ලෝක ඉතිහාසය විවිධාකාර සටන් පිළිබඳ අතීත සිදුවීම්වලින් පිරී පවතින අතර, ශ්‍රී ලංකාවේ ඉතිහාසය ද එවැනි සටන්වලින් නොඅඩු එකකි. ඒ අතරින් ශ්‍රී ලංකාවේ ප්‍රථම නිදහස් සටන ලෙස සැලකෙන ක්‍රි.ව. 1818දී සිදු වූ උඩරට නිදහස් සටන සුවිශේෂී වේ. එම නිදහස් සටන පිළිබඳ කතා කිරීමේදී උඩරට ගිවිසුම පිළිබඳ අමතක කළ නොහැකිය. 1815 මාර්තු මස 02 වැනිදා මහනුවර මඟුල් මඩුවේදී ප්‍රකාශයට පත් කළ, මාර්තු 18 වැනිදා අත්සන් කළ එම ගිවිසුමට ඉංග්‍රීසි ආණ්ඩුව වෙනුවෙන් ශ්‍රීමත් රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා ද සිංහල පක්ෂය වෙනුවෙන් නිලමේවරුන් ද අත්සන් තැබූහ.
එම ගිවිසුම වගන්ති දොළසකින් සමන්විත වූ අතර, බ්‍රිතාන්‍ය මහ රජු සිංහල රාජ්‍යයේ ස්වාමියා වශයෙන් එතැන් සිට පත්කර ගන්නා බවත් බ්‍රිතාන්‍ය රජු ආණ්ඩුකාරවරයාගේ මාර්ගයෙන් රට පාලනය කරන බවත් එහි සිවුවැනි වගන්තියේ සඳහන් විය. එමෙන්ම බුද්ධාගම, බුද්ධ ශාසනයට හිමි ප්‍රමුඛත්වය අඛණ්ඩව රැක ගන්නා බවත් එහි සඳහන් විය. එහෙත් වැඩිකල් යන්නට මත්තෙන් ගිවිසුමේ සඳහන් වගන්ති ඉංග්‍රීසින් විසින් උල්ලංඝනය කිරීම නොඉවසූ උඩරට ප්‍රධානීන් සහ සිංහල ජනතාවගේ පීඩනය පුපුරා ගියේ ඉංග්‍රීසින්ට එරෙහි සටනකට මඟ පාදමිනි. බොහෝ අය විසින් 1818 ඌව වෙල්ලස්ස කැරැල්ල ලෙස හඳුන්වන ඒ පිළිබඳ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය මාලනි ඇදගම දැක්වූයේ මෙවැනි අදහසකි.
“එය කැරැල්ලක් නොව ලංකා ඉතිහාසයේ බ්‍රිතාන්‍ය විරෝධී පළමු නිදහස් සටන බව මුලින්ම කිව යුතුයි. නමුත් ඉංග්‍රීසින්ගේ දෘෂ්ටිය අනුව නම් එය ඔවුන්ට එරෙහි කැරැල්ලක්. ඒ වගේම ඇතැම් ජනප්‍රිය කෘතිවල වගේම දරුවන්ට උගන්වන පොත්වලත් සඳහන් වනවා,1815 උඩරට ගිවිසුමෙන් ඉංග්‍රීසින් උඩරට අල්ලා ගත් බව. නමුත් 1815දී අපි ඉංග්‍රීසින්ට යටත් වුණේ නැති බව මම සාධක සහිතව කියනවා. මේ කාලයේ උඩරට රාජ්‍ය බලය ලබා ගැනීමට ඉංග්‍රීසින් විවිධ උපක්‍රම යොදමින් සිටියා. ඒ වෙද්දි උඩරට පාලනය කළ නායක්කාර් වාංශික ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා කටයුතු කළ ආකාරය පිළිබඳ කලකිරීමෙන් සිටි උඩරට ප්‍රධානීන්ටත් උඩරට යම්කිසි බලයක් ලබාගැනීමට අවශ්‍ය වුණා. ඉංග්‍රීසි හමුදාව උඩරට ප්‍රධානීන්ගේ සහ රජු ගැන කලකිරීමෙන් සිටි ජනතාවගේ සහාය ඇතිව රජු බලයෙන් පහකර රටින් පිටුවහල් කළා. ඉන්පසුව උඩරට රාජ්‍යයේ පාලනය සිදු වන ආකාරය සම්බන්ධයෙන් ඉංග්‍රීසින් සහ උඩරට ප්‍රධානීන් අතර අත්සන් කළ ගිවිසුම 1815 උඩරට ගිවිසුම ලෙස හඳුන්වනවා. නමුත් ඒ ගිවිසුමෙන් උඩරට රාජ්‍යය ඉංග්‍රීසින්ට යටත් නොවුණු බව මනාව පැහැදිලියි.
එංගලන්තයේ රජු අපේ රජු වශයෙන් නම් කළ බව නිවැරැදියි. නමුත් දේශීය ප්‍රධානීන්ගේ බලතල, නිලතල සහ වරප්‍රසාද සියල්ලම ආරක්ෂා කරගෙන දේශීය පාලනය එලෙසම ඉදිරියට ගෙන යා යුතු බව එම ගිවිසුමේ සඳහන්. ඒ වගේම 5 වැනි වගන්තියෙන් බුද්ධාගම තවදුරටත් රාජ්‍ය ආගම ලෙස ආරක්ෂා කරන බව සඳහන්. ඒ වගේම 8 වැනි වගන්තියෙන් දේශීය අධිකරණ ක්‍රමය ඒ ආකාරයටම ක්‍රියාත්මක කරන බව සඳහන් වුණා. අංගජේදනය සහ මරණ දඬුවම පැනවීමේදී පමණක් ආණ්ඩුකාරවරයාට දැන්විය යුතු බව සඳහන්. ඒ අනුව දේශපාලනය, ආගම සහ අධිකරණය යන මූලික කටයුතු පැවති ක්‍රමයටම පවත්වාගෙන යෑමට එකඟ වුණා හැර 1815 ගිවිසුමෙන් උඩරට ඉංග්‍රීසින්ට යටත් වීමක් සිදු වුණේ නැහැ.”
එසේ නම් එවැනි ගිවිසුමක් සටනකට හේතු වූයේ කෙසේද? මහාචාර්යවරිය වැඩිදුරටත් සඳහන් කළේ එවැනි තත්ත්වයකට හේතු වූයේ ගිවිසුමට එළැඹි ඉංග්‍රීසින් හා උඩරට ප්‍රධානීන් අතර වූ පරස්පර විරෝධී අභිමතාර්ථ බවයි. එනම්, සිංහල ප්‍රධානීන්ට සහ ජනතාවට අවැසි වූයේ ඉංග්‍රීසින්ගේ උදව් ඇතිව රජු බලයෙන් පහ කිරීමය. එහෙත් ඉංග්‍රීසින්ට අවැසි වූයේ පෘතුගීසීන්ට, ලන්දේසින්ට සතුකර ගත නොහැකි වූ වූ උඩරට රාජ්‍යයේ බලය උපක්‍රමශීලීව ලබා ගැනීමය. එම නිසාම වැඩිකල් යන්නට මත්තෙන් ඉංග්‍රීසිහු බරපතළ ලෙස ගිවිසුම කඩ කරන්නට වූහ. ඉංග්‍රීසින් තමන් රැවටූ බව වටහා ගත් උඩරට ප්‍රධානීන් ජනතාව සමඟ එකතු වී ඉංග්‍රීසින්ට විරුද්ධව කළ සටන ආරම්භ වූයේ 1817දී ඌව වෙල්ලස්සෙනි.
ඌව වෙල්ලස්සෙන් ඇරඹි සටන කන්ද- උඩරට රාජධානියට අයත් සෙසු ප්‍රදේශවලට ද පැතිර ගිය අතර, ස්වදේශිකයන්ගේ ගරිල්ලා සටන් ක්‍රම හේතුවෙන් මුල් කාලයේ ඉංග්‍රීසි හමුදාව දැඩි අසීරුතාවට පත්වූ බව ඉතිහාසයේ සඳහන් වේ. එහෙත් අද මෙන්ම එදාත් ලෝකයේ මෙන්ම ලංකාවේත් පාවා දෙන්නන් දුලබ නොවූ බැවින් එම සටන ජයග්‍රහණය කරන්නට ස්වදේශිකයන්ට නොහැකි විය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය පද්මසිරි කන්නන්ගරගෙන් අප විමසුවේ නිදහස් සටන පරාද වීමට හේතු වූ කරුණු කාරණා පිළිබඳවය.
“ඉංග්‍රීසි ආණ්ඩුවට සටන මර්දනය කිරීම අපහසු වීම නිසා එවකට ලංකාවේ ආණ්ඩුකාරවරයාව සිටි රොබට් බ්‍රවුන්රිග් උඩරට සියලුම ප්‍රදේශවලට යුද්ධ නීතිය පැනැව්වා. ඉංග්‍රීසි හමුදා කඳවුරු පිහිටුවලා විශාල මර්දනයක් සිදු කළා. සටන මර්දනය කරන්න ඉංග්‍රීසින් අනුගමනය කළේ ගිනිදැල්ලයි වෙඩි උණ්ඩෙයි, එය හඳුන්වන්නේ බිම් පාළු ප්‍රතිපත්තිය නමින්. එහිදී ගමකට ඇතුළු වෙලා ගමේ තරුණ පිරිසට වෙඩි තියලා ගෙවල්, කුඹුරු, අටුකොටු ගිනි තියලා මිනිස්සුන්ට එක්රැස්වෙලා ඉන්න බැරි තත්ත්වයක් ඇති කරනවා. ඒක කරන්නේ යුද උපක්‍රමයක් විදිහට. යුද්ධ කරන්න මිනිස්සුන්ට ආහාර, ආයුධ වගේම ඉන්න තැන් අවශ්‍යයි. ඒ දේවල් විනාශ කළාම මිනිස්සුන්ට යුද්ධ කරන්න බැරි තත්ත්වයක් ඇතිවෙලා සටනට එකතු වෙන එක නිරායාසයෙන්ම නතර වෙනවා.
ඉංග්‍රීසි සොල්දාදුවෙක් ඒ ගැන මෙහෙම කියලා තියෙනවා, “අපි ගමකට ගියාම අල්ලගන්න පුළුවන් අය අල්ල ගත්තා. දුවන අයට වෙඩි තිබ්බා.ගෙවල්වලට ගිනි තිබ්බා. හරක් මැරුවා. කුඹුරු ගිනිබත් කළා” කියලා. ඒ විදිහට දැඩි මර්දනයක් ගෙන ගියා. ඉංග්‍රීසි හමුදාව ඇතුළු වෙනවා කිව්ව ගමන් මිනිස්සු කැලෑවට පැනලා ජීවිතේ බේරගන්න හැදුවා මිසක් යුද්ධ කරන්න යන්න බය වුණා. ඒ දැඩි මර්දනය සටන පරාද වෙන්න මඟ පෑදුවා.”
මහාචාර්ය පද්මසිරි කන්නන්ගර වැඩිදුරටත් සඳහන් කළේ ඉංග්‍රීසින්ගේ ඒ දැඩි මර්දනකාරී පිළිවෙත මෙන්ම ඉංග්‍රීසි හමුදා සතුව තිබූ දියුණු අවි ආයුධ සිංහල සටන්කරුවන්ට නොතිබීම නිසා ඉංග්‍රීසින් සමඟ දිගු කාලයක් සටන් කිරීමට නොහැකි වීම ද සටන පරාද වීමට හේතු වූ බවයි.
“ඉංග්‍රීසි හමුදාව අවි ආයුධ සහ යුද ශිල්පය, විනය පිළිබඳ මනා පුහුණුවක් සහිත වෘත්තිමය හමුදාවක්. උඩරට සිංහල හමුදාවට එවැනි වෘත්තිය භාවයක් තිබුණේ නැහැ. සිංහල හමුදාවේ හිටියේ එවෙලේ අවශ්‍යතාව අනුව බඳවා ගත් ගොවියන්, තරුණයන් වැනි සාමාන්‍ය වැසියන්. ඉංග්‍රීසි හමුදාව සහ උඩරට සිංහල සටන්කරුවන් අතර තිබුණු ඒ පරතරයත් සටන පරාද වීමට බලපෑ තවත් හේතුවක්. ඒ වගේම දිගුකාලීනව සටනක් ගෙනයෑමට අවශ්‍ය සංවිධාන ශක්තිය වගේම ආයුධ, ආහාර වැනි පහසුකම් උඩරැටියන්ට තිබුණෙත් නැහැ. නමුත් අවුරුද්දක පමණ කාලයක් පමණ විශාල ප්‍රදේශයක පැතිරෙමින් සටන පැවතුනා. මේ කාලය වෙද්දි ඉන්දියාව ඉංග්‍රීසින්ට යටත් වෙලා තිබුණ නිසා ඉන්දියාවෙන් අමතර හමුදාව ගෙන්වා ගැනීමටත් ඉංග්‍රීසින්ට අවස්ථාව ලැබුණා. නමුත් උඩරට සිංහල හමුදාවට එවැනි සහායක් ලබා ගැනීමට අවස්ථාවක් නොවීමත් සටන පරාද වීමට හේතුවක් වුණා.”
එවැනි හේතු නිසා දුර්වල වූ සිංහල සටන්කරුවන් අතර මතභේද සහ පාවාදීම් ද සිදුවීම හේතුවෙන් සටන දියාරු වී ගොස් අවසානයේ පරාජය දක්වා පැමිණි බව ඉතිහාසය සාක්ෂි දරයි. ඒ පිළිබඳ මහාචාර්ය පද්මසිරි කන්නන්ගර මෙසේ කීවේය.
“ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට දොරේසාමි නමින් ඥාතියෙක් හිටියා. මේ සටනේදී රජු ලෙස පෙනී සිටියේ දොරේසාමි නමැති අයෙක්. නමුත් ඔහු සැබෑ දොරේසාමි නොවන බවත් රාජ උරුමයක් නොමැති ව්‍යාජ අයකු බවත් ඉංග්‍රීසි ආණ්ඩුව විසින් කරුණු අනාවරණය කර ගත්තා. රජුගේ ඥාතියා වූ සැබෑ දොරේසාමි ඒ වන විට ඉන්දියාවට පිටුවහල් කර තිබුණා. මේ හේතුව නිසා එවැනි ව්‍යාජ අයකුට සහයෝගය දුන්නේ ඇයි කියලා සටනේ සිටි අනෙක් නායකයො කැප්පෙටිපොළ මහදිසාවට චෝදනා කළා. ඒ නිසා නායකයන් අතර ඇතිවූ මතභේද නිසා සටන ටික ටික දුර්වල වෙද්දි ජනතාවගේ සහයෝගයත් අඩු වුණා. ඉංග්‍රීසින්ගේ මර්දනය වැඩිවෙද්දි හැමදාම හැංඟිලා ඉන්න බැරි නිසා එකිනෙකා රහසින් ඉංග්‍රීසින්ට ඔත්තු සපයන්න පටන් ගත් නිසා නායකයෝ එකිනෙකා ඉංග්‍රීසින්ගේ අත්අඩංගුවට පත් වුණා. එයින් සටන කෙළවර වුණා.”
වර්ෂ 1817 ඔක්තෝබර් මස සිට 1818 ඔක්‌තෝබර් මාසය දක්‌වා අවුරුද්දක පමණ කාලයක් කන්ද උඩරට ප්‍රදේශයේ පැවති උඩරට සටන හේතුවෙන් රටට අහිමි වූ ස්වදේශිකයන්ගේ සංඛ්‍යාව දළ වශයෙන් 10, 000ක් පමණ වෙතැයි රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාගේ වෛද්‍යවරයා ලෙස කටයුතු කළ ජෝන් ඩේවි විසින් ලියූ “ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරය, එහි රටවැසියා සහ එම දිවයිනේ චාරිකා” නම් කෘතියේ සඳහන්ය. නැවත වරක් මෙබඳු කැරැල්ලක් ඇති නොවීමට ඉංග්‍රීසි රජය වගබලාගත් අතර, 1815 උඩරට ගිවිසුම ඒකපාර්ශ්විකව අහෝසි කර 1818 නොවැම්බර් මස 21 වැනිදා නව ආඥාවක් නිකුත් කළේය. එමෙන්ම නොවැම්බර් 23 වැනිදා ඌව වෙල්ලස්ස කැරැල්ල නිමාවට පත්වූ බව ද බ්‍රිතාන්‍ය රජය නිවේදන කළේය.
එසේ වුවද මෙම සටන ලොව පළමු වරට අධිරාජ්‍යවාදී යටත්විජිත පාලන ක්‍රමයකට එරෙහි පළමු ජනතා නැඟිටීම ලෙස ඉතිහාසයට එක්වූ ජාත්‍යන්තර වශයෙන් ද පිළිගනු ලැබූ ඓතිහාසික සිදුවීමක් බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර සඳහන් කළේය. එමෙන්ම එය ශ්‍රී ලංකාවේ ජනතාවගේ දේශප්‍රේමිත්වය ලොවට ප්‍රකාශ කළ අවස්ථාවක් බවත් හෙතෙම කීවේය.
“දේශප්‍රේමීත්වය සහ ජාත්‍යන්තරවාදය එකම කාසියේ දෙපැත්තක්. දේශප්‍රේමීත්වය සහ ජාත්‍යන්තරවාදය මුසු වූ තැන, ජාතික විමුක්තියේ මෙන්ම සමාජ විමුක්තියේ ජයග්‍රහණය උදා වන බව ඉතිහාසය විසින් පසක් කරනු ලබනවා. 1818 ඌව වෙල්ලස්ස විමුක්ති අරගලයෙන් පසු ගෙවී ගිය කාලය තුළ ලෝක ජනතාව ලබා ඇති සමාජ සංවර්ධනයේ ජයග්‍රහණයන්ට, ඌව වෙල්ලස්ස ජනතාවගේ පළමු විමුක්ති හඬ ද උපකාරී වූ බව ඓතිහාසිකව පිළිගත හැකියි.”
උඩරට විමුක්ති අරගලයේ නියමුවෙක් වූ ඉහගම රතනපාල හිමියෝ
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ශ්‍රී ලංකාව ඔවුන්ගේ ග්‍රහණයට ගත් පසුව එම පාලනයට විරුද්ධව කළ ප්‍රථම විමුක්ති අරගලයේ නිර්මාතෘවරයා ලෙස පිළිගන්නේ ඉහගම රතනපාල හිමියන්ය. ඉහගම උන්නාන්සේ, ඉහගම, බබාසා ආදී වශයෙන් ලංකා ඉතිහාසයේ සඳහන් වන එම නාමය ගැන මෙරට ජනතාවට දැන ගැනීමට ඇත්තේ තොරතුරු ස්වල්පයකි.
ආර්. එල්. බ්‍රෝහියර් විසින් ලියා ඇති “THE GOLDEN AGE OF MILITARY ADVENTURE IN CEYLON” නම් 1817 – 1818 ඌව කැරැල්ල ආශ්‍රිත සිදුවීම් පිළිබඳ විමසන එම කෘතිය දැනට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කරන නිමල් බණ්ඩාර විසින් ලංකාවේ බ්‍රිතාන්‍ය හමුදා ක්‍රියාන්විතයන්හි ස්වර්ණමය යුගය නමින් සිංහලට නගා ඇත. එහි ඉහගම රතනපාල හිමි ගැන තොරතුරු රැසක් අනාවරණය කර ඇත. මෙම ලිපිය සම්පාදනයේදී එම කෘතිය උපයෝගී කරගත් බව ස්තුති පූර්වකව සඳහන් කරමි.
මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුවේ ඉහගම දී ක්‍රි.ව. 1793දී උපත ලද “බබාසා” නම් දරුවා වයස අවුරුදු හතේදී මල්වතු විහාරයේදී ඉහගම රතනපාල නමින් පැවිදි දිවියට ඇතුළත් විය.
ඉංග්‍රීසින් නෙරපා හැර යළි සිංහල රාජ්‍යත්වයක් ඇතිකර ගැනීම අපේක්ෂාවෙන් සිටි මඩුගල්ලේ ඇතුළු උඩරට නායකයන්ට ඔහු ඒ කාර්ය සඳහා සුදුසුම පුද්ගලයා ලෙස වැටහී තිබු ඔවුන්ගේ අදහස වූයේ බුරුම රටින් රාජ කුමාරයකු ගෙන්වා උඩරට රජ බවට පත්කර ගැනීමටයි. එහි දුෂ්කරම කාර්යභාරය වූයේ ඉහගම හිමියන්ටය.
එක්නැලිගොඩ සමඟ කරන ලද කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් එක්නැලිගොඩ පාවා දීම නිසා ඒ සම්බන්ධ වූ භික්ෂූන් වහන්සේලා තුන් නමම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉංග්‍රීසිහු විසින් අත්අඩංගුවට ගත්හ. නුවරදී අත්අඩංගුවට ගත් උන්වහන්සේලා කොළඹ එවීමට කටයුතු කෙරිණ. කොළඹට එන අතර මඟදී සොල්දාදුවන්ගේ ප්‍රමාදයකින් එම තිදෙනා පලා ගියහ. එහෙත් පොද්දල්ගොඩ හා කපුලියද්දේ හිමිවරු නැවත අත්අඩංගුවට ගැනීමට හැකි වුවත් ඉහගම හිමි සොයා ගැනීමට ඉංග්‍රීසීන්ට නොහැකි විය.
අත්අඩංගුවෙන් පලා ගිය ඉහගම හිමි සිවුරු අතහැර දමා සත්කෝරලයට ගොස් ගැමියකු ලෙස අප්‍රසිද්ධ ජීවිතයක් ගත කළේය. උන්වහන්සේ රෝපණය කළ බීජ අනුව 1817දී උඩරට කැරැල්ල හටගත් පසු මහා ඌවට ගිය ඔහු එහි මාර්ගෝපදේශකයා බවට පත් විය.
බ්‍රිතාන්‍යයන් විසින් ක්‍රෑර ලෙස කැරැල්ල මැඬ පැවැත්වූ විට ඉහගම ද අත්අඩංගුවට පත් විය. දොරේසාමි රාජවංශිකයෙක් නොවන බව පැතිර ගිය නිසා කැරලි නායකයන් අතර මතභේද ඇති වීම කැරැල්ල මැඬ පැවැත්වීමට පහසුවක් විය. නඩු විභාගයකින් පසු ඉහගමට මරණ දඬුවම නියම වූ නමුත් පසුව ඔහු මුරිසියට පිටුවහල් කිරීමට තීරණය විය. ඒ අනුව මුරිසියට පිටුවහල් කරන ලද හෙතෙම 1832දී එයින් නිදහස්ව ලංකාවට පැමිණ කලකට පසු අභාවයට පත් විය.
1817 ආරම්භ වූ ලංකාවේ නිදහස් අරගලයට පණ පෙවූ වීර චරිතයක් ලෙස ඉහගම ගැන වඩාත් විස්තර විවරණයක් අන්ධ සංචාරකයකු වූ ජේමිස් හොල්මන්ස් තැනැත්තා විසින් ලියා ඇති සංචාරක සටහන්වල දැක්වේ. ඒ අනුව ඔහු ඉතාමත් ප්‍රිය ජනක පුද්ගලයෙකි. සිරකරුවන් අතර සිටි ඉතාමත් බුද්ධිමත් පුද්ගලයා ඔහුය. ඉහගම ජ්‍යොතිෂය ද, වෙදකම ද දැනගෙන සිටි බව ඔහු දක්වයි.
ඉහගම ජෝන් ඩොයිලි නිතර ඇසුරු කළ බවත් ඔහුගේ ගුරුවරයකු ලෙස කටයුතු කර ඇති බවත් සමහර වාර්තාවල දැක්වේ. ඇහැලේපොලගේ අන්තිම කැමති පත්‍රය මුරිසියේදී ලියූ අතර ඔහුගේ සාක්ෂිකරු ලෙස අත්සන් කොට ඇත්තේ ඔහුය. ඔහු අත්සන තබා ඇත්තේ “බබාසා” යන ගිහි නමින්ය. යටත් විජිත ලේකම් වූ බැතර්ස්ට් සාමී වෙත බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා යැවු ලිපිවල ඉහගම ගැන බොහෝ විස්තර ලියා ඇත.
විජේරත්න අතුරුපත
සුරේකා නිල්මිණි ඉලංකෝන්