Home » මත් ජාවාරමෙන් කෝටි ගණන් ඉපැයූ කුඩු අසංකගේ දේපළ තහනම් කළ රහස් පොලිස් මෙහෙයුම

මත් ජාවාරමෙන් කෝටි ගණන් ඉපැයූ කුඩු අසංකගේ දේපළ තහනම් කළ රහස් පොලිස් මෙහෙයුම

by thanushika
February 10, 2024 12:30 am 0 comment

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන වත්කම් හා දේපළ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කෙරුණේ යුක්තිය මෙහෙයුමට සමගාමීවය. ඒ පසුගිය සති කීපය ඇතුළතදීය.

එම විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල්ගේ සෘජු අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරීවරුන් වන සුජීව විජේසේන සහ රුවන්කාන්ත යන නිලධාරීන්ගේ උපදෙස් මත ජාලගත වංචා විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වීරසේකරගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක තිවංක දසනායක විමර්ශන නිලධාරියා ලෙස පත් කෙරිණි.

එහිදී අනාවරණය කරගත් කරුණු අනුව අධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක් ලබාගෙන දැනට බූස්ස බන්ධනාගාරයේ අධි ආරක්ෂිත කලාපයේ දැඩි රැකවල්ලා රඳවා සිටින ‘අසංක ප්‍රියදර්ශන’ හෙවත් ‘කුඩු අසංක’ට අයත් නිවසක් පසුගියදා පරික්ෂාවට ලක්කෙරිණි. එම නිවෙස පිහිටා තිබුණේ කහතුඩුව, කිරිවත්තුඩුව, මූණමලේ ප්‍රදේශයේය.

බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති හසන්ත මාරපන, ජාලගත වංචා විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වීරසේකර, කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංකර ඇතුළු නිලධාරී කණ්ඩායමක් එම නිවස වටලා පරීක්ෂා කරන ලද්දේ විමර්ශන නිලධාරීන්ට ලැබුණු රහසිගත තොරතුරු අනුවය.

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන අධි සුඛෝපභෝගී දෙමහල් නිවසක් ඇතුළු රුපියල් කෝටි පනහකට ආසන්න මුදල් සහ දේපළ සමඟ කාන්තාවක් එහිදී අත්අඩංගුවට ගැනීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධරයන්ට හැකිවිය.

එහිදී කිරිවත්තුඩුව, මූනමලේවත්ත 4 පටුමඟේ පර්චස් 20 භූමියක ඉදිකර තිබූ අධි සුඛෝපභෝගී දෙමහල් නිවසක් රහස් පොලිස් නිලධරයන්ගේ පරීක්ෂාවට ලක්විය. එහිදී අනාවරණය වී තිබුණේ හොරණ – මහරගම 280 බස් මාර්ගයට මුහුණලා තවත් පර්චස් දහයක තෙමහල් ගොඩනැඟිල්ලක් කුඩු අසංක සන්තකයේ ඇති බවය. ඒ අනුව බස්නාහිර පළාත දකුණ කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති හසන්ත මාරපන ඇතුළු නිලධාරී කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂාකොට රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමින් යුත් එම තෙමහල් ගොඩනැඟිල්ලට මුද්‍රා තැබීය. එසේම මොවුන්ට අයත්ව තවත් පර්චස් දහය බැගින් වූ ඉඩම් දෙකක් පිටිපන සහ දියගම ප්‍රදේශවල ඇති බවට තොරතුරු අනාවරණය වීමෙන් පසුව එම ඉඩම්වල හිමිකම් පත් පොලිස් භාරයට ගැනිණි.

ඊට අමතරව රුපියල් ලක්ෂ හැටකට අධික වටිනාකමින් යුත් සුඛෝපභෝගී මෝටර් රථයක් ඔවුන් සතුව ඇති බවත් ඒ වන විට එම මෝටර් රථය කුලී පදනම මත ලබා දී ඇති බවට තොරතුරු අනාවරණය වීමෙන් පසුව එම මෝටර් රථය ගෙන්වාගෙන පොලිස් භාරයට ගෙන කුඩු අසංකගේ නීත්‍යනුකූල බිරියගේ පරිහරණය සඳහා භාවිත කළ ස්කූටි වර්ගයේ යතුරුපැදි දෙකක් ද අත්අඩංගුවට ගැනිණි.

මේ අතර කුඩු අසංකගේ නිවස පරීක්ෂා කිරීමේදී නිවසේ සාලයේ සෝෆා පුටු සැටිය මැද තිබූ කුඩා ප්‍රමාණයේ ස්ටූල් එකක කකුලක් තුළ ඉතා සූක්ෂමව සඟවා තිබී පවුම් 50කට ආසන්න වටිනාකමින් යුත් රන් භාණ්ඩ තොගයක්ද, රුපියල් 123,000ක මුදලක් ද පොලිස් භාරයට ගත් බව පැවසේ.

ඒ අනුව පර්චස් විස්සක ඉදිකර තිබූ අධි සුඛෝපභෝගී නිවස, පර්චස් දහයක ඉදිකර තිබූ තෙමහල් ගොඩනැඟිල්ල, පර්චස් දහය බැගින් වූ බිම් කැබලි දෙක, මෝටර් රථය, ස්කූටි වර්ගයේ යතුරුපැදි දෙක, පවුම් පනහකට ආසන්න රන් භාණ්ඩ තොගය හා මුදලින් රුපියල් 123,000 පොලිස් භාරයට ගෙන 44 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට පොලිස් සමත් විය.

පසුව එම කාන්තාව කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කොට රඳවා ගැනීමේ නියෝග ලබාගෙන ප්‍රශ්න කිරීම් ආරම්භ කළ අතර පොලිස් භාරයට ගත් දේපළ රාජසන්තක කිරීම සඳහා අවශ්‍ය විමර්ශන කටයුතු නීති විරෝධී වත්කම් විමර්ශනය කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ප්‍රේමරත්නගේ උපදෙස් මත මේ වන විට ක්‍රියාත්මකය. ඒ අනුව අදාළ දේපළ මාස තුනකට තහනම කොට ඒවා රාජසන්තක කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බව ජාලගත වංචා විමර්ශන ඒකකය පවසයි. මෙම නඩුව සඳහා දැනට බන්ධනාගාරගතව සිටින අසංක ප්‍රියදර්ශන හෙවත් කුඩු අසංක විත්තිකරුවකු ලෙස නම් කොට ඉදිරියට පවත්වාගෙන යාමට අධිකරණ නියෝගයක් ලැබී තිබේ.

ඒ අනුව අසංක ප්‍රියදර්ශන හෙවත් කුඩු අසංක නඩුවේ විත්තිකරුවකු ලෙස නම්කොට අත්අඩංගුවට ගෙන සිටි කාන්තාව ඇප මත මුදා හැරීමට මීට සති දෙකකට පෙර අධිකරණය පියවර ගෙන තිබුණි.

මෙම සැකකරු මීට පෙර යුද හමුදාවේ සේවය කර ඇති අතර එහිදී සිදු කළ නීති විරෝධී ක්‍රියාවක් හේතුවෙන් යුද හමුදාවෙන් ඉවත් කිරීම නිසා පෙදරේරු කර්මාන්තයට සහාය දෙමින් අත් උදවුකරුවකු ලෙස සේවය කරමින් සිටියදී මත්ද්‍රව්‍යයට සම්බන්ධ පුද්ගලයන්ගේ ආශ්‍රයට පත්ව තිබේ. ඒ නිසා මොහු ක්‍රමයෙන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙසට නම් දරා තිබීම නිසා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් සැකකරු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකොට ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී අධිකරණය නියෝග කර ඇත්තේ බූස්ස බන්ධනාගාරයේ අධි ආරක්ෂිත කලාපයේ රඳවා තබන ලෙසටයි. ඒ අනුව සැකකරු මේ වන විට බූස්ස බන්ධනාගාරයේ අධි ආරක්ෂිත කලාපයේ දැනට රඳවා තබා ඇති බව කියයි.

එහි රැඳී සිටිමින් සැකකරු මත්ද්‍රව්‍ය ජාලය පවත්වාගෙන ගොස් ඇති අතර එය මෙහෙයවා ඇත්තේ ඇප මත මුදා හැරුණු ඔහුගේ නීත්‍යනුකූල බිරිය බව පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්ෂ පොලිස් අධිකාරි අනුර ප්‍රේමරත්නගේ උපදෙස් මත ජාලගත වංචා විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වීරසේකරගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක තිවංක දසනායක, කොස්තාපල්වරුන් වන (93012) ලහිරු, (37940) ප්‍රියශංක, (25456) අස්වර්, (104342) ඒකනායක, කාන්තා කොස්තාපල් (11491) ඔනෝදා, කොස්තාපල් රියැදුරු (103097) ඔලියන්ත ඇතුළු නිලධාරීහු පරීක්ෂණවලට එක්වූහ.

කොට්ටාව ප්‍රදීප් කුමාර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division