Home » අභියෝග දරා වසර 42ක සේවයට සමුදෙන පාර්ලිමේන්තු වේත්‍රධාරියා

අභියෝග දරා වසර 42ක සේවයට සමුදෙන පාර්ලිමේන්තු වේත්‍රධාරියා

by gayan
January 20, 2024 12:30 am 0 comment

හු අපූරු වෘත්තීමය දිවියකට පණ දුන්නේය. මහ ජනතාව අතර කැපී පෙනෙන පාර්ලිමේන්තු චරිත අතරේ කැපී පෙනෙන චරිත තුනෙන් එකක් විය‍. කථානායක, පාර්ලිමේන්තු මහලේකම් අතරේ ඔහු වේත්‍රධාරී විය. පාර්ලිමේන්තුවේ දිවියේ වසර 42ක් සේවය කර පාර්ලිමේන්තුවේ වැඩිම සේවා කාලයකට උරුම්කම් කියූ අලුත් හා පරණ පාර්ලිමේන්තු සංකීර්ණ දෙකේම අත්දැකීම් විඳි මේ දක්ෂ නිලධාරියා මේ මස අග පාර්ලිමේන්තු දිවියට සමුදෙන්නේය.

හේ නමින් පාර්ලිමේන්තු වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දුය.

හිටපු බාකීර් මාකර් කථානායකවරයාගේ සිට අද දක්වා සිය සේවය ලබාදුන් ඔහු පාර්ලිමේන්තු පරිපාලන සේවා ඉතිහාසයෙන් බිහිවුණු තුන්වැනි වේත්‍රධාරියා වන්නේය. එසේම අඩි 5 යි අඟල් 11 ක් වැනි තනතුරකට ඔබින උසකින් හා පෞරුෂයකින් හෙබි ඔහු පාර්ලිමේන්තුවෙන් බිහිවූ හයවැනි වේත්‍රධාරිවරයා වන්නේය. ප්‍රථම වේත්‍රධාරී වූ රොනි අබේසිංහ, විජය පල්ලියගුරු වැනි වේත්‍රධාරින්ගේ ගමන් මඟ යමින් පාර්ලිමේන්තු පරිපාලනයෙන් බිහිවූ ඔහු වසර 42කට පාර්ලිමේන්තු සේවයට එක්වූයේ සිය පියා වූ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය හැන්සාඩ් සංස්කාරකවරයකු ලෙස සේවය කළ ඩබ්ලිව්. එස්. එම්. ප්‍රනාන්දු වන සිය පියා නිසාවෙනි. රුපියල් 680 වැටුපට පාර්ලිමේන්තුවෙන් සිය දෛවය වෙනස් කළේ දෙවැනි ශ්‍රේණියේ ලිපිකරුවෙකු ලෙස 1981 වසරේදීය.

මේ සියල්ල පරයමින් ඔහු පිළිබඳ සුවිශේෂිත්වයක් ඉස්මතු වන්නේ ජනතාව ඔහු හඳුනාගන්නට වීමෙනි. 2018 වසරේ දින 52 ආණ්ඩු පෙරළිය සිදුවන අවස්ථාවේදී පාර්ලිමේන්තු සභා ගැබ මෙහෙයවූ අභීත නිලධාරීන් අතරින් කෙනෙක් වන්නේ ද ඔහුය. පාර්ලිමේන්තුවට සමුදෙන්නට ප්‍රථම වේත්‍රධාරි නරේන්ද්‍ර සිය අභියෝගාත්මක අත්දැකීම් සිළුමිණ හමුවේ පැවැසූයේ මෙසේය.

“මම කොළඹ ඉසිපතන විදුහලෙන් ඉගෙන ගන්න කාලයේ පාසලේ කීර්තිමත් ක්‍රීඩකයෙක්. විශ්වවිද්‍යාල වරම් අපේක්ෂාවෙන් සිටියත් මගේ අරමුණ වුණේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යාමට. මේ කාලයේ මගේ පියා ඩබ්ලිව්.එස්.එම් ප්‍රනාන්දු සේවය කළේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය හැන්සාඩ් සංස්කාරකවරයකු ලෙස. මගේ මව එස්. එම්. සමරසූරිය ප්‍රනාන්දු. ඇය ගෘහිණියක්. නැඟණිය සමුද්‍රා මෙන්ඩිස් ප්‍රනාන්දු. පරිපාලන දෙපාර්තමේන්තුවේ සිටි මම පාර්ලිමේන්තුවට පැමිණියේ දෙවැනි ශ්‍රේණියේ ලිපිකරුවකු ලෙස 1981 වසරේ දෙසැම්බර් මාසයේදී. එවකට පාර්ලිමේන්තුවේ මහලේකම් නිහාල් සෙනෙවිරත්න තමයි මාව සම්මුඛ පරික්ෂණයකට යොමු කළේ. මම ඉංග්‍රීසියෙන් මගේ දස්කම් පෙන්වූවා. මගේ හැකියාවන් ඔහු තේරුම් අරගෙන පත්වීම ලබා දුන්නා. මම පරිපාලන දෙපාර්තමේන්තුවට ආවට පස්සේ ක්‍රිකට් ආසාව අතහැරියා. විශ්වවිද්‍යාල වරම් නැති වුණා. පියාගෙ බල කිරීම නිසා මම කඳුළු සලමින් මගේ දෛවය වෙනස් කළා. එදා පාර්ලිමේන්තුවට ඒමට වාහනයක් පවා තිබුණේ නැහැ. මුල්ම වැටුප ලැබුණේ රුපියල් 680 ක්. මම මගේ දක්ෂකම් පෙන්වමින් සහකාර අධ්‍යක්ෂකවරයකු ලෙස ඉදිරියට ගියා. පරිපාලන දෙපාර්තමේන්තුවේ වසර 20 ක් සේවය කළා. මගේ අරමුණ වුණේ අධ්‍යක්ෂ, පරිපාලන වීමට. නමුත් මගේ දෛවය වෙනස් කළේ එවකට පාර්ලිමේන්තු මහලේකම් වූ ධම්මික කිතුල්ගොඩ. ඒ කාලයේ පරිපාලන දෙපාර්තමේන්තුවේ අයටත් මේ තනතුර සඳහා තරග කරන්න අවසර දුන්නා. 2000 ජනවාරි මම සහකාර වේත්‍රධාරි වුණා. වසර කිහිපයකට පසු 2002 නියෝජ්‍ය වේත්‍රධාරී වී 2018 අගෝස්තු මාසයේදි වේත්‍රධාරී තනතුරට පත්වුණා. වසර පහමාරක් වේත්‍රධාරි වුණා. පාර්මේන්තු සම්ප්‍රදායන් පිළිබඳ මට තිබු අවබෝධය මේ තනතුර බබළවන්නට හේතු වුණා…”

ඔහුගේ අභියෝගාත්මක කාලපරිච්ඡේද එකින් එක් ආරම්භ වන්නේ නොසිතූ පරිදීය. 1987 වසරේ පාර්ලිමේන්තුවට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරය ඉන් එකකි.

“1987 වසරේ වූ අත්බෝම්බ ප්‍රහාරය මගේ මුල්ම අත්දැකීම. මම ඒ වන විට පරිපාලන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධාන නිලධාරිවරයෙක්. කතානායක ඊ. එල්. සේනානායක. ඔහු මගේ දස්කම් දැක මාව එතුමාගේ පුද්ගලික සහකාර තනතුරට පත් කළා. කාරක සභා කාමරයේ අංක එකේ මේ බෝම්බය පිපිරෙන විට කථානායකවරයා පාර්ලිමේන්තු එන ගමන්. මම ඉක්මනට ඔහුව යළිත් හරවා ඇරියා. මම කොහොම හරි නියෝජ්‍ය කථානායකවරයෙක් වූ නෝමන් වෛද්‍යරත්නට කිව්වා මූලාසනයට ගොස් පාර්ලිමේන්තුව කල් දමන්න කියලා. එය අභියෝගාත්මක කර්තව්‍යයක් වුණා.”

පාර්ලිමේන්තුවට අවස්ථා දෙකකදී එල්ල වූ ගංවතුර තර්ජනය ද ඔහු මුහුණ දුන් තවත් අභියෝගයකි.

“1992 හා 2010 ගංවතුර තර්ජන දෙකක් ආවා. 2010 මම නියෝජ්‍ය වේත්‍රධාරි. එදා ගංවතුර තරජනයක් පාර්ලිමේන්තුවට එනවා කියලා ආරංචි වෙනකොට පාන්දර දෙකයි. යතුරු තිබුණේ අපි ගාව. අපි ගංවතුරේ බැහැගෙන මහ රෑ පාර්ලිමේන්තුවට ආවා. හිටපු වේත්‍රධාරි අනිල් සමරසිංහ මහතා ඇතුළු පිරිස් දොරවල් ඇරගෙන හුළු එළි පත්තු කරගෙන පාර්ලිමේන්තුවට ආවේ ගං වතුරේ. අපි පාර්ලිමේන්තුවේ බිම් මහලේ වූ වටිනා බඩු අපි ඉහළ ස්ථානවල රැඳෙව්වා. ඒවා මිලියන ගණනාවක් වටිනා භාණ්ඩ.”

වේත්‍රධාරි තනතුරට බඳවා ගැනීමට උස මහත මෙන්ම පෞරුෂය බලපෑමක් ඇති කරයි. අඩි 4ක් දිග, රාත්තල් 28ක් බර සෙංකෝලය ඔසවා ගෙන සිටීමට පමණක් නොව මෙතාක් එය ආරක්ෂා කිරීමට හා පාර්ලිමේන්තුව ආරක්ෂා කිරීමට ඔහු ගත්තේ අපරිමිත කැප කිරීමකි. පාර්ලිම්න්තු මිරිස් කුඩු ප්‍රහාරය ඇතුළු දින 52 පෙරළිය කාටත් අමතක නොවන්නකි. ඒ කාලය තුළ සිය සේවා වගකීම රැක ගනිමින් තිරය පිටුපස සිටියේ ඔහුය.

“ මම මුහුණ දුන් බැරූරුම් අභියෝගය අත් වින්ඳේ 2018 නොවැම්බර් දින 52 ආණ්ඩු පෙරළිය අවස්ථාවේ. ලෝක ඉතිහාසයේ කිසිම වේත්‍රධාරිවරයෙකු මෙවැනි අභියෝගයන්ට මුහුණ දී නැතිව ඇති. ඒ වන විට තනතුර අරගෙන මාස තුනයි.

පක්ෂ විපක්ෂ මාරුවීම් දින 52 තුළ තුළ සිදු වුණා. පාර්ලිමේන්තුව පවත්වාගෙන යාම, කථානායක හා සෙංකෝලය ආරක්ෂා කිරීම වගකීමක් වුණා. මුල් දිනයක මන්ත්‍රීවරු පිරිසක් කථානායක අසුනට විවිධ දේවල් එවමින් ලොකු කලබලයක් සිදු කළා. එදා මට සිදු වුණා, රාත්තල් 28 ක් බර සෙංකෝලය පැය භාගයක් පමණ ඔසවාගෙන සිටීමට.

දින 52 කාලයේ අපිට හිතවත් මන්ත්‍රීවරු යම් යම් තොරතුරු අපිට ලබා දෙනවා. දවසක් කිව්වා මාව කාමරයට කොටු කිරීමේ වෑයමක් තියෙනවා කියලා. එදා මම නිවෙසටත් නොකියා පාර්ලිමේන්තුවට ආවේ උදේ 6 ට. මම මගේ කාමරයට ඇවිත් මුලින්ම කළේ සෙංකෝලය අරගෙන එක්තරා තැනක හංගා ආරක්ෂාවට සහකාර වේත්‍රධාරියකු යෙදවීමයි. එදා මම පැති දොරකින් එළියට යෑමට සූදානම්ව සිටියත් එවැනි දෙයක් එදා සිදු වුණේ නැහැ.

ඒ ආසන්නයේ දිනයක කථානායක පුටුව ආසන්නයේ තිබි පිහි දෙකක් හමු වුණා. මේ පිහි දෙක පාර්ලිමේන්තුවේ කැන්ටිමෙන් ලබාගත් පිහි දෙකක් බව අපි හඳුනා ගත්තා. එදා අපි වීමට තිබූ යම් විනාශයකින් බේරා ගත්තා.

ඊට පසුදා රැස්වීමේදී පැවැති කලබලකාරී තත්ත්වයට මුහුණ දෙන්න විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරු සූදානම් සිටියා. එදත් ඒ තොරතුරු මට ලැබුණා. ‘නරේන්ද්‍ර අද නම් ඔයාට විශේෂ වැඩපිළිවෙළක් යොදන්න වෙයි ‘කියා. මම කථානායකවරයාගෙන් ස්ථාන කිහිපයක් ආරක්ෂා කරන්න අවසර ඉල්ලුවා. කථානායකවරයා බැහැ කිව්වා. මම වගකීම බාර ගන්න බැහැ කිව්වහම එතුමා මට විශේෂ නියෝගයක් අකමැත්තෙන් හෝ දුන්නා. මම ක්ෂණිකව ක්‍රියාත්මක වී මැති ඇමැතිවරු විශේෂ පරික්ෂාවකට ලක්කර ඇතුළට ගත්තා. පසුව මට ආරංචි වුණා ඔවුන් ගෙනා දේවල් නැවතත් මඟ තියලා ඇතුළට ආවා කියලා. එදා යම් බරපතළ තත්වයක් මඟ හරින්න හැකි වුණා.

දින 52 යටතේ එක් දිනක් උණුසුම්ම තත්ත්වය ඇති වුණා. පාර්ලිමේන්තුව රැස්වීමට නොදී පාර්ලිමේන්තු සභා ගැබේ මැදට ඇවිත් රිදී දොරින් සභා ගැබට සෙංකෝලය ගෙන ඒමත් වැළැක්වූවා. ඒ වෙලාවේ මම සෙංකෝලය හංගා තිබුණා. එදා වර්තාමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් පැමිණ මගෙන් ඇහුවා, ඔයා දැන් මොකද කරන්න යන්නේ කියලා. මම සෙංකෝලය නියෝජ්‍ය වේත්‍රධාරීට භාර දී ඔවුන්ව ආරක්ෂාවට තැබුවා. මම කථානායක කාමරයට යන විට 20 ක් විතර එතැන. කථානායකතුමාට පාර්ලිමේන්තුවට යන්න එපා කියමින් හිටියේ. මම කථානායකගෙන් එක ප්‍රශ්නයක් පමණක් ඇහුවා, මම පාර්ලිමේන්තුවට ඔබතුමා එක්කගෙන යනවා නම් ඔබතුමා යන්න සූදානම් ද කියලා. එතුමා කිව්වා මම හොඳ යුද හමුදා නිලධාරියෙක්. මම එන්නම් කියලා. එතුමා ඇහුවා ඊළඟ පියවර මොකක්ද නරේන්ද්‍ර කියලා. මම කිව්වා ඊළඟ පියවර මෙතැන සිටින සියල්ලෝම ඉවත් කරන්න කියලා. පස්සේ දෙතුන් දෙනෙකු හැර සියල්ල එළියට යැව්වා.

පසුව කථානායක මගෙන් ඇහුවා අපි පාර්ලිමේන්තුව පවත්වන්නේ කොහොමද කියලා. මම එතුමාට කිව්වා අපි කොහොම හරි පාර්ලිමේන්තුව පවත්වනවා කියලා. මේ වන විට ගණ පූර්ණ සීනූවත් නොනවත්වාම නාද වෙනවා. මේ අවස්ථාවේ මගේ පියා මටත් සිතාගත නොහැකි පරිදි මාව ධෛර්යවත් කරනව වගේ හැඟීමක් මට ආවා. මම අවදානම් තීරණ ගත්තේ නොබියව. මේ අවස්ථාවේ කථානායකවරයාගෙන් සභා ගැබට පොලිසිය අරගෙන යාමට මම අවසරයක් ඉල්ලවා. මුලින් වාචිකව දුන්නත් පසුව එතුමා එය ලිඛිතව දුන්නා.

පසුව මම එෆ් එම් මයික් එකක් ලබාගෙන එය පාර්ලිමේන්තු සභා ගැබට සම්බන්ධ කර ගත්තා. දෙවැනුව මම විද්‍යාරත්න නම් ආරච්චිට කතා කොට සභා ගැබට යන කථානායකතුමාට වාඩි වීමට අසුනක් සූදානම් කළා. නාට්‍යයක් සේ සියල්ල මම ප්ලෑන් කළා. සරත් කුමාර නම් පොලිස් අධ්‍යක්ෂතුමා පුදුම සහයක් දුන්නා. පිරිමි පොලිස් නිලධාරින් පමණක් නොව කාන්තා පොලිස් නිලධාරින් 40 ක් මම ලබා ගත්තා. මන්ද කාන්තාවන්ද ඒ වෙලාවේ සභා ගැබේ කලබල කරමින් සිටියා. බඳ පටි කැප් බෙල්ට් නොදමා අවම හානි ඇතිවයි ඒ අය සූදානම් කළේ.

දැන් පාර්ලිමේන්තුව ඇතුළට යන්න බැහැ. කථානායකතුමා මගෙන් අහනවා නරේන්ද්‍ර අපි මොන දොරෙන්ද යන්නේ කියලා. මේ අවස්ථාවේ පිරිසක් ඔත්තු බලනවා. මම කිව්වා අපි යන්නේ රිදී දොරින් කියලා. කථානායකතුමා පුදුම වුණා. යන්න බැරි දොරින් අපි යන්නේ කොහොමද කියලා. හිටපු මන්ත්‍රිවරු ඒ ඔත්තුව දැන ගන්න පැමිණි බව මම තේරුම් ගත් නිසා එතුමාට බොරුවක් කිව්වා. අපි අනතුරුව විපක්ෂ නායක කාර්යාලයේ පැති දොරින් ඇතුළු වුණා. මුලින්ම පොලිස් වළල්ල ඇතුළේ පුටුව. ඊළඟට මම පොලිස් වළල්ල ඇතුළින් මම යනවා. තෙවැනුව කථානායක එනවා. නමුත් පුටුව තියන්න තිබුණ තැන වැරදුණ නිසා එය මන්ත්‍රිවරුන්ගේ ග්‍රහණයට පත්වී පුටුව උඩින් විසිවී ගියා. කථානායකතුමාට වාඩි වීමට දැන් පුටුවක් නැහැ. මම කථානායකට කිව්වා තනතුර අමතක කර සේවා සහයකයන්ගේ පුටුවක වාඩි වෙමු කියා. නිහතමානිව එතුමා වාඩි වී එෆ් එම් මෆික් එකින් සභාවාරය පැවැත්වූවා. මේ අවස්ථාවේ මිරිස් කුඩු ප්‍රහාර පොත්පත් ප්‍රහාර එල්ල වුණත් හානියක් නොවී ඒ අභියෝගය ජය ගත්තා. රැස්වීම විනාඩි හතයි. රැස්වීම් අවසානයේ අපි සෙංකෝලය අරගෙන දිව්වා. හොර පාරෙන් අපි ගොස් පොලිස් අධ්‍යක්ෂ කාමරයේ හැංගුනා. කථානායකගේ නිල රථය පැත්තක තබා පොලිස් ජීප් රථයෙන් එතුමාව නිල නිවසට යැව්වා. මේ සිදුවීමෙන් පසුව මාව ඉවත් කරන බවට විවිධ තර්ජන ආවා.”

ඔහු සිය සේවා කාලයේදී කිසිවකුටත් කිසිදු විශේෂත්වයක් දැක්වූයේ නැත.

සිය එකම පුහුණුවන්ගේ විවාහ උත්සව දින නියමිත වේලාවට සහභාගි වීමට යාමට ඔහුට අවස්ථාවක් හිමි නොවීම තවත් අමතක නොවන අත්දැකීමකි. ඔහු විවාහ උත්සවයට එදින සහභාගී වූයේ හදිසියක් වුවහොත් යළිත් සහභාගී වීමේ අරමුණිනි.

ඔහු අභියෝගයන්ට මුහුණ දිමට කැමැති නිලධාරියෙකි. පාස්කු ප්‍රහාරය ද තවත් එවැනි අවස්ථාවකි.

“මම තනතුර භාරගත් කාලේ පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්න තිබුණා. මේ නිසා මම ඊට අවශ්‍ය සියලු පියවර ගත්තා. පාස්කු ප්‍රහාරය වන විට මම සිටියේ ඕස්ට්‍රේලියාවේ. ඒ ගියේ ආරක්ෂාව සම්බන්ධයෙන් සියලු පියවර අරගෙනයි. පාස්කු ප්‍රහාරය සිදුවීමෙන් පසුව කථානායක කරු ජයසූරිය මහතා මට දුරකතනයෙන් කතා කර කිව්වා අපේ පාර්ලිමේන්තුව බේරුණේ මෑතකදී ඔබ ගෙන තිබුණු ආරක්ෂක වැඩපිළිවෙළ නිසා කියලා රොයිටර් වාර්තාවල සඳහන් වෙනවා කියලා. ඒ අවස්ථාවෙ පාර්ලිමේන්තුව බේරා ගන්න ලැබීම මට විශාල ජයග්‍රහණයක්.

ඉතිහාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් ජනාධිපතිවරයකුව තෝරා ගැනීම හා එක් දිනක් තුළ ජනාධිපති දිවුරුම් උත්සවය සංවිධානය කිරීමට සිදු වූයේ ද මේ වේත්‍රධාරියාටමය.

“වර්තමාන ජනාධිපතිවරයා ජනාධිපති ලෙස තේරුණු පසුව රටේ පැවැති තත්ත්වය අනුව දිවුරුම් දීමට තැනක් තිබුණේ නැහැ. පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනාධිපතිවරයෙක් ජනාධිපති ප්‍රතිඥාව දුන්නේ එදා. පැය 24 ක කාලයක් තමයි මට ඉතිරිව තිබුණේ. මම ඉතා හොඳින් ඒ කටයුතු සංවිධානය කළා..”

“කොවිඩ් වසංගත කාලයේ අපි පාර්ලිමේන්තුව තුළ අවශ්‍ය සෞඛ්‍ය පියවර ගත්තා. අපිට එන්නත් ලබා ගැනීමේ ගැටලු තිබුණා. මේ අවස්ථාවේ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගගෙන් ඉල්ලීමක් කළා පාර්ලිමේන්තුව පවත්ගෙන යාමට මට එන්නත් අවශ්‍යයි කියලා. මම එන්නත් 1000ක් ඉල්ලුවා. මම ශවේන්ද සිල්වා මහතා හරහා සෞඛ්‍ය අංශවලින් එන්නත් 1000ක් අරගෙන සියලු දෙනාටම එන්නත් ලබා දුන්නා. 200කට අධික පිරිසකට කොවිඩ් වසංගතය වැළඳුණත් කිසිවකුටත් ජීවිත හානියක් සිදු වුණේ නැහැ. වායු සමීකරණ අඩු කර දොරවල් හැර පාර්ලිමේන්තුව පවත්වන්න තීරණය කළේ කොවිඩ් කාලයේ. එයත් විශාල අභියෝගයක් වුණා.

“අරගල සමය තවත් අත්දැකීම් මගේ ජීවිතයට එක්කළ කාලයක් වුණා. අපි මේ අවස්ථවේ බැරියර් හැම තැනම දැම්මා. ජනාධිපති කාර්යාල ඇල්ලූ පසු පාර්ලිමේන්තුවට පැමිණ පළමු බැරියරය කැඩුවා. දෙවැනි බැරියරය කැඩුවොත් ප්‍රශ්නයන් නිසා අපි අපි මුලින්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හොර පාරෙන්ම පිටමං කළා. අපි පමණක් ඉතිරු වී ඒ තත්ත්වයට මුහුණ දුන්නා. එදා පාර්ලිමේන්තුව විසුරවීමට කණ්ඩායමක් යැව්වා. ඒ නිසා පාර්ලිමේන්තුව ආරක්ෂා කර ගන්න හැකි වුණා.”

නරේන්ද්‍රගේ බිරිය තුෂන්ති ප්‍රනාන්දුය. ඇය වරලත් ගණකාධිකරිවරියක් මෙන්ම ඔස්ට්‍රේලියානු පුරවැසි කාන්තාවකි. එකම පුතා අනූජ ප්‍රනාන්දුය. ඔහු ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලබා වර්තමානයේ ඩෙලොයිඩ් ඔස්ට්‍රේලියා සමාගමේ අධ්‍යක්ෂකවරයෙක් ලෙස සේවය කරන්නේය.

ඔහු පවසන්නේ මේ රැකියාව අතුරේ යාමක් හා සමාන බවකි. දේශපාලන වාතාවරණය තවත් අභියෝගයකි. එල්ල වන විවේචන බොහෝය. ඔහුගේ ජීවිතයෙන් තුනෙන් දෙකක් ගත කළේ පාර්ලිමේන්තුවේය. ජාත්‍යන්තර සමුළු වැනි වාර්ෂික සමුළු සංවිධානය කිරීමේ වගකීම් සියල්ල ගත්තේ ඔහුය. කෙසේ වෙතත් ඔහු එළඹෙන 30 වැනිදා සිය සේවයෙන් සමුදෙන්නේය.

ඡායාරූප – දුෂ්මන්ත මායාදුන්න

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division