උපේක්ෂා ස්වර්ණමාලි කියලා කියන්නේ අපේ රටේ සිටින ඉතාමත්ම දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක්. සිය දක්ෂතා මඟින් නිර්මාණ රැසකින්ම ප්‍රේක්ෂකයන් අතරට එන්නට සමත් වූ ඇය මේ වන විට ප්‍රේක්ෂකයන් අතර ඉතාමත්ම ජනප්‍රියයි. 2024 අවුරුද්දේ උපේක්ෂා මොනවද කරන්නේ කියලා දැන ගන්නත් එක්කම රසඳුන සොඳුරු කතාබහකට එකතු කර ගත්තා.
මේ දවස්වල මොකද වෙන්නේ?
දිව්‍යාදරී සහ තත්පරයක් දෙන්න නාට්‍යවල රූගත කිරීම් සිදු වෙනවා. ඒ එක්කම දුවගේ පාසල් වාරය පටන් ගත්තා. ඉදිරියට රූගත කරන්න නියමිත භාරගත්ත වැඩ ටිකකුත් තියෙනවා. ඒ දේවල් එක්ක තමයි කාලය ගත වෙන්නේ.
රඟපෑම් සහ ගෙදර කටයුතු තනියම කරගෙන යන මේ ජීවිතේ දැනෙන්නේ කොහොමද?
බබා ඉපදෙන්න කලින් මම මවු පදවිය ගැන හිතන් හිටිය විදිහ නෙවෙයි අද අත්විඳින්නේ. මම හැදුණෙත් මගේ අම්මා එක්ක. මම අම්මා දැකපු විදිහට මාත් අම්මා කෙනෙක් වෙන්න හරි ආසාවෙන් හිටිය කෙනෙක්. මේකේ තියෙන වටිනාකම වෙන කිසි දෙයකට සමකරන්න හෝ මිල කරන්න බැහැ. හැබැයි මේ ජීවිතේ ලේසිත් නැහැ. පැය 24ම දරන්න ඕනේ වගකීමක්. දරුවා මගේ ඇස් ඉස්සරහ නැතත් වගකීමක් දරන අම්මා කෙනෙක්ගේ හිත තියෙන්නේ දරුවා ගාව. ඒ නිසා ලොකු බරක් තියෙනවා. මවු පදවිය කියන්නෙ ලෙහෙසි එකක් නෙවෙයි. හැබැයි මට මගේ මහන්සියේ ප්‍රතිඵල තියෙනවා. ඒ නිසා මේ ජීවිතේට කැපවෙන්න දෙපාරක් හිතන්නේ නැහැ. මගේ වාසනාවකට හෝ අවාසනාවකට මම වගේ මගේ දරුවා බලා ගන්න වෙන කවුරුවත් නැහැ.
උපේක්ෂා රූපගත කිරීම්වලට යද්දී දුව කොහොමද බලා ගන්නේ?
ඉස්කෝලෙ වෙලාවල හැර රූගත කරන තැන්වල දුවව මම තියාගෙන ඉන්නවා. අපි විවාහයෙන් වෙන් වෙලා හිටියත් දුව තාත්තට ආදරෙයි සහ තාත්තා දුවට ආදරෙයි. ඒ හින්දා මම දුවව තාත්තගේ ගෙදරට යවනවා. මගේ රූපගත කිරීම් අසාමාන්‍ය විදිහට වැඩි වුණොත් තමයි මම එහෙම යවන්නේ. දුව සහ තාත්තා කියන බැඳීම ඇති වෙන්න ඕනේ. ඒකත් මාසෙකට උපරිම දවස් 4ක් වගේ. ඉතුරු දවස් 26ම දුව ඉන්නේ මා එක්ක.
දුවත් එක්කම ජීවිතේ ගෙනියන නිසා කොහොමද චරිත තෝරා බේරා ගන්නේ?
මම අම්මා කෙනෙක් විදිහට දුවව දාන්න ඉස්කෝලෙට යනවා. එළවළු ටික ගන්න කඩේට යනවා. මම ජීවත් වෙන්නේ සමාන්‍ය පුද්ගලයෙක් විදිහට. එහෙම බැලුවම ලොකු වගකීමක් මට තියෙනවා. එහෙමයි කියලා සුදු චරිත විතරක් කරන්න ඕනේ කියන තැනක මම නැහැ. මොකද රංගන ශිල්පිනියක් විදිහට මම යම් පරාසයකට යා යුතුයි. එක තැන පල්වෙන රංගන ශිල්පිනියක් නොවී මමත් ආසයි යම් පරාසයකට විහිදෙන්න. නිර්මාණ තෝරා බේරා ගෙන රඟපාන එක ලෙහෙසි නැහැ. නමුත් යම් තේරීමක් එක්ක මම තවම වැඩ කරනවා.
උපේක්ෂා පිටරටක හැදුණ කෙනෙක්, මේ කාලේ ගොඩක් අය රට යනවා, උපේක්ෂට දුව එක්ක රට යන්න හිතෙන්නේ නැද්ද?
මගේ ජීවිතේ අත්දැකීම් එක්ක මම ලංකාවට එනකොට තැළිලා පොඩි වෙලා හිටියේ නැහැ. කපටිකම්, සුක්ෂ්මවීම් දන්නෙත් නැහැ, අපි යම් දෙයක් හදාරන්න ඕනේ, මහන්සි වෙන්න ඕනේ, කැපවෙන්න ඕනේ. ඒ තුළින් අපිට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කියන දේ එක්ක මම ලංකාවට ආව කෙනෙක්. මගේ ඒ හැදුණු විදිහ එක්ක මට ලැබුණු දේ බොහොමයි සහ මට ඇති වුණු ප්‍රශ්නත් බොහොමයි. මට ඕනෙකම තියෙනවා දුවව ලංකාව වගේ රටක හදන්න. එතකොට එයා මුළු ලෝකෙටම සූදානම් කියලා මට දැනෙනවා. එයාට තවම අවුරුදු 7යි. ජාත්‍යන්තර පාසලකට යන්නේ. මේ සමාජයේ තියෙන හැම දෙයක්ම දැනටම එයා අත් විඳිනවා. ඒ තුළින් එයා ශක්තිමත් වෙනවා. සුදුස්සාව සුදුසු තැන තියන්න. තැනේ හැටියට ඇණේ ගහන්න එයා හරියටම දන්නවා. කවදා හරි උසස් අධ්‍යාපනය ලබන කාලේ දුවත් එක්ක රටකට යන්න ලොකු ආසාවක් තියෙනවා. දරුවා රකින්න, දරුවාට හයියක් වෙන්න මම දුව එක්කම ඉන්නවා.
දැන් අවුරුදු කීයක් ද මේ ක්ෂේත්‍රයට ඇවිත්?
මම අවුරුදු 21න් මේ ක්ෂේත්‍රයට එන්නේ. මට දැන් මේ අවුරුද්දට අවුරුදු 40ක් ලබනවා. අවුරුදු 19ක් වගේ වෙනවා.
මේ කාලය තුළ කොයි තරම් නිර්මාණ කළත්, තවමත් ඔබ පුංචි තිරයේ පබා. ඒ ආදරේ දැනෙන්නේ කොහොමද?
පබා නාට්‍යයට ලැබුණු ප්‍රතිචාර ITN නාළිකාවටවත් ලැබුණේ නැහැ. පබා විදිහට මට, හිමාලි විදිහට පියුමිට, වසන්ත අයියාගේ චරිතයට සරත් චන්ද්‍රසිරිට ඒ ලැබුණු ආදරේ ඒ ලැබුණු ජනප්‍රියත්වය ආයේ ලැබුණේ නැහැ. ඒක මාරම ආශීර්වාදයක්. ඒ ලැබුණු ආදරය මම ලබපු භාග්‍යයක්. ඒ වෙනුවෙන් සම්මාන ලැබුණා. ඊටත් වඩා මිනිසුන්ගේ හදවත්වලට ළං වෙන්න පුළුවන් වීම ලොකු සතුටක්.
ජීවිතේ හෙට දවස දිහා බලන්නේ කොහොමද?
අද වෙද්දී ලොකු සැලැස්මක් නැහැ. ඉස්සර මම මගේ කිසි දෙයක් හරියට කළමනාකරණය කර ගත්තේ නැහැ. ඒ මගේ නොදැනුවත්කම තරුණකම සහ මඟ පෙන්වන්න කෙනෙක් නැති නිසා. අද අත්දැකීම් එක්ක කළමනාකරණය ගැන කලින්ට වඩා හොඳින් කරගෙන යනවා. තවමත් මම පාරට වැටිලා නැහැ. සතුටින් හොඳින් නීරෝගිමත්ව ඉන්නවා. දැන් මට ලැබෙන දේ පරිස්සම් කරගෙන පිරිමහගෙන මගේ දරුවා සමාජයට වටිනා පුරවැසියෙක් කරන්න ඕනේ කියන එක හිතමින් හොඳින් ජීවත් වෙනවා.
අනුෂා රණසිංහ