Home » ලොකු කුඩා හැම මිනිසකුට ම තමන්ගේ ම වූ කතාවක් තියෙනවා

ලොකු කුඩා හැම මිනිසකුට ම තමන්ගේ ම වූ කතාවක් තියෙනවා

සුගතපාල මැන්දිස්

by Mahesh Lakehouse
December 2, 2023 12:30 am 0 comment

දශක පහකට අධික කාලයක් තිස්සේ පුවත්පත් කලාවේදියකු වශයෙන් ගම් නියම් ගම් හි සැරූ ඔහු සමාජයෙන් බොහෝ දෑ උකහා ගත්තේ ය. පැවැති දේශපාලන වෙනස්කම් හා පාවා දීම් සියල්ල හේ සියැසින් දුටුවේය. එපමණක් නොව සජීවී ව ඒවාට මුහුණ දුන්නේ ය. ගිං ගඟ අවට ජනතාවගේ සැප මෙන්ම දුක ද ඔහුට ආගන්තුක වූයේ නැත. සුගතපාල මැන්දිස් නම් මාධ්‍යවේදියා පුවත්පත් කලාවෙන් ඔබ්බට ඇති නිර්මාණ සාහිත්‍යයට අත පොවන්නේ සිය අත්දැකීම් බරෙන් හදවත බර වෙද්දී ය. නිර්මලී එහි ප්‍රතිඵලයකි. ජීවිත කාලය පුරා දරා සිටින සිය අත්දැකීම් බරෙන් නිදහස් වීමට නම් නිර්මලීලා ට සාධාරණයක් විය යුතු බව හේ සිය සංලාපයෙන් අවධාරණය කරන්නේ ය.

ඉතිහාසය පුරා සිදු වූ දේශපාලන ආර්ථික සමාජයීය ගැටලු ගැන ඔබ සවිඥානික යි. ඒ වස්තු බීජ තවමත් ඔබේ සිතේ ජීවමාන වන බව නිර්මලී ඔස්සේ පෙනෙනවා.

එය එහෙම විය යුතු යි නේ ද? මගේ ජීවිත කාලය පුරා ලද සමාජ, ආර්ථික, සංස්කෘතික හා දේශපාලන ම ය සන්තෑසි කිසිවකු ගේ හිත් සතන්වලින් බැහැර වෙනවා නම් ඔහු හෝ ඇය හෝ රට තොට ගැන සමාජයේ කිසිවක ගැන, වටිනාකමක් හෝ විනාශයක් ගැන, ඇස් කන් නාස් නැති, සිහිවිසඥ නැත්නම් නිර්වින්දනයට පත් කෙනකු විය යුතු යි. ඒ දේශපාලන සවිඥානික බව මා සතුව පමණක් නොවේ හැම කෙනකු ළඟ ම තියෙනවා. සමහරුන් නිහඬ ව සිටිනවා. ඒ කිසිවක් මේ පොළොවේ සිදු නොවෙච්ච දේවල් වගේ වගක් නැතිවත් ඉන්න බව පේනවා. එය නිසි සේ ග්‍රහණය කර ගත්තු කිසිවකුට, එදා මෙදා තුර අද මේ බිමේ සිදුවන දේවල් පිළිබඳ ව නිහඬ වතක ඉන්න බෑ. හැකි අයුරකින් ඒ කවර දෙයක් කෙරෙහි වුව දායකත්වයක් හැකි ලෙසකින් දිය යුතු යි. නො එසේ නම් අපට මවුබිමක් කියා දෙයක් අනාගතයේ යම් දවසක නැති වෙන එක වළක්වන්න බෑ.

ඔබේ නිර්මාණකරණයේ භාෂාව කතා කරන භාෂාවට වඩා එහා ගිය සජීවී ගැමි භාෂාවක්

අප බස හැසිර විය යුත්තේ ඒ ඒ නිර්මාණයට පාදක වන පරිසරය හා චරිත අනුව. ‘නිර්මලී’ නිර්මාණයට යොදා ගත්තු වහර නෙවෙයි මා ‘සුදු පිල්ලි’ හෝ ‘මිලාන වූ වසන්තය’ එහෙමත් නැත්නම් මගේ ප්‍රථම නවකතාව ‘ගින්දර කඳුළු සහ වානේ’ කෘති උදෙසා යොදා ගත්තේ. ඒ ඒ පරිසරයට උචිත බස් වහරක්. ගින්දර කඳුළු හා වානේ හි පරිසරය නැඟෙනහිර පළාතේ සේරු නුවර’ආසන්නයේ තොප්පූර් කියන ගම. එහි සිංහල තරුණියක හා දෙමළ තරුණයකු අතර පැවති ප්‍රේම සබඳතාවක් එක් කුඩුම්බයක් බවට පත්ව අනතුරුව ඊනියා ඊළාම් රාජ්‍යයක සිහින ඔස්සේ බොඳ වූ අනුවේදනීය සිද්ධි දාමයක් පාදක කොට ගෙනයි නිර්මාණය කෙරුණේ. එහි දෙමළ බස ද යොදන්නට මට හැකි වූවත් මා දෙමළ නොදන්නා කම නිසා එය එක දිගට යොදා ගන්නට බැරි වීම කනගාටුවක්. මොකද අපි සුද්දගෙ ඉංගිරිසියට වාල් වී අපේ අසල්වැසියා ගේ බස දැන කියා ගන්නට තරම් උනන්දුවක් වුවමනාවක් දැක්වූ ජන සමාජයක් නෙවෙයි නේ. ඔවුන් ගේ බස් වහර අප දැනන් හිටියා නං මෙවන් තිස් අවුරුදු යුද්ධයක් මේ රටේ නොවෙන්න හොඳටෝම ඉඩ තිබුණා.

අනිත් එක තමා මෙහි ගැමි බස් වහර මනා සේ යොදා ඇතැයි ඔබ කරන සඳහන මා බෝ සෙයින් අගය කරනවා. මන්ද යත් තවමත් ගමෙන් දුරස් නොවී මා ආදරේ කරන, මට ආදරේ කරන ගැමියන්ගේ වහර වැහැරීම නිසා, මං ඔවුන්ගේ වටිනාකම් සමාජයට පෙන්වා දීමක් ඒ ඔස්සේ සිදු වෙන නිසා. ඒ මං අදත් හෙටත් ජීවත් වන්නේ ඔවුන් අතරේ නිසා විතරක් ම නොවේ. මිනිසුන්ගේ කුඩුකේඩුකම් තියෙනවා තමා. ඒත් ඒ හැම දෙනා තුළ ම නෙවේ. උතුම් මිනිසුන් අප අතර කොච්චර ඉන්නවා ද? නිර්මලී හි එවන් චරිත ගැන ඔබ දකින්න ඇති.

ඔබ සෑම කුඩා සිදුවීමක් ම පවා විස්තර කරනවා. ගාල්ල බස් නැවතුම් පොළ අසල ඇල්බට් අයියගෙ පත්තර කඩේ පවා ඔබට අමතක නෑ. නවකතාවකට ඒ කුඩා සිදුවීම විග්‍රහයට අවශ්‍ය වන්නේ ඇයි?

ඔබ ගිං ගඟ ගැන දන්නවා. ඔබ මහවැලි ගඟ හෝ කළු, කැලණි, නිල්වලා, වලවේ මේ ආදී ගංගා ගැන දන්නවා. ඒවා හරිම ලස්සන යි. ඒවා ගැන ඔබට වැණීම ගහ දන්නා කෙනාට කොළ කඩා පෑමක්.

හැබැයි මේ මහා ගංගා මහා ජල කඳන් රැගෙන, හැඩ වැඩ වෙමින් මහ මුහුද කරා ලස්සනට පහළට ගලන්නේ, ඉහළ කඳුකරේ උල්පත්වලින් එකතු වුණු, දිය බිංදුව බිංදුව එකට එකතු වීමෙන් බව අප හිතන්නෙ නෑ. ආන්න ඒක පෙන්නා දීම නිර්මාණකරුවකුගේ එක වගකීමක්.

දැන් ඔය ඔබ කියන ගාල්ල බස් නැවතුම් පොළ අසල පදික වේදිකාවේ පත්තර තට්ටුවේ ඇල්බට් අයියා හැබෑවට ම ඔහු ‘එඩ්වඩ් අංකල්’. ඔබ දැක තියෙන, ඇසුරක් නැති වුණත් දන්න කියන මනුෂ්‍යයෙක්. ඔහු වෘද්ධතර යි. ඔහු ගේ මෑණීයනුත් වෘද්ධයි. මොහු අවිවාහකයි. ඒ ඇල්බට් අයියා ළඟ තිබුණු මිනිස් ගුණ දහම් බෝ ම යි. ඔහුගේ පත්තර තට්ටුවට කිට්ටු වෙන කෙනකු, පත්තරයක් අරන් කියවනවා. ඔහු කිසිවක් නොපවසා ඊට අවස්ථාව දෙනවා. සතියකින් දෙකකින් අර පත්තරේ නිකං කියවල ගියපු මිනිහා ඔහුගෙන් පත්තරය මිලදී ගන්නවා ටික දවසකට පස්සේ. ඔහු ඒ මිනිහා මිතුරෙක් කර ගත්තා මිස හතුරෙක් කර ගත්තෙ නෑ. ඔහුගේ ගුණ අනල්ප යි. ඉතින් එවන් පොඩි මිනිසුන් තව කොච්චර මේ රටේ ඉන්නව ද මනුස්සකමින් පිරුණු. මා ඔහු ගැන කියන්නෙ ඔහු තුළ සැඟව හිඳින සැබෑ මානවයා ගැන කියන්න යි.

නිර්මලී ලියන්න කාලෙකට කලින් ඔහු මිය ගියා. ඇත්තට ම මං ඔහු ගැන වචනයක් හරි ලියපු එක ගැන මට ඇත්තේ ලොකු තෘප්තියක්. හැම ලොකු කුඩා මිනිසකුට ම තමන්ගේ ම වූ කතාවක් තියෙනවා. ඒ කතාවේ යම් තරමකට අකුරු පහකින් හරි කියන්න පුළුවන් කමක් ඇත්නම් කිසිවකුට ඔහු කෙතරම් සතුටු වෙනවා ද? ඔබ කුඩා කාලේ දැක්ක ගාල්ල අද නෑ. ඔබේ ගම අද නෑ. මගේ ගමත් අද නෑ. ඉතින් මේ ගම් බිම්වල දිවි ගෙවූ සරල සුන්දර මිනිසුන්ගේ පුංචි හරි යහපත් ක්‍රියාවක් ඇත්නම් අප එයින් යමක් උකහා ගත යුතු යි. හැම පුංචි දේක ම ලොකු වටිනාකමක් නොපෙනුණාට තියෙනවා කියන විශ්වාසයක් මා සතුව පවතිනවා.

අනෙක් කරුණ තමා මා ලියපු දේ කියවන ඔබ මා කෙරෙහි මෙන් ම මගේ නිර්මාණය කෙරෙහිත් කිසියම් විශ්වාසයක් ගොඩනංවා ගන්නේ එවන් චරිත ගැන මනා වැටහීමකින් ය කිවුවොත් ය කියන හැඟීමක් මට තියෙනවා. විශ්වසනීයත්වය ලේඛකයකු තුළ ඇති කර ගන්න නම් ඒ සුළු දේ කුඩා දේ පුංචි දේ පවා අප ග්‍රහණය කර ගත යුතු යි. ලෝකයේ පැවැත්මට එය බොහොම ඇවැසියි.

ඔබට කියා ගන්න ඕනෑ බොහෝ දේවල් නිර්මලී ඔස්සේ සමාජයට කියනව කියල මම කිව්වොත් ඔබ එකඟ ද?

ඕනෑම නිර්මාණකරුවකු, නිර්මාණකාරියක සිය ප්‍රබන්ධයේ දී කිසියම් චරිතයකට ආවේශ වෙන්නේ ඔහු ගේ හෝ ඇගේ සිතේ පවතින හැඟීම්, දැනීම් වේදනා ඒ චරිතය හරහා කියන්නයි. ඒක කිසිවකු කියනවා නම් නෑ එහෙම නොවෙයි කියා ඒක පට්ටපල් බොරුවක්. හැබැයි මෙතැන දී ඔබ කියන්නේ මා නිර්මලී ගේ මුවෙන් මගේ අදහස් ප්‍රකාශ කර ගන්න ඈ යොදා ගත්තු බව. නෑ ඒක එහෙම ම නෙවෙයි. තවත් චරිත ඔස්සේ මා විඳි, විඳින හැඟීම් දැනීම් ප්‍රකාශ කරලා තියෙනවා. ඒක පාඨකයන් හොඳින් විමසා බැලුවොත් පෙනේවි. මෙහි ඇති යටි අරුත් වඩා විචක්ෂණශීලීව කියවා බැලුවොත්.

මේ අත්දැකීම් බරෙන් නිදහස් වුණා ම ඔබට නිදහසක් දැනෙනව ද?

නෑ…. නෑ… නෑ…. තව හුඟක් බර මගේ හිතේ පිරිලා. මේ 1988, 1989, 1990 ලද අත්දැකීම්වලින් එක චරිතයක් විතර යි. මෙවන් අනුවේදනීය සිද්ධි, කොපමණක් නම් ඒ මහා දුර්දාන්ත භීෂණ සමයේ මේ රටේ සිද්ධ වුණා ද? ඒවා කොතෙක් මගේ ඇස් දෙකෙන් දැකල ඇද්ද? ඒ හැම තරුණයකු ම තරුණියක ම දිවි පිදුවේ රටේ පැවති තුච්ඡ පාලනයේ වෙනසක් කරන්න. සමස්ත රට වැසියනට වඩාත් යහපත් සමාජයක් ස්ථාපිත කර මේ බිමේ සැබෑ සංවර්ධනයක් ඔස්සේ පොදු මහජනයාට නිදහස්, නිවහල්, සාමකාමී, ගුණගරුක මිනිසුන්ගෙන් සපිරි ලොවක් දකින්න. ඒත් ඉතින් ඒ සියල්ල අද ඇහැකට පේනතෙක් මානයක නෑ.

ඉතින් කොහොමද මේ දේවල්වලට සංවේදී වන අප වැනි උදවියගේ හිතට සැහැල්ලුවක් දැනෙන්නේ. ඇතිවෙන්නේ.

සුමුදු චතුරාණී ජයවර්ධන

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division