Home » ලෝක මිහිකත රූ රැජන තරගය නියෝජනය කළ ශ්‍රී ලංකා දියණිය

ලෝක මිහිකත රූ රැජන තරගය නියෝජනය කළ ශ්‍රී ලංකා දියණිය

by thanushika
January 6, 2024 12:30 am 0 comment
නාමලී ගමගේ

ලෝක මිහිකත රූ රැජන කිරුළ මෙවර ඇල්බේනියාව සතු විය. ඒ කෙසේ වෙතත් ලෝක මිහිකත රූ රැජන තරග ඉතිහාසය මත නොමැකෙන සලකුණක් තබන්නට මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගයට සහභාගී වූ වියානා පීටර්ස් සමත් වූවාය. ලෝක මිහිකත රූ රැජන තරග ඉතිහාසයේ ෆයර් ඇක්ට් එකක් ඉදිරිපත් කළ පළමු තරගකාරිය ලෙස ඇය මිහිකත රූ රැජන ඉතිහාසය වර්ණවත් කළාය. ටැලන්ට් හා නැෂනල් කොස්ටියුම් තරග වටවල අවසන් පස්දෙනා අතරට තේරී පත්වුණු වියානා පසුගිය දෙසැම්බර් 22 වැනිදා වියට්නාමයේ වින්ක් හෝටල් පරිශ්‍රයේ දී පැවැති අවසන් වටයේදී ඉදිරිපත් කළ ෆයර් ඇක්ට් එක මොහොතක් තුළ ලොව පුරා වයිරල් වන්නට පටන් ගත්තේ ෆයර් ක්වීන් ඔෆ් ශ්‍රී ලංකා යන ටයිට්ල් එකද ඈ වෙත ආරෝපණය කරමිනි.

පරිසරය සාධක කරගනිමින් පවත්වනු ලබන මෙම තරගයේ අවසන් වටය සඳහා තරගකාරිනියන් 30 දෙනෙකු තේරී තිබිණි. ශ්‍රී ලාංකේය නියෝජනය වූ වියානා ටැලන්ට් රවුන්ඩ් එක ඔස්සේ අවසන් 5 දෙනා අතරට තේරී පත්වූවේ කථක් නර්තනයෙනි. රණ ශූරත්වය තේමාව කර ගත් සුගලා දේවිය ආදේශ කර ගනිමින් ඇගේ නැෂනල් කොස්ටියුම් එක නිර්මාණය කර තිබුණේ රමේෂා ධෂිනිය. එහි තවත් විශේෂත්වයක් වූයේ රීසයිකල් නැතහොත් නැවත පාවිච්චි කළ හැකි අමුද්‍රව්‍ය අනුසාරයෙන් එය නිර්මාණය කර තිබීමයි. ටැලන්ට් රවුන්ඩ් එක සඳහා සූදානමින් තිබූ ඇගේ ෆයර් ඇක්ට් එකට ද ගැළපෙන පරිදි එය නිර්මාණය කර තිබීම කාගේත් අවධානයට ලක්විය. ඉන්දියානූ කථක් නර්තනය ඔස්සේ ෆයර් ඇක්ට් එක සඳහා ප්‍රවේශය ලබා ගැනීමට සූදානමින් සිටි වියානාට මුහුණදීමට සිදුව තිබුණේ බලාපොරොත්තු නොවූ සිදුවීමකටය. මුල් වටය සඳහා ඇය සූදානමින් සිටි ෆයර් ඇක්ට් එකෙහි පවතින ජීවිත අවදානම හේතුවෙන් එය ඉදිරිපත් කිරීමට ඉඩ නොලැබීමයි. ඉන් දැඩි අපහසුතාවට පත්වූ වියානාට සිදුවූයේ නර්තනයෙන් පමණක් පළමු වටය ජය ගැනීමටය. ඒ සඳහා සූදානම් වීමට ඇයට ඉතිරිව තිබුණේ ද විනාඩි 5ක් තරම් කෙටි කාලයකි. ඒ අතර ඇය ආබාධයකට ද ලක්වූවාය. එවන් බාධක රැසක් මැද අවසන් වටයට තේරීමම ඇය ලද ජයග්‍රහණයකි.

වසර දෙකකට ආසන්න කාලයක් තරගය සඳහා සූදානම් වීමට කැප කළ කාලයට සහ ශ්‍රමයට සාධාරණයක් කිරීමට සිතූ වියානා තම ජීවිත අවදානම ද නොතකා තම කැමැත්ත පරිදි අවදානමේ වගකීම තමා වෙතම පවරා ගනිමින් අවසන් වටයේදී ෆයර් ඇක්ට් එක ඉදිරිපත් කිරීමට තරම් එඩිතර වූවාය. අවසානයේ එළිමහනේ දී ඇයට ඒ සඳහා ඉඩ දීමට විනිශ්චය මණ්ඩලයට සිදුවිය. අනෙක් තරගකාරිනියන් 29 දෙනා ගෘහස්ථව තම හැකියාවන් පෙන්වීමෙන් අනතුරුව ශ්‍රී ලාංකේය දිරිය දියණිය පමණක් එළිමහනේදී තම හැකියාව පෙන්නද්දී බලා සිටින්නන් ත්‍රාසය මුසු මුහුණින් ඔල්වරසන් දුන්හ. කටට හලා ගත් භූමිතෙල් සමඟින් ඉහළට ගත් ගැඹුරු හුස්ම ගිනි ජාලාවක් ලෙස පිට කරමින් ඇය කළ වික්‍රමය නිමේෂයක් තුළදී සමාජ මාධ්‍ය ඔස්සේ ලොව පුරා වයිරල් විය. ෆයර් ක්වීන් ඔෆ් ශ්‍රී ලංකා යනුවෙන් අනෙක් තරගකාරිනියන් ඔල්වරසන් දෙද්දී තමාට අමුතු ආත්ම ශක්තියක් ආරෝපණය වී පුහුණු වූවාටත් වඩා හොඳින් තම හැකියාව ප්‍රදර්ශනය කිරීමට හැකිවූ බව ඇය පවසා සිටියේ කිරුළ හිමිවූවාටත් වඩා වැඩි සතුටකිනි. එහි වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ලොව පුරා සංසරණය වෙමින් නොසිතූ ජනප්‍රියත්වයක් ඇය වෙත ළඟා කළාය. එමඟින් කොස්ටියුම් එක මෙන්ම පෙර එදා කළ ක්‍රියාකාරකම් ද ජනප්‍රිය වූ බව පැවසූ ඇය මෙය ඉදිරියේ දී තරගයට ඉදිරිපත් වීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකේය තරගකාරිනියන්ට උත්තේජනයක් වනු ඇතැයි ද පැවසුවාය.

චන්දිමාල් ජයසිංහගේ රාජකීය අවුරුදු කුමරා කුමරිය තරගය හරහා ලෝක මිහිකත රූ රැජන තරගයට ප්‍රවේශය ලබාගත් වියානා ජාතික පුහුණුකරු රුක්මාල් සේනානායක සහ තාරක ගුරුකන්ද යටතේ වසර දෙකකට ආසන්න කාලයක පුහුණුවකින් අනතුරුව මෙම තරගයට ඉදිරිපත් වූවාය. පෞද්ගලික තොරතුරු විමසීමේ දී මෙවන් අවදානම් තරග ඉසව්වක් තෝරා ගැනීමට හේතුව ලෙස ඇය කියා තිබුණේ “මට හොඳ දරාගැනීමේ ශක්තියක් තියෙනව වගේම මගේ ශක්තිය මං විශ්වාස කරන නිසා මට ඒක කරන්න පුළුවන් කියල හිතුවා“ කියාය. රටේ නම කියමින් බලා සිටින්නන් ඔල්වරසන් දෙද්දී තම ශක්තිය තවත් වැඩි වී පිලිස්සුම් වේදනාව ද අමතක වී ගිය බව පැවසූ ඇය තම ගුරුවරයා වූ රුක්මාල් සේනානායකගේ මනා පුහුණුව හා ඔහු ඇය තුළ ඇති කළ විශ්වාසය මෙය සාර්ථක වීමට ප්‍රධාන හේතුවක් වූ බව ද පැවසුවාය. වෙනත් රටවල විශ්වවිද්‍යාල හා සම්බන්ධ වෙමින් මෝටිවේෂන් වැඩසටහන්වල නියැළෙන වියානා රූ රැජනක් වීමට එවන් අත්දැකීම් මෙන්ම අධ්‍යාපනය හා බාහිර දැනුමින් සන්නද්ධ වීම ද බොහෝ සේ ඉවහල් වන බව ද පැවසුවාය.

රෝමානු කතෝලික විද්‍යාලයෙන් සහ කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන හැදෑරූ වියානා කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නර්තනය හා නාට්‍ය කලාව හදාරන දෙවැනි වසරේ සිසුවියකි. විශේෂ උපාධිය සඳහා ඉන්දියානූ කථක් නර්තනය හදාරන ඇය මේ වනවිටත් කථක් විශාරදවරියකි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division