Home » හිත් රිදීම් කඩා වැටීම් හැමදේම වෙන්නේ හොඳට කියලා හිතෙනවා

හිත් රිදීම් කඩා වැටීම් හැමදේම වෙන්නේ හොඳට කියලා හිතෙනවා

by thanushika
November 11, 2023 12:29 am 0 comment
 අනුෂා රණසිංහ

ඕනම ක්ෂේත්‍රයක පැවැත්මට නම් අලුත් පරම්පරාවක් ආ යුතුයි. අද අපේ මේ කතාබහත් කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්නට ආස කරන නවක රංගන ශිල්පිනියක් වන ඉෂාරා ගුණසේකර සමඟින්. ඇගේ රුව පුංචි තිරයේ බොහෝ නිර්මාණ හරහා ඔබ දැක ඇති. නමුත් ඇය කවුරුන්ද යන වග සහ ඇයගේ විස්තර ඔබ නොදන්නවා ඇති.

ඉෂාරා ගැන මුලින්ම විස්තර කිවුවොත්?

මම කොළඹ ජීවත් වුණාට ගමේ කෙල්ලෙක්. මගේ උපන් ගම බළන්ගොඩ. මගේ පවුලේ අම්මා තාත්තා අක්කා සහ නංගි ඉන්නේ. මම ඉස්කෝලේ ගියේ බළන්ගොඩ, උඩගම පින්නවල ජාතික පාසලට. පසුව උසස් අධ්‍යාපනයට කොළඹට එනවා.

පාසලේදීත් කලා කටයුතුවලට සම්බන්ධ වුණු කෙනෙක් ද?

පාසලේ හැම කලා කටයුත්තකම මම හිටියා. ඒ කියන්නේ නර්තනය, සංගීතය අංශවලින්. පාසලේ කලා කටයුත්තක් තිබ්බොත් මම එතැන අනිවාර්යයෙන්ම හිටියා. මට උසස් පෙළට කලා විෂය හදාරන්න ආසාවක් තිබ්බා. හැබැයි මට හදාරන්න වුණේ තාක්ෂණික විෂය ධාරාව. කොළඹට ආවට පස්සේ මගේ තිබ්බ දක්ෂතා හැකියාවන් එක්ක මට අවස්ථාව ලැබුණා කලාවට සම්බන්ධ වෙන්න.

කොළඹට ආවේ මොන අරමුණකින්ද?

මම වෘත්තියෙන් හෙදියක්. නර්සින්වලින් මට ප්‍රතිඵල එද්දී මම යුනිවර්සිටි කොලේජ් සිලෙක්ට් වෙනවා. අධ්‍යාපන කටයුතු කරන අතරේ මම මුලින්ම සම්බන්ධ වෙන්නේ නර්තනයට. මෙතැනදී මතක් කරන්න ඕනේ ලලිත් පැරකුම් සර්. ලලිත් සර් මගේ හැකියාවන් දැකලා මාව ඉදිරියට අරන් ගියා. එතැනින් පස්සේ මට අවස්ථා ලැබෙනවා නිරූපණ ක්ෂේත්‍රයට, රංගන ක්ෂේත්‍රයට සහ සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න.

මුලින්ම රඟපෑ නිර්මාණය මොකක්ද?

මම මුලින්ම එන්නේ වේදිකාවෙන්. ආදරෙන් මතක් කරන්න ඕනේ වසන්ත මොරගොඩ සර්. ඔහු තමයි මගේ රංගන හැකියාවන් මුලින්ම දැකලා මට අවස්ථාව දුන්නේ. එතැනින් පස්සේ මම ස්ක්‍රීන් ටෙස්ට්වලට යන්න පටන් ගන්නවා. එහි ප්‍රතිඵලයක් ලෙස මට ලැබෙනවා ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු වීදුරු මල් නාට්‍යය.

මේ වෙද්දී මෙතෙක් සම්බන්ධ වෙන්න ලැබුණු නිර්මාණ ගැන අපි කෙටියෙන් මතක් කළොත්?

සුපුන් රත්නායක අයියාගේ “ෆෝචුන් රෙසිඩන්සි” නාට්‍යයට සම්බන්ධ වුණා. ඒක මේ දිනවල විකාශය වෙනවා. තව ඔහුගේම ඉදිරියට එන්න තියෙන “තත්පරයක් දෙන්න” නාට්‍යයේත් ඉන්නවා. දෙරණ නාළිකාවේ රොෂාන් කුරුප්පු සර් මගේ වෙනස්ම පැතිකඩක් මතු කර ගත්තා අපේ ජනකතා හරහා. පෝය නාට්‍ය සහ කෙටි චිත්‍රපට සහ මියුසික් වීඩියෝවලට සම්බන්ධ වුණා. ධනුෂ්ක රත්නායක අයියාගේ කියාදෙන්න ආදරේ තරම් නාට්‍යයට සම්බන්ධ වුණා. ඒ වගේම ඉදිරියට එන්න තියෙන මන්දාරම් කතාවේ නාට්‍යයටත් මම දායක වුණා. කසුන් තරින්ද්‍ර අයියගේ “අකුරට යන වෙලාවේ” නාට්‍යයට සම්බන්ධ වුණා. රනිල් කුලසිංහ අයියාවත් මතක් කරන්න ඕනේ. ගමනක් යන්න පුළුවන් හරි අධ්‍යක්ෂවරු යටතේ වැඩ කරන්න ලැබුණ එක ගැන මම සතුටු වෙනවා. ඒ වගේම නිරූපණ ක්ෂේත්‍රය තුළ හරි විදිහට ගමනක් යන්න මට මේ වෙනකොටත් ගුරු හරුකම් දෙන රුක්මාල් සේනානායක සර්වත් මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා.

ඒ හින්දා නර්ස්ගේ භූමිකාව පැත්තකින්ම තිබ්බද?

ඇත්තටම මෙච්චර කාලයකට මගේ ජීවිතේ වෙලා තියෙන්නේ මම හිතුවෙම නැති දේවල්. මම ආස කළේ කලාවට. මම ඉගෙනීම් කටයුතු කළේ ජෛව උපාධි තාක්ෂණය එක්ක නිසා ඒ පැත්තෙන් තවම ඉගෙනීම් කටයුතු කරනවා. නර්ස් කෙනෙක් විදිහට ට්‍රේනින් ගියාම තමයි දැන ගත්තේ ඒ පැත්තෙනුත් මගේ හැකියාවන් තියෙනවා කියලා. මම නර්ස් කෙනෙක් විදිහට සේවය කළේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සම්පත් ඥානරත්න සර් යටතේ බළන්ගොඩ පෞද්ගලික රෝහලක. එතැනදී මගේ හැකියාවන් එක්ක මාව ගත්තා ශල්‍ය අංශයට. ඒ නිසා මගේ දක්ෂතා හඳුනාගෙන මට ඉදිරියට එන්න උදවු කළ වෛද්‍ය සම්පත් ඥානරත්න සර්ට ස්තුතිවන්ත වෙනවා. නමුත් ඉගෙනීම සහ කලාව පැත්තෙන් මට ලැබුණු අවස්ථාවන් එක්ක හෙදි වෘත්තිය දිගටම කරගෙන යන්න බැරි වුණා. මම හිතන්නේ නැහැ මම ආයේ නර්ස් කෙනෙක් විදිහට වැඩ කරයි කියලා.

ගෙදරින් කොහොමද ලැබෙන සහයෝගය

මම සරලව තනියෙන් ජීවත් වෙන ශක්තිමත් කෙල්ලෙක්. මම කොළඹ ජීවත් වෙන්නේ තනියම. මගේ අම්මා තාත්තා අක්කා සහ නංගි ඉන්නේ ගමේ. මම එයාලා ගැනත් බලනවා. ඒ අය දන්නවා මම හැමදාම කරන්නේ හරි දෙයක් කියන එක. මම කලාවට තියෙන නැඹුරුතාව නිසා වෘත්තීමය වශයෙන් ගජ ටීවී එකේ නිවේදිකාවක් විදිහට කටයුතු කරනවා. මම කරන හැමදේටම ගෙදරින් ආශීර්වාදය ලැබෙනවා. මම මගේ අම්මා තාත්තට හැමදාම පින් දෙනවා මේ තරම් හැකියාවන් එක්ක මාව මේ ලෝකයට බිහි කරපු එකට.

ආදරේට මොන වගේ ඉඩක් ද දීලා තියෙන්නේ

ආදරේ ගැන නම් කතා කරන්න හරිම අමාරුයි. මම ආදරේ කරපු කෙනෙක්. මේ වෙද්දී මම ආදරේ දකින්නේ වෙනස් විදිහට. ආදරේ කියලා කියන්නෙම අපි ආස කරන අපි දකින අරමුණට යන්න අනිත් පාර්ශ්වයත් හයියක් වෙන එක. ආදරේ කරද්දී දෙන්නා දෙන්නෙක් නෙවෙයි, එක්කෙනෙක්. ඒ හින්දා දෙන්නෙක් එකම ගමනක් යනවා කියන්න බැහැ. ආදරේ වෙන්න ඕනේ දෙදෙනාගේ අරමුණු ආසාවන් ඉලක්ක තේරුම් ගැනීමක්. මම ආදරේ බොළඳ විදියට දකින්නේ නැහැ. අනාගතය හරි විදිහට ස්ථිරත්වයෙන් හදා ගන්න පුළුවන් නම් එතැන තියෙන්නේ ආදරේ. මම දැන් ආදරේ ගැන ලොකුවට හීන මවන්නේ නැහැ.

කලා ක්ෂේත්‍රයෙන්ම ආදර යෝජනාවක් ආවොත් භාර ගන්නවද?

මෙහෙමයි එහෙම යෝජනා ඇවිල්ලත් තියෙනවා. තවමත් එනවා. ආදරේදි ඒ කෙනා කලාවට සම්බන්ධ ද නැද්ද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. මම කලින් කියපු විදියේ කෙනෙක් නම් එයා කලාවට සම්බන්ධ වුණත් එකයි නැතත් එකයි.

ජීවිතේ ආපස්සට හැරිලා බලද්දී මොකද හිතෙන්නේ?

මගේ ජීවිතේ ගැන ආපස්සට හැරිලා බලද්දී ඇත්තටම හිතෙනවා හදාගන්න දේවල් තිබ්බා. හදාගත්තා නම් හොඳයි කියලා. නමුත් ආයෙමත් හොඳින් හිතලා බලද්දී අපිට හිත් රිදීම් කඩා වැටීම් හැමදේම වෙන්නේ හොඳට කියලා හිතෙනවා. ඒ නිසා මෙතෙක් මගේ ගමනේ හැමදේම වෙලා තියෙන්නේ හොඳට කියලයි මට හිතෙන්නේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division