Home » කෝටි හතරහමාරකට විද්ද බදුල්ලේ අසංක ගහපු හතර වරං ගේමේ සුලමුල
ගාල්ලේ හා පානදුරේ ව්‍යාපාරිකයන් දෙදෙනකු අන්දා

කෝටි හතරහමාරකට විද්ද බදුල්ලේ අසංක ගහපු හතර වරං ගේමේ සුලමුල

මෙවැනි ගේමක් ගැසූ ඉතිහාසයේ පළමුවැන්නා ඔහුයි

by Mahesh Lakehouse
December 23, 2023 12:30 am 0 comment

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය තුළ රජයේ මෙන්ම පෞද්ගලික කාර්යාල සංකීර්ණ බොහෝය. ඒ හැම ආයතනයක්ම පවත්වා ගෙන යන්නේ කුලී පදනම මත ලබාගත් ගොඩනැගිලි සහ ඒ වෙනුවෙන්ම ඉදි කර ඇති කුටිවලය. රීගල් සේල්ස් පුද්ගලික ආයතනය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට ආ අලුත්ම ව්‍යාපාරික කාර්යාලයකි.

රථවාහන මිලදී ගෙන අලෙවි කිරීම මෙම ව්‍යාපාරයේ ස්වභාවය බව මෙම පරිශ්‍රයෙන් කුටි දෙකක් වෙන්කර ගන්නා අවස්ථාවේදී එහි හිමිකරු බව කියන තැනැත්තා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පාලකයන්ට පවසා තිබුණේය. මේ කියන පුද්ගලයා තමාව හඳුන්වනු ලැබුවේ අසංක රත්නායක ලෙසිනි.

ලොකු මාසික කුලියකට කුටි දෙකක්ම සිය කාර්යාලය පවත්වා ගෙන යාමට වෙන්කර ගන්නා මේ කියන පුද්ගලයා සිය කාර්යාලය මෙහි ස්ථාපිත කරනු ලබන්නේ පසුගිය 11 වෙනිදාය. ඒ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ බලධාරීන් සමඟ ගිවිසුම්ගත වීමෙන් අනතුරුවය.

ඊට අදාළව අසංක රත්නායක නම් වූ මේ තැනැත්තා ඉදිරිපත් කළ ජාතික හැඳුනුම්පතට අනුව ඔහු බදුල්ල පුස්වැල්ලගොල්ලේ පදිංචිකරුවෙකි. එහි සඳහන් උපන් වර්ෂයට අනුව ඔහුගේ වයස සඳහන් වන්නේ අවුරුදු 51ක් ලෙසිනි.

යුරෝපීය ඇඳුමෙන් සැරුසුණු මෙම පුද්ගලයා පෙනී සිටියේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු ලෙසිනි. ඔහු හැසුරුණේ රට පුරාම මෙන්ම විදෙස්ගතවත් ව්‍යාපාර ඇති අයෙක් ලෙසය.

ගිවිසුම් ගතවන අවස්ථාවේදීම ගෙවිය යුතු සියලු මුදල් ගෙවා දැමීම හා සියලු කොන්දේසිවලට එකඟ වීම නිසා මේ පුද්ගලයා ගැන හෝ ඔහුගේ ව්‍යාපාරික කටයුතු ගැන බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පරිපාලකයන්ට ද කිසිදු ගැටලුවක් නොවීය.

නමුත් මේ පුද්ගලයා වංචාකරුවෙක් බව කොයිකාටත් තහවුරු වන්නට වැඩි කාලයක් ගත නොවීය. ඒ ඔහු අනුන්ගේ වාහන දෙකක් පෙන්වා රුපියල් හාරකෝටි පනස් පන් ලක්ෂයක මුදලක් ව්‍යාපාරිකයන් දෙදෙනකුගෙන් රැගෙන පසුගිය 20 වෙනිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පස්සා දොරින් රිංගා පලා යන බැවිනි.

මෙතෙක් මේ පුද්ගලයා කවුරුන්දැයි පොලිසියට පවා සොයා ගැනීමට ඉඩක් ලැබී නැත. මේ ගැන කෙරන විමර්ශනවලදී කුරුඳුවත්ත පොලිසියට පෙනී ගොස් ඇත්තේ ඔහු වංචාවට උපන් හපන් ඇති තැනැත්තෙක් බවය. මේ ඔහුගේ පළමු ගේම නොවන බව පොලිසියේ විශ්වාසයයි. මේ පුද්ගලයා සිය අනන්‍යතාව තහවුරු කිරීමට ලබාදී ඇති ජාතික හැඳුනුම්පත පවා ප්‍රශ්න ගත එකකි. පෙනී ගොස් ඇති අකාරයට අනුව එම හැඳුනුම්පත පවා ව්‍යාජ එකකි.

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයම මෙම පුද්ගලයා මෙම ගේමට තෝරා ගන්නේ මෙවැනි ස්ථානයක කාර්යාලයක් පවත්වා ගෙන යාමේදී කිසිවකුටත් කිසිදු සැකයක් ඇති නොවන බැවිනි.

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයෙන් කාර්යාලයකට ඉඩකඩ වෙන් කරගත් මේ පුද්ගලයා අනතුරුව කාර්යාලයේ සේවයට පුද්ගලයන් 08 දෙනකු ද බඳවා ගත්තේය. ඒ ඉහළ වැටුප් ලබා දෙන බව සඳහන් කරමින් අන්තර්ජාලයේ දැන්වීමක් පළ කරමිනි. සේවකයන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පවා ඔහු විසින් පවත්වන්නට යෙදෙන්නේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය තුළ පිහිටි කාර්යාලය තුළදීය. බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන්නේ පසුගිය 14 හා 15 යන දෙදින තුළය. විශාල පිරිසක් එහිදී සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණියත් තෝරා ගන්නේ 08 දෙදෙනක් පමණි. එම බඳවා ගැනීම් අතර ප්‍රධාන කළමනාකරු, සහයක කළමනාකරු, මුදල් අයකැමි යන තනතුරු ද තිබුණේය. මේ අය සේවයට වාර්තා කළ යුතු වූයේ පසුගිය 20 වෙනිදාය. රුපියල් හාරකෝටි පනස්පන් ලක්ෂයකට වැඩේදී ඔහු පලා යන්නේ මෙතෙක් මෙරට ඉතිහාසයේ මෙවැනි ගේමක් ගැසූ පළමුවැන්නා ලෙස ඉතිහාසයට එක්වෙමිනි.

සේවකයන් බඳවා ගන්නා විට ඔහු පුවත්පත්වල හා අන්තර්ජාලයේ දැන්වීම් පළ කරමින් සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් මිලදී ගැනීමට මිල ගණන් කැඳවීමක් ද කර ඇත. එම මිල ගණන් කැඳවීමට අනුව ඔහුට දුරකතන ඇමතුම් රාශියක් ලැබී තිබුණ ද ඔහු එහිදී මිලදී ගැනීමට යැයි කියා තෝරා ගන්නේ පියර්ස් වර්ගයේ මෝටර් රථයක් සහ ප්‍රාඩෝ වර්ගයේ ජිප් රථයකි. එම රථ දෙකෙහි සියලු තොරතුරු ලබා ගත් ඔහු පසුගිය 17 වෙනිදා සිය ව්‍යාපාරික ආයතනයට අයත් වාහන දෙකක් අලෙවි කිරීමට ඇතැයි දැන්වීමක් පළ කරනු ලබන්නේ පුවත්පත් සහ අන්තර්ජාලය ඔස්සේය. ඒ ඔහු විසින් මිලදී ගැනීමට තොරතුරු ලබාගත් පියර්ස් වර්ගයේ මෝටර් රථයේ සහ ජිප් රථයේ තොරතුරු ඇතුළත් කරමිනි.

එම දැන්වීමට ද සැලකිය යුතු ප්‍රතිචාරයක් මෙම පුද්ගලයාට ලැබී තිබුණේය. එම වාහන දෙක එකවර මුදල් ගෙවා මිලදී ගැනීමට හැකියාව ඇති දෙදෙනෙක්ව ඔහු එහිදී බිලිබා ගත්තේය. ඒ එකවර මුදල් ගෙවන්නේ නම් ලොකු වට්ටමක් දෙන බව කියාය. එම වට්ටම අඩු කළ පසු මෝටර් රථය අලෙවි කිරීමට ගණන් මිනුම් තීරණය වන්නේ රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයකටය. ජිප් රථයේ මිල තීරණය කරනු ලබන්නේ රුපියල් තුන්කෝටි තිස් ලක්ෂයකටය.

මෙම රථ දෙක මිලදී ගැනීමට ගැණුම්කරුවන්ට මුදල් ද රැගෙන බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි කාර්යාලයට පැමිණෙන ලෙස මෙම පුද්ගලයා පවසන්නේ 20 වෙනිදා පෙරවරුවේදීය. ඒ යම් වේලාවක් පවා ඔවුන්ට ලබා දෙමිනි. ඒ අතර ඔහු අදාළ මෝටර් රථයේත්, ජිප් රථයේත් සැබෑ හිමිකරුවන්ට ද ඇමතුමක් දෙමින් පවසන්නේ එම රථ මිලදී ගැනීමට අදාළ ගනුදෙනුව අවසන් කිරීමට රථ දෙක රැගෙන බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට පැමිණෙන ලෙසය.

මෝටර රථය මිලදී ගැනීමේ අපේක්ෂාවෙන් සිය බිරිය සමඟ මුදල් ද රැගෙන පැමිණෙනුයේ ගාල්ල මඩපාතේ පදිංචි ව්‍යාපාරිකයෙකි. ප්‍රාඩෝ වර්ගයේ ජිප් රථය මිලදී ගැනීමට එන්නේ පානදුරේ පදිංචි ව්‍යාපාරිකයෙකි. ‍ඔහු පැමිණෙනුයේ මිතුරකු සමඟිනි.

මෙම ගැනුම්කරුවන් දෙදෙනා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ බ්ලොක් දෙකෙහි ස්ථාපිත කර ඇති රීගල් සේල්ස් පුද්ගලික සමාගමේ කාර්යාලයට පැමිණෙනුයේ මුදල් ද රැගෙනය. එහිදී මුලින්ම ගනුදෙනුව අවසන් කිරීමට ගැනුම්කරුවන්ව පොලඹවන ඔහු රුපියල් හාරකෝටි පනස්පන් ලක්ෂයක මුදල සියතට ගත්තේ කළමනාකරු හා මුදල් අයකැමි මඟින් ලියකියවිලිවලට අත්සන් ද තබාය. අනතුරුව ගැනුම්කරුවන්ට ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු දැනුම් දෙන්නේ වාහන දෙකේ යතුරු රැගෙන පැමිණෙන තුරු වාහන දෙක නවතා ඇති ස්ථානයට වී සිටින ලෙසය. මේ සියල්ල සිදුවන්නේ දහවල් 12.15ට පමණය.

ගැනුම්කරුවන් දෙදෙනා සමාගමේ හිමිකරුගේ දැනුම්දීමට අනුව වාහන දෙක ඇති ස්ථානයට ගොස් බොහෝ වේලාවක් රැඳී සිටියේය. එහෙත් යතුරු රැගෙන කිසිවකුත් එහි ආවේ නැත. බැරිම තැන ඔවුන් සමාගමේ හිමිකරුට දුරකතන ඇමතුමක් ගත්තේය. ඒ වන විට ඔහුගේ ජංගම දුරකතනය තිබෙන්නේ අක්‍රිය තත්ත්වයෙනි. නැවතත් වරක් දෙවරක්ම ඇමතුම් ගෙන බැරිම තැන කාර්යාලයට පැමිණෙනුයේ යම් සැකයක් ඇතිවන්නට වූ බැවිනි. ඒ වන විටත් ඔහු දෙදෙනාගේම මුදල් රැගෙන එය ගමන් මල්ලක දමාගෙන පස්සා දොරින් පලාගොස් බොහෝ වේලාවක් ගතවී හමාරය. ඒ බව දැන ගන්නේ ඔහු ගමන් මල්ල රැගෙන යන්නේ සේවකයකුගේ සහය ඇතිව වූ බැවිනි. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිටින් ඔහු සේවකයා සමඟ කුලී රථයකට ගොඩවී මඳ දුරක් ගමන් කර සේවකයාව නැවතත් හරවා කාර්යාලයට යවන්නේ ඔහු එතැන් සිට වෙනත් කුලී රථයකට ගොඩවී අතුරුදන් වෙමිනි.

රුපියල් හාරකෝටි පනස්පන් ලක්ෂයක මුදලකට වැඩේ දී ව්‍යාජ වාහන අලෙවි සමාගමක කාර්යාලයක් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය තුළ ස්ථාපිත කළ මෙම පුද්ගලයා පලා යන විට ඔහුගේ වංචාවට හසු වූ ව්‍යාපාරිකයන් දෙදෙනා පොලිසිය වෙත දිව එන්නේ හැඬූ කඳුළෙනි. ඒ දහඩිය මහන්සියෙන් හරි හම්බ කරගත් මුදල් වංචාකරුවකුගේ ගැටයකට හසුවී අහිමි කර ගැනීම දරා ගැනීමට නොහැකිවය.

මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන කුරුඳුවත්ත පොලිසිය මෙහිදී කාර්යාලයට මුද්‍රා තබා එහි සේවකයන් 08 දෙනාම සිය භාරයට ගත්තේය. අනතුරුව ඒ අයගෙන් තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලබන්නේ මුදල් ගනුදෙනු සිදු කළේ ඔවුන් හරහා බව වංචාවට හසු වූ අය පවසන්නට වූ බැවිනි. ඒ අය අතර ප්‍රධාන කළමනාකරු, සහකාර කළමනාකරු මෙන්ම මුදල් අයකැමිවරයා ද සිටියේය.

“සර් මම මෙලෝ දෙයක් දන්නේ නැහැ. පත්තරේ තිබ්බ ඇඩ් එකක් දැකලයි මෙතැන රස්සාවට අවේ. ඉන්ටර්විව් එකක් තියල තෝරා ගෙන අදයි මට වැඩට එන්න කිව්වේ.“ යැයි මාලිගාවත්ත පරිසර මාවතේ පදිංචිකරුවෙක් වන සහකාර කළමනාකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ කියන්නට විය.

මෙම සමාගමේ මුදල් අයකැමිවරයා ලෙස කටයුතු කළ පුද්ගලයා වත්තල කෙළවරපිටිය පරණවත්තේ පදිංචිකරුවෙකි. ඔහු ද මෙහි සේවයට ඇවිත් තිබුණේ ඊට පෙරදිනය. “සර් මම කිසිම දෙයක් දන්නේ නැහැ. මට බොස් කිව්වා සල්ලි ගණන් කරන්න කියලා. මම ඒ සල්ලි ටික ගැනල දුන්නා. එච්චරයි කළේ.“ පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු කියන්නට වූයේ එවැනි කතාවකි.

ප්‍රධාන කළමනාකරු පන්නිපිටිය කළල්ගොඩ පදිංචිකරුවෙකි. වයස අවුරුදු 66ක් වන ඔහු විශ්‍රාමිකයෙකි. ආර්ථික අපහසුතා හේතුවෙන් තමාට රැකියාවක් අවශ්‍ය යැයි කියා මුහුණු පොතේ ඔහු දැන්වීමක් පළ කර තිබී ඇත. ඔහු මෙම ස්ථානයේ සේවයට එක්වන්නේ එම දැන්වීමට අනුව ලද දුරකතන ඇමතුමකිනි.

මෙම පුද්ගලයා මෙහි ප්‍රධාන කළමනාකරු ලෙස සේවයට එක්ව ඇත්තේ 01 වෙනිදාය. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවෙන් කාර්යාලයක් වෙන්කර ගන්නේත් ව්‍යාපාරයක් ලියාපදිංචි කරනු ලබන්නේත් මෙම පුද්ගලයාව සේවයට ගැනීමෙන් අනතුරුවය. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කළ කාර්යාලයට පුටු මේස ගැනීමට කාර්යාලයේ අනෙකුත් වැඩ කටයුතු සඳහාත් මෙහි හිමිකරු බව කියන පුද්ගලයා මෙම තැනැත්තාට මුදල් ලබාදී ඇත්තේ කිසිදු ගණන් බැලීමකින් තොරවය. පලා ගිය පුද්ගලයා මෙම තැනැත්තාට පවසා ඇත්තේ බයින් ඇන්ඩ් සෙලින් ව්‍යාපාරික කටයුත්තක් මෙහි සිදුවන බවය.

පොලිසිය පවසනුයේ පලා ගිය සැකකරු වැඩි දවසක් යන්නට මත්තෙන් කොටු කර ගැනීමට හැකිවනු ඇති බවය. ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ද සහය ඉදිරියේදී ලැබෙනු ඇත.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division