Home » මට ඕන මං වෙලා ජීවත් වෙන්න ඒ නිසා ආදරේ කරන එක පැත්තකින් තිබ්බා

මට ඕන මං වෙලා ජීවත් වෙන්න ඒ නිසා ආදරේ කරන එක පැත්තකින් තිබ්බා

by thanushika
February 10, 2024 12:30 am 0 comment
 හර්ෂණී වීරරත්න

දිවිතුරා නාට්‍යයේ වින්ඩිට පණ පොවන ඇය නිලුෂී පවන්‍යා. රංගන ශිල්පිනියක් වගේම මෝස්තර නිරූපිකාවක් හා නර්තන ශිල්පිනියක් හැටියට දක්ෂ ඇය මේ දවස්වල ජනප්‍රිය වැඩිපුර බැණුම් අහන වින්ඩ්ගේ චරිතය නිසයි. බොහෝ නිර්මාණවලින් දකින්න නොලැබුණත් කවුරුත් ආදරේ කරන ඇය ගැන තොරතුරුයි මේ.

දිවිතුරා නාට්‍ය විකාශය අවසන් අදියරයේ තිබ්බත් තවමත් එහි වින්ඩිට ලැබෙන ප්‍රතිචාර වලින් අඩුවක් නැහැ නේද ..?

දිවිතුරා නාට්‍යයේ වින්ඩි කියන්නේ හරි නපුරු වැඩ කරන නෙගට්ව් චරිතයක්. ඒත් මට ඒ චරිතයට ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. මම ළඟදි දවසක කෑම කන්න වාහනය නතර කරපු වෙලාවේ පොඩි දරුවෙක් දුවගෙන ඇවිත් ආහ් වින්ඩි ආන්ටී කිව්වා. පොඩි ළමයින්ගෙන් ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. මට ගොඩක් අය වින්ඩි කියලා කතා කරනවා, ඉතිං හරි සතුටුයි. ඒ නපුරු චරිතයක් වුණත් රයිගම් සම්මාන උලෙළ සඳහා මගේ නමත් නිර්දේශ වුණා.

හැමදාම බැණුම් අහනවා කියලා ආරංචියි ..?

හැමෝම බණින්නේ වින්ඩිට. මම නාට්‍ය සමහර වෙලාවට යුටියුබ් එකෙන් බලනවා. පහුගියදා පාන්දර එක විතර වෙනකල් රූගත කළා. පොඩි බ්‍රේක් එකකදි මම නාට්‍ය බැලුවා. ඊට පස්සේ යටින් දාලා තියෙන කමෙන්ට්ස් බැලුවම එතැන තිබ්බ බැණුම් ඔක්කොම මට. ඒවා බල බලා මම තනියම හිනා වුණා. මෙච්චර මට හැමදාම බණිනවනේ කියලා පුදුම හිතුණා. ඒ වගේම වින්ඩි කරන ෆැෂන්වලට තමයි ගොඩක් අය ආස. ඒ ගැන අහන අයත් ඉන්නවා

සෘණාත්මක සිතුවිලි ජීවිතේට බලපෑම් කරනවා කියන කාරණය හැමෝම දන්න දෙයක්, ඔය තරම් ශාප කර කර බණිද්දි නිලුෂීට බයක් දැනෙන්නේ නැද්ද ..?

මේක ඉතිං නාට්‍යයේ චරිතයක්නේ. මම වින්ඩි වගේ නපුරු වැඩ කරන්නේ නැහැ. ඒ වුණාට මගේ යාළුවෝ නම් විහිළු කරනවා ඔන්න අපි නම් දන්නෙ නැහැ ඕවා පස්සෙන් එයිද කියලා කියනවා. ඒත් විහිළුවට. මම එහෙම හිතන්නේ නැහැ. ඒ බැණුම් අහලා මට හිනා යනවා වගේම මම කරන චරිතයට සාධාරණයක් කරනවා කියලා දැනෙනවා.

නිලුෂී කියන්නේ නර්තනයටත් දක්ෂ කෙනෙක්. ඇයි හැංගිලා ඉන්නෙ..?

මට විවිධ නර්තන අංග සඳහා ආරාධනා ලැබෙනවා. පුළුවන් විදිහට සම්බන්ධ වෙනවා. නමුත් මම බලාපොරොත්තු වෙනවා නර්තන ඇකඩමියක් පටන් ගන්න. ඒකට ටික කාලයක් යයි

නිලුෂී ස්පා යන කෙනෙක් ද..?

අනේ නැහැ. මම ස්පා යන්නේ නැහැ. ඔය කතාව ආවේ මම ළඟදි සම්බන්ධ වුණු වැඩසටහනක් නිසයි. මම බියුටි එක හොඳින් තියා ගන්න උත්සාහ කරනවා. ස්කීන් ක්ලීනප් කරන්න යනවා. ඒත් ස්පා යන්නෙ නැහැ. ජිම් යනවා. වර්කවුට් කරනවා.

ජීවිතේ සතුටින් තියා ගන්න මොනවද කරන්නේ ..?

මට ලැබෙන පොඩි විවේකයේදි ගෙදරට වෙලා ඉන්න තමයි මම උත්සාහ කරන්නේ. යාළුවෝ කතා කරත් එළියට යන්න කොහොම හරි ස්කීප් කරනවා. බැරිම තැන එක්කගෙන ගියොත් මිසක් යන්නෙ නැහැ. පන්සල් යනවා, ෆිල්ම් බලනවා. ගෙදර නිදහසේ ජීවත් වෙන්න ආසයි. ඒක තමයි කරන්නේ

දීර්ඝකාලීන ප්‍රේමයට තිත තිබ්බ නිලුෂී දැන් පෙම්වතියක් ද..?

ලොකු කාලයක් මම කෙනෙකුට ආදරේ කළා. එයා හරිම හොඳ කෙනෙක්. එයාගේ පවුලේ අයත් හරිම ආදරණීය මිනිස්සු. ඒත් අපි අතර හොඳ තේරුම් ගැනීමක් තිබුණේ නැහැ. ඒ නිසා කතාබහ කරලා අයින් වුණා. දැන් පෙම්වතෙක් නැහැ .

ආයෙමත් ආදරෙන් පරාජය වෙන්න බයයිද..?

මම ඒ ආදරෙන් ඈත් වුණාට පස්සෙ තව දෙයක් හිතුවේ නැහැ. ආදරේ ගැන නොහිතා වැඩ කරන්න හිතුවා. හිටපු පෙම්වතා මගේ ෆැෂන්වලටවත් කැමති නැහැ. මම කරන කිසි දෙයකට කැමති නැහැ. මම නිළියක් කියලා දැනගෙන ආදරේ කළේ එයා. එයා ට්‍රැඩිෂනල් පැත්තට ගොඩක් බර කෙනෙක්. එයාට තිබ්බ ආදරේ නිසා මම ඒ කාලේ වැඩිය රඟපාන්න ගියෙත් නැහැ. හොඳ සිනමා නිර්මාණ කිහිපයක් ප්‍රතික්ෂේප කළා. වැඩවලින් ඈත් වුණා. ඒත් හැමදේකටම සීමාවක් තියෙනවා. මට ඕන මං වෙලා ජීවත් වෙන්න. තව කෙනෙකුට ඕන විදිහට කොච්චර වෙනස්කම් කරන්නද. ඒ නිසා ආදරේ කරන එක පැත්තකින් තිබ්බා ටික කාලෙකට බයේ නෙමෙයි රංගනයට මුල් තැන දෙන්න ඕන නිසා

දිවිතුරා නාට්‍යයේ වින්ඩි ආදරේ කරෙත් ගොඩක් වැඩිමහල් කෙනෙකුට. ඒ වගේ නිලුෂී හිතන්නේ නැද්ද වැඩිමහල් කෙනෙක් පෙම්වතා කර ගන්න ..?

කොහෙත්ම නැහැ. මම පෙම්වතා කර ගන්නෙ කවදා හරි දවසක මට වඩා අවුරුද්දක් දෙකක් වැඩිමහල් කෙනෙකුට විතරයි

නිලුෂීගේ අම්මා ඔබ ළඟින්ම ඉන්න කෙනෙක්. ඇය කියන්නේ නැද්ද තනියට කෙනෙක් හොයා ගන්න කියලා ..?

මට ඉන්නේ අක්කයි අයියලා දෙන්නයි. අම්මා ඉන්නෙ හලාවත ගෙදර. මම කොළඹ , මට වරදින්නේ නැතුව හැමදාම අම්මගෙන් ඇමතුමක් එනවාමයි. අම්මා හැමදාම අහනවා ඔයාට මම නැතිවුණොත් කවුද හයියට ඉන්නෙ කියලා. මම හැමදේම අම්මා එක්ක ශෙයාර් කර ගන්නවා. දරාගන්න බැරි දුක් කියන්නේ නැහැ. ඒවා මම දරාගන්නවා. මටත් අම්මගේ ඇමතුම් මිස් කරගන්න බැහැ. ඒත් අම්මා ලොකුවට බල කරන්නේ නැහැ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division