රූපවාහිනී කාර්මික අංශයේ සියලු කඩඉම් ප්‍රායෝගිකව ජයගෙන රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදකයකු බවට පත් සම්මානනීය රූපවාහිනී ශිල්පියකු අපට පසුගියදා හමුවිය. ඔහු වත්මනෙහි ස්වාධීන රූපවාහිනියේ වැඩසටහන් නිෂ්පාදකයකු වන ඉන්දික වීරකෝන්ය. ඉන්දික රූපවාහිනි මාධ්‍යයේ තවත් සුවිශේෂ චරිතයක් වන්නේ ඔහු ග්‍රන්ථකරණයේ යෙදෙන්නේ රූපවාහිනි මාධ්‍ය ගැන නිසාමය.
“මම ඉස්කෝලේ ගියේ මාදිවෙල ශ්‍රී රාහුල විද්‍යාලයට. මම ඉස්කෝලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා. උසස් පෙළ කරලත් මං අවුරුද්දක් ඉස්කෝලෙ ගියා. මුලින්ම කලා කටයුතුලට සම්බන්ධ වූයේ ඉස්කෝලෙදි. මං ඉස්කෝලේ අවසන් දවසේ විදුහල්පතිතුමා සහ ගුරු මණ්ඩලයත් එක්ක ඉඳල සමූහ ඡායාරූපයක් ගත්තා. විදුහල්පතිතුමා මගෙ අස්වීමේ සහතිකයේ ලිවුවා “ඉන්දික කතාවක් පවත්වනකොට ඇල්පෙනිත්තක් බිම වැටෙන සද්දේ ඇහෙන තරමට සභාව නිශ්ශබ්දව අසා සිටිනවා කියලා.“
ඉන්දික එසේ පැවසුවද සිය පියා ඉන්දික හා නැඟණියගෙන් සමුගන්නා විට ඉන්දික පහේ පන්තියට පාස්වුණා පමණි.
“ජීවත්වෙන්න අමාරු නිසා අම්මා මැදපෙරදිග රැකියාවකට ගියා. සීයා තමයි අපිව කවල පොවල බලාගත්තේ. ඒ දුෂ්කර කාලයේදි අපි තේරුම් ගත්තා මේ දුෂ්කරතාවෙන් ගොඩයන්න තියෙන එකම ගැලවුම්කරු අධ්‍යාපනය තමයි කියලා.”
පාසල් ජීවිතයෙන් පසු ඉන්දික තම හදවත ඉල්ලා හැඬූ ‘රූපවාහිනි මාධ්‍ය’ට කෙමෙන් කෙමෙන් ආරම්භක පියවර තැබුවේය. ඔහු මුලින්ම ටෙලිවිව් ආයතනයේ සහ ජාතික තරුණ සේවා සභාවේ රූපවාහිනිකරණය ගැන පාඨමාලා හදාරන්නට එක්විය.
ඉන්දික විවෘත විශ්වවිද්‍යාලයේ LLB විභාගයට පෙනී සිට සමත් වූයේ අයදුම්කරුවන් 800ක ගෙනි.
“ඇයි ඉතිං නීතිඥ වෘත්තියට ගියේ නැත්තේ?”
“ඉගෙනගන්න ඇත්තටම සල්ලි තිබුණේ නැහැ. රැකියාවකට ගිහින් කාලයකට පස්සේ බැලුවාම ආයිත් උත්සාහ අරන් බැලුවා. එතකොට LLB සමත් වුණාම ඉදිරි කටයුතුවලට ඉල්ලුම් කළ යුතු කාලය ඉකුත් වෙලා.”
මේ අතර ස්වර්ණවාහනියේ පටිගත කිරීමේ ශිල්පී ඇබෑර්තුවක් ගැන ඉන්දිකට දැනගත හැකි විය. ඒ වන විට ඉන්දිකට රැකියාවක් ද නොවීය.
“මං ටයි එකක් දාගෙන ඉන්ටවීව් ගියා. පඩිය රු.7500/=යි. ආලෝකරණය එතකොටත් වැඩිපුර පොත්වලින් ඉගෙනගත්තෙ. කැමරාමන් කෙනෙක් වෙන්න. ඊළඟ ස්ටෙප් එක රෙකෝඩිස්ට්.”
ඉන්දික ඊළඟට රූපවාහිනි අභ්‍යාස ආයතනයේ, ආලෝකකරණය රොලන්ඩ් ප්‍රනාන්දු, කැමරාකරණය ඇම්. ඩී. මහින්දපාල යටතේ ද ඉන්පසු සංස්කරණය ගැන ද ප්‍රායෝගික පුහුණුවක් ලැබුවේ තමන්ගේම වියදමෙනි.
මේ අතරේ එක අවුරුද්දක ස්වර්ණවාහිනියේ රු. 15,000/=ක් බෝනස් එකක් දුන්නා. මං ඒකෙන් රූපවාහිනි ආයතනයේ කැමරාකරණය ගැන දවස් 14ක කෝස් එකක් කළා.”
රැකියාවේ යෙදෙන අතරම ඉන්දික ශාස්ත්‍රපති උපාධිය සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව හා ජනසන්නිවේදන උපාධිය මෙන්ම කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන ශාස්ත්‍රපති උපාධියට ද පෙනි සිට හමාරය.
ඉන්දික ස්වර්ණවාහිනියේ සේවය කළ සමයේ එහි නිර්මාණ අධ්යක්ෂවරයා වූයේ ජැක්සන් ඇන්තනීය. අධ්යක්ෂ වැඩසටහන් ධුරය දැරුවේ හේමනලින් කරුණාරත්න වන අතර රොස්මන්ඩ් සේනාරත්න අධ්යක්ෂ ප්රවෘත්ති ධුරය දැරූ බැවින් ඔහුට ඔවුනගේ ඔවදන් කදිමට ලබාගත හැකි විය. ඉන්දික මේ අයගෙන් ඉල්ලා සිටියේ තමන්ට වැඩි පඩියක් නැතුව නිෂ්පාදකවරයකු ලෙස පුහුණුවට අවස්ථාව ලබාදෙන ලෙසය.
“මට අවශ්‍ය වුණේ නිවුස් පැත්ත ඉගෙන ගන්න. මාව උදේ 2කට එක්කං ආවා. සෙනසුරාදා, ඉරිදා නොමිලේ වැඩ කළා. සමහරදාට රෑ 12 වුණා වැඩ ඉවරවෙනකොට.”
ඉන්දිකගේ මුල්ම පොත වූ ‘රූපවාහිනි ප්රවෘත්තිකරණය’ එළිදක්වන්නේ ඒ අතරය. එය ලේඛකත්ව හා සන්නිවේදන පශ්චාත් උපාධි පාඨමාලාව සඳහා කරන ලද නිබන්ධනය විය. ඉන්දිකගේ ඊළඟ ග්‍රන්ථය ‘සිරකරුවොත් මනුෂ්‍යයෝය’ විශ්ව ලේඛක ප්රකාශනයක් විය. එමෙන්ම ඉන්දිකගේ තුන්වැනි ග්‍රන්ථය වූයේ සන්නිවේදනය හා භාවිතය නම් විය. පොත දොරට වැඩිමේ උත්සවයේදී දේශන පවත්වන ලද්දේ හේමනලින් කරුණාරත්න හා එඩ්වින් ආරියදාස විසිනි.
“කලකට පස්සේ මම සිරසට සම්බන්ධ වුණා. ඒ කාලේ ධම්මික ගංගනාථ ස්වාධීන රූපවාහිනියේ සභාපති වුණාම ලාල් හේමන්ත මාවලගේ සර් ප්රවෘත්ති නිෂ්පාදක වුණා. කොහොමත් ලාල් සර් මගේ ගුරුවරයෙක්. මං ලාල් සර් ගාව නිෂ්පාදකයෙක් වශයෙන් එක්වුණා.”
ස්වර්ණවාහිනියේ ඉන්දික වීරකෝන් මුලින්ම සම්මානයක් ලබන්නේ සුමති සම්මාන උලෙළේදීය. ඒ පාන්දර තුනට ඉංග්‍රීසි උගන්වන කැටවල කනිෂ්ඨ විද්‍යාල ගැන හොඳම කාලීන ප්රවෘත්ති වාර්තාකරණය ගැනය.
ඊළඟට 2016දී රූපවාහිනි රාජ්‍ය සම්මාන උලෙළේදී හොඳම ගවේෂණාත්මක ප්රවෘත්ති වාර්තාකරණය ගැන සම්මානය ඉන්දික දිනා ගන්නා ලදි. එමෙන්ම 2017දී හොඳම රූපවාහිනි ප්රවෘත්ති වාර්තාකරණයට දෙවැනි සම්මානය ඉන්දික දිනාගන්නා ලදි. එමෙන්ම අනුරාධපුර අලිවංගුවේ පවුල් 52ක් ගත කළ අහිකුණ්ඨික ජීවිත ගැන වැඩසටහනින් ද ඔහු සම්මානයට පාත්‍ර විය.
2019දි හොඳම කාලීන පුවත් වාර්තාකරණය රථවාහන නීතිය ගැන සුමති සම්මාන උලෙළ දෙවෙනි තැන මෙන්ම 2018දි ජනාධිපති ජනමාධ්‍ය සම්මාන උලෙළේදී හා 2023 සුමති සම්මාන උලෙළේදී ඉන්දික වීරකෝන් සම්මානයට පාත්‍ර විය.
දැන් ඉන්දික වීරකෝන් ස්වාධීන රූපවාහිනියේ මසකට නිෂ්පාදනය කරන වැඩසටහන් ගණන 40කි. උදේ 3ට ස්වාධීන රූපවාහිනියට එන ඔහු උදේ 6 සිට පත්තරෙන් එහා වැඩසටහන් 5ක් සතියකට නිෂ්පාදනය කරනු ලබයි. උදේ 7 සිට 8 දක්වා හත්වෙනි පැය වැඩසටහන නිෂ්පාදනය කරයි. එමෙන්ම Spot Light ටාගට්, තුලාව වැනි වැඩසටහන් ද ඒ අතර ඇත.
“මගේ සිහිනය වූයේ කැමරාකරුවකු වන්න. ඒත් මං ඊටත් එහා ගියේ ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුම නිසා. තාක්ෂණික දැනුම නිෂ්පාදකයකුට අත්‍යවශ්‍යයි. දැන් කැමරා ශිල්පියකුටවත්, රෙකෝඩින් කෙනෙකුටවත්, ආලෝක ශිල්පියකුටවත් මට බොරු කරන්න බෑ.”
ඉන්දික කියන්නේ රූපවාහිනි නිෂ්පාදකයකු ‘මම පොර’ යැයි සිතාගත් විට පරිහානිය කරා ගමන් අරඹන බවයි.
“රූපවාහිනි මාධ්‍ය දිනෙන් දින update වෙනවා. අපිත් update නොවුණොත් අලුත් පරම්පරාවට සාප කර කර තමයි ඉන්න වෙන්නේ. අර්නස්ට් හෙමිංවේ කියලා තියෙනවා මිනිසා විනාශ කළ හැක. පරාජය කළ නොහැක කියලා. මගේ ටාගට් එක නොහැක්කක් නොමැත කියන පාඨයත් සාර්ථකත්වය කරා පියවරෙන් පියවර තියන එකත්.
ඡායාරූප – විමල් කරුණාතිලක
වජිර ලියනගේ