Home » ජන්මියාට සුබ පල ගෙනෙන සිකුරු ග්‍රහයාගේ සුබ සංයෝග

ජන්මියාට සුබ පල ගෙනෙන සිකුරු ග්‍රහයාගේ සුබ සංයෝග

by Mahesh Lakehouse
November 18, 2023 12:30 am 0 comment

– සිකුරු ග්‍රහයා පහන් තරුව, ඉරබටු තරුව යන නම්වලින්ද හඳුන්වයි
– සංගීතයට ඇල්ම ඇත්තෙකු බිහි කරන සිකුරු – රවි සංයෝගය

පහන් තරුව, ඉරබටු තරුව යන නම්වලින් හඳුන්වන සිකුරු ග්‍රහයා දිවා කාලයේ බලවත් වේ. දිවා කල උපන් අයට මවු කාරක වේ. රවීගෙන් අංශක 48කට වඩා ඈත් නොවේ. රාශියක ගත කරන කාලය මාසයකි. චන්ද්‍රයාගේ මෙන්ම සිකුරු තරුවේ ද කාන්තිය අඩු වැඩි වීමක් තිබේ. එය අපට පැහැදිලිව නොපෙනෙයි. ගුරු ළඟට සෞම්‍ය ග්‍රහයා සිකුරු වෙයි.

ග්‍රහ ලොව කාන්තාව, ඇමතිවරිය ලෙස හඳුන්වන සිකුරු බෙරණ, පුවපල්, පුවසල යන නක්ෂත්‍රයන්ට සහ වෘෂභ තුලා යන රාශීන්ට අධිපති වෙයි. මිනිස් ශරීරයේ වකුගඩු, ලිංගේන්ද්‍රිය, ඩිම්බ කෝෂ, හිසකෙස්, කොඳු ඇට, ඇස්, ඉල ඇට ආදිය නියෝජනය කරයි. සියලු සුබ පල දීමෙහි සිකුරු ප්‍රමුඛ වෙයි. මනුෂ්‍යයාගේ ඔපය, කෞෂල්‍යය සහ සංදර්ශනය ඇතුළු සියලු දේට අධිපති වේ. ප්‍රීතිය, ප්‍රේමය ආදි යහපත් ගුණ සිකුරුගෙන් ලැබේ. සිකුරු බලවත් වූ විට කරුණාව, විශ්වාස කළ හැකි ආදරයත්, සංගීතයට ළැදි ඉතා පිරිසිදු, නිතර ප්‍රීතියෙන් වසන, සෙල්ලමට කැමති, මනා රූප ශෝභාව ඇති අය වෙති.

සිකුරු දුර්වල වූ විට පවුල් ජීවිත අවුල් වේ. නීතිමය ගැටලුවලට ලක්වීම ආදිය සිදු වේ. සෙම් ගෙඩි, බෙල්ල මහත් වීම, මුත්‍ර රෝග, වකුගඩු ආශ්‍රිත රෝග, දියවැඩියාව ආදී රෝග මතු වේ.

ලෞකික ගති පෙන්වන සිවුවැන්නට දික්බල ආපෝ භූතය හිමි දිවා කාලයේ උපන් අයට මවු වන දිවා බල ඇති ස්ත්‍රී ගති ඇති සිකුරු වෘෂභයට ස්වක්ෂේත්‍ර තුලාවට මූල ත්‍රිකෝණ මීනයට උච්ඡ වේ. කන්‍යාවේ නීච වේ. දියමන්ති මැණික් වන අතර වෘක්ෂය කරඳ වේ.

ග්‍රහ ලොව මනාලිය ලෙස හඳුන්වන සිකුරු ග්‍රහයා අනිකුත් ග්‍රහයන් සමඟ එකතු වූ විට නැතිනම් සංයෝග වූ විට කේන්දර හිමියාට ලැබෙන සුබ අසුබ මෙසේ ය.

සිකුරු ග්‍රහයා රවි ග්‍රහයා සමඟ එක් වූ විට සංගීතයට ඇල්ම ඇති සංගීත ශාස්ත්‍රය දන්නා කෙනෙක් වේ. ලස්සනට අඳින පලඳින මිල මුදල් හිඟ නොවන ජන්මියෙක් වේ. විවාහය වාසනාවන්ත වේ. වාසනාවන්ත දූ දරුවන් ලැබේ.

සිකුරු ග්‍රහයා සඳු ග්‍රහයා සමඟ එක් වූ විට නිතර සතුටින් වාසය කිරීමට කැමති, වැඩි විපත්තිවලට මුහුණ නොපාන සත් පුරුෂවත් ජන්මියෙක් වේ. මෙම යෝගය නරකට සිටියහොත් විවාහ ජීවිතය ප්‍රශ්න ඇති වේ. විශ්වාසය අඩු ජන්මියෙක් වේ.

සිකුරු ග්‍රහයා බුධ ග්‍රහයා සමඟ එක් වූ විට තීක්ෂණ නුවණක් ඇති කාටත් ගැළපෙන ගුණයෙන් යුත් ප්‍රිය වචන කතා කරන අය බිහි වේ. නීතිය දන්නා අය වේ. දක්ෂ කථිකයන් බිහි වේ.

සිකුරු සමඟ ගුරු එක් වූ විට ජීවිතයේ සියලු පල භුක්ති විඳීමට ලැබේ. හොඳ වාහන ලැබේ. සැපෙන් ජීවත්වීමට ඉඩ ලැබේ. කතාවෙහි දක්ෂ අය වේ.

සිකුරු ග්‍රහයා ශනි ග්‍රහයා සමඟ එකතු වූ විට කරුණාවන්ත අයෙක් වේ. යහපත් විවාහයක් වේ. විවාහ ජීවිතය වාසනාවන්ත වේ. ප්‍රීතිමත් වේ. එහෙත් විවාහය ප්‍රමාද වේ.

ජ්‍යොතිර්වේදිනී චතුරිකා දිල්හානි ගමආරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division