Home » මහ කැලේ කිලෝමීටර 18ක් ගිහින් පොලිසිය – හමුදාව එක්ව ගංජා හේන වැටලූ හැටි

මහ කැලේ කිලෝමීටර 18ක් ගිහින් පොලිසිය – හමුදාව එක්ව ගංජා හේන වැටලූ හැටි

by thanushika
February 17, 2024 12:30 am 0 comment

මත්ද්‍රව්‍ය සහ ඒ හා බැඳුණ ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයන් සොයා පොලිසිය සිදු කරනා ‘යුක්තිය’ මෙහෙයුම රටපුරා ක්‍රියාත්මක වෙමින් තිබියදී ජනතාවගෙන් ඒ සඳහා තොරතුරු ගලා එන්නට පටන් ගෙන ඇත්තේ මේ මෙහෙයුම ගැන ගොඩනැඟී ඇති විශ්වාසයත් සමඟය. එසේම බුද්ධි අංශවලින්ද ඒ වෙනුවෙන් ලැබෙනා සහාය වචනයෙන් විස්තර කළ නොහැකි තරම්ය. මේ කතාවද යුක්තිය මෙහෙයුම සමඟ සබැඳුණකි.

මාතර අපරාධ කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී මහින්ද කල්දේරාට පසුගිය දිනක හදිසියේම ලද දුරකතන ඇමතුමකින් කියැවුණේ මොනරාගල වෙහෙරගල්ල ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස මහා පරිමාණයෙන් කංසා හේනක් පවත්වාගෙන යමින් තිබෙනා බවය. තොරතුර ලැබී තිබුණේ යුද හමුදා බුද්ධි අංශයෙනි.

සහකාර පොලිස් අධිකාරී කල්දේරා ඔහුට ලැබුණු බුද්ධි තොරතුර වහාම තම ප්‍රධානියා වන දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්තට දැනුම් දුන්නේ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා උපදෙස් අපේක්ෂාවෙනි. එම තොරතුර ලැබුණු වහාම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහකාර පොලිස් අධිකාරීවරයාට උපදෙස් ලබා දුන්නේ කංසා හේන වැටලීම සඳහා වහා මෙහෙයුමක් සැලසුම් කරනා ලෙසයි.

“කල්දේරා ඔයා මේ වේලාවේ ඔපරේෂන් එකක් ප්ලෑන් කරන්න. හැබැයි හොඳ කල්පනාවෙන්. මොකද ඔය වගේ තැන් හරි භයානකයි. ඒ අය ළඟ අවි ආයුධ තියෙන්න පුළුවනි. ඒ වගේම ඔත්තුකරුවන් තැන තැන දාලා ඉන්නත් පුළුවන්. මේ ගැනත් හිතලා ඔයා ඔය ඔපරේෂන් එක හොඳට ප්ලෑන් කරන්න. අපේ ‘ටීම්’ එකේ ආරක්ෂාව ගැන හොඳට හිතන්න. හැම වේලාවෙම හානිය අවම කරගෙන වැඩේ කරන්න. වෙන දේ ගැන හැම මොහොතෙම මට දැනුම් දෙන්න…”

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මැදවත්ත දුන් උපදෙස් අනුව සහකාර පොලිස් අධිකාරී කල්දේරා මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර හට තමාට ලද තොරතුර දන්වා අවශ්‍ය උපදෙස් ලබාගෙන මෙහෙයුම් කණ්ඩායම සමග මධ්‍යම රාත්‍රියේම මොනරාගල බලා පිටත් වූයේ තමාට එම තොරතුරු දුන් හමුදා බුද්ධි අංශ නිලධාරීන්ටද අවශ්‍ය පණිවිඩ ලබා දෙමිනි.

පොලිස් කණ්ඩායම මොනරාගල වෙහෙරගොල්ල ප්‍රදේශයට ළංවන විට අලුයම උදාවී තිබිණි. මාතරින් ගිය පොලිස් කණ්ඩායමට යුද හමුදා බුද්ධි නිලධාරීන් හමුවීමෙන් පසු කංසා හේන සොයා මෙහෙයුම් ආරම්භ කළ අතර හේන සොයා ගැනීම සඳහා මහ වන මැද කිලෝමීටර් දහසයක් ජීප් රථයෙන් ද කිලෝමීටර දෙකහමාරක් පයින් ද ගමන් කිරීමට පොලිස් කණ්ඩායමට සිදු විය.

කංසා හේන ආසන්නයට ළඟා වූ පොලිස් සහ හමුදා බුද්ධි අංශ කණ්ඩායම් සැලසුම්සහගත ලෙස ස්ථාන ගතවෙමින් මඳ වේලාවක් සෝදිසියේ සිට එකවර කංසා හේන තුළට කඩා වැදී පරීක්ෂා කරද්දී සැකකරුවන් හේන අතහැර පලාගොස් සිටි අතර සොයා බැලීමේදී අනාවරණය වූයේ ගංජා හේන අක්කර හයක් පුරා පැතිරි ඇති බවයි.

දින දෙකහමාරක් පුරා සිදු කළ මෙහෙයුම් සාර්ථක කරගැනීමෙන් පසු මෙහෙයුම් කණ්ඩායම ඊළඟට සිදු කළේ තම මෙහෙයුම් සාර්ථකත්වය උසස් නිලධාරීන්ට දැනුම් දීමය. උසස් නිලධාරීන්ගේ උපදෙස වූයේ කංසා හේන වහා ගිනි තබා විනාශ කර දමන ලෙසයි.

මෙම මෙහෙයුමේදී කිසිම සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ අතර මෙහෙයුම සිදුවන අවස්ථාව වන විට සැකකරුවන් ප්‍රදේශයෙන් පලා ගොස් තිබුණේය. අත්අඩංගුවට ගත් නඩු භාණ්ඩ වැඩිදුර පරීක්ෂණ සඳහා හම්බෙගමුව පොලිසියට භාර දීමට මෙහෙයුම් කණ්ඩායම පියවර ගන්නා ලදී. මෙහෙයුම සඳහා මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධි උඩුගමසුරියගෙන් සහ හම්බෙගමුව පොලිසියෙන් ඉහළ සහායක් ලැබී තිබිණි.

මාතර අපරාධ විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී මහින්ද කල්දේරාගේ මඟපෙන්වීම මත එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමරවික්‍රම, සැරයන්වරුන් වන (53662) ගමගේ, (68157) කපිල, (68288) රණවීර, කොස්තාපල්වරුන් වන (52604) අතුල, (68274) සිරිබද්දන, (82323) කෝසල, (89484) සමරසේකර, (24208) රංජය, (23852) තලංගම සහ කොස්තාපල් රියැදුරු (80145) ලහිරු සහ යුද හමුදා බුද්ධි නිලධාරින් පස්දෙනෙකු එක්ව මෙම මෙහෙයුම් සිදු කරන ලදී.

ජයසිරි පේදුරුආරච්චි - ගන්දර සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division