Home » අබකොළ ආරේ මහා ජලකඳ දෙස බලා හූල්ලන අන්නාසිගල ගොවියෝ

අබකොළ ආරේ මහා ජලකඳ දෙස බලා හූල්ලන අන්නාසිගල ගොවියෝ

by Mahesh Lakehouse
February 3, 2024 12:30 am 0 comment

– ඉරි තැළුණු පොළොවෙන් කුඹුරු අක්කර 40ක් අස්වැද්දුවේ ඩීසල් මෝටරයකින්
– ඇළෙන් වතුර ගන්න වන සංරක්ෂණයේ  අවසරය ලබා දෙන්න

ගොවිතැන යනු රටකට ස්වයංපෝෂිතව නැගී සිටීමට ඇති හොඳම මාර්ගය බව නොරහසකි. ලාංකීය අපේ ප්‍රධාන ජීවනෝපාය ද ගොවිතැනය. ඈත අතීතයේ පටන්ම ගොවියාට සුවිශේෂී ස්ථානයක් හිමිව තිබුණි. අපේ ජන සමාජයේ ඇති “මඩ සෝදාගත් කල ගොවියා රජකමට ද සුදුසුය“ යන මේ කියමන එය තවත් තහවුරු කරයි. එදා එසේ වුවත් අද වන විට එම තත්ත්වය වෙනස්ව ඇත.

මේ කියන්නට යන මේ කතාවද එවන් ගොවීන් පිරිසකට අත් විඳීමට සිදුව ඇති ශෝකාන්තයක් පිළිබඳවය. මෙම ගොවි ගම්මානය භූගෝලීය වශයෙන් පිහිටා ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයට අයත් හල්දුම්මුල්ල ප්‍රා‍දේශීය ලේකම් බල ප්‍රදේශයේ මහලන්ද ග්‍රාම නිලධාරී වසමේය. මෙම ග්‍රාමයේ නම අන්නාසිගලය. අන්නාසිගල ගමේ පවුල් 95කට අයත් සාමාජික සාමාජිකයෝ 350ක් පමණ ජීවත් වෙති. අද වන විට මොවුන් සියලුම දෙනාගේ එකම ජීවනෝපාය වී ගොවිතැනය.

මෙම ගොවි ගම්මානය ආසන්නයේ පිහිටා ඇත්තේ බෝගහපැලැස්ස රක්ෂිතයය. එය 2013 වසරේදී රක්ෂිතයක් ලෙස නම් කර තිබේ. වසර 45කට ආසන්න කාලයක් තිස්සේ මෙම ගම්මානයේ ජීවත් වූ පිරිස මෙහි හේන් ගොවිතැන් කරගෙන ජීවත් වුවද පසුගිය කාලයේ රට තුළ පැවති ආර්ථික අර්බුදය හමුවේ සියළුම ගොවීන් එක්ව රටට බත සැපයීමේ අරමුණින් හේන් ගොවිතැනට සමුදී වී ගොවිතැන ආරම්භ කර ඇත්තේ අහස් දියෙන් හා ගම්මානය අසලින් ගලා බසින අබකොළ ආරේ ඇළෙන් ඩීසල් මෝටරයක් මාර්ගයෙන් පොම්පකර ලබා ගත් ජලයෙනි. මෙම අන්නාසිගල ගොවි ගම්මානය බදුල්ල දිස්ත්‍රික්කයට අයත් වුවත් මෙම ගම්මානය එක් පසකින් මොණරාගල දිස්ත්‍රික්කයටත්,තවත් පසකින් රත්නපුර හා හම්බන්තොට යන දිස්ත්‍රික්ක දෙකට ද මායිම්ව පිහිටා තිබේ.

මෙලෙස කලක් තිස්සේ කුඹුරු වගා කරගෙන ආ ගොවීන්ට අද වන විට කණකොකා හඬා ඇත්තේ වී ගොවිතැනට ප්‍රමාණවත් ජලය සපයා ගැනීමේදී වැය වන අධික ඩීසල් පිරිවැය හේතුවෙනි. ගම්මානය අසලින් ගලා බසින අබකොළ ආරෙන් මෙම ගොවිතැන් සඳහා ජලය ලබා ගැනීමට නොහැකිව ඇත්තේ ගම අසලින් ගලා බසින අබකොළ ආර අඩි 30කට වැඩි ප්‍රමාණයක් පහළින් ගලා බැසීම නිසාය. කෙසේ නමුත් ගම්මානයට මීටර් 50ක් පමණ උඩහට වන්නට පිහිටි බෝගහපැලැස්ස රක්ෂිතය ආසන්නයෙන් මෙම ගොවීන්ට සිය වී වගාවන් සඳහා ජලය ලබා ගැනීමට හැකිව තිබුණත් ඒ සඳහා වන සංරක්ෂණ නිලධාරීන් ඊට හරස් වී තිබේ. මේ නිසා අදටත් මෙම ගම්මානයේ ගොවි ජනතාව සිය කුඹුරු වගා සඳහා ජලය ලබා ගැනීමට අබකොළ ආර දෙස බලමින් හූල්ලමින් සිටින්නේ බලධාරීන්ගෙන් තීරණයක් එනතුරුය. තමන්ට අත්ව ඇති ඉරණම පිළිබඳව ගොවි ජනතාව සිළුමිණ සමඟ පැවසුවේ මෙවන් කතාවකි.

මේ අන්නාසිගල ගොවි සංවිධානයේ භාණ්ඩාගාරික ඩබ්ලිව්.පී.කේ.පී.විමලසේනය.

“අපේ තාත්තලාගේ කාලේ ඉඳලා මෙම ඉඩම්වල හේන් ගොවිතැන් කරගෙන ආවේ. නමුත් පසුගිය කාලයේ රට තුළ උද්ගත වූ සහල් හිඟයත්,ආර්ථික අර්බුදයත් නිසා අන්නාසිගල ගොවි සංවිධානයේ අපි 85 දෙනා සමඟ එක්ව හෙන් ගොවිතැන් කරගෙන ආ මෙම ඉඩම් සියල්ලගෙම කුඹුරු සකස් කිරීම කළා.මාස් කන්නයේ ලැබෙන වර්ෂාව ඉලක්ක කරගෙන මුලින්ම අපි කුඹුරු කළත් කුඹුරු සඳහා ප්‍රමාණවත් ජලය ලැබුණේ නෑ. නමුත් අපි ගම අසලින් අඩි 30ක විතර ගැඹුරින් ගලා බසින අබකොළ ආරෙන් වතුර මෝටරයක් යොදා ජලය ලබාගෙන කුඹුරු වගා කිරීම සිදු කළා. මේ වන විට අපි ඩීසල් වතුර පොම්පයක් යොදාගෙන කුඹුරු අක්කර 40ක් යල මහ කන්න දෙකේ වගා කරනවා.එක කන්නයකට අපි වී කිලෝ 50,000කට වැඩි ප්‍රමාණයක් රටේ මිනිස්සුන්ට කන්න නිෂ්පාදනය කරනවා.මේ වන විට අපිට තියෙන එකම ගැටළුව තමයි මේ කුඹුරු කරන්න ප්‍රමාණවත් ජලයක් අසලින් ගලා බසින් අබකොළ ආරෙන් ලබා ගැනීමට නොහැකි වීම. මොකද ගම අසලින් අබකොළ ආර ගලා බසින්නේ ඉතාමත් පහළින්. අඩි 30ක් විතර ගැඹුරින් ගලා බසින්නේ. ඒ නිසා ඇනිකට් එකක් හෝ දමාගෙන කුඹුරු සඳහා වතුර ගන්න පුළුවන් කමක් නෑ. අපට අපේ වගා සඳහා ස්වභාවිකවම ජලය ලබා ගැනීමට හැකි ස්ථානය පිහිටා තිබෙන්නේ ගම්මානයට මීටර් 50ක් පමණ ඉහළින් පිහිටි ස්ථානයකයි. ගැටළුව වී තිබෙන්නේ එම කොටස අයත් වන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට. මේ ආරේ වතුර ටික කිසිදු ප්‍රයෝජනයකට නොගෙන මේ වන විට මහ මුහුදට ගලා බසිනවා. අපේ ගමට මීටර් 50ක් විතර දුරින් බෝගහපැලැස්ස රක්ෂිතය ප්‍රදේශයෙන් ඇනිකට් එකක් යොදා ගැනීමට අපි වන සංරක්ෂණ නිලධාරීන්ගෙන් ඉල්ලීම් කළා. නමුත් මේ වෙනකම් වන සංරක්ෂණ නිලධාරීන් ඊට අවසර දෙන්නේ නෑ. මේ නිසා අපි එක කන්නයකට කුඹුරු අක්කර 40ක් වගා කරන්න රුපියල් ලක්ෂ 06ක මුදලක් වියදම් කරනවා, ඩීසල් සඳහා. ආණ්ඩුවෙන් කියලා රුපියලක්වත් අපි ඉල්ලන්නේ නෑ. අපිට ඕනේ අවසරය විතරයි. අපිට මේ නිකරුනේ ගලා බසින ආරෙන් වතුර ටිකක් දෙනවා නම් තවත් කුඹුරු අක්කර 150ක් විතර වගා කිරීමේ හැකියාව තියෙනවා.“

මේ අන්නාසිගල ගොවි සංවිධානයේ ලේකම් ඩී.ජේ.කුමාරි සමරකෝන්ය.

“ අපි දැන් වසර 04ක් තිස්සේ මේ කුඹුරු යල මහ දෙකන්නයම වගා කිරීම සිදු කරගෙන ආවේ, ඩීසල් මෝටරයකින් වතුර ගහලා. අපි ගොවියෝ ටික ඔක්කොම එකට එකතු වෙලා ඩීසල් මෝටරයක් යොදාගෙන පැය විසිහතර පුරාම ගම අසලින් ගලා බසින අබකොළ ආරෙන් වතුර පොම්ප කිරීම සිදුකරනවා. මේ සඳහා අධික පිරිවැයක් යෙදවීමට අපිට සිදුව තිබෙනවා. ඒ විතරක් නෙමේ කුඹුරු සඳහා ලැබෙන ජලය පවා ප්‍රමාණවත් නෑ. අපේ මේ කුඹූරු වලට වතුර ගන්න අබකොළ ආරෙන් කුඩා ඇළක් දැම්මා කියලා වන සතුන්ට හෝ ගහ කොළවලට කිසිදු හානියක් වෙන්නේ නෑ. අපි ඉල්ලන්නේ අබකොළ ආරෙන් වතුර ගන්න ඇලක් කපාගන්න අවසර දෙන්න කියලා විතරයි. අනිත් සියලුම කටයුතු ගොවි සංවිධානයේ අපේ ශ්‍රමය හා වියදමෙන් කර ගන්න අපි ලෑස්තියි. රජය පාර්ශ්වයෙන් අපිට ඕනේ වතුර ටික ගන්න අවසරය විතරයි. අපිට වතුර ටික ගන්න අවසරය දුන්නොත් අපි දැනට වගා කරන කුඹුරු අක්කර 40ට අමතරව තවත් කුඹුරු අක්කර 150ක් විතර අපිට වගා කිරීමේ හැකියාව අපට තියෙනවා. “මේ එච්.එම්.සුමිත් කුමාරය. “අපි අපේ සීයලාගේ කාලේ ඉඳලා මේ ඉඩම්වල තල කුරක්කන් ඇතුළු හේන් වගාව සිදුකරගෙන ආවා. පසුගිය කාලේ “අපි වවමු-රට නගමු“ කියලා සංකල්පයක් හදුන්වලා දුන්නනේ. මුලින්ම අපි අහස් දියෙන් වගා කිරීම ආරම්භ කළත් අහස් දියෙන් ලැබෙන ජලය මදි නිසා අපි වතුර මෝටර් මඟින් ජලය අරගෙන කුඹුරු අක්කර 40ක් වගා කිරීම කළා. දැන් අවුරුදු 03ක සිට අපි යල මහ කන්න දෙකම වගා කරන්නේ මේ අපේ ගම ළඟින් ගලා බහින අබකොළආරෙන් මෝටර් දමලා පොම්ප කරලා ගන්න වතුරෙන්.මේ වෙනකොට ඉන්ධන මිල ඉහළ ගිහින් නිසා අපිට එක කන්නයකට මේ කුඹුරු අක්කර 40 අස්වද්දන්න රුපියල් ලක්ෂ 06ක ඉන්ධන පුච්චන්න වෙලා තියෙනවා.ගොවියන් වෙච්ච අපිට ඒක දරා ගන්න බෑ.ඒ නිසා අපි මේ නිකරුනේ කිසිදු ප්‍රයෝජනයක් නොගෙන මහ මුහුදට ගලා බසින වතුර ටික අපිට අපේ මේ වගා සඳහා ගන්න කුඩා ඇළ මාර්ගයක් සකස් කර ගන්න වන සංරක්ෂණ නිලධාරීන්ගෙන් ඉල්ලීම් කළත් මේ වනතුරුත් ඔවුන් අපිට ඒ සදහා අවසර නොදී කල් මරමින් ඉන්නවා. එක එක කරුණු කිය කියා මේ සඳහා විසඳුමක් දෙන එක ප්‍රමාද කරමින් ඉන්නවා. අපි මේ කරන්නේ රටට බත් ටික දෙන්න මහන්සි වෙන එක.“

අන්නාසිගල ගම්මානය අසලින් නිකරුනේ මහ මුහුදට ගලා යන අබකොළ ආරේ මහා ජල කඳ දෙස බලා මෙම ගම්මානයේ මිනිස්සු හූල්ලමින් සිටිති. ගම්මුන් රජයෙන් ඉල්ලන්නේ තම කුඹුරු වගා සඳහා වතුර ටිකක් ගන්න අවසරය පමණකි. අබකොළ ආර ගලා බසින්නේ බොගහවැව රක්ෂිතය අසලින් වීමත්,එම කොටස වන සංරක්ෂණයට අයත් වීමත් නිසා ගොවීන්ට වතුර ටිකක් මෙම ගොවිතැන් සඳහා ගැනීමට වන සංරක්ෂණයේ අවසරය ලබා ගැනීමට සිදුව තිබේ. මේ අසරණ ගොවි ජනතාව ඉල්ලන්නේ මේ අබකොළ ආරෙන් වතුර ටිකක් ගන්න අවස්ථාව ලබා දෙන ලෙස මිසක් වෙන යමක් නොවන බව එහි ගිය අපට ද පසක් වීය. මේ ගොවීන්ගේ ඉල්ලීමට රජයට කියා එකදු රුපියලක්වත් වියදම් වෙන්නේ නොමැතිය.

මේ සම්බන්ධයෙන් අප බදුල්ල වන සංරක්ෂණ කාර්යාලයේ නිලධාරියෙකුගෙන් ද දුරකතනයට විමසීමක් කළ අතර එහිදී එම නිලධාරියා පැවසුවේ මෙවැන්නකි.“අපි මේ සම්බන්ධයෙන් වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්ට දැනුම් දීලා තියෙනවා. වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් කියනවා නම් මිනිස්සුන්ට වතුර ටික දෙන්න කටයුතු කරන්න කියලා. අපිට පුළුවන් ඒ සඳහා අවසරය දෙන්න“ යැයි ඔහු පැවසීය.

සූරියවැව විශේෂ නුවන් ජයසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division