කොළඹ දිස්ත්‍රික්කයේ බොහෝ පිරිවෙන් දශක ගණනාවක් ඉපැරැණි මෙරට වියතුන් බිහි කරන්නට සමත් පිරිවෙන් විය. එහෙත් පසුගිය දශකයකටත් අඩු කාලයකදී ආරම්භ කර දස්කම් ඇති පැවිදි සිසුන් බිහි කරන්නට සමත් වූ පිරිවෙන්ද මේ අතර නැතිවාම නොවේ. එයින් එක් පිරිවෙණක් වන්නේ පන්නිපිටිය පැලැන්වත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විද්‍යා සමාධි මූලික පිරිවෙණයි.
අමරපුර සිරිසද්ධම්මවංශ මහා නිකායේ අනුනායක ගන්කන්ද විහාර පාර්ශ්වයේ නිර්මාතෘ විද්යාසමාධි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපතිව සිටි හිපංකන්දේ සද්ධාසිරි අනුනාහිමියන් විසින් මේ පිරිවෙන් ආරම්භ කරන ලදි. ඒ පැවිදි සිසුන් 46 දෙනකුගෙනි.
පිරිවෙන් අධ්‍යාපනයේ වටිනාකම දැන සිටි උන් වහන්සේ විසින් පිරිවෙන් 9ක් ආරම්භ කරන ලද අතර විහාරස්ථාන 30ක සාමණේරයන් වහන්සේ 500ක් පැවිදි කරන්නට කටයුතු කළහ.
ඒ අතරින් පැලැන්වත්ත විද්යාසමාධි මූලික පිරිවෙණ මුල් තැනක් ගත්තේය.
එම පිරිවෙනේ සිසුන් දස්කම් දක්වමින් 2019 වසරේ කොළඹ දිස්ත්‍රික්කයේ පරිවේණික තරගාවලියෙන් 3 වන ස්ථානයට දිනා ගැන්මට සමත් විය.
එසේම 2021 පිරිවෙන් අවසාන විභාගයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ඉහළම ප්‍රතිඵල වාර්තා කරන්නට විද්යාසමාධි පිරිවෙණ සමත් විය. පිරිවෙනේ සිසුන්ගේ දස්කම් මොනවට එයින් පැහැදිලි වේ.
පැවිදි සිසුන්ගේ කුසලතාවන් දියුණු කිරීම උදෙසා ධර්ම දේශනා, පිරිත් දේශනා, බෝධි පූජා පුහුණු කිරීම් පිරිවෙනේ විශේෂිතම කාර්යයක් ලෙසින් සිදු කෙරේ. එමෙන්ම කථිකත්වය ද මේ පැවිදි සිසුන් උදෙසා පුහුණු කිරීමට කටයුතු යොදා ඇත.
ඒ වෙනුවෙන්ම මාසිකව ශිෂ්‍ය සමිතියක් නේවාසික සාමණේරවරුන් උදෙසා පවත්වනු ලැබේ. එහිදී ප්‍රායෝගික පුහුණු කිරීම් සිදු කරන්නට කටයුතු යොදා ඇත.
පිරිවෙන් ඒකකයට අමතරව පිරිවෙණ තුළ ද ශිෂ්‍යයන්ට ඇගැයීම් තරග පවත්වා ඔවුන්ගේ දස්කම් එළි දැක්වීමටත් භික්ෂූන් වහන්සේ නමකට අවශ්‍ය වන වත් පිළිවෙත් විශේෂිත පුහුණුවකට ලක් කිරීමද මෙහිදී සිදු කෙරේ.
ඒ හා සමගාමීව නිවාසාන්තර තරගද පැවැත්වේ. පිරිවෙණට ප්‍රධාන අඩුපාඩුවක්ව පැවැති පුස්තකාලයක් ලබා දීමට මාතාවක් විසින් පියවර ගෙන තිබීම අගයන බව පරිවේණාධිපති මහානාගපුර අමිත හිමියෝ පවසති. එම පුස්තකාලය හරහා පැවිදි සිසුන්ට විශාල පිටිවහලක් ලැබුණු බවත් ඒ ඔස්සේ පසුගිය වසරවලට වඩා දස්කම් දැක්වීමටත් භික්ෂූන් වහන්සේට අවශ්‍ය දැනුම් සම්භාරයක් ලබා ගැන්මට සිසුනට හැකි වන බවද පරිවේණාධිපති හිමියෝ පවසති.
මූලික පිරිවෙණක් විසින් සිදු කළ යුතු සියලු අධ්‍යාපන කටයුතු සිදු කරන බවත් ඒ අනුව පාලි, සංස්කෘත, සිංහල බුද්ධ ධර්මය, බෞද්ධ සංස්කෘතිය ඇතුළු විෂය ධාරාවන් මෙහි උගැන්වීම් සිදු කෙරේ.
ඊට අමතරව ඉතිහාසය, ඉංග්‍රීසි, සමාජ විද්‍යාව, දෙමළ වැනි විෂයයන් ද ඉගැන්වීම් සිදු කෙරේ.
පිරිවෙණට අඩුපාඩුවක්ව ඇත්තේ සුහුරු (ස්මාට්) පන්ති කාමරයක් නොමැතිකමයි. විශේෂයෙන්ම පටිගත කළ ධර්ම කරුණු ගාථා වැනි දේ නවක පැවිදි සාමණේර හිමිවරුන්ට අසන්නට දකින්නට සැලැස්වීමට එම පන්ති කාමරයක් අත්‍යවශ්‍යතාව ගැන පරිවේණාධිපති හිමියෝ අවධාරණය කරති. එමෙන්ම පරිගණක ඒකකයක් නොමැතිකම හරහා නවීන ලෝකය හා ගනුදෙනු කිරීමට මෙන්ම නවීන දැනුම එක්කර ගැනීමට සිසුන්ට බාධා වී ඇත.
විහාරස්ථානයක් නිසා දායක දායකාදීන්ගෙන් සෙසු අවශ්‍යතා සම්පූර්ණ වන හෙයින් නේවාසික සිසුන්ට ගැටලුවක් නොවුණ ද නවීන දැනුම ලබා ගැන්මට ඇති බාධාව ඉක්මනින් දුරු කර ගත යුතු බව පරිවේණාධිපති හිමියෝ පවසති.
විද්‍යා සමාධි මූලික පිරිවෙණේ වත්මන් පරිවේණාධිපතිධුරය දරන්නේ ශාස්ත්‍රපති පණ්ඩිත මහානාගපුර අමිත හිමියන් වන අතර එහි කෘත්‍යාධිකාරි ධුරය දරන්නේ හිපංකන්දේ සරණංකර හිමියන්ය. එමෙන්ම පිරිවෙණේ උපදේශකයාණන් වහන්සේ ලෙස කටයුතු කරන්නේ කොට්ටාව දුව පුරාණ විහාරාධිපති ආචාර්ය මාඹුල්ගොඩ සුමනරතන නා හිමියන්ය.
පැලැන්වත්ත, විද්‍යා සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ පවත්වාගෙන යනු ලබන විද්‍යා සමාධි මූලික පිරිවෙණට දීර්ඝ ඉතිහාසයක් නැතත් එහි දස්කම් දැක්වූ පැවිදි සිසුන් දෙස බැලීමෙන් අපට පෙනී යන්නේ කඩිනමින් අවශ්‍ය පහසුකම් සපයා දී එම පිරිවෙණින් වඩාත් උගත් භික්ෂූ පරපුරක් බිහි කිරීමට කටයුතු කළ යුතු බවයි.
lතාරක වික්‍රමසේකර