Home » අදටත් කමෙන්ට් ලැබෙන්නෙ ලස්සනයි රම්බා කියලා

අදටත් කමෙන්ට් ලැබෙන්නෙ ලස්සනයි රම්බා කියලා

by Mahesh Lakehouse
November 11, 2023 12:30 am 0 comment

– හොඳ නිර්මාණයකට දායක වෙලා ඇඟට දැනෙන චරිතයකින් ප්‍රේක්ෂක මතකයේ රැඳෙන්න ලැබීම සතුටක්
– ගොඩක්ම ආස සිනමාවට ඒක හරියට සාගරයක් වගේ මං ආසයි හදාරන්න

ජයන්ත චන්ද්‍රසිරිගේ නන්නත්තාර ටෙලි නිර්මාණයේ රම්බා තවමත් ඔබ මතකයෙන් ගිලිහී නැතුවාට සැකයක් නැත. මේ දිනවල විකාශය වන සිවගුරුනාදන්ගේ නවතම ටෙලි නිර්මාණය වන ‘ඇතුල්වීම තහනම්‘හි නිහංසා ඊට හාත්පසින්ම වෙනස් චරිතයකි. රම්බා ලෙසින් එක් පසෙකින් ප්‍රේක්ෂක ආදරය විඳින, නිහංසා ලෙසින් අනෙක් පසින් දෝෂාරෝපණයට ලක්වන ඇය වින්දි දෙගල්දොරුවයි. අදටත් රම්බා නමින් ඇමතීම ගැන සතුටින් පසුවන ඇය රම්බා ප්‍රේක්ෂක හදවතේ ගැඹුරුම තැනක මතකයක් වීම ගැන ද නිහතමානී ආඩම්බරයකින් පසුවන්නීය. කලාව තුළ විවිධ ඉසව් ස්පර්ශ කරමින් යන ව්න්දි සිනමාවට වඩාත් පෙම් බඳින බව ද පවසන්නීය.

විදෙස් රටවලම ජීවත් වුණු වින්දි එකපාරටම රම්බා වෙලා ඇවිත් පුංචි තිරයේ මේ තරම් පෙරළියක් කළේ කොහොමද?

ඇත්තටම ඒක දෛවෝපගත අහම්බයක් කිවුවත් හරි. දිගු කාලයක් තිස්සේම මං හිටියෙ විදෙස්ගත වෙලා. සැරින් සැරේ ඇවිත් වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වුණා. ඒ ඇරුණම රෝස රහස ෆිල්ම් එකේ ප්‍රධාන චරිතයෙන් මුලින්ම සිනමාවට සම්බන්ධ වුණත් ඒක තවමත් තිරගත වෙලා නෑ. ඔය අතරෙ මං පෙනී හිටිය පල්ලියගුරු ජුවලර්ස් ජුවලරි දැන්වීම කොළඹ පුරාම වගේ ප්‍රදර්ශනය වුණා. ඒ දවස්වල ජයන්ත සර් නන්නත්තාර ලියන ගමන් ඉඳල තියෙන්නෙ. ඒ ඇඩ් එක දැකල මේ වගේ කෙල්ලෙක් තමයි මගේ එකටත් ඕන කියලා හිතුවලු. පස්සෙ දවසක ඒක ඔහු කියල තිබුණා. ඔය අතරේ උදයකාන්ත වර්ණසූරිය සර්ගෙ ෆිල්ම් එකක ඔඩිෂන් එකකට යන්න මට අවස්ථාවක් ලැබෙනව. වෙලාව කියන්නෙ එදා මං යද්දි ප්‍රමාද වුණා. ඒ වෙද්දිත් ඒකට වෙන කෙනෙක් තෝරගෙන එයාට පොරොන්දු වෙලත් ඉවරයි. ඒත් සර් කිවුවා මට ඉදිරියට ඔයාව ඕන. මේ දවස්වල ජයන්ත අලුත් වැඩක් කරනව මං එයාට ඔයාව අඳුන්වල දෙන්නම් කියලා. එදා මං ගෙදර යද්දි සර් මට ජයන්ත සර්ගෙ නොම්මරේ එවල ඉක්මනින් ඔයාගෙ ෆොටෝ ටිකක් දාන්න කියලත් කිවුවා. ෆොටෝ දැම්ම ගමන්ම ජයන්ත සර් මට අරන් ඇහුවෙ ඔයා ලංකාවෙද කියල. මං කිවුවා ඔව් මං නුවර, උඩරට කෙනෙක් කියලා. ඒත් ඒ වෙද්දි මට හොඳට සිංහල උච්චාරණය කරන්න බෑ. සර් ඇහුව ඇයි ඔය කතා කරන හැටි කියලා. මං ගොඩ කාලයක් මෙහේ හිටියෙ නෑ කියල කිවුවම ඔඩිෂන් එකට එන්න කිව්වා. ඒ ගිහිල්ලත් පැයක් විතර ඉන්ටර්වීව් කරල තමයි මාව තෝරගත්තෙ. ඒත් මට තේරුණා සර් ඊට කලින්ම මාව තෝරගෙන ඉඳල තියෙන්නෙ කියලා. මාස තුනක් විතර ගියා සිංහල උච්චාරණය හදාගන්න. සර්ගෙන් මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා. සර් මාව අගයපු විදිහට මට රඟපාන්න පුළුවන් කියන විශ්වාසෙ ඇති වුණා.

රම්බා කියන්නෙ මොන වගේ චරිතයක් ද?

රම්බා කියන්නෙ ගොඩක් දුක්විඳපු, තැලුණු, පොඩිවුණු, සමාජයෙන් බැට කෑ ගැහැනියක්. එහෙම වෙලත් එයා සමාජයේ ඉන්න තමන් වගේ අසරණ වුණු ගැහැනුන්ට උදවු කරනවා. එයා ආදරය දකින්නෙත් හරි වෙනස් විදිහට. මං හරිම කැමැත්තෙන් කළ චරිතයක්. රම්බගෙ සැමියව තෝරද්දි නව දෙනෙක්ව බලල අන්තිමට තමයි මේඝව ගැළපුණේ. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. අදටත් මගේ ෆොටෝ එකක් දැම්මොත් ලස්සනයි රම්බා කියල තමයි කමෙන්ට් ලැබෙන්නෙ. ඒ වගේ අධ්‍යක්ෂවරයෙක් යටතේ හොඳ නිර්මාණයකට දායක වෙලා ඇඟට දැනෙන චරිතයකින් ප්‍රේක්ෂක මතකයේ රැඳෙන්න ලැබීම සතුටක්.

රම්බාට හොඳ ප්‍රතිචාර ලැබෙද්දි නිහංසාට ප්‍රේක්ෂකයො බණිනව නේද?

ඒ නිහංසා අසම්මත ප්‍රේමයක පැටලුණු ගැහැනියක් නිසා. එයා ආදරය කරන්නෙ විවාහක පිරිමියකුට. ඒ වගේම ගොඩක් ගැහැනුන් ආශ්‍රය කරන කෙනෙක්. අන්තිමේ එක්තැන් වන ඔහු ළඟ රැඳෙන්නෙ නිහංසා විතරයි. නෝනටත් හොරෙන් ඇවිත් ඔහුට කවල, පොවල ආදරෙන් බලාගැනීමෙන් ඇය බලාපොරොත්තු වෙන්නෙ ඔහු සනීප කර ගැනීම. ඇය ගොඩක් සංවේදී කෙනෙක්. ඒ චරිතයට නම් මේ දවස්වල බැණුම් අහනවා.

ඔබ චරිත තෝරා බේරාගන්න කෙනෙක්. ඇයි මේ වගේ චරිතයකට කැමති වුණේ?

මං මෙගාවලට සම්බන්ධ වෙන්නෑ කියන මතයේ හිටියේ. ඒත් සිවගුරුනාදන් සර්ගෙ නිර්මාණයකට දායක වෙන්න ආසාවෙන් හිටියෙ. අනිත් එක නිහංසා කියන්නෙත් සංගීත ගුරුවරියක්. මාත් සංගීත ගුරුවරියක් නිසා මං ඒකට කැමැති වුණා.

ඔබ බොහෝ ක්ෂේත්‍රයන් ආවරණය කළ කෙනෙක්?

මං ඉගෙන ගත්තෙ සෙන්ට් ඇන්තනීස් කොන්වන්ට් එකේ. පොඩි කාලෙම මං හින්දුස්ථානී සංගීතය ප්‍රගුණ කළා. උසස් අධ්‍යාපනය සඳහා තමයි යූ එස් ගියේ. එහේදි බටහිර සංගීතය හදාරන්න වුණා. පියානෝ වාදනය ඉගැන්නුවා. ඒ වගේම කින්ඩර් මියුසික්. ජාත්‍යන්තරව ළමයි ඒක සබ්ජෙට් විදිහට ප්‍රැක්ටිස් කරනවා. ඊට අමතරව මං යෝග උපදේශිකාවක්. නර්තනය, පිහිනීම, අශ්වයන් පිට යෑම වගේ දේවලුත් ප්‍රගුණ කරල තියෙනවා. මං ගොඩක් ශක්තිමත් කෙනෙක්. ඒ නිසා මට හිතෙනවා මට කලාව වෙනුවෙන් තව ගොඩක් දේවල් කරන්න පුළුවන් කියලා. ගොඩක්ම ආස සිනමාවට. ඒක හරියට සාගරයක් වගේ. මං ආසයි ඒක හදාරන්න.

වින්දි ආදරය දකින්නෙ කොහොමද?

මං ආදරේට ගොඩක් සංවේදී කෙනෙක්. මට ආදරේ නැතුව ජීවත්වෙන්න අමාරුයි. ආදරේට මගේ ජීවිතේ ලොකු තැනක් දීල තියෙනවා. මං හිතන්නෙ ජීවත්වෙන කාලෙ ඕනෙම කෙනෙකුට දැනෙන්න ආදරය ලැබිය යුතුයි. ආදරේ දුන්නා කියන එකෙනුත් සෑහීමකට පත්වෙන්න ඕන ලැබෙනවට වඩා. මං ආදරේ දෙන්න කැමැති කෙනෙක්.

නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division