Home » උද්ධමනය පහතට ගෙන ඒම මහජනතාවට මහත් අස්වැසිල්ලක්

උද්ධමනය පහතට ගෙන ඒම මහජනතාවට මහත් අස්වැසිල්ලක්

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථීක විද්‍යා අධ්‍යයනාංශයේ මහචාර්ය ප්‍රියංග දුණුසිංහ

by gayan
November 11, 2023 12:30 am 0 comment

ටේ පවතින ආර්ථික අර්බුදයේ ආර්ථීක ත්‍රිත්ව හිඟයක් පවතියි. පළමු හිඟය දේශීය ඉතිරි කිරීම් සහ ආයෝජන අතර හිඟයයි. එනම්, දේශීය ඉතිරි ආයෝජන මට්ටම අතර හිඟයකි. දෙවැනි හිඟය රජයේ ආදායම සහ වියදම අතර හිඟයයි. තුන් වැනි හිඟය විදේශ ඉපයිම් ගෙවීම් අතර හිඟයයි. රටේ ආර්ථිකය ක්‍රියාත්මක වෙමින් පවතින්නේ මේ හිඟයන් තුනට මැදි වීගෙනය. පවතින ආර්ථීක අර්බුදය තුළ පැහැදිලිවම දැකිය හැකි කාරණාව වන්නේ මේ හිඟයන් තුන දිගින් දිගට පවත්වා ගෙන යෑමේ හැකියාවක් නැති බවයි. රජය ඇතුළු සියලු පාර්ශ්වයන් විසින් මේ හිඟයන් හැකිතාක් දුරකට පහත හෙළන්නට කටයුතු කළ යුතුය. රජයේ ආදායම් සහ වියදම් අතර පරතරය පියවා ගැනීමට නම් රජයේ අදායම ඉහළ දමා ගත යුතුය. ඒ සඳහා රජයේ බදු ආදායම ඉහළ දැමිය යුතුය. ඒ අනුව රජයට නව බදු පැනවීමට සිදු විය. පැවැති බදු අනුපාතිකය ඉහළ දැමීමට සිදු විය. අනෙක් පැත්තෙන් බද්දට යටත් වන ආදායම් පහළ දැමීමට සිදු විය.

එහෙත් බදු ආදායම වැඩි කිරීම ආර්ථික මට්ටම අනුව කළ හැකි සීමා පවතියි. ඒ සඳහා රාජ්‍ය වියදම අඩු කර ගැනීමට රජය යම් පියවර ගෙන ඇත. ඒ අනුව අනවශ්‍ය වියදම් කපා හැරීම, ස්වයං විශ්‍රාම ගැන්වීම, පාඩු ලැබෙන ආයතන පාඩු අවම කර ගැනීමට පියවර ගැනීම, පිරිවැය නිරූපිත මිල ගණන් ඛණිජ තෙල්, විදුලිය සහ ජලයට අදාළව මිල වැඩි කිරීමක් කර ඇත. එසේම මේ වනවිට රජයට වියදම් වැඩි කිරීමට සිදුවූ අවස්ථා ද වේ. විශේෂයෙන් සමාජ ආරක්ෂණ වැඩසටහන් යටතේ අස්වැසුම සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදු විය. කෙසේ වෙතත් පසුගිය කාලයේදී සමාජයට විශාල තෙරපුමක් විය. ආර්ථීකය කඩාවැටීමත් සමඟ ඇතිවූ උද්ධමනකාරී තත්ත්වයත් සමඟ වැටුප් වැඩි කිරීම් සම්බන්ධයෙන් විශාල ඉල්ලීම් සමාජයෙන් පැමිණීම ආරම්භ විය. මූලික වශයෙන් මේ ඉල්ලීම මතු වූයේ රාජ්‍ය අංශයේ සේවකයන්ගෙනි. අනෙක් පැත්තෙන් බදු කපා හැරීම සම්බන්ධයෙන් ඉල්ලීම් ඉදිරිපත් වීමට පටන් ගෙන ඇත.

විශේෂයෙන්ම හිඟයන් කළමනාකරණය කිරීමේදී ඒ තුළ ඇතිවන සමාජ විෂමතා හැකිතාක් දුරකට අවම වන ආකාරයට කටයුතු කිරීමට උත්සාහ කළ යුතුය. එනම්, සිදු කෙරීගෙන යන ක්‍රියාවලිය අඩපණ නොවන ආකාරයට ක්‍රියා කළ යුතුය. ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවක් ඉදිරියට කරගෙන යන තත්ත්වයක් තුළදී ආර්ථීක ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට නම් ඊට අදාළව රජය සංවේදී විය යුතුය. ආර්ථික අර්බුදයක් ඇති වූ විට රජයේ ඇතුළු සියලු සේවාවල නියැළෙන්නන්ට මේ හරහා පීඩාවක් පැමිණෙයි. ආර්ථික අර්බුදයක ස්වරූපය එයයි. අර්බුදයක් ඇති වූ විට සෑම ක්ෂේත්‍රයකම සේවකයන්ට යම් පීඩනයක් ඇති වෙයි. එය මහජනතාව තේරුම් ගත යුතුය. පවතින ආර්ථීක අර්බුදය තේරුම් ගෙන අර්ථිකය නිවැරැදි දිශානතියකට ගෙන යා යුතු අතර, ඒ පීඩාවේ මට්ටම දරා ගැනීමේ හැකියාව අනුව විතැන් කළ යුතුය.

ආර්ථිකමය හැකියාවක් ඇති අය ආර්ථික අර්බුදය තුළ වැඩි කැපවීමක් කළ යුතුය.මේ අවස්ථාවේදී පහළ ආදායම් ලබන පිරිසට වඩා ආර්ථිකමය හැකියාවක් ඇති අය වැඩි කැප කිරීමක් කළ යුතුය. එනම්, ඇති හැකි අය වඩා වේදනාවක් දරාගත යුතු අවස්ථාවකි. අද පවතින ආර්ථික අර්බුදයේ පීඩාව දැරීමේ හැකියාව මත බෙදී නොයෑමය ගැටලුවකි. බදු වැඩි කිරීම් නිසා අද වන විට සමාජයේ පහළ පන්තියට විශාල බරක් පැටවී ඇත. මෙය අවම කිරීමට රජය කටයුතු කළ යුතුය. එය කළ යුත්තේ පවතින ආර්ථික ස්ථායිතාවට හානියක් නොවන අයුරිනි. මේ වනවිට රට ආර්ථික ස්ථායිකරණයකට පත්කොට ඇත. ආර්ථික අර්බුදයෙන් පසුව විශාල වශයෙන් උද්ධමන වේගය පහළට පැමිණ තිබේ. එය 70%ක සිට 1% දක්වා පහතට ගෙන ඇත. රජය ගත් තීන්දු තීරණ නිසා ලෝකයේ අනෙක් රටවලට වඩා ඉතා ඉක්මනින් උද්ධමන වේගය ඉතා පහළට ගෙන ඒමට මෙරට ආණ්ඩුවට හැකි විය. මෙය එක්තරා අංශයකින් පහළ ආදායම්ලාභීන් ලද ජයග්‍රහණයකි. උද්ධමනය පහතට ගෙන ඒම මහජනතාවට මහත් අස්වැසිල්ලකි. සමෘද්ධිය සහ අස්වැසුමින් ලැබෙන සහනාධාරයට වඩා සහනයක් උද්ධමනය පහතට ගෙන ඒම තුළින් හිමි වෙයි. පහළ ආදායම්ලාභීන්ගේ මුදල් ඉතිරි කිරීමක් සිදු වෙයි. රජයේ නිවැරදි ප්‍රතිපත්තිමය තීරණ මත උද්ධමන වේගය අඩු කර ගැනීමට හැකි විය. රජයේ මේ ප්‍රතිපත්තිමය මැදිහත් විම ඉතා වැදගත් වේ. මේ වන විට රුපියල අවප්‍රමාණ වීම ද අඩු වී ඇත.

රජය ඉතා කෙටි කලකින් සාර්ථක ජයග්‍රහණ අත් පත් කරගෙන ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රමානුකූලව සාර්ථක වී ඇත. අස්වැසුම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වෙයි. එහෙත් මේ සියලු කරුණු කාරණා සමඟ වක්‍ර බදු හරහා ජනතාවට යම් ඉහළ පීඩාවක් ගෙන දෙන ආකාරයට බදු අය කිරීම් සිදු වෙයි. පහළ ආදායම්ලාභීන්ගෙන් 10%ක් බදු අය කරන විට ඉහළ ආදායම් ලාභීන්ගෙන් අය වන්නේ 8%ක් පමණ ප්‍රතිශතයකි. විශේෂයෙන් ශ්‍රමය මත පතිත වී ඇති බදු විශාල තෙරපුමක් ඇති කරයි. මේ ආර්ථීක අර්බුදයෙන් ගොඩ ඒමට කරන බදු ප්‍රතිපත්තිය අනෙකුත් මිල ගැළපීම් තුළ පහළ අදායම්ලාභීන්ට විශාල තෙරපුමක් ඇති කර ඇත. ආණ්ඩුව මේ තත්ත්වය වෙනස් කළ යුතුය. දැනටමත් රජය දේපොළ බද්දක් හඳුන්වා දීමට කටයුතු කිරීම වැදගත් තීන්දුවකි. විශාල බදු වංචා කරන තමන්ගේ ලාභය ගැන පමණක් හිතන ආයතන කෙරෙහි නිලධාරින් අවධානය යොමු කළ යුතුය. එනම්, අදාළ නිලධාරීන් විසින් ඇති හැකි අයගෙන් බදු අය කිරීමට කටයුතු කළ යුතුය. බදු අය කර ගැනීම් සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ට විශේෂයෙන් ප්‍රතිපත්ති සම්පාදකයන්, ආදායම් බදු, රේගු, සුරා බදු නිලධාරින්ට වගකීමක් තිබිය යුතුය. ආදායම් තක්සේරු කර ඇති හැකි අයගෙන් බදු එකතු කිරීමට දිළිඳු ජනතාවගෙන් බදු අය නොවෙන ආකාරයට මෙය වෙනස් කළ යුතුය. විශේෂයෙන්ම රුපියල් ලක්ෂයකට වඩා අඩු වැටුප් ලබන රාජ්‍ය සේවකයෝ විශාල අර්බුදයකට මුහුණ දී සිටිති. විශාල ලෙස බඩු මිල ඉහළ ගොස් තිබෙන අතර, යම් දුරකට පෞද්ගලික අංශයේ වැටුප් වැඩි වීමක් සිදු වී ඇත. රාජ්‍ය සේවයත් පවත්වා ගෙන යෑම අසීරු බව අවිවාදිතය. එහෙත් මේ අවස්ථාවේ යම් වැටුප් ඉහළ දැමීමක් සිදු විය යුතුය. ඉදිරියට රාජ්‍ය සේවය පවත්වා ගෙන ගියත් අවශ්‍ය රාජ්‍ය සේවය ඉන් ඉටු නොවේ. රාජ්‍ය අංශය අකර්මණ්‍ය වුවහොත් එම රික්තකය සඳහා පෞද්ගලික අංශයට ක්‍රියාත්මක විය නොහැකිය. රාජ්‍ය අංශයේ කිසියම් වැටුප් වැඩි වීමක් කළ යුතු වන්නේ ඒ අනුවයි. විශේෂයෙන් රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට ඇති හැකි අයගෙන් බදු අය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

ඉදිරි අය වැය ජාත්‍යාන්තර මුල්‍ය අරමුදලේ මූලික එකඟතා ආකෘති අනුව සකස් විය යුතුය. ඒ අනුව 2027 දක්වා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංවිධානය කළ යුතුය. විදෙස් ණය ප්‍රතිව්‍යුහගත යුතුය. සාර්ව ආර්ථික සමතුලිතකරණයක් ඇති කර ගත යුතුය. අයවැය හිඟය අවම කරගැනීමට අවශ්‍ය වේ. පාඩු ලබන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුය. අවශ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරණය කිරීමට කටයුතු කළ යුතුය. මූලික වශයෙන් පුළුල් ආකාරයට ආර්ථික ස්ථායිකරණය ඇති කර ගන්නා අතරම, සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත නඟා සිටුවීමට තරගකාරී ආකාරයට වෙළෙඳපොළ තුළ ක්‍රියා කිරීමට හැකි වටපිටාවක් සකස් කළ යුතුය.

එසේම රටේ අනාගත ආර්ථික ප්‍රවර්ධනයක් ළඟා කර ගැනීමට නම් ඉදිරි වසර 5ක් තුළ මානව ප්‍රාග්ධනය රට තුළ නිර්මාණය කළ යුතුය. ශ්‍රමිකයන් පුහුණු කිරීම්, නව තාක්ෂණය, නව තොරතුරු තාක්ෂණික පාඨමාලා, උපාධි හඳුන්වා දීම සිදු කළ යුතුය. ප්‍රධාන වශයෙන් අපනයන ප්‍රවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය. තරගකාරි අපනයන, නිල හරිත ආර්ථිකයක්, ඩිජිටල්කරණය වූ ආර්ථිකයක් ඇති කිරීම යන කරුණු තුනම කෙරෙහි ප්‍රමුඛත්වය දීම වඩා වැදගත් වෙයි. දිගුකාලීන අභියෝග ජය ගැනීමට සිදු වෙයි. අපනයන ආර්ථීකය ශක්තිමත් කළ යුතුය. ඒ සඳහා අවශ්‍ය වන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට අවධානය යොමු කළ යුතුය. ඩිජිටල්කරණය රාජ්‍ය අංශය ව්‍යප්ත විය යුතුය. නීල හරිත ආර්ථීකයක් ඇති කළ යුතුය. රජය පසුගිය අය වැයේදී හඳුනා ගත් වැඩසටහන් ඉදිරියට ක්‍රියාත්මක කිරීම වැදගත් වෙයි. රජය හඳුනාගෙන ඇති ප්‍රධාන ධාරාවන් සම්බන්ධයෙන් කටයුතු කළ යුතුය. පසුගිය අය වැයේ දැක්ම මේ අය වැයේදි මූලික ප්‍රවේශයේ දැක්ම ලෙස ඉදිරියට ගෙන යා යුතුය.

සංචාරක කර්මාන්තය රටේ ආර්ථිකය කෙරෙහි වඩා වැදගත් කර්මාන්තයකි. සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට කෙටිකාලීන හා දිගුකාලීන ප්‍රතිපත්ති හඳුන්වා දිය යුතුය. ආසියානු රටවල සංචාරක ප්‍රවර්ධනය සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳ සොයා බැලිය යුතුය. සංචාරකයන් ගෙන්වා ගැනීමට එම කර්මාන්තය නඟා සිටුවීමට නම් සංචාරකයන්ට මෙරටට පැමිණ සංචාරයට ඵලදායි රටක් බවට පත් කළ යුතුය. සංචාරය කිරීමට සුදුසු ස්ථාන අවස්ථාව ලබා දිය යුතුය. ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම අත්‍යවශ්‍ය වෙයි. සංචාරක ගමනාන්තයක් කිරීමට පුළුල් වූ වැඩපිළිවෙළක් සකස් කළ යුතුය. ඒ නිසා දිගුකාලීනව එවැනි දේට අවධානය යොමු කළ යුතුය. එසේම විදෙස් ප්‍රේෂණ සම්බන්ධයෙන් ගත්විට රජය හා මධ්‍යකාලීන දිගුකාලීනව ශ්‍රමිකයන් විදෙස් ගත කිරීමට මැදිහත් විය යුතු නැත. නුපුහුණු ශ්‍රමිකයන් අර්ධ පුහුණු සේවකයන් පිටරට යැවීම එතරම් සුදුසු නැත. විදෙස් සේවයට පිටරටවලට ශ්‍රමිකයන් යොමුකර දියුණු වූ කිසිදු රටක් නැත. එමෙන්ම බුද්ධි ගලනය ද රටකට එතරම් සුදුසු නැත. පිටරට යැවීම කෙටිකාලීනව සුදුසු වුවත් එය දිගුකාලීනව කිසිසේත් සුදුසු දෙයක් නොවෙන අතර, එය ප්‍රවර්ධනය කළ යුතු කරුණක් ද නොවේ. කෙටිකාලීනව මේ තත්ත්වයට ඉඩ ලබා දුන්න ද දිගුකාලීනව කිසිසේත් කළ යුතු නැත. මේ කාරණාව ප්‍රවර්ධනය කිරීමට වඩා වැදගත් වන්නේ විදෙස් ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීමයි.

එසේම බුද්ධි ගලනය තුළින් කාලයක් පුරා පරම්පරා ගණනාවක් රට ගොඩනැඟූ බුද්ධිමතුන් විදෙස් ගත වීම ශීඝ්‍රයෙන් සිදු වෙයි. එයින් බුද්ධිමතුන් අනාගතයේ රටට ඉතිරි නොවෙයි. ජාතියට හිමිවිය යුතුව ඇති දක්ෂයන් රටට අහිමි වෙමින් පවතියි. ඒ රික්තය පුරවා ගැනීමට බොහෝ කාලයකට යළි මෙරටට නොහැකි වනු ඇත. ප්‍රතිපත්ති සම්පාදකයන් මෙය තේරුම් ගත යුතුය. පරම්පරා ගණනාවක් පුරා ගොඩනැඟූ දක්ෂතා වෙනත් රටවලට යැවිය යුතු ද යන්න ගැටලුවකි. එබැවින් මේ තත්ත්වය හොඳින් වටහා ගෙන අපේ රටේ වටිනා මානව සම්පත් රැකගත යුතුය. අපේ මානව ප්‍රාග්ධනය රටේ දියුණුව වෙනුවෙන් මෙහෙයවා රටේ ආර්ථිකය ගොඩනැඟීමට ඔවුන්ගේ ශ්‍රමය සහ බුද්ධිය උපයෝගි කොට ගත යුතුය.

සුභද්‍රා දේශප්‍රිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division