාධාරණ ඉල්ලීමක් කළ යුවළ අසරණ වූයේය. වෙනත් කරන්නට දෙයක් නැති තැන මෝටර් රිය තමන් සන්තකයේ තබා ගන්නට ඔවුනට සිදුවිය.
තත්ත්වය මෙසේ තිබියදී මේ යුවළ පසුගිය 7 වැනිදා දහවල් ගමනක් ගොස් එන අතරදි යක්කල මහවිට ප්‍රදේශයේ ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක් ආසන්නයේ අවන්හලක් අසල නතර කළේ සුප් කෝප්පයක් පානය කරන අදහසිනි. ඔවුන් තම මෝටර් රිය නවතන අවස්ථාවේදී ඔවුන් සමඟම පාහේ පැමිණි නවීන පන්නයේ කේ.ඩී.එච් රියක් එතැන නවතනු ලැබීය. එයින් තිදෙනෙක් බැස යුවළ සමීපයට ආහ. එක් අයෙක් අත මළ බැඳුණු අඩි දෙකහමාරක පමණ දිගින් යුත් කඩුවකි. තවෙකකු අත කිණිස්සක් වැනි දෙයක් තිබිණි.
“අනුන්ගේ වාහන පදින්න තොපිට ලජ්ජා නැද්ද?“ කී පුද්ගලයෙක් කඩුවෙන් පහර දුන්නේ සැමියාටය. තවෙකෙක් බිරියට කිණිස්ස පෙන්වා තර්ජනය කළේය. රියේ යතුර උදුරා ගැනිණි. තරුණ බිරිය අත තිබූ ජංගම දුරකතනය උදුරාගත් අනෙකා එය පොළොවේ ගසා කඩා බිඳ දැම්මේ ක්ෂණිකවමය. සුප් බොන්නට ගිය යුවළ කරකියා ගත නොහැකිව සිටිද්දී තිදෙනා මෝටර් රියට ගොඩවී නුවර දෙසට ගමන් කරන්නට වූයේය. ඔවුන් පැමිණි වෑන් රියද ඒ සමඟම ඉදිරියට ඇදිණි. බිරිය අත තිබූ දුරකතනය කඩා දැමීම නිසා ඔවුන් තරමක අපහසුතාවකට පත්වූහ. ඒ මෝටර් රියට සවි කර තිබූ ජී.පී. එස්. තාක්ෂණ පහසුකම් ලබා ගැනීමේ ගැටලුවක් උද්ගතවූ නිසාය.
එහෙත් සැමියා නිවසේ තිබු ටැබ් යන්ත්රයකටද මේ සම්බන්ධතාව ලබාදී තිබීම නිසා විසඳුමක් පෙනිණි. ඔහු වහාම එය ගෙන්වා ගත්තේය. මෝටර් රියේ ගමන්මඟ එහි පෙන්වන්නට විය. ඒ පසුපස යාමට ඔහු පියවර ගත්තේ පොලිස් හදිසි ඇමතුම් 119 ටද දැනුම් දෙමිනි. ඒ අනුව පොලිස් පිරිසක්ද ඔවුනට එක්වූහ. රිය හඹා ගියේ ඒ අනුවය. ප්‍රදේශයේ සියලු පොලිස් ස්ථානයන්ද මේ අතර දැනුම්වත් කෙරිණි. පස්යාල පසුකරද්දී පොලිස් නිලධාරීන් පිරිසක් මෝටර් රියක් පරීක්ෂාවට ලක් කරනු ලැබීය. තරුණ යුවළ කීවේ එම රිය තමන්ගේ නොවන බවය. රිය ඒ වන විට එතැන් සිට මීටර් 600 දුරින් නවතා ඇති බව තාක්ෂණයෙන් පෙන්නුම් කරනු ලැබීය. ඔවුන් ඒ අනුසාරයෙන් පොලිස් කණ්ඩායම් සමඟ වාහනය තිබෙන ඉසව්ව කරා ගමන් කරනු ලැබීය. මේ අතර පැහැරගත් මෝටර් රථය පල්ලෙවෙල පොලිස් වසමේ බටලීය මක්කනිගොඩ ප්‍රදේශයේ අතුරු මාර්ගයක ගමන් කර එම මාර්ගයේ කෙළවරක පිහිටි ඉඩමක දමා එහි පැමිණි පුද්ගලයන් තිදෙනා විනාඩි විස්සක පමණ කාලයක් ඒ අසල රැඳී සිට පලා ගොස් තිබිණි. සැකකරුවන් තිදෙනා පසුව කැලෑ වැදී ඇති අතරවාරයේ වාහනයේ හිමිකරු ජී.පී.එස්. තාක්ෂණය ඔස්සේ පොලිසිය සමඟ වාහනය තිබූ ස්ථානයට පැමිණීමට සමත් වුයේය . වාහනය කොල්ලකන අවස්ථාවේ ඔවුනට පහර දුන් බව කියන අඩි දෙකහමාරක් පමණ දිගැති කඩුවද මෝටර් රථය අසල තිබීයදී හමු විය.වීරඟුල බෙම්මුල්ල සහ පල්ලෙවෙල පොලිස් ස්ථානවල නිලධාරීන් මෙන්ම ප්‍රදේශයේ ජනතාව ද මෙම සැකකරුවන් අල්ලා ගැනීමට වෙහෙසී ඇති අතර මෝටර් රථයේ පැමිණි එක් සැකකරුවකු යළි මෝටර් රිය රැගෙන යාමේ අදහසින් ඒ ස්ථානයට පැමිණෙන අවස්ථාවේදී අල්ලා ගැනීමට හැකි වී ඇත. ඔහු සමග පැමිණි සෙසු දෙදෙනාද අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී ඇති අතර අපරාධ කල්ලිය ගමන් ගත් වෑන් රථය හා අපරාධ කල්ලි නායකයා ඇතුළු සෙසු පස්දෙනාද අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වූයේ මේ අතරය.
මේ කොල්ලය මෙහෙයවූ බව කියන අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘රද්දල්ගොඩ කළු වසන්ත’ නමැත්තා ඇතුළු සැකකරුවෝ අට දෙනෙක් මේ අනුව පොලිස් අත්අඩංගුවට පත්විය. මෝටර් රිය පැහැරගත් සැකකරුවන් රියැදුරාගේ බිරිය සතුව තිබූ ජංගම දුරකතනය පොළොවේ ගසා පොඩි කර දමා ඇත්තේ වාහනයේ ජී.පී.එස්. තාක්ෂණය සම්බන්ධතා එම දුරකතනයට තිබූ බව දැන සිටි නිසා විය හැකි යැයි ද පොලිසිය සැක කරයි. පැහැරගත් වාහනය හිමිකාරිය සහ තවත් පුද්ගලයෙකු අතර මෙම වාහනය සම්බන්ධයෙන් පවතින අරාවුල සම්බන්ධයෙන් වීරගුල පොලිසියේ පැමිණිල්ලක් පවා විභාග වී ඇති බවද අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කළේය. ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණගේ උපදෙස් මත වීරඟුල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.