Home » විශ්ව මෛත්‍රිය පතුරවමු 

විශ්ව මෛත්‍රිය පතුරවමු 

සතිමත් බවට පසුවදනක්

by Mahesh Lakehouse
January 6, 2024 12:30 am 0 comment

‘කාර්යබහුල ලෝකයක දිවිගෙවන මනස නිරතුරුවම ව්‍යාකූලය. එම ව්‍යාකූල බවින් මිදී සිත පහසුවෙන් දියුණු කර ගැනීමට භාවනාව උපකාරී වුව ද ආචාර්ය ඇසුරකින් තොරව භාවනාව නිසි ලෙසින් වැඩිය නොහැකිය. ලෝකයේ භාවනාවට අවධානය යොමු කරන බොහෝදෙනා ‍‌‍ථේරවාදී නිකායන්ගේ භාවනානුයෝගීත්වය මහත්සේ අගය කරති. ඒ අතුරෙන් ගුරුවරයකු සේ භාවනාව පහසුවෙන් වැඩීමට උපයෝගී කර ගත හැකි කෘතියක් ලෙස ලොව පිළිගැනෙන්නේ ආචාර්ය හේනේපොළ ගුණරතන මහ නාහිමි විසින් රචිත Mindfulness In plain English (සතිමත් බව වැඩීම) කෘතියයි. එම කෘතිය භාෂා 32කට පරිවර්තනය වී ඇති අතර, අ‍ෙමරිකාව තුළ පමණක් මුද්‍රිත පිටපත් ලක්ෂ 100ක් ඉක්මවා අලෙවි වී ඇත. උන්වහන්සේගේ සතිමත් බව වැඩීමේ ලිපි පෙළ සතිපතා කොටස් වශයෙන් සිළුමිණෙහි පළ වූ අතර, මෙවර පළවන්නේ එහි අවසන් කොටසයි.

වසීමේ කෙළවරටම අප තල්ලු කරන සමහර මිනිසුන් අපට මුණ ගැසේ. සිහියෙන් හෝ මෛත්‍රියෙන් තොරව අපි ඔවුන්ට කෝපයෙන් හා අමනාපයෙන් ප්‍රතිචාර දක්වමු. සිහියෙන් යුතු වුවහොත් සමහර වචනවලට හා ක්‍රියාවලට අපේ සිත ප්‍රතිචාර දක්වන අන්දම අපට බලාගත හැකිය.

මෙට්ටය මත වාඩිවී භාවනා පුහුණුවේ යෙදෙන අවස්ථාවේදී මෙන්ම, ඇලීම හා ගැටීම සිත තුළ නැඟී එන සැටි මේ මොහොතේදී ද දැක ගත හැකිය. සිහිය, අයහපත් ක්‍රියාවන්ගෙන් අපව වළක්වන ආරක්ෂක දැලක් වැනිය. සිහිය අපට කාලය ලබාදෙයි. විකල්ප ලබාදෙයි. හැඟීම්වලින් ඉලිප්පී ගසාගෙන යාමට එවිට අවශ්‍ය නැත. මුළාව වෙනුවට ප්‍රඥාව යොදා ප්‍රතිචාර දැක්වීමට ඉඩ ලැබේ.

මෛත්‍රිය යනු භාවනා මෙට්ටය මත වාඩිවී නොකඩවා සිතමින් කරන යම් ක්‍රියාකාරකමක් නොවේ. අනෙකුත් පුද්ගලයන් සමඟ ගනුදෙනු කරන සෑම අවස්ථාවකම ඒ තුළින් මතු වී බැබළීමට මෛත්‍රියේ බලයට ඉඩදිය යුතුය. සියලු යහපත් සිතුවිලි, වචන හා ක්‍රියාවන්ගේ මූලධර්මය මෛත්‍රියයි. එය ඇති තැන, අපට අන්‍යයන්ගේ අවශ්‍යතා වඩා හොඳින් හඳුනාගෙන ඔවුන්ට නොපමාව උපකාර කළ හැකිය. මෛත්‍රි සිතුවිලි ඇතිවිට අනුන්ගේ ජයග්‍රහණ ගැන උණුසුම් හදවතින්ම සතුටු විය හැක. අනෙක් අය සමඟ එකඟතාවයෙන් කටයුතු කරමින් ජීවත්වීමට අපට මෛත්‍රිය අවශ්‍යය. කෝපය හා ඊර්ෂ්‍යාව නිසා ඇතිවිය හැකි දුක් පීඩාවලින් අපව ආරක්ෂා කරන්නේ මෛත්‍රියයි. අපගේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව හා උපේක්ෂාව වඩාත් දියුණු කරගත් විට, අප අවට ජීවත් වන්නන්ගේ ජීවිත වඩා ප්‍රසන්නකාරී වනවා මෙන්ම අපගේම ජීවිත වඩා සාමකාමී හා තෘප්තිමත් වන්නේය. හිරුගේ කිරණ මෙන් මෛත්‍රියෙහි බලය ද අප්‍රමාණය.

නිත්‍යානුකූලව හෝ නීති විරෝධීව සිරගත කර සිටින සියල්ලන් වෙත ද, ලොව කොතැනක හෝ පොලිස් අත්අඩංගුවේ සිටින සියල්ලන් වෙත ද සාමය හා සතුට ළඟාවේවා! ඔවුන් ලෝභය, තරහ, අමනාපය, වෛරය, ඊර්ෂ්‍යාව හා බිය නැත්තෝ වෙත්වා. ඔවුන්ගේ සිත කය දෙක මෛත්‍රියෙන් පිරේවා! මෛත්‍රියෙන් ඇති වන සාමය හා සැනසුම ඔවුන්ගේ සිත් සතන් තුළ පිරී ඉතිරී යත්වා!

නානාවිධ රෝගාබාධයන්ගෙන් පෙළෙමින් රෝහල්ගතව සිටින සියල්ලන් වෙත සාමය හා සතුට ළඟාවේවා! ඔවුන්ගේ වේදනා, දුක්පීඩා, සන්තාප, කලකිරීම්, සාංකා හා බිය දුරුවේවා! මේ මෛත්‍රී සිතුවිලි ඔවුන් වැලඳගෙන වසා ගනිත්වා. ඔවුන්ගේ සිත කය මෙත් සිතුවිලිවලින් පිරේවා!

දරුවන් ප්‍රසූත කරමින් ප්‍රසව වේදනාවෙන් පෙළෙමින් සිටින සියලු මවුවරුන්ට සාමය හා සතුට ළඟා වේවා! ඔවුන්ගේ සිත්වල හා සිරුරවල සෑම ලේ බින්දුවක්ම, සෑම සෛලයක්ම, සෑම පරමාණුවක්ම, සෑම අංශුවක්ම මෙත් සිතුවිලිවලින් ශක්තිමත් වේවා!

සිය දරුවන් රැකබලා ගන්නා සියලු හුදකලා මවුවරුන්ට හා පියවරුන්ට සාමය හා සතුට ළඟාවේවා! ජීවිතයේ නොවැළැක්විය හැකි පරාජය වීම්, ගැටලු හා දුෂ්කරතාවන්ට මුහුණදී ජය ගැනීමට අවශ්‍ය ඉවසීම, ධෛර්යය, අවබෝධය හා අධිෂ්ඨානය ඔවුනට ලැබේවා! ඔවුහු සුවපත් වෙත්වා! සතුටු වෙත්වා! සාමකාමී වෙත්වා!

වැඩිහිටියන් විසින් නොයෙක් ආකාරයෙන් අපයෝජනය කරන ලද සියලු ළමුන්ට සතුට හා සාමය ළඟාවේවා! ඔවුහු මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා සහගත සිතුවිලිවලින් පිරෙත්වා! ඔවුහු මුදු මොළොක් වෙත්වා! සන්සුන් වෙත්වා! ඔවුන්ගේ හදවත් සෞම්‍ය වෙත්වා! ඔවුන්ගේ වචන ප්‍රියමනාප වෙත්වා! ඔවුහු බිය, ආතතිය, සාංකාව, අසහනය හා නොසන්සුන්කමින් මිදුනෝ වෙත්වා!

සියලු පාලකයෝ මෘදු වූ, කාරුණික වූ ත්‍යාගශීලී වූ දයාභරිත වූවෝ වෙත්වා! පීඩාවට පත්වූ, අඩු වරප්‍රසාද ඇත්තාවූ වෙන්කොට සලකනු ලබන්නාවූ, දිළිඳු බවෙන් මිරිකුණා වූ තැනැත්තන් ගැන අවබෝධයක් ඔවුනට ලැබේවා! අවාසනාවන්ත රටවැසියන්ගේ දුක්පීඩා කෙරෙහි හදවත් උණුවේවා! මෛත්‍රී සිතිවිලි ඔවුන් වැළඳගෙන වසාගෙන පැතිරේවා! ඔවුන්ගේ සිත් සතන්හි සෑම සෛලයක්ම, සෑම ලේ බිඳුවක්ම, සෑම පරමාණුවක්ම, සෑම අංශුවක්ම මෛත්‍රී සිතුවිලිවලින් පිරේවා! මෛත්‍රියෙන් පැනනඟින සාමය හා සැනසුම ඔවුන්ගේ සිත් සතන් වෙලා ගනිත්වා! පීඩාවට පත්වූ අඩු වරප්‍රසාද ඇත්තා වූ, දිළිඳුකමින් පීඩා විඳින්නා වූ සහ වෙන්කොට සලකනු ලබන්නා වූ, සියල්ලන් වෙත සාමය හා සතුට ළඟා වේවා! ඔවුහු වේදනා, දුක්පිඩා, සන්තාප, කලකිරීම් සාංකා හා බිය නැත්තෝ වෙත්වා! විශ්වය හාත්පස, සියලු දිසාවන්හි සිටින එබඳු සියල්ලෝම සුවපත් වෙත්වා! සතුටු වෙත්වා! සාමකාමී වෙත්වා! ජීවිතයේ නොවැළැක්විය හැකි පරාජය වීම්, ගැටලු හා දුෂ්කරතාවයන්ට මුහුණ දී ජය ගැනීමට අවශ්‍ය ඉවසීම, ධෛර්යය, අවබෝධය හා අධිෂ්ඨානය ඔවුන්ට ලැබේවා! මේ මෛත්‍රී සිතුවිලි ඔවුන් වැලඳගෙන වසාගෙන පැතිරේවා! ඔවුන්ගේ සිත් සතන් මෛත්‍රී සිතුවිලිවලින් පිරෙත්වා!

සියලු දිසාවන්හි සිටින සියලු ආකාර සත්ත්වයෝ – දෙපා සත්ත්වයෝ ද සිවුපා සත්ත්වයෝ ද, බහුපා සත්ත්වයෝ ද, අපා සත්ත්වයෝ ද, උපන් සත්ත්වයෝ ද, උපත බලාපොරොත්තු වන්නා වූ සත්ත්වයෝ ද, මේ සක්වළ හා අනෙකුත් සක්වළ සිටින සත්ත්වයෝ ද සතුටු සිත් ඇත්තෝ වෙත්වා! කිසිවකු තව කිසිවකු නොරවටාවා! කිසිවෙක් තව කිසිවකුට ගැරහුම් නොකෙරේවා! කිසිවෙක් කිසිවෙකුට නපුක් නොසිතාවා! මගේ අප්‍රමාණ වූ මෛත්‍රී සිත සියලු සත්ත්වයන් කෙරෙහි උඩ, යට, හාත්පස, සියල්ලන් කෙරෙහි බාධාවකින් තොරව, වෛරයෙන් තොරව, අමනාපයෙන් තොරව පැතිරේවා, සියලු සත්ත්වයෝ දුකින් මිදෙත්වා! ශාන්ත සැපතට පත්වෙත්වා!

මෛත්‍රිය, සියලු සීමාවන් බිඳගෙන – ආගමික, සංස්කෘතික, භූගෝලීය, භාෂාමය හා ජාතිමය, – සියලු සීමාවන්ගෙන් ඔබ්බට යන්නකි. අප කුමන රූපයකින් පෙනී සිටියද මෛත්‍රිය අප සියලු දෙනා එකට බඳින, විශ්වීය හා සදාතනික ධර්මතාවකි. සීමා බන්ධන කිසිවකින් තොරව මෛත්‍රිය පුරුදු කළ යුතුය. මගේ සතුරාගේ වේදනාව මගේත් වේදනාවයි. ඔහුගේ කෝපය මගේත් කෝපයයි. ඔහුගේ මෛත්‍රිය මගේත් මෛත්‍රියයි. ඔහු සතුටින් නම් මාත් සතුටිනි. ඔහු සාමයෙන් නම් මාද සාමයෙනි. ඔහු නීරෝගි නම් මමද නීරෝගි වෙමි. අපගේ වෙනස්කම් අමතක කොට, දුක බෙදාගන්නා සේම සියලු දෙස සියලු දෙනා සමඟ මෛත්‍රිය ද අප බෙදා ගත යුතු වෙමු. කිසිම ජාතියකට අනෙකුත් ජාතීන්ගේ ආධාර උපකාරයෙන් තොරව පැවතිය නොහැකි සේම, කිසිම පුද්ගලයකුට හුදකලාව ජීවත්විය නොහැක. ජීවිතය පවත්වා ගැනීම සඳහා, අවශ්‍යයෙන්ම අපට වඩා වෙනස් වූ අනෙකුත් සත්ත්වයන් අපට වුවමනාමය. ලොව පවත්නා සැටි එසේමය. අප අතර ඇති වෙනස්කම් නිසාම මෛත්‍රිය පුරුදු කිරීම අනිවාර්යය. අප සියල්ලන් එකට බැඳ තබන්නේ මෛත්‍රියයි.

(හේනේපොල ගුණරතන හිමියන් විසින් රචිත විදර්ශනා භාවනා වැඩීමට සරල බසින් මඟ පෙන්වන ප්‍රායෝගික අත්පොතක් වූ ‘ සතිමත්බව වැඩීම‘ කෘතිය ඇසුරින් සිළුමිණ පාඨක ජනතාව වෙනුවෙන් කොටස් වශයෙන් පළ කරන ලද භාවනා ලිපි පෙළ මෙයින් අවසානයි!)

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division