Home » ජපානය චීනයට අත දිගු කරයි

ජපානය චීනයට අත දිගු කරයි

by Mahesh Lakehouse
November 25, 2023 12:30 am 0 comment

ඈත පෙරදිග කලාපයේ සිදුවන වර්ධනයන් ලොව සෙසු රටවල භූ දේශපාලන පරිසරයට බලපායි. ලොව නැඟී එන බලවතා ලෙස, චීනයේ ජාතික ධාරිතාව හේතුවෙන්, බෙයිජිං පාලනය ලොව සෙසු රටවල් සමඟ සහ, විශේෂයෙන්ම තම අසල්වැසියන් සමඟ ඇති කරගන්නා සබඳතා කලාපය තුළ ඩොමිනෝ බලපෑමක් ඇති කරන අතරම, එය ලෝක දේශපාලනය කෙරෙහි ද සෘජුවම බලපායි. චීන-ජපාන සබඳතාවල මෑතකාලීන වර්ධනයන් අප සලකා බැලිය යුත්තේ මේ සන්දර්භය තුළයි.

ආසියාවේ අංක එක සහ දෙක ආර්ථික අතර පවත්නා සම්බන්ධතාවේ වැදගත් සාධකයක් නම් අපසාරී ලෝක දෘෂ්ටීන්ගේ අඛණ්ඩ පැවැත්මයි: චීන නායකයන් ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ යථාර්ථවාදී න්‍යායික පදනමක පිහිටා ක්‍රියා කරන අතර, ජපාන නායකයින් ලිබරල් – ආයතනික වටිනාකම්වලට වැඩි නැඹුරුවක් දක්වයි. එකම සිදුවීමක් හෝ ගැටලුවක් දෙස විවිධ කාච ඔස්සේ බැලීමට යාමේදී වරදවා වටහා ගැනීම් සහ වැරදි ගණනය කිරීම් සිදුවීමේ අවදානමක් පවතී.

ජපානය ප්‍රධාන වශයෙන් ජී – 7 කණ්ඩායමට අයත් රටක් වන අතර එහි ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහය නිසා බටහිර කඳවුරේ කොටසක් ලෙස සැලකේ. එසේ වුව ද, ජපානය සමඟ යහපත් සබඳතාවක් පවත්වා ගෙන යාමට චීනයට බොහෝ හේතු පවතී. පළමුව, බටහිර රටවල් චීනය කෙරෙහි දක්වන අගතිගාමී ආකල්පය බිඳ දැමීම සහ දේශපාලන සතුරුකම් අවසන් කිරීම බෙයිජිං පාලනයේ වැදගත් අරමුණකි. දෙවනුව, බටහිරයන්ගේ ධ්‍රැවීකරණ ප්‍රතිපත්තිය නිසා උද්ගතව ඇති අර්බුදකාරී පරිසරය මෘදු කිරීම සහ එවැනි සන්දර්භයක් තුළ තායිවානය සමඟ ආතතීන් අඩු කර ගැනීමයි. තෙවනුව, තම විදේශ ප්‍රතිපත්තියේ අරමුණු සහ මූලධර්ම නිවැරදිව පැහැදිලි කරමින් සාමකාමී රටක ප්‍රතිරූපයක් පින්තාරු කිරීමට චීනය අපේක්ෂා කරයි. සිවුවන සහ වඩාත්ම ප්‍රායෝගික හේතුව නම්, කලාපීය භූ දේශපාලනික ආතතීන් අවම කරමින් සිය දේශපාලන, ආර්ථික සහ යුදමය අවශ්‍යතා මුදුන් පමුණුවා ගැනීමට බෙයිජිං පාලනයට ඇති අභිලාෂයයි.

දිගුකාලීනව ගත් කල, චීන – ජපාන සබඳතා වර්ධනය වීමට හෝ සීමාකාරී වීමට බලපාන්නා වූ ප්‍රධාන කරුණු පහකි.

1. භෞතික සහ සම්පත් ආරවුල්

2. ජාතිකවාදය සහ අන්‍යෝන්‍ය ප්‍රතිරෝධතා පිළිබද ගැටලු

3. තායිවාන දේශපාලනය

4. චීන යුද ශක්තියේ සීඝ්‍ර නැඟී ඒම

5. ඇමෙරිකා එක්සත් ජනපද – ජපාන ආරක්ෂක සන්ධානය

තම විදේශ ප්‍රතිපත්ති අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ මිත්‍රශීලී ක්‍රියාකාරීන් සමඟ, විශේෂයෙන් ජපානය සමඟ ධනාත්මක සබඳතා වර්ධනය කරගැනීමට චීනයට අවශ්‍යව ඇත. කෙසේ වෙතත්, සමකාලීන භූ දේශපාලන පරිසරය තුළ චීනයට මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම අසීරු කරුණකි.

චීන – ජපාන සම්බන්ධතාවන්ට අදාළ උක්ත ගැටලු නිසි ලෙස කළමණාකරණය කිරීම හෝ විසඳා ගන්නා ආකාරය දෙරට අතර සබඳතාවන්හි ඉදිරි දිශානතිය පමණක් නොව, නැඟෙනහිර ආසියාවේ සමස්ත භූ දේශපාලනික පරිසරය හැඩ ගැස්සවීමෙහිලා තීරණාත්මක කාර්‍යභාරයක් ඉටු කරනු ඇත.

ඇනහිට පවත්නා ද්විපාර්ශ්වික සබඳතා යළි පණ ගැන්වීමේ අරමුණින් චීන – ජපාන ජ්‍යේෂ්ඨතම නිලධාරීහු සාකච්ජා ආරම්භ කළහ. ඉකුත් සතියේ අමෙරිකා එක්සත් ජනපදයේ පැවති ඒපෙක් සමුළුවට සමගාමීව චීන ජනාධිපති ක්ෂී ජින්පින් සහ ජපාන අගමැති ෆුමීයෝ ක්ෂිඩා අතර හමුවක් සිදු විය.

චීනය සහ ජපානය අතර මේ මොහොතේ මතභේදයට තුඩු දී ඇති කාරණා දෙකකි; එනම්, අර්බුදයට ලක්ව ඇති ජපානයේ ෆුකුෂීමා න්‍යෂ්ටික බලාගාරයේ අපද්‍රව්‍ය සාගරයට මුදා හැරීමට ගෙන ඇති තීරණය සහ ජපාන ජාතිකයන් පිරිසක් චීන අත්අඩංගුවේ පසුවීමයි. න්‍යෂ්ටික අපද්‍රව්‍ය මුදා හැරීම ස්වාධීන නිරීක්ෂණ යටතේ සිදුවිය යුතු බැව් චීනය කියයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division