Home » උණපොතයායේදී හමුවුණු ‘කරුපා’ කෝච්චියේදී මළවුන්ගෙන් නැඟිටී

උණපොතයායේදී හමුවුණු ‘කරුපා’ කෝච්චියේදී මළවුන්ගෙන් නැඟිටී

by Mahesh Lakehouse
January 20, 2024 12:30 am 0 comment

මෙකී සිදුවීමට සාමාන්‍යයෙන් අවුරුදු 50ක් විතර වයස ඇති මිස ඊට අඩු නැති බව මගේ හැඟීමයි. මේ කාලේ වන විට රටේ තිබූ පහසුකම් විශේෂයෙන් කටු මැටි ගෙවල්, මංමාවත්, විදුලිය පහසුකම්, යාන වාහන ගැන කිව යුතු නොවේ. කොටින්ම කිවහොත් සවස 6 වන විට සහ සමහර විට ඊට කලින්ම ඈත පිටිසර ප්‍රදේශවල ගේදොර ජනෙල් වසයි. විවෘත කර තිබුණද ඒ ඉතාම දුරින් එකක් හෝ දෙකක් පමණි. ඒකෙත් කුප්පි ලාම්පුවක් පමණක් දැල්වේ. වාහන ලෙස තිබුණේ ගොනුන් බැඳි බඩු අදින ගොන් කරත්ත එක දෙකකි. ඒ ගොන් කරත්තයක් ඈත දුර එනකොටම සැතපුම් භාගයක් විතර දුර ඉන්න අයට දැනෙන්නේ උන් දෙන්නාගේ බෙල්ලේ බැඳ තිබූ ගෙජ්ජිවල ශබ්දයෙනි. ඒ දවස්වල හොල්මන් – අවතාර ගැන දෙවියන් ගැන ඉතා ලොකු විශ්වාසයක් මිනිසුන් අතර තිබිණි. අසනීපයක් හැදුණහොත් වැඩිපුරම ඔවුන් කළේ ජ්‍යොතිෂයට අනුව තෙල් බෙහෙත් ගුරුකමක් හෝ දෙවියන්ට භාර හාර වීමකි.

මේ කාලේ මා තරුණයෙකි. මගේ වයස අවුරුදු 18ක් හෝ 20ක් පමණ ඇත. මෑතකදී මියගිය “ජිමෙල්” ගුරුන්නාන්සේගේ අන්තිම ගෝලයා වූයේ මාය. අපරාදේ කියන්න බැහැ ගුරුකම් අතින් නොමසුරුව නොසඟවා ඔහු දන්න දේ මට දුන්නේය. එක්තරා ගුරුකමකින් පසුව “ප්‍රේත තටුව” දිෂ්ටි කරන්න පැවරුවේ මටය. ඒ නිසාම ප්‍රේත දිෂ්ටි – ප්‍රේත ස්තෝත්‍ර – ප්‍රේත තටුවලට මැතිරීම් ගැන මට සාමාන්‍ය දැනුමක් ලැබිණි.

ඒ 1968 අවුරුද්දේ අවසාන භාගයේ එක් සෙනසුරාදා දිනයක් බව මට මතකය. මමයි ‘ජිමෙල්’ ලොකු ගුරුන්නාන්සෙයි ‘උණපොත යාය’ කියන ගමේ බහිරව පූජාවකට ගියේය. අපි දෙන්නට අමතරව එම ප්‍රදේශයේම තවත් ගුරුන්නාන්සේලා දෙදෙනෙක් ඒ සඳහා එක් වූයේය. මේ ගම පිහිටා තිබුණේ කුරුණෑගල මායිමටත් මහනුවරටත් අතරමැදයි. නුවර පළාත පටන් ගන්නේ එම ස්ථානයෙනි. ඒ දවස්වල නම් මේ ගමට කිවුවේ ‘උණපොතයාය’ කියායි. වර්තමානයේ නම් මොකක් කියනවද දන්නෙ නැත. ඒ නම කියන්නත් හේතුවක් ඇත. මේ පාර නුවරට යන්නෙ ‘උණපොත යාය’ පසු කරගෙනයි. එම මාර්ගයේ ගිරි දුර්ගය ආරම්භ වන්නේ මේ ගමිනි. එක් පැත්තක තද ගල් පර්වතයකි. අනිත් පැත්තෙන් වේගයෙන් පහළට ගලා යන දොළ පාරයි. දොළේ ඉවුර දිගට වැවුණු සාරවත් උණ පඳුරු සවසට තද සුළඟට ඒමේ අතට වැනෙන උණ පඳුරුවලින් මහා ශබ්දයෙන් ඇහෙන ‘ස්රින් ස්රීන්’ හඬ ටිකක් හිත කීරි ගසයි. මහ කරුවලේ හැලහොල්මනක් නැති කිසිම මිනිස් කටහඬක් නැති මේ ප්‍රදේශය පසු කරන විට ඉබේටම “ඉතිපිසො” ගාථාව කියැවේ.

ඉතාම මන්දගාමීව අපි ගිය කෝච්චිය කුරුණෑගලට ළඟා විය. අපි කෝච්චියෙන් බහින විට රාත්‍රී 7ට පමණ ඇත. අපේ අඩුමකුඩුම දාගත් කොට්ට උර දෙක උරේ එල්ලාගෙන පයින්ම ගමන් ආරම්භ කළේය. සැතපුම් 4ක් විතර ගියේය. ඒ යන ගමනේදී ගුරුතුමා කවියක් දෙකක් කීවේ බය නැතිකර ගන්නද කාන්සිය නැති කර ගන්නද කියා මම දැන සිටියේ නැත. මේ විදිහට ගොස් එක්තරා ගෙදරක නැවතිණි. ඒ ඉඩම විශාල වුවද නිවස පිදුරු සෙවිලි කළ පැල්පතකි. ඒ ගෙදර මනුෂ්‍යයාගේ නම ‘හරමානිස්’ බව දැනගත්තේ අපේ ගුරුතුමා ඒ නමින් ඔහුට කතා කළ නිසායි. හරමානිස් මාමා සමඟ මොනවදෝ කතා කරල නිවසේ තිබූ ගොන් බැඳි කරත්තෙන්ම අපි උණපොතයාය බලා පිටත් විණි. එතැනින් බහින විටම කළු හීන්දෑරි පුද්ගලයෙක් පාර අයිනේ තිබූ බෝක්කුවක් මත වාඩි වී සිට අපිව පිළිගත්තේය. අපි යන ගෙදර – දොර බලා ගන්න කෙනා බවත් ඔහුගේ නම ‘කරුපියා’ බවත් දැනගැනීමට ලැබිණි.

සාමාන්‍යයෙන් ඔහුට කතා කළේ “කරුපා” කියායි. ඔහු සමඟ අපේ අඩුමකුඩුම කරේ එල්ලාගෙන අපි අදාළ ගෙදරට යන්නට විය. ඒ යන ගමන්ම ඒ ගෙදර පවතින කරදර – අමනුෂ්‍ය දෝස – බත් පිඟානට වැලි දැමීම – දොරවල් වැසීම, ඇරීම වගේ දේවල්ද දැනගැනීමට හැකි විණි. මේ ගෙදර හරි විශාලය. කාමරම 10ක් 12ක් පමණ තිබිණි. මහා විශාල දොර ජනෙල් විය. තනි කොස් ලීයෙන් නිම කළ ඒවාය. මේ ගෙදර බලාගෙන ඉන්නේ කරුපාය. ඔහුට සහායට පුංචි පවුලක්ද එම නිවසේ පදිංචිව සිටියේය.

සුපුරුදු පරිදි වැඩේ පටන් ගන්නට කලින් තුන්පට කපු නූල ගෙදර වටේට ඇද්දේය. මට නිකමට වාගේ දැනෙන්නට වූයේ කුමක් හෝ අමනුෂ්‍ය කාර්යයක් කවුදෝ කරනව සේය. නමුත් මගේ කාර්ය කර ප්‍රේත තටුව දිෂ්ටි කරන්නට ගත්තේය. දෙයක් සඳහන් කරන්නට අමතක විය. හරමානිස් මාමා අපිව බස්සලා එයාගේ සුපුරුදු රස්සාවට නුවර දිසාවට ගියේය. ඒ ගොන් කරත්තයෙන්මය.

අපේ වැඩේ ඉවර වන විට පාන්දර 3ට විතර ඇත. මැතිරූ ප්‍රේත තටුව අරගෙන මමයි කරුපයි ගොස් එය තුන්මං හංදියේ දැමීය. දැල්වුණු පන්දමට කරුපා ටිකක් බයක් පෙන්විය. වැඩේ ඉවර කර මමයි ජිමෙල් ගුරුන්නාන්සෙයි ආපසු හරමානිස් මාමාලගේ ගෙදරට පා ගමනින්ම පැමිණියේය. කහට තේ එකක් බී මා තනිවම කුරුණෑගලට පා ගමනින්ම පැමිණියේ ජිමෙල් ගුරුතුමා ඒ ගෙදර නැවතුණු නිසාය.

කොළඹ යන කෝච්චිය කුරුණෑගලට ආවේ යාන්තමට එළිය පොළොවට වැටෙන නොවැටෙන වේලාවේය. මම නැඟපු කෝච්චි පෙට්ටියේ කිසිවෙක්ම නොසිටි නිසා මඳක් පාළු ගතියක්ද දැනිණි. දුම්රිය ඉතාම හෙමින් ඉදිරියට ඇදිණි. කෝච්චිය “නයිලිය” දුම්රිය ස්ථානයේ නතර කළා පමණි. අර උණපොතයායේදී මා සමඟ වැඩ කළ කරුපා ඒ කළුපාට බැනියම සහිත සරමම ඇඳ ඒ කෝච්චි පෙට්ටියටම නැංගේය.

මට ඇත්තටම පුදුම සිතිණි. කරුපාගේ ස්වරූපයෙත් වෙනසක් තිබිණි. මිනිහාගේ මුහුණේ තිබුණේ භයානක පෙනුමකි. මා ඉදිරියෙන් තිබූ ආසනයක ඉඳගෙන අපි කතාවට වැටිණි. ඒ පුද්ගලයා මගෙන් ඇසුවේ “හොල්මන් විශ්වාස කරනවද” කියායි. මම කීවේ හොල්මන් දැක නැති බවයි. ඊට පස්සේ කළු සුරුට්ටුවක් කටේ තබාගෙන මගෙන් ගිනි පෙට්ටියක් තිබෙනවද ඇසීය.

මගේ අත්බෑගයේ ගිනි පෙට්ටිය තිබූ නිසා ඒක ගන්න නැඟිට නැවත හැරුණි. එසැණින් එකී මනුස්සයා අතුරුදන් විය. තාම කෝච්චිය යන නිසා කරුපාව මම හැමතැනම සෙව්වේය. අන්තිමේදී මම හිතුවේ මේ මනුස්සයා කෝච්චියෙන් පැන්නාද නැත්නම් වැටුණා ද කියායි. මම එක්වරම හදිසි දම්වැල ඇද්දේය. විනාඩියකින් මා ළඟට ගාඩ් මහත්තයා පැමිණ ඇසුවේ, ‘ඇයි දම්වැල ඇද්දෙ කියා‘යි. මම කීවේ මනුස්සයෙක් කෝච්චියෙන් වැටුණා‘ කියා මා මුහුණ පෑ සිදුවීම ගාඩ් මහතාට අකුරක් නෑ කීවේය. එවිට ගාඩ් මහතා කීවේ “ඒ තමයි ‘කරුපා’ මීට සති තුනකට විතර කලින් මේ කෝච්චියට බෙල්ල තියලා සියදිවි හානි කරගත්තා“ කියායි.

ඒ කරුපාගේ අවතාරය බව මම දැනගත්තේ ඉන් පසුවය. එසේනම් අපිට උණපොතයායේදී හමු වූයේ මැරුණු කරුපාමද? මේ ගැන ජිමෙල් ගුරුන්නාන්සේගෙන් විමසුවද මට සෑහෙන පිළිතුරක් නම් ලැබුණේ නැත. මා අදටත් ඒ ගැන කල්පනා කරමි.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී මීපේ ගණිතගේ රන්ජිත් විද්‍යාරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division