Home » අලංකාර ගේය පද රචනාවලට අද කාලෙ නිසි තැනක් නෑ

අලංකාර ගේය පද රචනාවලට අද කාලෙ නිසි තැනක් නෑ

by Mahesh Lakehouse
December 16, 2023 12:28 am 0 comment

ඇය මධුරි ප්‍රියංවදා. නව පරපුරේ ගායිකාවක් වන ඇය නව ගමනක් යන්නට උත්සාහ කරන්නීය. ඒ යන ගමනේදී තමන්ට නිර්මාණ දායකත්වය ලබා දුන් ගී පද රචකයාට, සංගීතවේදියාට මෙන්ම තනු රචකයාට ද තම අයිතිය රැක දෙන්නට වෙහෙසෙන්නීය.

මොකක්ද ඔබට තිබුණ සිහිනය සහ ඒ සිහිනය සැබෑවක් කරන්න කොහොමද මාර්ගය හදා ගත්තේ?

මම ඉගෙන ගත්තේ කෝට්ටේ ආනන්ද බාලිකා විදුහලේ. පොඩි කාලේ ඉඳන්ම මම සංගීතය හැදෑරුවා. ඒ වගේම පාසැල් මට්ටමින් සංගීතයෙන් මම ජාතික තරගවලට ඉදිරිපත් වෙලා ජයග්‍රහණ ලබාගෙන තියනවා. මට වුවමනාවක් තිබුණා සංගීතවේදිණියක්, ගායිකාවක් වෙන්න. අන්න ඒ හීනයේ යථාර්ථය තමයි “අහිමි තැන්“ යන නමින් එළිදකින්නේ.

අහිමි තැන් තුළින් හිමි වුණ දේ මොකක්ද?

අපේ රටේ ඉන්නවා අති දක්ෂ ගේය පද රචකයන්. එයාලාගේ ඉතාම අලංකාර ගේය පද රචනාවලට අද කාලේ නිසි තැනක් ලැබිලා නෑ. නමුත් අද හරසුන් අර්ථ රසයෙන් හීන වුණ නව රැල්ලේ ගීත ඉතාම ශීග්‍රයෙන් තරුණ ප්‍රජාව අතර ජනප්‍රියයි. මම මේන්න මේ ක්‍රමයට එරෙහිව උඩුගම් යන්න තමයි අංකුර ගේය පද රචකයන් විසින් නිර්මාණය කළ නව පද රචනා එක්ක ගීත 20 සහිත මියුසික් විඩියෝ 20ක ඇල්බමයක් නිකුත් වන්නේ.

මොකක්ද මේ ඇල්බමයේ ඇති වෙනස?

මේක තමයි ලංකාවේ පළමු වතාවට මියුසික් විඩියෝ 20ක ඇල්බමය තනි ගායිකාවක් විසින් කරන. ඒ වගේම මේ කටයුත්ත සඳහා අපිට ගියේ මාස එකහමාරක් වගේ කාලයක්. ඒ වගේම මෙහි ඇති සියලුම ගීතවල ගේය පද තනු අංකුර නිර්මාණ ශිල්පීන්ගේ. ඒ වගේම මෙය ලාංකික සංගීත ක්ෂේත්‍රයේ පැහැදිලි වෙනසක් ඇති කළ කටයුත්තක්.

අපිට මේ ගීත බලන්න පුළුවන් අවස්ථාවක් තියනවද?

ඔව්. මේ සියලුම ගීත සුසඳ යූටියුබ් චැනල් එකෙන් බලන්න පුළුවන්. ඒ වගේම ඒ ගීත හරහා යූටියුබ් චැනල් එකට එන සියලුම ආදායම පද රචකයා, තනු අධ්‍යක්ෂ, ගායකයා සහ ආයතනය යන කොටස් හතරටම සමානව බෙදෙනවා.

ඒ වගේම අපි මේ කාර්යය කළේ අතිශයින්ම තීරණාත්මක කාලයක. එය ඉතාම වෙහෙසකින් කළ කාර්්‍යයන්. සියලුම නිර්මාණ ගුණාත්මක අතින් ඉතාම ඉහළ හා හොඳ රසවින්දනයක් ඇති ඒවා. ඒ නිසා මේ නිර්මාණ නරඹන්න. ඔබේ අදහස් අපිට කියන්න. දක්ෂ අංකුර නිර්මාණකරුවන්ට නිසි ඇගයීම ලබා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම මගේ දෙවැනි ගීත එකතුව වන “හිමි අහිමි“ ඇල්බමයේ වැඩ කටයුතු මේ වෙනකොට නිම කරමින් පවතිනවා. ඒකට ගීත 36ක එකතුවකින් සමන්විතයි. මම බලාපොරොත්තු වෙනවා තව නොබෝ දිනකින් ඒ ඇල්බමය නිකුත් කරන්න.

මොහාන් සුරවීර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division