Home » මාව ලේබල් වුණේ මැරයෙක් විදිහට

මාව ලේබල් වුණේ මැරයෙක් විදිහට

by thanushika
January 13, 2024 12:30 am 0 comment
 නාමලී ගමගේ

සම්පත් රන්දෙණිය යන නම ප්‍රේක්ෂක ඔබට නුහුරු නුපුරුදු එකක් නොවෙයි. බොහෝ විට පොලිස් නිලධාරියකු ලෙස ඔබ හමුවට එන ඔහු තවත් විටෙක දාමරික ක්‍රියාවන්හි යෙදෙන්නෙකි. තව විටෙක කාර්යාලයක වගකිව යුතු නිලධාරියෙකි. ඒකාකාරී රංගන දිවියේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් අක්ෂි ටෙලි නිර්මාණයේ නිවේදකයාගේ භූමිකාව සමාජ මාධ්‍ය හරහා ඔහු වෙත නොසිතූ ජනප්‍රියත්වයක් ළඟා කළේය. වෘත්තියෙන් රක්ෂණ ආයතනයක කළමනාකරුවකු වන ඔහු සමාජ සේවා කටයුතුවලට ද ඍජුවම දායක වන කලාකරුවෙකි.

ඔබ දිගු කාලයක සිට ක්ෂේත්‍රයේ රැඳී සිටිමින් නිර්මාණ රැසකට දායක වුණු කලාකරුවෙක්. හිතෙන්නෙ නැද්ද ඔබ එකම රංගන පරාසයක කොටු වෙලා කියලා?

ඒකට හේතුව මගේ පෙනුම වෙන්න ඇති. මං අඩි 6ක් උසයි. මේ උස මහත පෙනුමට මට ලැබෙන්නෙම එක්කො පොලිස් නිලධාරි චරිත. එහෙම නැත්නම් මැර චරිත. හැබැයි ළඟදි ඇමැති චරිතයක් ලැබුණා. ඒක ටිකක් වෙනස් අත්දැකීමක් වුණා.

අක්ෂි ටෙලි නිර්මාණය ඔබට වාසනාව ගෙනාව කියන කතාව ඇත්තද?

ඔව්. අක්ෂි කියන්නෙ මගේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක්. ඒක සුවිශේෂී වෙන්නෙ ඒ තුළ මගේ චරිතය දිවෙන්නේ විනාඩි තුනක් වගේ කාලයක්. ශලනි තාරකා ඉන්ටර්වීව් කරන මාධ්‍යවේදියාගේ චරිතය. එතන හිට් එක ශලනි වුණත් මගේ දායකත්වයත් නොහිතුව විදිහට ප්‍රේක්ෂකයන් අතරට ගියා. මඟ තොටේ හමුවෙන අය පවා ආහ් ඔයා අර අක්ෂි එකේ ඉන්න කෙනා නේද කියල අහන්න පටන් ගත්තා. අක්ෂි බලන්න ප්‍රේක්ෂකයන් පෙලඹවීමක් විදිහට තමයි ඒ ඉන්ටවිව් එක සමාජ මාධ්‍යවල ප්‍රචාරය කළේ. දවසක් අධ්‍යක්ෂ ශාන් ජයවර්ධන මට කතා කරල කිවුවා අයියෙ අන්න අරක පත්තු වෙලා කියලා. ඒක මිලියන ගාණක් නරඹල තිබුණා.

මේ දවස්වල දායක වුණු නිර්මාණ ගැන කතා කළොත්?

ධනුෂ්ක රත්නායකගේ මන්දාරම් කතාව ටෙලි නිර්මාණයේ සී. අයි. ඩී ඔෆිසර් කෙනෙක්ගෙ කැරැක්ටර් එකක් කරනවා.හේමලයෝ කියල නිර්මාණයකටත් දායක වුණා. ඒකත් පොලිස් ඕ. අයි. සී. කෙනෙක්. චිත්‍රපටයක දමිළ ඇමැතිවරයෙක්ගෙ චරිතයක් ලැබුණා. ඊට අමතරව මේ දවස්වල ප්‍රසංග වේදිකාවටත් ආරාධනා ලැබෙනවා. වේදිකා නිර්මාණ කිහිපයකටත් ආරාධනා ලැබුණා.

ක්ෂේත්‍රයට ආපු විදිහ සිහිපත් කළොත්?

මට රංගන අවස්ථාව ලැබෙන්නෙ අහම්බෙන්. මගෙ හොඳම යාළුවෙක් හිටිය නිහාල් පෙරේරා කියලා. එයා හොඳම ගිටාරිස්ට් කෙනෙක්. එයාගෙ සින්දුවක් කළා අනුරාධ දේවප්‍රිය. මං ඒකෙ ප්‍රොඩක්ෂන් මැනේජර් විදිහට හිටියා. ඒකෙ කැමරා ශිල්පියාගෙ චරිතයට කෙනෙක් නැතුව මාව යොදා ගත්තා. එතැනදි තමයි මට මුලින්ම රංගනය ගැන ආසාවක් ඇති වුණේ. ඊට පස්සෙ පොඩි පොඩි අවස්ථා ලැබුණා. අධ්‍යක්ෂ සිවගුරුනාදන්ගේ පැණි කුරුල්ලෝ තමයි ටෙලි නිර්මාණයක් විදිහට පළමු අත්දැකීම ලැබුවේ. ඒක ලිපිකරුවෙක්ගේ චරිතයක්. ඔහුගේම පාරක් නැති ගෙයක් නිර්මාණයටත් දායක වුණා. චිත්‍රපට කිහිපයකටත් සම්බන්ධ වෙන්න ලැබුණා. සිංහබාහු තිරගත වෙන්න තියෙනවා. මෑතකාලීනව දායක වුණු තුම්පනේ, සිදූ – 2, දිව්‍යාදරී, සංසාරිණී, අක්ෂි, වැකේෂන්, බ්ලැක් ටවුන් ස්ටෝරි, ශක්ති, කියාදෙන්න ආදරේ තරම්, දාම්, දිවිතුරා, ගගන පියවර වගේ ඒව ප්‍රේක්ෂකයන් අතරට ගියා.

මෙතෙක් ඔබට ලැබිල තියෙන්නෙ පෙනුමට ගැළපෙන චරිත. ඒ ගැන ඔබ සෑහීමකට පත්වෙනව ද?

මං පොඩි කාලෙ ඉඳන්ම කලා කටයුතුවලට සම්බන්ධ වෙලා තියෙනවා. රංගනය, ගීත ගායනය, වැඩසටහන් මෙහෙයවීම මේ හැම පැත්තෙන්ම දායක වෙලා තියෙනවා. විවිධ චරිත කරන්න ආසයි. ඒත් මගේ උස මහත, පෙනුම නිසාද මන්ද අධ්‍යක්ෂවරු මට දෙන්නෙම පොලිස් චරිත. එහෙම නැත්නම් මැර චරිත. මගෙ යාළුවො වුණත් කියන්නෙ මචං උඹට හරියන්නෙ පොලිස් චරිත කියලා. සෙට් එකේදි වුණත් සමහර අධ්‍යක්ෂවරු කතා කරන්නෙ ආ අපේ ලොකු අයියත් එක්ක අර මැරයො ටික එන්න කියලා. මං ඒත් කියනව ඔහොම කියන්න එපා කියලා. මගේ ඔෆිස් එකේ ළමයෙක් ඉන්නවා මං එද්දි කියනවා අන්න අර මැරයා එනවා ඉක්මනට චෙක් එක ලේස්ති කරන්න කියලා. පාරෙ යද්දි කනට ඇහිල තියෙනවා අන්න අරූ තමයි අර ගෑනු ළමයව මැරුවෙ කියලා. මැරයෙක් විදිහටම මාව ලේබල් වෙලා. ඒ මං ඒ චරිතයට සාධාරණයක් කරපු නිසා තමයි. ඒත් ඒක චරිතයක් විතරයි. ගොඩක් අය හිතන්නෙ ඒක අපේ සැබෑ ජීවිතේ කියලා. අපේ ක්ෂේත්‍රයේ තියෙන වරදක් තමයි කෙනෙක් චරිතයක් හොඳට කළොත් ඔහු ඒ චරිතයටම කොටු කරනවා. මං කැමැති නැහැ ඒ දේට. ඇත්තටම එහෙම විය යුතු නැහැ.

ඔබ ඉන්දියානු නිර්මාණවලටත් දායක වුණු කෙනෙක්. ඔවුන්ගේ හා අපේ නිර්මාණවල වෙනසක් දකිනව ද?

නැතුවාම නොවෙයි. එක අවස්ථාවක මං සහාය නළුවා විදිහට ඉද්දි මගේ එහා පැත්තෙ හිටියෙ ප්‍රවීණ නිළියක්. එතැන මගේ ක්ලෝස්අප් එකක් එන්නෙ. මං කියන දේට එහා පැත්තෙ චරිතයෙන් කිසිම කෙයාර් කිරීමක් නෑ. අපේ ඉදිරියේ ඉන්න අනෙක් කැරැක්ටර් එක අපේ ක්‍රියාවට රිඇක්ෂන් එකක් නොදුන්නොත් අපේ ඇක්ට් එක හරියට එන්නෙ නෑ. මේක අපේ ක්ෂේත්‍රයේ තියෙන දුර්වලකමක්. ප්‍රධාන චරිතය ගැන විතරයි සැලකිලිමත් වෙන්නෙ. මං ඉන්දියාවෙ ඩොකියුමන්ට්‍රි දෙකකට සම්බන්ධ වුණා. එකක මං හිටියෙ ඉන්දියන් පොලිස් නිලධාරියෙක් විදිහට. ඒකෙ කරත්තකරුවන්, කෝච්චියට බඩු පටවන්නන් එකසිය හැටගාණක පිරිසක් හිටියා. ඒ හැම කෙනාගෙම ඇඳුම් අයන් කළා. මේකප් පැත්ත බැලුවා. සුළු චරිත කියල නෑ ඒ හැම චරිතයක් ගැනම සොයා බැලුවා. ඔවුන් දන්නවා මේ සුළු චරිතයක් පවා නිර්මාණයක සාර්ථකත්වයට බලපානව කියලා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division