Home » ආණ්ඩුවේ කඩුල්ල රකින්න ප්‍රසන්නගෙන් මෙහෙයුමක්

ආණ්ඩුවේ කඩුල්ල රකින්න ප්‍රසන්නගෙන් මෙහෙයුමක්

by gayan
November 11, 2023 12:30 am 0 comment

පාර්ලිමේන්තුව පසුගිය සතියේ රැස් වූ අතර එහිදී වැඩි අවධානයක් යොමු වූයේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙනි‍.

ඩෙප් කොමිසම ගැන ජනපති කතා කරයි

නුවරඑළියේ සහ මහනුවර සංචාරයක නිරත වූ ජනපති රනිල් ඉකුත් ඉරිදා කොළඹ පැමිණියේය. එදින සවස පැජට් පාර නිල නිවසේදී නීතිපති ඇතුළු නීතිඥවරුන් පිරිසක් මුණ ගැසුණු ජනපති රනිල් මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම වෙනුවෙන් පත්කළ හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්ගේ ප්‍රධානත්වයෙන් පත් කළ කොමිසම ගැන සාකච්ඡා කළේය.

“හොඳම ඡන්ද ක්‍රමය හදන්න බොහෝ දෙනෙක් කතා කරනවා. නමුත් ඒක ක්‍රියාත්මක කළේ නෑ. ජනතාව කියන්නේ තමන් අවුරුදු පහකට පත් කරලා යවන අය ඊට පස්සේ ජනතාව ගැන බලන්නේ නෑ කියලයි. ඒකට පිළියමක් ලෙස මෙම ඩෙප් කොමිසම පත් කරලා තියෙනවා.” ජනපති කිවේ එලෙසිනි.

එසේම මෙම කොමිසමට මාර්ගගත ක්‍රමයට පවා අදහස් ඉදිරිපත් කළ හැකි බව ද ජනපති පෙන්වා දුන්නේය.

“මැතිවරණයේදී දේශපාලන පක්ෂ වෙන් වෙන්ව තරග කළත් මෙතනදි සියලු දෙනාම එක්වෙලා ජනාධිපතිතුමා ගෙනත් තියෙන අලුත් අවස්ථාවෙන් ප්‍රයෝජන ගත යුතුයි.” ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න කී දේට සියල්ලෝ හිස සැලූහ.

ක්‍රිකට් ගැන ජනපතිට ලැබුණු තොරතුරු

සඳුදා පෙරවරුවේ ජනපති රනිල් කාර්යාලය වෙත පැමිණියේ දිගින් දිගටම ලැබෙන දුරකතන ඇමතුම්වලට “දන්නේ නෑ” යන පිළිතුර දෙමිනි. ඒ ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය වෙනුවට අතුරු පාලක කමිටුවක් ක්‍රීඩා අමාත්‍යවරයා පත් කිරීම ගැන මැති ඇමැතිවරුන් අසන ප්‍රශ්නවලට පිළිතුරු ලෙසිනි.

“ජාත්‍යන්තරයත් සමඟ කරන ගනුදෙනුවක් නිසා මේ ගැන ජනාධිපතිතුමා දැනුම්වත් කොට උපදෙසක් ගන්න තිබුණා.” ජනපති ඇමැතූ බොහෝ දෙනෙකුගේ අදහස වූවේ එයය.

සවස ඇමැති මණ්ඩලයේදී ද මෙම කතාව ඇදී ආවේය. එහිදි ඇමැතිවරු සැවොම කීවේ ඇමැතිතුමා ජනාධිපතිතුමා සමඟ හෝ ඇමැති මණ්ඩලය සමඟ සාකච්ඡා කොට තිබුණේ නම් මේ ගැටලුව මීට වඩා හොඳින් විසදා ගැනීමට තිබූ බවය.

එයට නිදහසට කරුණු ලෙස ක්‍රීඩා ඇමැතිවරයා කියා තිබුණේ ක්‍රිකට් තුළ මාෆියාවක් ක්‍රියාත්මක වන බැවින් හොර රහසේ මෙය කළ බවකි. ඔවුන් අධිකරණයට යාම ගැන ද ඇමැතිවරයා සිහිපත් කර තිබුණි.

ජනපති රනිල් අවසානයේ තීන්දු කළේ ක්‍රිකට් සම්බන්ධයෙන් ඇතිව තිබෙන අර්බුදය විසඳීම වෙනුවෙන් ඇමැතිවරුන් හතර දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කිරීමටය.

අස්වැසුම ප්‍රතිලාභ ගෙවීමේ සතියක් ප්‍රකාශ කළ ද ඊට සම්බන්ධ නොවන බවට කියා තිබූ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයේ නිලධාරීන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබුණේ ජනාධිපති ලේකම් සමන් ඒකනායකය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මෙම පිරිස සමඟ සාකච්ඡා කළේ ජනාධිපති උපදෙස් මතය.

සාකච්ඡාවේදි ඔවුන් ඉදිරිපත් කළ ප්‍රධාන ගැටලුවක් වූයේ වැඩපිළිවෙළ කරගෙන යාමට අවශ්‍ය තාක්ෂණික පහසුකම් නොමැතිවීමය. වහාම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ‍ෙජනරාල් ශවේන්ද්‍ර සිල්වා කැඳවා සාගල ඔහු යටතේ පවතින තාක්ෂණික අංශය මෙයට සහාය දෙන ලෙස දන්වා සිටියේය.

අලුතින් 14000ක් බඳවා ගනීද?

මෙහිදී ප්‍රාදේශීය ලේකම්වරුන් කීවේ ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් හා ආර්ථික සංවර්ධන නිලධාරීන් මෙයට සහාය නොදක්වන බවය. ඊට පිළිතුරු දුන් ජනපති ලේකම් සමන් ඒකනායක ඔවුන් සහාය නොදක්වන්නේ නම් අලුතින් 14000ක පිරිසක් බඳවා ගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ හැකි බව කීවේය.

පළමුව සමෘද්ධි නිලධාරීන්ට හා ආර්ථික සංවර්ධන නිලධාරීන්ට මේ කණ්ඩායම ඇතුළට පැමිණෙන ලෙස දැනුම් දෙන බවත් නොපැමිණෙන පිරිස වෙනුවෙන් අලුත් පත්වීම් ලබා දෙන බවත් ජනපති ලේකම්වරයා මෙහිදි කියා තිබුණි. එයින් සෑහීමකට පත්වූ ප්‍රාදේශීය ලේකම්වරුන් අස්වැසුම කටයුතුවලට සහාය දීමට එකඟ වෙමින් පිටව ගියෝය.

ක්‍රීඩා ඇමැතිවරයා පත් කළ අතුරු කමිටුවට වාරණයක් ලැබීමත් සමඟ විපක්ෂය මතු කළ ප්‍රශ්න හමුවේ පාර්ලිමේන්තු සභාව උණුසුම් වූ අතර ඒ ගැන ජනපති දැනුම්වත් කළේ ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ආශු මාරසිංහය. ඔහු විමසා සිටියේ ජනපති බදාදා පාර්ලිමේන්තුවේදි සුදානම් කර තිබෙන ප්‍රකාශය පෙර පරිදි පවත්වනවාද යන්නයි.

ඊට පිළිතුරු දුන් ජනපති රනිල් ක්‍රිකට් ආයතනය එක්ක මගේ සම්බන්ධයක් නෑ . මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ගැන මගේ අදහස කියනවා කියා කීවේය. ජනපති එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව මුණ ගැසුණු අතර පක්ෂ ඉදිරි කටයුතු පිළිබඳව එහිදි දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

චෝදනා ගැන සාගල කියන්නේ මොනවාද?

සාකච්ඡාව අවසානයේ සාගල හමුවූ මහලේකම් රංගේ ඔහුගෙන් විමසා සිටියේ ක්‍රීඩා ඇමැතිවරයා නඟන චෝදනාවන් ගැනය.

“ඇත්තටම මට හිතා ගන්න බෑ ඇමැතිතුමා ඇයි මාව ඉලක්ක කරලා මෙහෙම කතා කරන්නේ කියලා. මොකද අලුත් ක්‍රීඩා පනතේ අඩුපාඩු ඇතිද නැතිද කියලා බලන්න කියා ජනාධිපතිතුමා මට කිව්වේ නෑ. ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් සමඟ මාවත් තවත් අයෙකුත් පත් කළේ කැබිනට් මණ්ඩලයයි.” එසේ කියමින් සාගල රංගේෙට කැබිනට් සංදේශය ද පෙන්වා සිටියේය.

“අනෙක් පැත්තෙන් මම එල්.පී.එල් බලන්න ගියේ ලංකාවේ ක්‍රිකට්වලට සම්බන්ධ නැති මගේ විදෙස් යාළුවෙක් කරපු ආරාධනාවකටයි. ජනාධිපතිතුමා එක්ක ගියේ මම නොවෙයි. ඒක ජනාධිපතිතුමාත් ඒ එක්කගෙන ගිය කෙනාත් හොඳටම දන්නවා.” සාගල යළිත් කීවේ රංගේ පිටත්වීමට සුදානම් වෙද්දීය.

ජනපති රනිල් බදාදා පෙරවරුවේ පාර්ලිමේන්තුවට ගියේ ඩෙප් කොමිසම ගැන ප්‍රකාශයක් කිරීමටය. ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ පැමිණ ජනාධිපතිවරයා මුණ ගැසී තමන් කරනා ප්‍රකාශය ගැන ද දැනුම් දුන් අතර ජනපති එයට එකඟතාවය පළ කළේය.

නමුත් සභාව තුළ රාජ්‍ය ඇමැති අශෝක් ප්‍රියන්ත කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විපක්ෂය ඇති කළ විරෝධය නිසා කාල වේලාව බොහෝ සේ ඉක්ම ගොස් තිබුණි. දිවා විවේකය පසුවීම නිසා ජනපති වෙනත් දිනයක සිය ප්‍රකාශය කිරීමට තීන්දු කළේය.

මිරිස් කුඩු ගැන වජිර සිහිපත් කරයි

ජනපති මුණ ගැසීමට පැමිණි ඇමැති මනූෂ කීවේ විපක්ෂයේ කණ්ඩායමක් ජනපති සභාවට පැමිණි විට ක්‍රිකට් ගැන කියමින් ජනපති අපහසුතාවයට පත් කිරීමේ සුදානමක සිටින බවය. ඊට ජනපති සිනහවෙන් පිළිතුරු දෙද්දී වජිර කීවේ පොත්වලින් මිරිස් කුඩුවලින් ගහද්දීත් ජනපති එදා අගමැති ලෙස නොබියව ඊට මුහුණ දුන් බැවින් මේවා මොනවාද යන්නයි.

අගමැතිට හා ආණ්ඩු පක්ෂ සංවිධායකට ජනපති කීවේ විපක්ෂය මේ කාලය කා දැමීම ගැන විරෝධය පළ කළ යුතු බවයි. ඒ මොහොතේ ක්‍රීඩා ඇමැතිවරයා විසින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු ගැන චෝදනා කරනු රූපවාහිනියෙන් දකිද්දී ජනපතිගේ නළල රැලි ගැන්වී අතද නළලට ගියේ ඉබේමය.

සියල්ලෝම ජනපති දෙස බලද්දී මධුර විතානගේ කීවේ ජනතා විශ්වාසය අධිකරණය කෙරෙහි පළුදු වූවහොත් එය නැවත සකස් කළ නොහැකි දෙයක් වනු ඇතිය කියාය.

“නීතිඥ සංගමය වගේම අධිකරණ විනිසුරුවරුන් මේ සිද්ධියෙන් කැලඹීමට පත් වෙන්න පුළුවන්.” මහාචාර්ය ආශුද කතාවට එකතු වූයේ එලෙසිනි.

ක්‍රිකට් අර්බුදය විසඳන හැටි ජනපති කියයි

ජනපති කීවේ විනිසුරු චිත්‍රසිරි වාර්තාව හා විනිසුරු ජගත් ප්‍රනාන්දු වාර්තාව ක්‍රියාත්මක කොට ක්‍රිකට් අර්බුදය විසඳිය හැකි බවය. එහි සිටි ජනපති ලේකම් සමන් ඒකනායකට ජනපති කීවේ චිත්‍රසිරි වාර්තාව ඉක්මණින්ම කැබිනට් අනුකමිටුවට දෙන ලෙසය.

“විපක්ෂය විසින් ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමේ යෝජනාවක් ගෙනල්ලා තියෙනවා” ආණ්ඩු පක්ෂ සංවිධායක කියද්දී ජනපති එකහඬින් කීවේ අපි මේකට සහාය දෙමු කියාය.

“ක්‍රීඩා ඇමැතිත් කියනව නම් විපක්ෂයත් ඉල්ලනවා නම් අපි මේකට සහාය දෙමු නැතිනම් මට තමයි චෝදනාව එන්නේ.” ජනපති කීවේ සිනහ සෙමිනි.

“ඒත් ජනාධිපතිතුමා මේකෙන් ක්‍රිකට් නිලධාරීන්ට මුකුත් කරන්න බෑනේ.” ඒ ප්‍රශ්නය ඇමැති ප්‍රසන්නගෙනි.

“ඔව් ඒක හරි නමුත් අපට විරුද්ධ වෙන්න බෑනේ. ජනතාවට වැරදි පණිවුඩයක් විපක්ෂයට ගෙනි යන්න මේකෙන් පහසු වෙනවා. ” මන්ත්‍රී වජිර කීවේ එවැන්නකි. මේ කතා බහ අතරේ ජනපති ඉන් පිටව ගියේ තවත් කටයුත්තකට යාමට ඇති බව කියමිනි.

කොටවන්න හදන ඇමැති කවුද?

එහි පැමිණි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙක් මන්ත්‍රීවරුන් ඉදිරියේ රහසක් හෙළි කළේය. එනම් ජනපතිවරයා හා ක්‍රීඩා ඇමැතිවරයා අතර විරසකයක් නිර්මාණය කිරීමට ප්‍රබල ඇමැතිවරයෙක් කටයුතු කරන බවටය. ඔහු මේ වන විටත් විපක්ෂය සමඟත් රහසින් ගනුදෙනු කරන බව ද ඔහු හෙළි කර සිටියේය.

ජනපති බඳාදා සවස කුළුබඩු නිෂ්පාදකයන්ගේ සංගමයේ වාර්ෂික සමුළුවට සහභාගී වූවේය. බ්‍රහස්පතින්දා පෙරවරුවේ ජනපති ඔහුගේ හිටපු ලේකම්වරයෙකු වූ සුදත් චන්ද්‍රසේකරගේ පුත්‍රයාගේ මංගලෝත්සවයට සහභාගී වූ අතර එය නිමවා සවස ඔහු පාර්ලිමේන්තුවට ගියේ කැඳවා තිබූ ආණ්ඩු පක්ෂ රැස්වීමට එකතු වීමටය.

මන්ත්‍රීවරුවරුන්ට චිත්‍රසිරි වාර්තාව පැහැදිලි කර දුන් ජනපති එයින් සම්පූර්ණයෙන්ම ක්‍රිකට් ආයතනයේ වර්තමානයේ පවතින ව්‍යුහය වෙනස් වෙන බව පැහැදිලි කර දුන්නේය.

“ජනාධිපතිතුමා දැන් අපි මේ විවාදයේදී ගන්නා තීන්දුව මොකක්ද” ලසන්ත අලගියවන්න ඇමැතිවරයා විමසා සිටියේය.

“අපි මේකට සහාය දෙනවානේ. හොඳම විසඳුම තියෙන්නේ චිත්‍රසිරි වාර්තාවේ. මොකද එහි අලුත් ව්‍යවස්ථාවක් යෝජනා කර තියෙනවා. අතුරු කමිටු කියන්නේ පැලැස්තරයක් විතරයි. ස්ථිර විසඳුමක් දෙන්න ඕනේ. මොකද ක්‍රිකට් කියන්නේ ජනතාවගේ හදවතේ තියෙන ක්‍රිඩාවක්. මම කාගෙවත් පැත්ත ගන්නේ නෑ. මම ගන්නේ ක්‍රිකට් ක්‍රිඩාවේ පැත්ත පමණයි.” ජනපති දීර්ඝ විස්තරයක් කළේය.

එසේ කියමින් ජනපති පිටත්ව යන්න සුදානම් වෙද්දී මන්ත්‍රීවරයෙකු උස් හඬින් “විපක්ෂ නායකතුමා ආණ්ඩුව බෙදන්න ගිහින් එයා ඇණ ගත්තා” කියද්දී සැවොම කොක් හැඩලූහ.

මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට අමුත්තන් දෙදෙනෙක්

මෙවර මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට විශේෂ අමුත්තන් දෙදෙනෙකු සහභාගී වූහ. ඒ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ හා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයායි. ඔවුන් කැඳවා තිබුණේ ජනාධිපතිවරයා විසිනි. ඒ අය වැය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමටය.

එදා ආණ්ඩුව ගෝඨා හිරකළ හැටි රනිල් පෙන්වයි

“අයි.එම්.එෆ් ගියේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. එතුමාට මම මේක කිව්වේ 2021 බජට් එක වෙලාවේදි. නමුත් එදා ආණ්ඩුවේ හුඟාක් අය ඒකට කැමැති වුනේ නැහැ. ඒ අවුරුද්දෙ නත්තලට මම නැවතිල හිටපු හෝටල් කාමරේම අයි.එම්.එෆ් එකේ විධායක අධ්‍යක්ෂිකාවත් නැවතිලා හිටියා. මම එතුමිය එක්ක මේ ගැන කතා කළා. එයා තමයි කිව්වෙ අපේ රට ආර්ථික අර්බුදයකට මුහුණ දෙනව කියල. මම ලංකාවට ආපු ගමන්ම මේ ගැන හිටපු ජනාධිපතිතුමාට කිව්වා. මම ඒ කළේම ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව එක්කත් කතා කළා. ගෝඨාභය ජනාධිපතිතුමා මේ ගැන පක්ෂ නායක සාකච්ඡාවක් කැඳෙව්වා. ඒකට ආවේ මමයි. ටී.එන්.ඒ එකයි විතරයි. අනිත් කිසිම පක්ෂයක නායකයෙක් ආවේ නැහැ. මම ඒකෙදිත් මේ ගැන කිව්වා. නමුත් එවකට ආණ්ඩුවේ හිටපු අය හිටපු ජනාධිපතිතුමාව හිර කළා. නමුත් ඒ ආණ්ඩුවේ හිටපු සමහර කොටස් එතුමට නිදහසේ තීන්දු ගන්න දුන්නේ නැහැ. මේ අර්බුදය හැදුනේ ඒකයි. නමුත් අපි දැන් හොඳ තැනක ඉන්නවා.” ජනාධිපතිවරයා දීර්ඝ විග්‍රහයක් කළේය.

අය වැය ගැන ජනාධිපතිගෙන් අනාවැකියක්

“මේ ආණ්ඩුවේ ජනප්‍රියත්වය සෑහෙන අඩු වෙලා කියල යම් යම් සමීක්ෂණ කණ්ඩායම් කියනවා. නමුත් ආණ්ඩුව ශක්තිමත්. ඒ සමීක්ෂණ කණ්ඩායම ගැන මම දන්නවා. ඒ ගොල්ල කරන්නේ විපක්ෂයේ අවශ්‍යතාවය.13 වැනිදා අය වැය ඉදිරිපත් කරනවා. එතකොට තමුන්නාන්සේලාට ආණ්ඩුවේ ශක්තිමත් බව දැක ගන්න පුළුවන්.” ජනාධිපතිවරයා යළි කීය.

“ජනාධිපතිතුමාගේ වැඩ පිළිවෙළ හොඳයි. අපි ඒක අගය කරනවා. හැබැයි අපිට ජනතාව අතරට යන්න පුළුවන් විදියේ හොඳ අය වැයක් ලබාදේවි යැයි අපි බලාපොරොත්තු වෙනවා” ඒ ඇමැති අමරවීරය.

ක්‍රිකට්වලින් පක්ෂ නායක රැස්වීම උණුසුම්

ගෙවී ගිය සතිය උණුසුම් වූයේ ක්‍රිකට් නිසාවෙනි. ඇමැති රොෂාන් රණසිංහ ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හරිමින් හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංගගේ ප්‍රධානත්වයෙන් ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කළේය. අර්ජුනට ජනතා ප්‍රසාදය ලැබුණත් අතුරු කමිටුවේ සෙසු සාමාජිකයන් සම්බන්ධයෙන් ජනතාවට පැහැදීමක් ති‍බුණේ නැත. මේ අතර ඇමැති රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේදී හතර අතට කඩුව වනමින් කළ කතාව හේතුවෙන් පාර්ලිමේන්තුව උණුසුම් විය.

විපක්ෂය මේ ගැන හදිසි විවාදයක් ඉල්ලීය. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් හදිසි පක්ෂ නායක රැස්වීමක් පැවැත්විණ.

එහිදී තීරණය වුයේ බ්‍රහස්පතින්දා දිනයේ වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු යෝජනාවක් ඉදිරිපත් කර සම්මත කර ගැනීමටය. ඒ අනුව බ්‍රහස්පතින්දා දිනයට නියමිත මුදල් පනත් විවාදයකින් තොරව සම්මත කරන්නටත් පක්ෂ නායකයෝ එකඟ විය.

ඒ සම්බන්ධයෙන් වන යෝජනාව ලියාගෙන ආවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ලය.

“මේක මෙහෙම ඉදිරිපත් කරල හරියන්නේ නෑ” කී ඇමැති නිමල් සිරිපාල ද සිල්වා එම යෝජනාව අලුතින් ලියුවේය.

“දූෂණයෙන් තොරව විනිවිද බවකින් යුතුව ක්‍රිකට් පරිපාලනය පවත්වාගෙන යාමට ක්‍රිකට් පරිපාලනය වෙනුවෙන් නව නීති පද්ධතියක් පනතක් හරහා සම්මත කළ යුතු යැයිද පාර්ලිමේන්තුව යෝජනා සම්මත කර සිටී” යනුවෙන් එම යෝජනාවේ සඳහන් විය.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස එය අනුමත කරමින් යෝජනාවට සිය අත්සන යෙදීය.

ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලය ඉවත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු යෝජනාවක් සම්මත කිරීමටද පක්ෂ නායකයෝ තීරණය කළහ.

ප්‍රසන්නටත් ක්‍රිකට් ගහන්න පුළුවන්

“ඇමැතිතුමා ක්‍රිකට් ගැන කතාකරන කොට අයිය ගැනත් කතා කරන්න වෙනවා නේ” පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තු ආපණ ශාලවේදී ඇමැති ප්‍රසන්න රණතුංගට කීවේ ඔලොක්කුවටය.

“දේශපාලන මතයයි, සහෝදර කැක්කුමයි වෙනයි. හැබැයි අර්ජුන අයියා ක්‍රිකට් ගැන කතා කරපු දේවල් ඇත්ත. මම ඒක හැම තැනම කියනවා.මමත් ක්‍රිකට් ගැහුව්වා. අර්ජුන අයියට වගේම මටත් ක්‍රිකට් ගැන කැක්කුමක් තියෙනවා” ඇමැති ප්‍රසන්න හැරෙන තැපෑලෙන්ම කීය.

නූලෙන් බේරුණු ඇමැතිකම

ඉකුත් අඟහරුවාද ජනාධිපතිවරයා, අගමැතිවරයා හා ඇමැති ප්‍රසන්න රණතුංග හදිසියේම කැඳවා සාකච්ඡා කළේය.

එම සාකච්ඡාව පැය භාගයකට වඩා දිගු විය. එය තිදෙනාටම පමණක් සීමා වූ අතිශයින්ම රහසිගත සාකච්ඡාවකි. එබැවින් නිල වශයෙන් යමක් එළියට අාවේ නැත.

ඇමැති ප්‍රසන්නගෙන් ඇමැති රොෂාන්ට උපදෙස්.

ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ විසින් ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැර අර්ජුන රණතුංගගේ සභාපතීත්වයෙන් අතුරු පාලක මණ්ඩලයක් පත්කළේ ඉකුත් ඉරිදා රාත්‍රියේය. ඇමැති ප්‍රසන්නට සඳුදා පැවති කැබිනට් රැස්වීමේදී ඇමැති රොෂාන් හමුවිය.

“අර්ජුනට සභාපතිකම දුන්න කියල හතරවටින්ම වට කරල ගහනව අයියේ” ඇමැති රොෂාන් කීවේ ඇමැති ප්‍රසන්නටය.

“අර්ජුන අයියට සභාපතිකම දුන්නට හුඟාක් අය තරහයි. නමුත් රටේ මිනිස්සු කැමැතියි. හැබැයි ඕක කරන්න තිබුණේ ඔහොම නෙවෙයි මල්ලි. ඔය අතුරු කමිටුවට දක්ෂ ක්‍රීඩකයෝ ටිකක් දාලා, ක්‍රිකට් බෝඩ් එකේ වංචා දූෂණ හොයන්න පොලීසියේ නිලධාරියෙකුයි, විනිසුරුවරයෙකුයි දාන්න තිබුණා. පරිපාලනයට තවත් වෙන පිරිසක් දාන්න තිබුණා.”

ලන්සා ඇතුළු නව සන්ධානය කරන්න යන දේ

මේ අතර නව සන්ධානයේ නීති සම්පාදන කමිටුව පසුගියදා නිමල් ලන්සා මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පිහිටි තරු පහේ හෝටලයකදී රැස්වුණේ පළමු වතාවටය.

එහිදී ලන්සා ඔවුන්ට නව සන්ධානයේ ඉදිරි අරමුණු පැහැදිලි කළේය.

“අපිට ආරංචි වුණා මේ සන්ධානයේ දිනවන්නේ වැඩපිළිවෙළක් මිසක් පුද්ගලයෙක් නෙමෙයි කියල. එකයි අපි එකතුවෙන්න තීරණය කළේ”නීතිඥයකු පැවසීය.

“නෑ නෑ පුද්ගලයෝ දිනවන්න ගිහිල්ල අපි හොඳට පාඩම් ඉගෙන ගත්තා. අවුරුදු ගාණක් අපි ව්‍යාපාරවලින් හොයාගත්තු දේවල් විනාශ කර ගත්ත, අායෙත් පුද්ගලයෝ පුම්බන දේශපාලන වැඩවලට මේ රටේ ඉඩක් නෑ”ලන්සා කියාගෙන ගියේය.

මීගමුවේ හෝට‍ලයක සජිත් සින්දු කියයි

ගෙවීගිය ඉරිදා සහ සඳුදා මීගමුවේ හෝටලයක විපක්ෂයේ මන්ත්‍රීවරු වෙනුවෙන් පුර්ව අයවැය විමසුමක් සංවිධානය කර තිබුණි. ඉරිදා පස්වරුවේ විපක්ෂ නායක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු මන්ත්‍රීවරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ හමුවේදී මන්ත්‍රීවරු තම අදහස් විපක්ෂ නායකවරයා සමඟ හුවමාරු කර ගත් අතර රාත්‍රී කාලයේ ගීතයෙන් සංගීතයෙන් විපක්ෂනායකතුමා මන්ත්‍රීවරු සමඟ ගත කළේය.

විපක්ෂ නායක සජිත් ගීත රැසක් එහිදී ගායනා කරමින් මන්ත්‍රීවරුන් සමඟ ගත කළ මොහොත කාගෙත් අවධානයට යොමුවිය.

මුජිබර් රහුමාන් හිටපු මන්ත්‍රීවරයා සහ රෝහිණි කවිරත්න ඇතුළු මන්ත්‍රීවරු ගීත ගායනා කළ අතර විපක්ෂ නායකතුමාගේ පෞද්ගලික ලේකම් අබේරත්න ද ගීත ගායනා කළ අතර, ඔහුගේ ගීත ගායනය පිළිබඳව ද කාගෙත් අවධානය යොමු විය. සජිත් ගිටාරය වයමින් ගීත ගායනා කිරීම ද විශේෂත්වයකි.

ගාල්ලේ තරුණ තරුණියන් වජිරට කිව්වේ මොනවාද?

ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන තරුණ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවක් පසුගිය සෙනසුරාදා උදෑසන පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ගාල්ල ආරාධනා හෝටලයේදී පැවැත්වුණි.

මේ අතර වජිර අබේවර්ධන සහභාගී වූ විශේෂ මාධ්‍ය හමුවක් පසුගිය අඟහරුවාදා උදෑසන කොළඹ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්විණ. වැඩ වර්ජනවල අරමුණු සහ එමඟින් සමාජයට සිදුවන බලපෑම පිළිබඳව වජිර දැක්වු අදහස් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්විය.

බන්දුලගෙන් නාමල්ට ටියුෂන්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හත්වැනි සංවත්සරය වෙනුවෙන් පසුගිය සතියේ සිකුරාදා නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේදී පිරිත් සජ්ඣායනාවක් පැවැත්විය. මෙහිදී විශේෂත්වය වූයේ කලකට පසු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ තුන් කට්ටුව එකට එකම අවස්ථාවකට සහභාගී වීමය. නාමල්ට මෙහිදී මුණ ගැසුණේ බන්දුල ගුණවර්ධනය.“ කොහොමද මේ දවස්වල අයිඑම්එෆ් එකේ තත්ත්වෙ . සමහර දේවල් කෙරෙන්නෙ නෑ නේද“ නාමල් ඇසුවේය. “වෙන මොනවද කරන්නෙ. අපිට විකල්ප නෑ. අපි මෙය ක්‍රියාත්මක කරන්න ඕනෙ“ බන්දුල පැවසීය. “විකල්ප නැත්තම් විකල්ප හොයන්න ඕනෙ අයිඑම්එෆ් එකට යන එක නෙවෙයි. එකම විසදුම මොකක්ද? අයි එම් එෆ් එක කියලා මිනිස්සුන්ට බර පටවන්න බෑ. අනික මේ ආණ්ඩුව හරි කෙළින් තීරණ ගන්නෙ නෑ. අපි විකල්ප හොයා ගන්න ඕනෙ අනික වැනෙන තීරණ ගත්තොත් ගෝඨාභය රාජපක්ෂට වුණා වගේ වෙන්නෙ “ නාමල් පැවසීය.

අජිත් රාජපක්ෂගේ ක්‍රිකට් ප්‍රේමය

ක්‍රිකට් අර්බුදය පිළිබඳව මැතිසබය බොහෝ අවස්ථාවලදී උණුසුම් වන විට මුලසුනේ සිටියේ පාර්ලිමේන්තුවේ නියොජ්‍ය කථානායක අජිත් රාජපක්ෂය.

“මං ලෙදර් බෝල් ක්‍රිකට් ගහන්න පටන් ගත්තේ 1985 හුංගම විජයබා මධ්‍ය මහා විද්‍යාලයෙන්. මෙවර ලෝක කුසලානයේ වැඩිම කඩුළු ලාභියා ඩිල්ෂාන් මධුසංඛ ‍අපේ ඉස්කෝලේ. ඔහු ගැන මට නිහතමානී ආඩම්බරයක් තියෙනවා” යනුවෙන් අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා කියා සිටියේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division