Home » ‘මා’ නම හැදුණේ අපූරු විදිහට

‘මා’ නම හැදුණේ අපූරු විදිහට

by thanushika
November 18, 2023 12:30 am 0 comment

මා කියන්නේ සිංහල ව්‍යාකරණය අනුව ඒක වචන සර්ව නාම පදයක්. නමුත් මේ පදයට වෙනස්ම අරුතක් දුන්න පිරිසක් ඉන්නවා. ස්භාවිත ගීතයේ සිට නව ආරයේ ගීතය දක්වාත්, මතකයේ රැඳුනු පැරණි සිංහල චිත්‍රපට ගීතයත්, ලොව පුරා ජනප්‍රිය වූ හින්දි, දමිළ, ඉංග්‍රීසි ගීතයනුත් සියල්ලම එකට කැටි කොට රසාස්වාදය සපයන්නට ” මා ” නමින් සංගීත කණ්ඩායමක් බිහිවී තියනවා. එහි නිර්මාතෘ සුසන්ත මදුරප්පෙරුම සමඟ රසඳුන කළ කතා බහකි මේ.

ඔබේ පෞද්ගලික ජීවිතය ගැන අපිට පොඩ්ඩක් කියන්න.

මගේ ගම මීරිගම. අම්මා සහ තාත්තා දෙදෙනාම ගුරුවරු. ඒ නිසාම පොඩි කාලේ ඉඳලා මට තිබුණේ අධ්‍යාපනික පවුල් පසුබිමක්. ඒ නිසා මම 5වසර ශිෂ්‍යත්වය සමත් වෙලා කොළඹ රාජකීයට එනවා. ඒ වගේම මගේ තාත්තාට තිබුණා හොඳ සංගීත රසඥතාවයක්. එයාට පුළුවන් අලියා ගිනි පෙට්ටියේ කුරූවලින් අමුතු තාල මවලා සින්දු කියන්න. මම හිතන්නේ අන්න ඒ ආභාසය මාව අර මුලින්ම කිව්ව සංගීතකාරයා නිර්මාණය කරන්න දායක වුණා කියලා.

රාජකීය විද්‍යාලයේ සිටින කාලයේදී කලා කටයුතුවලට සම්බන්ධ වුණා ද?

ඔව් මම පාසැල් කාලයේ හොඳම නළුවා සහ හොඳම ගායකයා ලෙස සමස්ත ලංකා ජයග්‍රහණ අරන් තියනවා. ඒ හැම දේකටම මාව පුහුණු කළේ මගේ අම්මා.

අධ්‍යාපනයෙන් පස්සේ මොනවද කළේ?

මම පාසල් විෂයක් ලෙස සංගීතය හැදෑරුවා, පාසල් යන කාලෙත් හොටෙල්ස්වල බටහිර සංගීත කණ්ඩායම්වල ප්ලේ කළා, ඊට පස්සේ තරුණ සේවා සභාවේ බෙල්වුඩ් එකට සම්බන්ධ වෙනවා. එතැන්දී තමයි සංගීතය කියන දේ මම මුලින්ම හදාරන්නේ. ඊට පස්සේ මම නොයෙක් රැකියා කිහිපයක් කලත් ඒ හැම එකකටම වඩා මට සංගීතය ගැන කැක්කුමක් තියනවා. එ් නිසා මම රැකියාවට නොගිහින් සංගීත කණ්ඩායමකට එකතු වෙලා සංගීත ප්‍රසංග වලට යනවා. සීදුව සකුරා බෑන්ඩ් එකේ ආරම්භක ලීඩ් ගිටාර් වාදන ශිල්පියා වන්නේ මම. මේ අතර තුර තමයි මට මගේ වර්තමාන රැකියාව වන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නිත්‍ය වාදක මණ්ඩලයේ සමාජිකයෙක් විදිහට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ.

එදා මෙදාතුර ජීවිතයේ අමතක නොවනම සංගීත අත්දැකීම මොකක්ද?

ඔව්, ලංකාවේ පැවැත්වූ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජය නායක සමුළුවේ (CHOGM) අවසන් දවසේ රටවල් 54ක් රාජ්‍ය නායකයන් අරලියගහ මන්දිරයේ සහභාගි වූ අවසන් භෝජන සංග්‍රහ උත්සවයේදී එහි සංගීතය මෙහෙය වීමේ කටයුත්ත හා සංගීත අධ්‍යක්ෂණය භාරව තිබුණේ මට. එහි අභියෝගය තමයි නියෝජනය කරන රටවල් 54ම ජන හා ශාස්ත්‍රීය සංගීත කණ්ඩ ඉදිරිපත් කිරිම. අපි ඒ අභියෝගය ජය ගත්තා. උත්සවය අවසානයේ හිටපු ජනාධිපතිවරයා සහ පොදුරාජ්‍ය මණ්ඩල ලේකම් අපි ළඟට ඇවිත් සංගීතය සැපයූ හැමෝටම ස්තුතිය පුද කළා.

මොකක්ද මේ අලුතින් පටන් ගත්ත වැඩේ?

අපි සංගීත කණ්ඩායමක් විදිහට මංගල, උපන්දින වගේ නොයෙක් උත්සවවලට සහහාගි වෙනවා.ඒ දේවල්වලට අපි සහභාගි වුණේ අපේ හිතේ සතුට වෙනුවෙන්මයි. ඒ නිසා නිසි ක්‍රමානුකූල බවක් සහ සංවිධානාත්මක බවත් තිබුණේ නෑ. නමුත් අපේ ඉදිරිපත් කිරිම ඉතාම ප්‍රශස්ත මට්ටමේ ඇතිබව අපේ නිර්මාණ රස විඳපු බොහෝ දෙනා කිව්වා. අනික අපි දැක්ක දෙයක් තමයි වර්තමානයේ උත්සවවලදී ඉදිරිපත් කරන සංගීතය බොහෝම ඝෝෂාකාරී එකක්. ඒ නිසාම අපි හිතුවා ඊට වඩා වෙනස් ආකාරයට, වඩාත් හොඳට සංවිධානය වෙලා අලුත් අකාරයේ වැඩක් කරන්න. ඒ තමයි පෙරදිග අපරදිග සියලුම ශාස්ත්‍රීය නව පරපුරේ ගීත, බයිලා, වේග රිද්ම ආදී සියලුම රසයන් එකතු කරලා එක ප්‍රසංගයක් කරන්න. අපි මෙහෙම හිතමු. මුලින්ම අපි කියනවා අමරදේව මාස්ටර්ගේ ගීතයක්. ඊට පස්සේ කියනවා හිංදි ගීතයක් මේ අතරේ බොබ් මාලේ ගේ ගීතයකුත් අපි කියනවා. මෙන්න මේ වගේ නොයෙක් රසයන් එකම තැනකින් දකින්න අහන්න සලස්වන එක සහ හොඳ නිර්මාණ, විඳින්න පුළුවන් සංගීතයක් එක්ක රසයෙන් පෝෂණය වුණ ප්‍රේක්ෂකයන් නිර්මාණ කරන එක තමයි අපේ අරමුණ.

කවුද මේ කර්තව්‍යයට ඔබත් එක්ක එකතු වෙන්නේ.?

සංගීත රසය ගැන හොඳ දැනුමක් ඇති මේ ක්ශේත්‍රයේ ඉතාම දක්ෂ , ප්‍රවීනයන් කණ්ඩායමක් මාත් එක්ක ඉන්නවා.

වාදනයෙන් එක්වෙනවා, රෝහණ ධර්මකීර්ති (වයලින්), ඩබ්.ජේ.උපාලි(වයලින් ), හසන්ත ජයලාල් (විදුලි ඕගනය), සිසිර ධර්මරත්න (ඔක්ටපෑඩ්, ඩ්‍රම්ස්), නලීන් ප්‍රසාද් (බේස් ගිටාර්), සමීර ගුණතිලක (තබ්ලා) සහ ගායනයෙන් දුමිත් ගයාන්, ෆර්නි රෝෂිනී, සුභාෂිණි ගමගේ යන අය.

රෝහණ, හොඳම සංගීත අධ්‍යක්ෂකවරෙයෙක් ලෙස සුමති සම්මානයෙන් පිදුම් ලැබූ අයෙක්. ඒ වගේම අපේ ගායිකා ෆර්නි රෝශිණී ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක්. හසන්ත , උපාලි සහ සමරනායක සිසිර ගුවන් විදුලි වාදක මණ්ඩල සාමාජිකයින්, සිසිර මාරිම්බා හිටපු ඩ්‍රම්ස් වාදකයා, නලින් බෙල්වුඩ් කලා නිකේතනයේ සංගීත ඩිප්ලෝමාධාරියෙක්, දුමිත් සෞන්දර්ය විශ්වවිද්‍යාල සංගීත උපාධිධාරියෙක්, සමීර නාවික හමුදා බෑන්ඩ් හිටපු සාමාජිකයෙක්, සුභාෂිණි යුධහමුදා තූර්යවාදන කණ්ඩායමේ හිටපු සාමාජිකාවක්. මේ වගේ අති දක්ෂයෝ පිරිසක් එක්ක තමයි මේ වැඩේ පටන් ගත්තේ.

මොකක්ද ඔබේ නව සංගීත කණ්ඩායමේ නම?

අපේ සංගීත කණ්ඩායමේ නම ” මා “. මේ නමත් හැදෙන්නේ හරි අපූරු විදිහට. මහේෂ් නිශ්ශංක එක්ක සිහිනයකි රෑ වැඩසටහනේ මුල සිටම සංගීත සංයෝජයන කළේ මම. වැඩසටහන් 150කට වැඩි ප්‍රමාණයක් කරලා තියනවා. ඒ වැඩසටහනට කලින් මහේෂ් නිශ්ශංක ඉදිරිපත් කළ වැඩසටහනක් තිබුණා ” මා සහ මගේ මියැසිය ” කියලා. මම එහි සංගීත අධ්‍යක්ෂක විදිහට කටයුතු කළා. මම හිතුවා අපේ සංගීත කණ්ඩායමටත් ” මා ” කියන නම දාන්න. මුලින්ම කතා කළා මහේෂ්ට. එයා බොහෝම කැමැත්තෙන් මට ඒ නම පාවිච්චි කරන්න අවසර දුන්නා.

වර්තමාන ජනප්‍රිය සංගීත රැල්ල එක්ක කරට කර මුහුවෙලා , ප්‍රේක්ෂක අවධානය ගන්න ” මා ” ට පුළුවන් වෙයිද ?

මට ඒ ගැන ලොකු විශ්වාසයක් තියනවා. වත්මන් තරුණ ප්‍රජාව ඉතාම දියුණුයි වගේම සංවේදියි. ඔවුන්ට නියම රසයෙන් යුතු නිර්මාණ අහන්න දකින්න ලැබෙනවා නම් එයාලා ඒකට අනිවාර්යයෙන්ම ආදරය කරනවා. මා කණ්ඩායම ගෘහස්ථ සංගීත ප්‍රසංග කීපයක් කළා. ඒකට අපි නොහිතපු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ආවා. වැඩි හරියක් තරුණ ප්‍රජාවගෙන්. අනික අපි ඒ ප්‍රසංගවලදී 60,70,80,90 කියන දශකවල නිර්මාණය වූ චිත්‍රපට ගීත ඉදිරිපත් කළා. මම හිතන්නේ මුළු ප්‍රේක්ෂකාගාරයම අමන්දානන්දයට පත් කරන්න අපිට පුළුවන් වුණා. අනික අපි පරණ හණමිටි අදහස් එක්ක යන පිරිසක් නෙමෙයි. නව අදහස්, නව තාක්ෂණය, සමාජ මාධ්‍ය භාවිතය එක්ක අලුත් විදිහට හිතන පිරිසක් ” මා ” එක්ක ඉන්නවා. ඒ නිසා මම විශ්වාසයෙන් කියනවා අනිවාර්යයෙන්ම අපිට පුළුවන් අලුත් රසයක් එක්ක අලුත් වෙනසක් කරන්න

මොහාන් සුරවීර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division