Home » බුද්ධිකාරක බුධ ජනවාරි 07 වැනිදා ධනු රාශිගත වෙයි

බුද්ධිකාරක බුධ ජනවාරි 07 වැනිදා ධනු රාශිගත වෙයි

by thanushika
January 6, 2024 12:30 am 0 comment

2024 වසරේ පළමු ග්‍රහ මාරුව ලෙස ඥානයට අධිපති බුද්ධිකාරක බුධ, ධනු රාශියට පිවිසීම ජනවාරි 07 වැනි දින රාත්‍රී 8.50ට සිදු වන බව ජ්‍යොතිෂයෙහි සඳහන් වේ. ගුරුට අයත් ධනු රාශිය තුළ පෙබරවාරි 01 වැනිදා දක්වා බුධ ග්‍රහයා සිය චලිතය පවත්වාගෙන යයි.

යුක්තිගරුක සාධාරණ ගුරු ග්‍රහයාද ඥාන සම්භාරයකින් යුතුය. එම නිසා බුධ සහ ගුරු දෙදෙනාම පොතපත නියෝජනය කරන බැවින් උගතුන් දෙදෙනෙකුගේ හමුවීමක් වැනි වූ මේ ග්‍රහ මාරුව කිසිවකුට අයහපතක් නොවේ. සුබ ස්ථානයක මෙම ග්‍රහ මාරුව සිදුවීම අනුව බොහෝ සුබපල එම ලග්න හිමියාට ගෙන දෙයි. ශාස්ත්‍රීය දේ පිළිබඳව දැනුම්වත් වන සිදුවීමක් වන අතර පාසල් දරුවනට අධ්‍යාපනික දැනුම, තර්ක විතර්ක ඥානය ලබා දෙයි. යම් දෙයක් වහා අවබෝධ වන ගතියක් ඇති වන අතර විභාගවලට ඉදිරිපත් වන දරුවනට සුබ ප්‍රතිඵල ගෙන දෙන්නකි. නීතිය, ජ්‍යොතිෂය වැනි ගැඹුරු ශාස්ත්‍රයනට දක්ෂයෝ බිහි වෙති.

මේ කාලය තුළ උපත ලබන දරුවන්ට මේ සුබ ග්‍රහ මාරුව නිසා අනාගතයේ න්‍යායධර්ම තේරෙන, උද්‍යෝගවත් සිත් ඇති අය වේ. රාජ්‍ය පාලනය තුළ වුවද නිදහස වෙනුවෙන් සටන් කරන, යුක්තිය, සාධාරණය, අවංකත්වය යන ගුණාංගයන්ගෙන් යුතු අය බිහි වෙති. සියලුම ලග්නවලට යහපත උදා කරන මෙකී ග්‍රහමාරුව එක් එක් ලග්නයට කෙසේ බලපැවැත්වේදැයි විමසා බලමු.

මේෂ – ඔබගේ කේන්දරයේ 9වැන්න වූ භාග්‍යස්ථානයට පිවිසෙන බුධ ග්‍රහයා පිනට දහමට ඔබව යොමු කරවමින් ශීලයෙන් හා භක්තියෙන් යුතු කෙනෙක් කරනු ඇත. ඉගෙනගන්නා දරුවෙක්නම් උසස් ඉගෙනීමට උදවු දෙයි.

වෘෂභ – ඔබගේ කේන්දරයේ 8වැනි භාවයට පිවිසෙන බුධ ග්‍රහයා නිසා ශරීරය දීප්තිමත් කරයි. කලබල අඩු, සංයමයකින් යුතු පැවැත්මක් ඔබ තුළ ඇති කරවයි. සුළු අසනීප තත්ත්වයක් පෙන්නුම් කරන බැවින් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වන්න.

මිථුන – කේන්දරයේ 7වැනි භාවයට පිවිසෙන බුධ නිසා ඔබගේ ක්‍රියාශූර ගතිය වැඩි වේ. බුධ යනු ඔබේ ලග්නාධිපති ග්‍රහයා බැවින් රැකියා, ව්‍යාපාර ආදියෙන් ලාභ ප්‍රයෝජන ගෙන දෙයි. ලිවීමෙන් පොත්පත් කිරීමෙන් ප්‍රසිද්ධිය ගෙන දෙයි. දැනුම වැඩි කරයි.

කටක – ඔබගේ කේන්දරයේ 6වැන්නට පිවිසෙන බුධ ග්‍රහයා එතරම් සුබපලයක් නොපෙන්වයි. ඒ නිසා ඔබට පෙබරවාරි 01 වැනිදා දක්වා කාලය තුළ සෞඛ්‍ය තත්ත්වය මැනවින් පරීක්ෂා කරගෙන ධාර්මිකව කටයුතු කරන්න.

සිංහ – ඔබගේ කේන්දරයේ 5වැන්නට පිවිසෙන බුධ අධ්‍යාපනය ලබන දරුවන්ට දැනුම, ඥානය ලබා දෙයි. බුද්ධිය වඩවා අසීරු විෂයනට ප්‍රියතාවක් ඇති කරයි. ක්‍රීඩාවලට පොලඹවයි.

කන්‍යා – ඔබගේ කේන්දරයේ සිවුවැන්නට බුධගේ පැමිණීම යහපත්ය. යානවාහන, ගෙවල් දොරවල් ආදිය සොයමින් සිටියේනම් ඒවාට හිමිකම් ඇත. පදිංචි ස්ථානයේ දියුණුවට කටයුතු කරගැනීමට උනන්දු වේ. සමහරවිට රාජකාරි ස්ථානවල මාරුවීම් පෙන්වයි.

තුලා – ඔබගේ කේන්දරයේ 3වැනි භාවයට පිවිසෙන බුධ නිසා ගමන්බිමන් වැඩි වේ. දැනුම බුද්ධිය වඩවා යහපත් සිහි කල්පනාවෙන් යුතු කෙනෙක් බවට ඔබව පත් කරවයි. සොයුරු සොයුරියන්ටද සුබපල ගෙන දෙයි.

වෘශ්චික – ඔබගේ කේන්දරයේ දෙවැනි භාවයට පිවිසෙන බුධ ග්‍රහයා නිසා කොමිස් පිට වැඩ කරන පිටරටවලට බඩු භාණ්ඩ යවන සහ බ්‍රෝකර්වරුනට ලාභ ප්‍රයෝජන හිමිකර දෙයි. කතාවෙහි දක්ෂ වෙයි. නීතිඥ සහ ගුරු, කථිකාචාර්ය වැනි වියත් අයගේ දක්ෂතා වැඩිදියුණු වේ.

ධනු – ඔබගේ ලග්න භාවයට පිවිසෙන බුධ ග්‍රහයා ඔබව භාෂා ශාස්ත්‍රවල නිපුණයෙක් කරයි. ජීවිතය සංයමයකින් යුතුව පවත්වාගෙන යයි. විහිළුවෙන් හා විනෝදකාමී ලෙස හසුරුවයි.

මකර – ඔබගේ කේන්දරයේ 12වැනි භාවයට බුධගේ පැමිණීම අනුව වියදම් අධික වෙයි. තම කුටුම්භ ස්ථානයට වැඩියෙන් පිටස්තර අය ඔබෙන් ලාභ ප්‍රයෝජන ලබයි.

කුම්භ – එකොළොස්වැනි භාවයට බුධගේ පැමිණීම නිසා රැකියා ව්‍යාපාර ආදියෙන් ලාභ ප්‍රයෝජන අත්කර දෙයි. නව මිතුරු මිතුරියන් ඇසුරට ලැබෙන අතර ඒ අයගෙන් උදවු උපකාර ද ලැබෙනු ඇත.

මීන – ඔබගේ කේන්දරයේ රැකියා ස්ථානය වූ 10වැන්නට බුධගේ පැමිණීම තැනට සුදුසු නුවණින් කටයුතු කිරීමට ඔබව පොලඹවයි. රැකියා ව්‍යාපාරවලින් ලාභ ගෙන දී ආර්ථිකය ශක්තිමත් කරයි.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ශ්‍රියා ගනේගොඩ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division