පාසල් 10,126ම සුහුරු පාසල් කරමින් ඉංග්‍රීසියෙන් ඉගැන්විය යුතුයි
– විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
පාසල් 10,126ම සුහුරු පාසැල් කරමින් ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම සිදු කළ යුතු බව විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඉකුත්දා උඳුගොඩ අර්ෆා විදුහලේදී පවසා තිබුණි. අපේ රටේ අධ්‍යාපනය සිදුවිය යුත්තේ ඉංග්‍රීසියෙන් යැයි පැවසීමට සෙසු පුද්ගලයන් මෙන් තමා බිය නොවන බව පැවසූ විපක්ෂ නායකවරයා, බංකොලොත් රටේ මේ මොහොතේ හෝ ලොව දිනන පුරවැසියන් බිහිකරන ගමන ඇරැඹිය යුතු බව ද එහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස පැවසුවේ රටේ අධ්‍යාපන ක්‍රමය නවීන තාක්ෂණය පදනම් කරගත් සුහුරු අධ්‍යාපන ක්‍රමයක් විය යුතු බවත් සුහුරු රටක් ගොඩනැඟීම වෙනුවෙන් තමා කැප වෙන බවත්ය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සිළුමිණ මත විමසුමක් කළ අතර, මේ ඒ පිළිබඳ පළ වූ අදහස්ය.
අන්තිමට ඉංග්‍රීසි නැති සිංහලත් නැති ජාතියක් බිහි වේවි
– අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායේ මහනායක රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති තිරිකුණාමලේ ආනන්ද මහ නාහිමි
රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම දීර්ඝ කාලයක් තිස්සේ වළපල්ලට යැවීමේ ප්‍රතිඵලයක් ලෙස තමයි මෙවැනි කරුණු මතු වන්නේ. රටක දේශීය භාෂාවට ප්‍රමුඛත්වයක් නොදී විජාතික මානසිකත්වයක් යටතේ කටයුතු කළ නොහැකියි. ජාතියකට සංස්කෘතියක් අනන්‍යතාවයක් තියෙනවා. ඒ සියල්ල මේ හරහා වැනසී යන්නට පුළුවන්.
ඒ වගේම සැමට සමාන අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. නමුත් මෙවැනි ක්‍රමයක් හරහා නිදහස් අධ්‍යාපනයට විශාල බලපෑමක් එල්ල වනවා. රටේ වැඩි සිසුන් සංඛ්‍යාවක් ඉන්නේ ග්‍රාමීය ජන කොටස් අතරේ. එයාලට උගන්වන්න සුදුසුකම් ලත් ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරුන් නැහැ. අන්තිමට දරුවන්ට සිංහලත් නෑ ඉංග්‍රීසිත් නෑ. අංග විකල ජාතියක් බිහි වේවි. ජනාධිපතිතුමා බුද්ධිමත් අයෙක් නිසා මේ වගේ අඥාන තීරණවලට යොමු වෙන එකක් නැහැ කියලා මම හිතනවා.
රටක මිනිසකු බිහි වන්නේ භාෂාවෙන් හා ඒ භාෂාවේ ඇති ගුණාංග අනුවයි. ඒ හරහා ඔවුන්ගේ සාරධර්ම බිහිවන්නේ. එවන් මවු භාෂාව පසෙක ලමින් මිනිසාගේ නිර්මාණ රටාව වෙනස් කිරීමට එක්වරම කටයුතු කිරීමෙන්, කෙටි මාර්ග සෙවීමෙන් විශාල ඛේදවාචකයක් ඇති වෙන්න පුළුවන්.
දරුවන්ගේ මනස වර්ධනයට කුඩා කාලයේදී මවු භාෂාව නිසි පරිදි ඉගැන්විය යුතුයි. ඒ අධ්‍යාපනයේ මූලධර්ම හරහා තමයි ජාතියක් නිර්මාණය වන්නේ. එම නිසා මවු භාෂාවෙන් ඉගැන්වීම කළ යුතුමයි. අද අපේ රටේ දරුවන් සාහිත්‍යයෙන් ඈත්වීම නිසා තමයි රටේ සාරධර්ම පිරිහිලා තියෙන්නෙ. ඒ අතරේ සිංහල භාෂාව පසෙක ලමින් ඉංග්‍රීසි භාෂාවෙන් එම කාර්යය සිදු කරන්නට යාම අනුවණකමක් බව පෙන්වා දිය යුතුමයි.
ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ ප්‍රවීණතාව වැඩි කළ යුතුයි. ඉංග්‍රීසි දැනුමින් දූ දරුවන් පරිපූර්ණ කළ යුතුයි. එය අන්තර්ජාතික කටයුතු වෙනුවෙන් කළ යුතු අනිවාර්යය කාර්යයක්. එය වෙනම කතාවක්. නමුත් මවුභාෂාව අමතක කර වෙනත් මාධ්‍යකින් එම කටයුතු හැසිරවීම අපේ සංස්කෘතිය දේශීයත්වය සාරධර්ම පාගා දැමීමක් බව පෙන්වා දිය යුතුයි.
මවු භාෂාවට මුල් තැනක් ලබා දිය යුතුයි
– කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අග්ගමහා පණ්ඩිත මහාචාර්ය කොටපිටියේ රාහුල අනු නාහිමි
අපේ රටේ කාලාන්තරයක් තිස්සේ අධ්‍යාපන ගමන් මාර්ගයේ තිබෙන ක්‍රමවේදය ගැන අපි අවධානය යොමු කළ යුතුයි. එම නිසා මෙවැනි කාර්යයක් එක් වරම කරන්න අමාරුයි. ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබූ ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලබා දිය හැකි ගුරුවරුන් සීමිත පිරිසක් පමණයි අපේ රටේ ඉන්නෙ. එවැනි තත්ත්වයක් හමුවේ නාගරික සිසුන් හා ගම්බද සිසුන් අතර ලොකු අධ්‍යාපන පරතරයක් ඇති වෙනවා.
එම නිසා මෙවැනි කාර්යයත් සිදු කිරීමට පෙර ඒ වෙනුවෙන් අවශ්‍ය පසුබිම පළමුව සකස් කළ යුතුයි. ආචාර්යවරුන්ට යම් කාලසීමාවක් ලබා දී එම දිනයෙන් පසුව මෙවැනි ක්‍රමයක් ක්‍රියාත්මක කරන්නේ නම් එය සාර්ථක කර ගැනීමට පුළුවන්.
ඒ වගේම අද රටේ ඉන්න විවිධ විෂයයන් උගන්වන ගුරුවරුන්ට ඉංග්‍රීසි අලුතෙන් ඉගෙන ගැනීමට පහසුකම් නැහැ. ඒ වගේම තවත් ගුරුවරු වයෝවෘද්ධයි ඔවුන්ට යළි අධ්‍යාපනය ලැබීමට කාලයක් නැහැ. හැකියාවක් නැහැ. එවැනි ගැටලු රැසක් තියෙනවා. ඒ වගේම මවුබසට හානියක් වෙන ආකාරයට අපට කටයුතු කරන්න බැහැ. එය මවුබසට කරන හානියක්.
ඉංග්‍රීසි අධ්‍යාපනයෙන් රැකියා අවස්ථා වැඩි වේවි. අන්තර්ජාතික සබඳතා වැඩියෙන් තහවුරු කර ගන්න පුළුවන්. ඉංග්‍රීසි මාධ්‍යය හරහා දැනුම වැඩි කර ගන්න පුළුවන් වේවි. ඒ සදහා කටයුතු කිරීම වෙනමම කාර්යයක්
ඉන්දියාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දෙනවා වගේම හින්දි භාෂාව පුමුඛත්වයේ ලා සැලකෙනවා. ලෝකයේ අනෙක් රටවල් ද එහෙමයි.
ජපානයේ ජපන් භාෂාවට අමතරව ඉංග්‍රිසි භාෂාව ඉගෙන ගත්තත් ඔවුන් සැම විටම මවු භාෂාවට මුල් තැනක් ලබා දෙනවා, චීනයත් එහෙමයි. රුසියාවේ රුසියන් භාෂාවටයි මුල් තැනක් දෙන්නේ. ඒ වගේම ප්‍රංශයේ ප්‍රංශ භාෂාවටත් ස්විට්සර්ලන්තයේ ස්විස් භාෂාවටත් මුල් තැන ලබා දෙනවා.
මේ විදිහට ඒ දියුණු රටවල් සියල්ලම වගේ තව මවුභාෂාවෙන් කටයුතු කරන්නේ. එහෙම කටයුතු කළා කියලා ඔවුන්ට දියුණු වෙන්න අපහසුවක් ඇති වෙලා නැහැ.
කවුරු හරි ඉංග්‍රීසි නොදැනීම මදිකමක් ලෙස දකිනවා නම් ඒක හීනමානයක් පමණයි.
ඇත්තෙන්ම අප වඩාත් අවධානය යොමු කළ යුත්තේ ඉංග්‍රීසි භාෂාවට වඩා දෙමළ භාෂාව ඉගැන්වීටමයි. එසේ කටයුතු කරන්නේ නම් එය උතුරු දකුණු සහයෝගිතාවට හොඳ පාලමක් වේවි.
ඉංග්‍රීසි මාධ්‍යයෙන් කටයුතු කිරීමට පළමුව ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කළ යුතු වෙනවා. එකපාර මේක කණපිට හරවන්න බැහැ.
ඉංග්‍රීසියෙන් කටයුතු කිරීම ජාත්‍යන්තර සබඳතාවලට වැදගත්
– හිටපු ජාතික කතෝලික අධ්‍යාපන අධ්‍යක්ෂ හා පෞද්ගලික පාසල් සාමාන්‍යාධිකාරි අයිවන් පෙරේරා පියතුමා
ලෝකයේ මානව වර්ගයා දැන් විශ්ව සංකල්පයක් සමඟ ගමන් කරන තත්ත්වයකයි ඉන්නේ. ඒ අනුව අපට අන්තර්ජාතිකව කටයුතු කිරීමට නම් ඉංග්‍රීසි භාෂාව අනිවාර්යෙන්ම අවශ්‍ය වනවා.
විශේෂයෙන්ම ලෝකයම එකම ගමක් ලෙස දැන් හඳුන්වන නිසා එම නිපුණතාවෙන් යුක්ත පරපුරක අවශ්‍යතාව අපට මතුවෙලා තියෙන්නෙ. ඒ උදෙසා ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු කිරීම පහසුයි. එමෙන්ම අලුත් විෂය කරුණු විෂය දැනුම අපට උකහා ගන්නත් පුළුවන්.
ඒ කෙසේ නමුත් අපේ සංස්කෘතිය රැඳිලා තියෙන්නෙ අපේ මවු භාෂාව මත බව අප සිහි තබා ගත යුතු වෙනවා. අපේ තියෙන ගුණාංග ආරක්ෂා කරගෙන සියලු කටයුතු කළ යුත්තේ. මවු භාෂාව මතයි. විශේෂයෙන්ම වැඩිහිටියන්ට ගරු කිරීම වගේ ආකල්ප ඇතැම් රටවල නැහැ. තිබුණත් අපේ රටේ තරම් ගුණගරුක ප්‍රතිපත්ති අනුව නෙමෙයි. එවැනි ආකල්ප ගුණාංග අනෙක් ජාතිකයන් සතුව තියෙනවා නම් අපත් ඒවා ඉගන ගත යුතුයි. ඒ සඳහා ඉංග්‍රීසි භාෂාව වැදගත් බව සිහි තබා ගත යුතු වෙනවා.
ඉංග්‍රීසි පමණක් නොවේ. චීන, ප්‍රංශ වගේ භාෂාවන් ඉගෙන ගැනීමත් අපට ඉතාම වැදගත් වනවා. දැනුම වර්ධනය වීම තුළින් ලෝකයත් සමඟ ගනුදෙනු කිරීම අපට වඩාත් පහසු කරවනවා. ඒත් ඒ සියල්ල කළ යුත්තේ අපේ අනන්‍යතාව රැකගෙනයි. භාෂාව කියන්නේ දෙදෙනෙක් අතර අදහස් හුවමාරු කරන මාධ්‍යයක් වගේ පෙනුණත් ඒ හරහා හුවමාරු වන්නේ අදහස්ම පමණක් නොවේ. ඒ ඔස්සේ ඒ ජාතියේ ඇති සියලු ගුණාංග අනෙක් ජාතිකයාට හඳුනා ගන්න පුළුවන්. ඒ වෙනුවෙන් ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවක් දැන ගැනීම වැදගත් වුවත් මවුබසට නිසි තැන ලබා දිය යුතු වෙනවා.
අප කළ යුත්තේ ඉංග්‍රීසි බසට මුල් තැනක් ලබා දුන්නත් අනිවාර්යෙන්ම තම ස්වභාෂාවට නිසි තැන ලබා දී තම ජාතික අනන්‍යතාව රැකගෙන කටයුතු කිරීමයි. එසේ කළහොත් අපට එයින් කිසිදු ආකාරයක ගැටලුවක් මතු වන්නේ නැහැ. අපට අන්තර්ජාතික කටයුතු මෙන්ම අපේ ගමන් මගත් පහසු වෙනවා.
සිංහල භාෂාව වඳ වේවි
– හෙළ හවුලේ නායක ශ්‍රීනාත් ගණේවත්ත
රටක මවු භාෂාව කියන්නේ තවත් සන්නිවේදනයට යොදා ගන්නා මාධ්‍යක් භාෂාවක් පමණක් නොවේ. ඒ හරහා තමයි ඒ රටේ සංස්කෘතිය ලෝකයට යන්නේ.
මේ නිසා සිංහල හා දෙමළ මවු භාෂාවන්ගෙන් මේ රටේ අධ්‍යාපනය කටයුතු කළ යුතුමයි. එය පාසල් අධ්‍යාපනයේ සිට උසස් පෙළ දක්වා අනිවාර්යෙන්ම කළ යුත්තක්.
එමෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය පවා සිංහල හා දමිළ මාධ්‍යයෙන් කළ යුතුමයි. ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ කිසිදු ආකාරයක වරදක් අප දකින්නේ නැහැ. එය කළ යුත්තක්. නමුත් මවු බසින් කළ යුත්ත දෙවන බසකින් සිදු කිරීම අනුමත කරන්න බැහැ.
එයින් අපේ මවු බස නැසෙනවා. අපේ රටේ මවුභාෂාවන් දෙකෙන් ඒ දූ දරුවන්ට අනිවාර්යෙන්ම අධ්‍යාපනය ලබා දිය යුතුමයි.
රටක භාෂාව රඳා පවතින්නේ එය භාවිත වන තරමටයි. එය භාවිත නොවීම හරහා සංස්කෘතියත් නැති වෙලා යනවා. ඉන්දියාවේ සංස්කෘත භාෂාව අතීතයේ සිට කාලාන්තරයක් කතා වහරේ ඇති භාෂාවක් ලෙසින් භාවිත වුණා. ඒත් අද එක් ප්‍රාන්තයක සුළු පිරිසක් පමණයි සංස්කෘත භාෂාවක් ලෙස භාවිත කරන්නේ. සංස්කෘත පොත්පත් තියෙනවා. පොත්පත් පමණක් තිබිලා වැඩක් නැහැ. භාෂාව භාවිත නොකිරීමෙන් වෙන්නේ ඒ භාෂාව වඳ වීමයි.
ඒ වගේම බුදු රජාණන් වහන්සේ ධර්මය දේශනා කළ මාගධී භාෂාව අද නැත්තටම නැතිවෙලා ගිහින්. ඒ භාවිතය අඩු වීමෙන් වූ ප්‍රතිඵලයක්.
අදටත් ජාත්‍යන්තර පාසල්වල ඉගැන්වීම් කටයුතු කරන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඒ හරහා සමාජයෙන් අපේ සංස්කෘතිය දුරුවෙලා තියෙන්නෙ. ජාතික අභිමානය, දේශානුරාගය නැති මනුස්ස රූප ටිකක් විතරයි අවසානයේ අපට ඉතිරි වෙන්නේ. එවැනි මනුස්ස රූපවල ඔළුවලට ඕනෑම දෙයක් දාන්න පුළුවන්. ගෝලීයකරණය වැනි සංකල්ප හරහා මේ අයගේ මනස දේශීයත්වයෙන් බැහැර වනවා.
අද වන විට ඉහළ අධිකරණයන්හි වැඩ කටයුතු සිදු වෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්, ඒ අනුව අධිකරණයෙන් සේවාව ලබා ගන්න ඉංග්‍රීසි භාෂාව ගැන දැනුමක් තිබිය යුතුයි. මවු භාෂාවෙන් ඔහුට සේවාව ලබා ගැනීමට නොහැකි වනවා. එයින් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් පවා අහිමි වනවා.
මවු බසින් ඉගැන්වීම කියන්නේ මවු කිරි දීම හා සමාන ක්‍රියාවක්. අපි සිංහලෙන් අධ්‍යාපනය ලැබීම හීනමානයක් ලෙස සිතන තත්ත්වයට පත්වෙලා නම් එතනම සිංහල ජාතියේ පිරිහීම ආරම්භ වෙලා කියලයි කියන්න වෙන්නේ.
මට පේන්නෙ මේක අන්තර්ජාතික කුමන්ත්‍රණයක කොටසක් වගේ කියලයි.
තාරක වික්‍රමසේකර