ජනතා විමුක්ති පෙරමුණේ සමාරම්භක නායක රෝහණ විජේවීර ඝාතනයට ලක්වී 2023 නොවැම්බර් 13 වැනිදාට වසර 34කි. ඒ වෙනුවෙන් 34 ඉල්මහ විරු සමරු වැඩසටහන් ගණනාවක් රට පුරා ස්ථාන රැසකදී පැවැත්විණි.
රෝහණ විජේවීරගේ අවසාන දින කිහිපය ගැන වඩාත් හොඳින් දන්නා පිරිස සිවුදෙනෙකි. ඒ විජේවීරගේ බිරිය චිත්‍රාංගනී විජේවීර, අවසානයේ ජීවත්වීමට ‘වාසනාව’ ලැබූ එකම දේශපාලන මණ්ඩල සභිකයා වූ සෝමවංශ අමරසිංහ, නිවෙසේ සේවය කළ ඒකනායක අංකල් සහ කළුතර ‘අක්කාය’. ඒකනායක අංකල් නොහොත් අනුරාධපුර පදවියේ සයිමන් 2006දී මිය ගියේය.
චිත්‍රාංගනී මොරටුව විල්ලෝරාවත්තේ උපන් අතර පියා වූ සැමුවෙල් වික්ටර් වාම දේශපාලනයේ ක්‍රියාකාරිකයෙක් වන කලක් මොරටු උප නගරාධිපතිවරයා විය. වෘත්තියෙන් ගුරුවරයෙකි. සය දෙනෙක්ගෙන් යුත් පවුලේ බාලයා වූයේ චිත්‍රාංගනීය. ඇයගේ සොහොයුරන් වූයේ ගුරු සංගම් නායකයකු වූ එච්.එන් ප්‍රනාන්දු (හේම නලීන්), වෛද්‍ය චන්ද්‍රා, තිලක් සහ සරත්ය. සොහොයුරිය ශිරන්ති මල්ලිකාය.
වසර 1979 දෙසැම්බර් 24 හෝ ඒ ආසන්න දිනයකදී සිය අයියා වූ සරත් ප්‍රනාන්දුගේ නිවෙසේදී රෝහණ විජේවීර වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා තිබිණි. එවිට රෝහණ කියා ඇත්තේ කිහිපවරක් තමා චිත්‍රාංගනී දැක ඇති අතර ඇය විවාහ කරගැනීම සඳහා කැමති බවය. ඒ පිළිබඳ ගෙදර අය 1980 පෙබරවාරි 13වැනිදා මොරටුවේදී රැස්වී සාකච්ඡාවක් ද කළෝය. තමාට වඩා රෝහණ වයස අවුරුදු 13කින් වැඩිමහල් නිසා එම යෝජනාවට චිත්‍රාංගනීගේ ද මනාපයක් තිබුණේ නැත.
රෝහණ සිය අනාගත මනමාලිය බලන්නට 1980 මාර්තු 7වැනිදා මොරටුවට පැමිණියේය. රෝහණ සිය පළමු ප්‍රශ්නය ලෙස චිත්‍රාංගනීට යොමු කළේ තමාට බයවී හැඬුවේ ඇයි ද යන්නය. එවිට චිත්‍රාංගනීගේ ප්‍රතිඋත්තරය වූයේ බයවී ඇඬුව ද දැන් කැමති බවය. රෝහණ සහ චිත්‍රාංගනීගේ මංගල උත්සවය 1980 මාර්තු 26වැනිදා මොරටු නිවෙසේදී පැවැත්විණි. චිත්‍රාංගනී උපතින් සිංහල ක්‍රිස්තියානි (මෙතෝදිස්ත) වුව ද රෝහණ බෞද්ධයෙක් බැවින් පල්ලියේ උත්සව තිබුණේ නැත. චිත්‍රාංගනී 1956 අප්‍රේල් 21වැනිදා උපන් අතර පටබැදිගේ දොන් නන්දසිරි විජේවීර (රෝහණ) ඉපදී තිබුණේ 1943 ජුලි 14 වැනිදාය. චිත්‍රාංගනීගේ මව වූ චාලට් ද පියා වූ සැමුවෙල් වික්ටර්ට වසර 16කින් වයසින් ලාබාලය.
විවාහයෙන් පසු පවුලේ ගැටුමක් ඇති වූයේ 1980 ජුලි වර්ජනයත් සමඟය. ජවිපෙ ජුලි වර්ජනයෙන් කර ඇරීමට තීරණය කර අතර ජවිපෙ නිල නොවන සංවිධානයක් වූ ලංකා ගුරු සංගමය එයට එක්වීමට තීරණයක් ගෙන තිබිණ. තංගල්ල නිවෙසේ පැවති ජවිපෙ සාකච්ඡාවකදී මෙම තීරණය අනාවරණය වූ අතර මස්සිනා වූ එච්. එන්ගේ තීරණය ජවිපෙ තුළ තමා කොන් වෙන වැඩක් බවට රෝහණ විජේවීර විසින් චිත්‍රාංගනීට අවධාරණය කළේය. මේ පිළිබඳව සාකච්ඡා කිරීමට වහාම චිත්‍රාංගනීගේ සොහොයුරන් වන වෛද්‍ය චන්ද්‍රා, සරත්, සොහොයුරිය ශිරන්ති මල්ලිකා ඇතුළු පවුලේ සියලු දෙනාම මොරටුව ගෙදරට විජේවීර විසින් කැඳවා තිබිණි. සොහොයුරිය ශිරන්ති මල්ලිකා ගැටුම සමථයකට පත්කිරීමට උත්සාහ කළ ද අසීරු විය. චිත්‍රාංගනීගේ පියා වන සැමුවෙල් වික්ටර් විසින් 1941 සිට පදිංචිව සිටි එම නිවස ඔහු 1975 සැප්තැම්බර් 9වැනිදා මියයන විට ද කිසිවකුට භුක්තිය පවරා තිබුණේ නැත.
කළු ජූලිය 1983 ජුලි 24 ආරම්භ වීමෙන් පසු 1983 ජුලි දෙමළ සංහාරය පිළිබඳව එල්ල වූ විවේචනවලට ප්‍රතිඵලයක් වශයෙන් එය ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණයක් බවට හංවඩු ගසමින් 1983 ජුලි 30 වැනිදා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු වාමාංශික පක්ෂ 3ක් රජය විසින් තහනම් කරන ලදී. මෙම හේතුව නිසා ජවිපෙ යළි රහසිගත දේශපාලනයට යොමු වන්නට සිදුවිය.
ජවිපෙ තහනම රෝහණට සැලවූයේ 1983 ජුලි 29 දහවල්ය. අසල්වැසි නිවෙසක සිටි දිමුත් මල්ලී අත පණිවිඩයක් යවන රෝහණ ජවිපෙට අයත් කැබ් රථයෙන් චිත්‍රාංගනී සහ දරු දෙදෙනා සමඟින් තංගල්ල බලා පිට විය. නිවසේ කිසිවෙකු නොසිටි බැවින් සියල්ල වසා යතුරු දමන ලදී. සෝමවංශ අමරසිංහ ද ගමනට එක් වූ අතර කළුතර දී ඔහු බැස ගියේය. චිත්‍රාංගනී සහ දරුවන් දෙදෙනා රෝහණගේ මව වන නැසිනෝනා වික්‍රම කළුතොටට බාරදුන් රෝහණ, ආනන්ද මල්ලීට සහ චිත්‍රානි නැගණියට ඔවුන්ව හොඳින් බලා ගන්නා ලෙස කියමින් තංගල්ල නිවෙසින් පිටව ගියහ. රෝහණගේ මාතර කෝට්ටේගොඩ මුල් නිවෙසේ පදිංචිව සිටියේ ඔහුගේ තාත්තාගේ කනිටු සොහොයුරාය.
ජවිපෙ තහනමින් පසු 1983 අගෝස්තු මුල් සතියේදී තංගල්ල පොලිසිය, පොලිස් මූලස්ථානය, ජාතික රහස් ඔත්තු සේවය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් 7වරකට වඩා පැමිණ රෝහණ විජේවීර පිළිබඳව චිත්‍රාංගනීගෙන් ප්‍රකාශ සටහන් කර ගත්හ. රහස් පොලිසියේ පොලිස් පරික්ෂකවරයෙක් ඇතුළු කාන්තා නිලධාරිනියන් දෙදෙනකු විසින් 1983 අගෝස්තු 11වැනිදා තංගල්ල නිවෙසට වෑන් රථයකින් පැමිණ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා රහස් පොලිසියේ හතරවන තට්ටුවට චිත්‍රාංගනීව ගෙනයන ලදී. ඇය සමඟ රෝහණගේ මල්ලී ආනන්ද ද තංගල්ල නිවෙසේ හැදී වැඩුණු 15 හැවිරිදි චූටි නොහොත් දැසමනී දැරිය ද, චිත්‍රාංගනීගේ දරු දෙදෙනා ද එම ගමනට එක්වූහ.
මොරටුවේ නිවෙසට එදින රාත්‍රියේ ඔවුන් ගෙන ආ අතර එදින එම නිවෙසේ සිට පසුදා රහස් පොලිසියට කැඳවා ගෙන යෑමට පොලිසිය පැමිණ තිබිණි. චිත්‍රාංගනී 1983 ජුලි 29වැනිදා වසා දැමූ නිවෙසට යළි පැමිනුණේ 1983 අගෝස්තු 11වැනිදාය. පසුදින නිවෙස මුළුමනින් වසා දමා වෑන් රථයේ නැඟී කට උත්තරය දීමට රැගෙන යන ලදී. දීර්ඝ කට උත්තරයක් සටහන් කරගත් අතර එදින පස්වරු 1ට කොටුව බස් නැවතුම්පොළේ තංගල්ල බස්රථයට ඇරලවන ලදී. යළි ඔවුහු තංගල්ල නිවෙසට පැමිණියහ. චිත්‍රාංගනීගේ අයියා වන සරත් 1984 දෙසැම්බර් තංගල්ලේ නිවෙසට පැමිණියේ චිත්‍රාංගනී සහ දරුවන් බ්‍රිතාන්‍යයේ සිය නිවෙසට රැගෙන යෑමටය. ඒ සඳහා චිත්‍රාංගනී සහ දරුවන් බෙලිඅත්ත ඡායාරූප ශාලාවකදී ගුවන් බලපත්‍රය අවශ්‍ය ඡායාරූප ද ගත්තේය. එහෙත් චිත්‍රාංගනීට සහ දරුවන්ට බ්‍රිතාන්‍යයට යෑමට විජේවීරගේ අනුමැතිය හිමි නොවීය.
සිය දරු දෙදෙනා වන 1981 ජනවාරි 12වැනිදා උපන් දසුන් ඊසා සහ 1982 අප්‍රේල් 5වැනිදා උපන් සුපුන් චාගා ද සමඟින් රෝහණ ගේ භූගත දේශපාලනයට 1984 අප්‍රේල් 29වැනිදා සිට එක්වීමට චිත්‍රාංගනීට සිදු විය. ප්‍රථමයෙන් හල්දුම්මුල්ලේ හාල්ඇටතැන්නේ නිවෙසක ද 1987 ජුලි මස සිට බණ්ඩාරවෙල නෙළුව ලෙව්ගොඩවත්තේ ද 1988 සැප්තැම්බර් 1වැනිදා සිට 1989 නොවැම්බර් 12වැනිදා තෙක් උලපනේ ශාන්ත මේරි වත්තේ ද පදිංචිව සිටියහ. ඒ අතරතුර පාදුක්කේ මීගොඩ සහ බණ්ඩාරගම උපතිස්ස ගමනායක නිවෙසේ ද මාසය බැගින් ගත කර තිබිණි. මෙම කාලය තුළ නිවෙසේ කටයුතුවල සහායට ජවිපෙ සාමාජිකාවන් වූ මාතර රමණි සහ තංගල්ලේ කාන්ති ද පසුව මැණිකේ නොහොත් කළුතර අක්කා ද හම්බන්තොට චමිලා සෙව්වන්දි ද එක්වී තිබිණි. චිත්‍රාංගනීගේ ව්‍යාජ නම වූ සමරකෝන් නමට 15 ශ්‍රී 7920 මිට්ෂුබිෂි ලාන්සර් රථය රුපියල් 220,000කට ද අක්කර 5කින් යුත් උලපනේ ශාන්ත මේරි වත්ත රුපියල් 375,000කට ජවිපෙ මගින් මිලදී ගෙන තිබිණි.
තෙවන දියණිය මායා විභූති 1984 ජුලි 24වැනිදා බදුල්ල මහ රෝහලේදී ද සිවුවන දරුවා වූ අමා සසරි 1987 ජනවාරි 20 වැනිදා හල්දුම්මුල්ලේ හාල්ඇටතැන්න රෝහලේදී ද පස්වැනියා වූ උවිදු විදුර 1988 මැයි 20 වැනිදා බදුල්ල නර්සිං හෝම්හිදී ද උපන්නේය. චිත්‍රාංගනී 1989 නොවැම්බර් 19වැනිදා හමුදාවට බාරවන විට ගැබිනියක් වූ අතර එම 6වැනි දරුවා වූ සුපුල් උපන්නේ 1990 මැයි මසදීය. රෝහණගේ සිවුවන දරුවා වූ අමා ඉපදුණු පසු රජයේ හල්දුම්මුල්ල රෝහලේ වෛද්‍යවරයා චිත්‍රාංගනීට යෝජනා කළේ පවුල් සැලසුම් ක්‍රමවේදයක් වූ එල්. ආර්. ටී. සැත්කම අවශ්‍ය නම් සිදුකර ගන්නා ලෙසය. එය වෛද්‍යවරයකු ලබාදෙන සාමාන්‍ය උපදේශයකි. මේ පිළිබඳව චිත්‍රාංගනී කළ විමසීමේදී රෝහණ කියා සිටියේ තමාට දරුවන් සම්පතක් වන අතර දරුවන් 12දෙනෙකුගේ පියකු වීම තම අපේක්ෂා බවය.
රෝහණ විජේවීර දේශපාලන කටයුතු සඳහා මසකට දෙවරක් හෝ තෙවරක් අවසාන වශයෙන් පදිංචිව සිටි උලපනේ ශාන්ත මේරි වතුයායේ නිවෙසින් පිටතට වාහනයකින් යනු ලබයි. එසේ ගිය විට නිවෙසට යළි එන්නේ දින 7ක් හෝ 10ක් ගත කරය. රෝහණ අවසාන වරට නිවෙසින් පිටවූයේ 1989 නොවැම්බර් 8වැනිදා උදෑසනය. රෝහණ යළි නිවෙසට පැමිණියේ 1989 නොවැම්බර් 11වැනිදා උදේ 10ට පමණය. එවැනි කෙටි දිනකින් යළි පැමිණි ප්‍රථම වතාව එය විය. ඔහු පැමිණියේ සමන් පියසිරිගේ රථයෙන් වූ අතර ගමනායක ද එහි විය.
(සෝමවංශ අමරසිංහගේ ප්‍රකාශ කර ඇති අන්දමට ජවිපෙ දේශපාලන මණ්ඩලය විජේවිරගේ නායකත්වයෙන් තිබුණේ 1989 නොවැම්බර් 11,12 සහ 13 යන දිනයන්හි ගලහ නිවෙසේදී ය. ඒ වන විට දේශපාලන මණ්ඩලයේ ඩී. එම්. ආනන්ද 1989 ඔක්තෝබර් 29 වැනිදා රත්නපුරයේදී ද ගුණරත්න වනසිංහ 1989 නොවැම්බර් 10 වැනිදා කොට්ටාව නිවෙසේදී අත්අඩංගුවට ගෙන සිටි අතර ආනන්දගේ අත්අඩංගුව ඔවුන් දැන සිටිය ද වනසිංහ අත්අඩංගුවට ගැනීම වාර්තා වී නොතිබිණි. නෙළුව වතුයායේ ජවිපෙ රහසිගත නිවෙස හමුදාව මඟින් 1989 නොවැම්බර් 9 වටලා සියලු දෙනා අත්අඩංගුවට ගෙන තිබුණු බව දැන ගත්තේ දේශපාලන මණ්ඩල රැස්වීම නොවැම්බර් 11 ආරම්භ වූ විටය. එබැවින් අනාරක්ෂිත තත්ත්වය හේතු කොටගෙන නොවැම්බර් 12 පෙරවරු 11ට ආරක්ෂක පියවරක් වශයෙන් දේශපාලන මණ්ඩල රැස්වීම නිමාවට පත්කරන ලදී. එහෙත් චිත්‍රාංගනී කියන්නේ විජේවීර යළි නිවෙසට පැමිණියේ නොවැම්බර් 11 උදෑසන බවය.)
වසර 1989 නොවැම්බර් 11 උදෑසන නිවසට පැමිණි විජේවිර සාලයේ වාඩිවී ගමනායක සහ සමන් පියසිරි සමඟ උණුසුම් සාකච්ඡාවක විනාඩි 45ක් පමණ නිරත විය. එහිදී දේශපාලන මණ්ඩලයේ සාමාජික රෙජී (සෝමවංශ) අවසන් සාකච්ඡා දෙකටම සහභාගි නොවූ බැවින් ඔහු පිළිබඳව හැකි ඉක්මනින් සොයා බලා වාර්තා කිරීමේ වගකීම ඔවුන්ට පැවරූ බව චිත්‍රාංගනී පවසන්නීය. ඉන්පසු ගමනායක සහ සමන් පියසිරි නික්ම යන ලදී. මෙවැනි උණුසුම් සාකච්ඡාවක් මින් පෙර රෝහණ සමඟ ඇතිවූයේ අනුරාධපුර හිටපු දිසා ලේකම් සහ මධ්‍යම කාරක සභික සිසිර රන්දෙණිය සමඟ ඩන්සින් වතුයායේ නිවෙසේදීය.
රෝහණ 1989 නොවැම්බර් 11වැනදා සවස පුවත්පත් බැලුවේය. රෝහණ කෑමට ප්‍රිය කළේ රතු කැකුළු බත්, ඇඹුල් තියල් කරන ලද බලමාළු, කට්ට සම්බල් හෝ පොල් සම්බල්ය. එළවළු තම්බා කෑමට ද ප්‍රමුඛත්වය දුන් අතර මස් කෑවේ ඉඳහිටය. නිවෙසේ කිකිළියන් 12ක් පමණ ඇති කළ අතර ඔවුන්ගේ බිත්තර ද ටවුමේ කඩයට අළෙවි කර මුදල් ගත්තේ ඒකනායක අංකල්ය. ඒ රෝහණ සහ දරුවන් සතියකට අනුභව කළේ එක් බිත්තරයක් බැවිනි. අතුරුපසට බොහෝවිට ගත්තේ දිවුල් කිරි හෝ ගස්ලබුය.
වත්ත පිටිය බලා ගැනීම සහ මුර වැඩේ සිදු කළේ ඒකනායක අංකල්ය.(ඒකනායක අංකල්ට ඒ වන විට වයස 55කි. අනුරාධපුර පදවියේ පදිංචි දෙදරු පියකු වන ඔහුගේ සැබෑ නම සයිමන්ය. වෘත්තියෙන් ගොවියෙකි. ජවිපෙට 1970 ශ්‍රිපුරෙන් සම්බන්ධවන සයිමන් 71 කැරැල්ලේදී අත්අඩංගුවට ගත් අතර පසුව පුනුරුත්ථාපනය වී 1975දී නිදහස් විය. ජවිපෙ සමඟ 1978 සිට අනුරාධුපරයේ පූර්ණ කාලීනයකු වශයෙන් එක් වූ සයිමන් විසින් නියමුවා, රතුලංකා සහ මාලිමා පුවත්පත් රජරට බෙදා හැරීමේ වගකීම දැරීය. ජවිපෙ 1983 තහනමින් පසු අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් දයාරත්න මඟින් සයිමන් විශ්වාසවන්ත සේවකයකු ලෙසින් විජේවීරට හඳුන්වා දුන්නේ මැදවච්චියේ උපන් එච්.බී. හේරත්ය)
රෝහණ 1989 නොවැම්බර් 11වැනිදා පස්වරුවේ සහායට සිටි සේවිකාවන් දෙදෙනාට ඒකනායක අංකල්ව කැඳවීය. රාත්‍රී පැය 4න් 4ට මුර සේවා ක්‍රමයක් යටතේ ඇහැරී සිටින්නැයි ද යමක් සිදු වුවහොත් දන්වන මෙන් ද උපදෙස් දුන්නේය. එයට සතියකට පෙර නිවෙසේ ඇති කළ මෑන්, බ්ලු සහ ටයිනි නමින් හැඳින්වූ සුනඛයන් තිදෙනාම අතුරුදහන් වි තිබිණි. එදින රාත්‍රී ආහාරයෙන් පසු රෝහණ රූපවාහිනිය නැරඹූ අතර ජවිපෙ මඟින් සිදු කළ බවට චෝදනා කරමින් රූපවාහිනියෙන් විකාශනය වූ ප්‍රවෘත්ති පිළිබඳව සිය නොසතුට පළ කළේය.
පසුදා එනම් 1989 නොවැම්බර් 12වැනිදා හිමිදිරිය උදා විය. රෝහණ උදෑසන ආහාර වේලට ගත්තේ කැකුළු බත්, කිරිහොදි සහ ලුණු මිරිසකි. උදෑසන පුවත්පත් බැලූ අතර දහවල් 12.30ට පමණ දිවා ආහාරය ගත්තේය. ඔහු සමඟ අමා සහ උවිදු ද විය. දිවා ආහාරයෙන් පසුව පස්වරු 2.05 වූවා පමණි. එවිට රෝහණ සාලයේ පොතක් බලමින් සිටියේය. ඒකනායක අන්කල් ඉක්මනින් පැමිණ ගේට්ටුව වසා ඇති ඉබ්බ ඇරීම සඳහා යතුර ගත්තේ සුදු මාමා මෝටර් රථයෙන් එන බව පවසමිනි. (සුදු මාමා යනු දේශපාලන මණ්ඩල සභිකයකු වන දේවඛදනගේ පියදාස නොහොත් පියදාස රණසිංහය.)
ඒකනායක අන්කල් ගේට්ටුව විවෘත කළේය. ප්‍රථමයෙන් පියදාසගේ මෝටර් රථය පැමිණියේය. ඉන් විනාඩි 2කට පසු පැමිණි ඩෙලිකා සුදු වෑන් රථයෙන් අවිගත් හමුදා භටයන් 4 දෙනෙක්ද හමුදා නිලධාරින් 3 දෙනෙක් ද ක්ෂණිකව නිවෙසට පැමිණියහ. (ඔවුන් පසුව කර්නල් ජානක පෙරේරා, කපිතාන් ගාමිණී හෙට්ටිආරච්චි සහ කරුණාරත්න ලෙස හඳුනා ගන්නා ලදි) පුවත්පත් කියවමින් සිටි රෝහණ ඉදිරියට ආවේය. උපස් යුවළ ද පැලඳ ගන්නැයි ඔවුහු රෝහණට කියා සිටියහ. “ඔබ විජේවීර බව තහවුරුයි. අපි අත්අඩංගුවට ගන්නවා” ඔවුහු කියා සිටියහ. පවුලේ අය අහිංසක බව කියා සිටි විජේවීර ඔවුන් හඳුන්වා දුන්නේය.
අත්අඩංගුවට ගෙන සිටි විජේවීරට කොළඹ යෑමට සූදානම් වන්නැයි හමුදා නිලධාරිහු පැවසූහ. දුඹුරු ඉරි සහිත සරමක් සහ අත්කොට බැනියමකින් සැරසී සිටි විජේවීර එම ඇඳුම් පිටින්ම යෑමට සූදානම් විය. එහෙත් හමුදා නිලධාරින් කියා සිටියේ හොඳින් ඇඳ පැලඳ ගෙන පැමිණෙන ලෙසය. විජේවීර පසුව කලිසමකින් සහ සුදු අත්දිග කමිසයකින් සැරසී පැමිණියේය. විජේවීරගේ ජූලි උපන්දිනයට අලුත් කමිස තුනක් දේශපාලන සභිකයන්ගෙන් ලැබී තිබිණි. ඔහු ඉන් ඇඳගත් කමිසය එච්. බී. හේරත් දුන්නකි. ඩෙලිකා වෑන් රථයේ දෙදෙනකු අත් කකුල් බැඳ බිම දිගා කර තිබිණි. ඉන් එක් අයකු පියදාස රණසිංහ වූ අතර ඔහු පහරදීම්වලට ලක්ව සිටියේ ජීවිතයෙන් සමු ගැනීමට ආසන්නවය. හේරත්ට පහරදීම් සිදු කර තිබූ අතර ඔහු සිටියේ සිහි මඳ ගතියෙනි. තමා හමුදා නිලධාරින් සමඟ යන්නේ හේරත් සහ පියදාස සමඟ බව රෝහණ කියා සිටියේය.
මෙදින රෝහණගේ මව වන නැසිනෝනා ද උලපනේ සිටියේ නැත. ඇය සිටියේ පාදුක්කේ නිවෙසේය. තංගල්ලේ මහ ගෙදර ගිනි තැබීමෙන් පසු ඇය සිටියේ බලවත් ශෝකයෙනි. හමුදා නිලධාරීන් සමඟ රෝහණ පිටත්වීමට ප්‍රථම චිත්‍රාංගනීට කියා සිටියේ දරුවන්ගේ ආගම වෙනස් නොකරන ලෙසය. ලොකු දුවගේ ඔළුව අතගා හොඳට ඉගෙන ගන්නා ලෙස ද, දෙවන දියණියගේ ඔළුව අතගා වෛද්‍යවරියක් වන ලෙස ද කියා සිටියේය. මෝටර් රථයේ පිටුපස ආසනයේ මැද රෝහණ වාඩි වූ අතර දෙපැත්තෙන් කර්නල් ජානක පෙරේරා සහ කපිතාන් හෙට්ටිආරච්චි වාඩි විය. මෝටර් රථය සහ වෑන් රථය පිට විය.
සාකච්ඡාව අතරතුරදී රෝහණගේ අලුත්ම කමිසයක් ඇඳගත් ඒකනායක අන්කල් වත්ත පහළට යනු චිත්‍රාංගනී දුටුවාය. (ඒකනායක අංකල් පසුව පිටුපස දොරෙන් ගොස් ටවුමට පැමිණ කොළඹට ආවේය. මහරගම කන්දෙ පන්සලට පැමිණ එහි ලොකු හාමුදුරුවන්ට මේ බව දන්වා රාජාංගණයේ 5 කණුව අසල සිටින සිය නැඟණියගේ නිවෙසට ගොස් නිහඬ ජීවිතයක් ගත කළේය. ඔහු 2006දී මිය ගියේය.)
කළ යුත්තේ කුමක්දැයි චිත්‍රාංගනී සිතන විට මෝටර් රථයෙන් යළි විනාඩි 5කට පමණ පසු පැමිණි කර්නල් ජානක පෙරේරා සහ විජේවීර නිවෙසේ දොරකඩට පැමිණ චිත්‍රාංගනීට යළි කතා කළේය. මෙහිදී රෝහණ චිත්‍රාංගනීට කියා සිටියේ පාදුක්කේ නිවෙසට යන ලෙසය. කර්නල් ජානක පෙරේරා මුලදී කියා සිටියේ මෙම රහස දන්නේ තමන් පමණක් බැවින් සාමාන්‍ය විදිහට නිවෙසේ සිටින ලෙසය. එහෙත් පසුව විජේවීර සමඟින් පැමිණි ඔහු ද කියා සිටියේ මෙම ස්ථානයෙන් කඩිනමින් ඉවත් වන ලෙසය. මොරටුවේ තමාගේ නිවෙසට යන්නදැයි චිත්‍රාංගනී ඇසූ විට කපිතාන් හෙට්ටිආරච්චි කියා සිටියේ එවැනි ස්ථාන අනාරක්ෂිත බවය. ඒකනායක අංකල් අතුරුදහන් වී ඇති බව ද මෙහිදී චිත්‍රාංගනී කියා සිටි හෙයින් හමුදා සෙබළුන් දෙදෙනෙක් වත්තේ ඇවිද ඔවුන් පිළිබඳව සොයා බැලීය.
රෝහණ යළි ගිය පසු කොළඹ යෑමට චිත්‍රාංගනී අතවශ්‍යම බඩු කිහිපයක් සූදානම් කර ගත්තේය. දරුවන් 5 දෙනා ද විජේවීරගේ නැඟණිය චිත්‍රානි ද සේවයට සිටි කතුන් දෙදෙනා සමඟින් කළුතර යෑමට ටවුමේ කුලී වාහනයක් හිමි කළු මල්ලීගේ සහාය ලබා ගත්තේය. රෝහණගේ මව කළුතර අසනීප වී ඇති බැවින් ඇය බැලීමට යන බව පැවසීය. පැය 5ක පමණ ගමනකින් පසු මහරගම හන්දියෙන් බසින විට රාත්‍රී 9.30ට ආසන්න විය. පසුව මහරගම රෝහණගේ ඥාති නිවෙසකට ගියේය. පසුදින එනම් 1989 නොවැම්බර් 13වැනිදා පාදුක්කේ නිවෙසට යන ලදි. චිත්‍රාංගනී උලපනේ නිවෙසින් පිටත්වීමෙන් පසු නොවැම්බර් 12වැනිදා රාත්‍රී 7ට පමණ උඩුගම්පොලගේ නායකත්වයෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායමක් නිවෙස වටලා එය සෝදිසි කරන ලදි.
පාදුක්ක නිවෙසේ විජේවීරගේ මව ද සිටි අතර රෝහණගේ නංගී වන චිත්‍රානි නොවැම්බර් 17වැනිදා නීතිඥයකු සොයා ගැනීමට යැයි කියමින් නිවෙසින් පිටව ගිය ද 19 උදය තෙක් නොපැමිණියේය. විජේවීරගේ ඝාතනය නොවැම්බර් 13වැනිදා සවස 5ට පමණ රූපවාහිනියේ හදිසි විශේෂ පුවතක් වශයෙන් විකාශනය වන විට රෝහණගේ මව එය අසා සිහිසුන් විය. පාදුක්ක නිවෙසේ හිමිකරුවන් නිවෙසින් ඉවත් වන ලෙසට කළ බලපෑම නිසා 1989 නොවැම්බර් 19වැනිදා ඔවුන් විසින්ම කුලී වෑන් රථයකට ගෙවා කඩුවෙල හන්දියෙන් බස්සන ලදි. පසුව කොටුවට තවත් වාහනයකින් ගොස් කොටුවෙන් බැස චිත්‍රාංගනී තීරණය කළේ හමුදා මූලස්ථානයට බාර වීමටය. යළිත් කොටුවෙන් කුලී රථයක නැඟී බම්බලපිටියට යා යුතු බව පවසා හමුදා මූලස්ථානය අසලදී සොහොයුරා බැලීමට අවශ්‍ය බව කියා වාහනයෙන් බැස හමුදාවට බාර විය.
වසර 1989 නොවැම්බර් 19වැනිදා එදින රාත්‍රී හමුදා මූලස්ථානයේදී ජනාධිපති ලේකම් කේ. එච්. ජේ. විජේදාස, ආරක්ෂක ලේකම් සේපාල ආටිගල, ෙජනරාල් හැමිල්ටන් වනසිංහ, මේජර් ෙජනරාල් සිසිල් වෛද්‍යරත්න, කර්නල් ලකී අල්ගම සාකච්ඡා කාමරයකදී ඇයට හමු විය. මෙහිදී ජනාධිපති ප්‍රේමදාස විසින් චිත්‍රාංගනීට දුරකතනයෙන් ඇමතූ අතර තමා කියු දෙය ඇසුවා නම් විජේවීරට මෙසේ සිදු නොවන බව දැන්වීය. දරු පවුලේ ආරක්ෂාව, අධ්‍යාපනය ඇතුළු සියලු වගකීම් රජය බාර ගන්නා බව ද පසුදා දහවල් 1ට ජනාධිපති කාර්යාලයේ තමා හමු වන ලෙස ද දැනුම් දුන්නේය. එදින රාත්‍රී චිත්‍රාංගනී සහ දරු පවුල බොරැල්ල කිංසි පාරේ යුද හමුදා කාන්තා නිවෙස්නයේ කපිතාන් සිල්වා වෙත බාර දෙන ලදි. එහි කාමර දෙකක් තාවකාලිකව ඔවුන් වෙත වෙන් විය.
ජනාධිපති කාර්යාලයේ පසුදා ජනාධිපති ප්‍රේමදාස හමු වූ අතර එම සාකච්ඡාවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රංජන් විජේරත්න, හමුදාපති ෙජනරාල් හැමිල්ටන් වනසිංහ, ජනාධිපති උපදේශක බ්‍රැඩ්මන් වීරකෝන් ද එක්වී සිටියහ. බොරැල්ලේ යුද හමුදා කාන්තා නිවෙස්නයේ සති 3ක් සිටි චිත්‍රාංගනී සහ දරු පවුල අනතුරුව 1989 දෙසැම්බර් 12වැනිදා ගනේමුල්ල හමුදා කඳවුරට ද 1992 මාර්තු මස ත්‍රිකුණාමලයේ නාවික කඳවුරට ද පසුව වැලිසර නාවික කඳවුරට ද යොමු කරන ලදි. විදේශ රටවල දේශපාලන රැකවරණය ලබා ගැනීමට මැදිහත් වන ලෙසට ජවිපෙන් කළ ඉල්ලීමට ද යහපත් ප්‍රතිචාරයක් නොලැබිණි.
සය දරු මවක් වන චිත්‍රාංගනී විජේවීරගේ එකම අරමුණ දරුවන්ගේ ජීවිතවල පැවැත්ම වෙනුවෙන් නිදහස් පුරවැසියන් ලෙස ඔවුන්ට ජීවත් වීමට හැකි සාමකාමී පරිසරයක් කරා රැගෙන යාමය. කිසිවිටෙක දේශපාලනය නොකළ කිසිදු දේශපාලන මතයක් නොදැරූ තම දරුවන්ට ස්ථාවර අනාගතයක් උදා කිරීම ඇයගේ එකම පැතුමය.
උලපනේ ආරක්ෂක අත්අඩංගුවේදී උපන් ඇඳුමින් කැලයට පැන ගිය නිව්ටන් අවුරුදු 34කට පසු කී දේ
උලපනේ ආරක්ෂක අත්අඩංගුවේදී උපන් ඇඳුමින් කැලයට පැන ගිය නිව්ටන් අවුරුදු 34කට පසු කියන දේ. අද නිව්ටන් සිවුදරු පියෙකි. විප්ලවවාදී හැඟීම් සේම ජීව ගුණය ද තවමත් ඔහුගෙන් ගිලිහී නැත. පක්ෂය සමඟ සබඳකමක් ද නැත. ජවිපෙට එක්වීම හරහා සිදු කළ කැපකිරීම් පිළිබඳ කම්පාවක් ද ඔහු තුළ නැති සේය.
බණ්ඩාරවෙල නෙළුව වත්තට ආරක්ෂක අංශ කඩා වදින්නේ 1989 නොවැම්බර් 08 වැනිදා පස්වරු 8.00ට පමණ ය. ඒ 1989 නොවැම්බර් 05 වැනිදා හෝමාගමදී ‘ඇම්බුස්‘ උගුලකට (සැඟවී සිට එම ස්ථානයට පැමිණෙන අය අත්අඩංගුවට ගැනීම) අසුවීමෙන් අත්අඩංගුවට පත් පැටියා හෙවත් වික්‍රම සමඟ ය. වික්‍රම ජවිපෙට අයත් බණ්ඩාරවෙල නෙළුව වත්තේ වැඩ කළ සේවකයන් 4 දෙනාගෙන් එක් අයෙකි. එහිදී නෙළුව වත්තේ සියලුම සේවකයන් ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්විය. එක් අයකු වූ නිව්ටන් උපන් ඇඳුමින්ම කැලයට පැන ගත් අතර දෙදෙනෙක් ආරක්ෂක අංශ විසින් නොවැම්බර් 9 වැනිදා මත්තේගොඩ යුද හමුදා කඳවුරට ගෙන එන ලදී. තවත් අයෙක් නෙළුව වත්තේ බට පඳුර අසලම ඝාතනයට ලක්ව පිලිස්සී දැවී ගියේය.
මත්තේගොඩට නොවැම්බර් 9 වැනිදා ගෙනාවේ නෙළුව වත්තේ සිටි නෙවිල් හෙවත් ලියන මහත්තයා සහ ධර්මේ හෙවත් නන්දසේන ය. කලක් විජේවීර නැවතී සිටි එමෙන්ම ඒ වන විට ද ජවිපෙ දේශපාලන මණ්ඩල රැස්වීම් සඳහා භාවිතයට ගත් ගලහ නිවෙස දැන ගෙන සිටියේ එම දෙදෙනාගෙන් නෙවිල් හෙවත් ලියන මහත්තයා පමණි. මෙම ලියුම්කරුට වැටලීමට සහභාගී වූ ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනකුම දීර්ඝ ලෙස විස්තර කළ පරිදි නෙවිල් සමඟ ආරක්ෂක අංශ ගලහට ගියේය. ඒ 1989 නොවැම්බර් 12 වැනිදා උදෑසන ය. එහිදී ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයන් වූ පියදාස රණසිංහ සහ එච්.බී. හේරත් ද සිටියේය. එමෙන්ම ඒ වන විට මිය ගොස් සිටි දේශපාලන මණ්ඩල සභික නන්දතිලක ගලප්පත්තිගේ වැන්දඹු බිරිය රංජනී ගමගේ සහ එකම දරුවා වූ ඉසුරු අකලංක ද දන්දෙනිය ආරච්චිගේ කරුණාවතී ද ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙක් සහ ක්‍රියාකාරීන් දෙදෙනකු ද විය. කාන්තාවන් පසුදින නිදහස් කළ අතර සෙසු අය අත්අඩංගුවට පත්විය.
මෙම මෙහෙයුම සඳහා පැමිණියේ කර්නල් ජානක පෙරේරා, ක්ෂණික විහිදුම් බළකායේ අණදෙන නිලධාරියා වූ කපිතාන් ගාමිණී හෙට්ටිආරච්චි ඇතුළු කණ්ඩායමකි. අත්අඩංගුවට ගත් පියදාස රණසිංහ සහ එච්.බී. හේරත්ට අනේකවිධ වද වේදනා හේතුවෙන් අවසානයේ සිදු වූයේ ඔවුන් සමඟ විජේවීරගේ උලපනේ නිවෙස දක්වා පිටත්වීමට ය.
කළු අක්කාගේ කතාව
විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවෙසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ. කේ. කරුණාවතී (කළු අක්කා). ලියුම්කරු කළු අක්කාව 2016 දී දෙවරක්ම හමුවූ අතර අදාළ සිදුවීම ඇය කියූ පරිදි කරුණාවතීගේ කතාව පටිගත කරන ලදී. එම වීඩියෝ පටය Youtube වෙත ඉදිරියේ දී මුදා හැරෙනු ඇත.
2023 ඔක්තෝබර් 08 කළු අක්කා සිය දිවි සැරිය නිම කළාය.
ධර්මන් වික්‍රමරත්න