Home » හෙළ සිනමාවේ මහා කලා මංගල්‍යය ජනපති සිනමා සම්මාන උලෙළ 14 වැනිදා

හෙළ සිනමාවේ මහා කලා මංගල්‍යය ජනපති සිනමා සම්මාන උලෙළ 14 වැනිදා

by Mahesh Lakehouse
November 11, 2023 12:30 am 0 comment

දේශීය සිනමා කර්මාන්තයේ විසි වැනි මහා කලා මංගල්‍යය වූ සිනමා සම්මාන උලෙළ නොවැම්බර් 14 අඟහරුවාදා දින පස්වරු 6.30ට ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ ප්‍රධානත්වයෙන් නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී උත්සවශ්‍රීයෙන් පැවැත්වේ. ජනාධිපති සම්මාන උලළේ යටගියාව පිළිබඳ ආවර්ජනය කරන මේ ලිපිය ඒ වෙනුවෙනි.

ජනාධිපති සිනමා උලෙළ මීට වසර 44කට පෙර 1979 ජුලි 27 වැනිදා ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනයන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

ජනාධිපති සම්මාන දීමේ සංකල්පය මුලින්ම ඇති වූයේ ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ධූරය හෙබවු ඇන්ටන් වික්‍රමසිංහටය. 1979 ජුනි මාසයේ තම සිතැඟි ප්‍රකාශ කරමින් සරසවිය පුවත්පත වෙනුවෙන් සංවාදයකට එක් වී ඔහු මා සමඟ මෙසේ කීවේය.

“මම නිෂ්පාදනය කළ’ගම්පෙරළිය’ චිත්‍රපටයට 1964 පැවති මුල්ම සරසවිය සම්මාන උලෙළ දී සම්මානයක් දිනා ගැනීම එක්තරා අතකින් වාසනාවක්. ඊට පෙර එක්සත් ලංකා රසික සංගමය සංවිධානය කළ 1964 ප්‍රථම චිත්‍රපට උලෙළේදී ගම්පෙරළිය චිත්‍රපටය සම්මාන හයක් දිනා ගත්තා. මා ඒ උලෙළ දෙකේ දීම හොඳම නිෂ්පාදක ලෙස සම්මාන ලැබීමේ උද්දාමය කවදා හෝ කලාකරුවන්ට ලබා දීමට පසුව මම හිතුවා. 1978 වර්ෂයේ දී මම චිත්‍රපට සංස්ථා සභාපති වූ පසු මගේ අධ්‍යක්ෂක මණ්ඩලය සමඟ සාකච්ඡා කොට ඒකමතික තීරණයකට ආවා. මට අද වගේ මතකයි. “ගම්පෙරළිය” සම්මාන නවයකින් කොළඹ ආශෝකා සිනමාහලේදී පිදුම් ලබන විට ඒ චිත්‍රපට තිරගත වෙමින් තිබුණේ අඩු පහසුකම් සහිත තොට ළඟ මිනිර්වා සිනමා හලේ. චිත්‍රපටය පාඩු ලැබුවත් කමක් නෑ අපිට සම්මාන ලැබුණා.”

සිංහල සිනමාවට රජය කරන ලද විශාල අනුග්‍රහය මෙන්ම සිනමා ක්ෂේත්‍රය රජය මඟින් පිළිගැනීම හේතු කොටගෙන ජනාධිපති සම්මාන උලෙළක් පැවැත්වීමට අපි තීරණය කළා. චිත්‍රපට සංස්ථාවේ සභාපති වික්‍රමසිංහ එහිදී පැවසීය.

‘ගම්පෙරළිය’ දෙලොවක් අතර චිත්‍රපටවල නිෂ්පාදකවරයා වූ ඇන්ටන් වික්‍රමසිංහ කලා රසිකයෙකි. ඔහු ස්වදේශීය ලියුම් කවර කර්මාන්තයේ ආරම්භකයා ය.

එදා වික්‍රමසිංහ සම්මාන උලෙළ ආරම්භ කරමින් කීවේ තව නොබෝ දිනකින් රාජ්‍ය චිත්‍රපට සංස්ථා පනත සංශෝධනය වී ජාතික චිත්‍රපට සංස්ථාව නමින් ආරම්භ කොට ජාතික සිනමා සංකීර්ණය ලංකා සිනමා ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා උපයෝගී කර ගන්නා බවය.

ජනාධිපතිතුමාගේ කතාවේ සාරංශය වූයේ මහජනයාට වඩා හොඳ චිත්‍රපට හා වඩා හොඳ සිනමාහල් ලබාදීමත්, අපේ චිත්‍රපට විදේශවලට අපනයනය කිරීමට ආධාර දීමත් බවය.

1978 වසරේ තිරගත වූ චිත්‍රපට සඳහා ලෝකඩ සිංහ තිළිණ පිරිනැමීමේ 1979 ප්‍රථම ජනාධිපති සිනමා සම්මාන උලෙළේදී එතෙක් සම්මාන ඉතිහාසයේ සිදු නොවූ අයුරෙන් දක්ෂතම අධ්‍යක්ෂක සඳහා සම්මාන දෙකක් හිමි විය. ඒ අනුව ‘බඹරු ඇවිත්’ අධ්‍යක්ෂක ධර්මසේන පතිරාජට ද, ‘අහසින් පොළොවට‘ අධ්‍යක්ෂණය කළ ලෙස්ටර් ජේම්ස් පීරිස්ට ද සම සම්මාන පිරිනැමීම බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වූහ. සෙසු සම්මාන මෙසේය.

උසස්ම නිෂ්පාදනය – බඹරු ඇවිත් (තිලක් ගොඩමාන්න)

දක්ෂතම තිරනාටකය – තිස්ස අබේසේකර (අහසින් පොළොවට)

දක්ෂතම නළුවා – ටෝනි රණසිංහ (අහසින් පොළොවට)

දක්ෂතම නිළිය – මාලිනි ෆොන්සේකා (බඹරු ඇවිත්)

දක්ෂතම කැමරා ශිල්පී – ඩොනල්ඩ් කරුණාරත්න (අහසින් පොළොවට)

දක්ෂතම සංස්කරණය – සුමිත්‍රා පීරිස් (අහසින් පොළොවට)

දක්ෂතම සංගීත අධ්‍යක්ෂ – ප්‍රේමසිරි කේමදාස (බඹරු ඇවිත්)

දක්ෂතම කලා අධ්‍යක්ෂ – හේමපාල ධර්මසේන (වීර පුරන්අප්පු)

දක්ෂතම ශබ්ද පරිපාලනය – මයිකල් සත්‍යනාන්දන් (වීර පුරන්අප්පු)

දක්ෂතම සහාය නළුවා – තිස්ස අබේසේකර (වීර පුරන්අප්පු)

දක්ෂතම සහාය නිළිය – ශාන්ති ලේඛා (සසර)

දක්ෂතම ගීත රචක – ඩබ්ලිව්. ජයසිරි (බඹරු ඇවිත්)

දක්ෂතම පසුබිම් ගායක – ටී.එම්. ජයරත්න (ජනක සහ මංජු)

කුසලතා සම්මාන – වී වාමදේවන් (රැම්පේජ්) රූබී ද මැල් (බඹරු ඇවිත්), සිරිල් වික්‍රමගේ (බඹරු ඇවිත් ශ්‍යමා ආනන්දන් (ගැහැනු ළමයි), තිස්ස අබේසේකර (වීර පුරන්අප්පු) ධර්මසේන පතිරාජ (බඹරු ඇවිත්) ක්‍රීස් ග්‍රීට් රැම්පේජ් චිත්‍රා වාකිස්ට ( ගැහැනු ළමයි) උපාලි අත්තනායක (ජනක සහ මංජු) රැලෙක්ස් රණසිංහ (අහසින් පොළොවට), ශ්‍රියානි අමසේන (හිත මිතුරා) වසන්ති චතුරානි (ගැහැනු ළමයි), වික්ටර් රත්නායක (ගැහැනු ළමයි) සෙල්වම් ප්‍රනාන්දු (වාඩෛයි කාට්ටු) ඒ. ජේසුදාසන් (වාඩෛයි කාට්ටු) සෙක්ටස් අපොන්සු (බඹරු ඇවිත්) එස්. රාම්දාස් (වාඩෛයි කාට්ටු) ජෝ අබේවික්‍රම (බඹරු ඇවිත්)

හොඳම ඉංග්‍රීසි භාෂිත චිත්‍රපටය (රැම්පේජ්)

හොඳම දෙමළ භාෂිත චිත්‍රපටය (වාඩෛයි කාට්ටු)

රඟපෑම සඳහා විශේෂ සම්මානය – ගාමිණී ෆොන්සේකා (රැම්ජේජ්)

විනිශ්චය මණ්ඩලය – එම්. ජේ. පෙරේරා (සභාපති) මහාචාර්ය ඈෂ්ලි හල්පෙ, ජයන්ත ධනපාල, එච්.ඩී. සුගතපාල, කැරන් බ්‍රෙකන්රිජ්, මහාචාර්ය ලෝනා දේවරජා, ඩී. ජී. කුලතුංග, ජී. රත්නම්, ඩී. එස්. කළුගම්පිටිය, එම්. ජේ. තිසෛනායගම්

මේ ජනාධිපති සම්මාන උලෙළ පැවැත්වෙන විට ජීවතුන් අතර නොසිටි කලාකාරිනිය වූයේ දක්ෂතම ගායිකාව ලෙස සම්මානයට පාත්‍ර වු රුක්මණී දේවි යයි. චිත්‍රපට නිළියක හා රංගන ශිල්පිනියක ලෙස අතිශය ජනාදරයට පත් රුක්මණීගේ රංගනයට සම්මාන ලබා තිබුණත්, ගායිකාවක් ලෙස ලැබූ ප්‍රථම සම්මානය එයයි. ඇය වෙනුවෙන් ඇගේ සැමියා එඩී ජයමාන්න අඬ අඬා වේදිකාවට ගොස් තිළිණය ලබා ගැනීමේ අවස්ථාව උලෙළට සහභාගී වූ සැමට හැඟීම්බර අවස්ථාවක් විණි.

වසර 1980 සරසවි සම්මාන උලෙළේ දී සම්මාන හතක් දිනූ “හඳයා” චිත්‍රපටයට 1980 ජනාධිපති උලෙළේදී එකදු සම්මානයක් නොලැබීම විශේෂ සිද්ධියකි. “හඳයා” අධ්‍යක්ෂණය කළ ටයිටස් තොටවත්තයන්ට විශේෂ තිළිණයකින් සෑහීමකට පත්වීමට සිදු විය.

1981 ජනාධිපති සම්මාන උලෙළේදී තවත් වාර්තාවක් පිහිටුවමින් උසස්ම නිෂ්පාදනය සඳහා සම්මාන දෙකක් ද මුල් ජනාධිපති උලෙළේදී මෙන් දක්ෂතම චිත්‍රපට අධ්‍යක්ෂණයට සම සම්මාන දෙකක් ද පුද දෙමින් සිනමා සම්මාන ඉතිහාසයේ නව වාර්තාවක් බිහි කර ඇත. මේ අනුව උසස්ම චිත්‍රපට නිෂ්පාදනය වෙනුවෙන් මිලිනා සුමතිපාල (ගඟ අද්දර චිත්‍රපටය) හා රංජිත් පලන්සුරිය ඇතුළු කිහිප දෙනෙක් වෙනුවෙන් “සිරිබෝ අයියා” චිත්‍රපටය ද සම්මාන දිනූහ. දක්ෂතම අධ්‍යක්ෂණය වෙනුවෙන් සුමිත්‍රා පීරිස් (ගඟ අද්දර) හා සුනිල් ආරියරත්න (සිරිබෝ අයියා) සම්මානයට පාත්‍ර වූහ.

මේ උලෙළේ දී තවත් සුවිශේෂි සිද්ධියක් වූයේ ජාත්‍යන්තර චිත්‍රපට උලෙළකදී උසස්ම සම්මානයක් දිනු ලාංකේය චිත්‍රපට අධ්‍යක්ෂකවරයකුට පිරිනැමෙන මුදලින් රුපියල් එක්ලක්ෂ පනස් දාහක හා ලෝකඩ සිංහ තිළිණයක් ද, දළ සේයා පට අසූදාහක විශේෂ සම්මානය ද ටයිටස් තොටවත්තයන්ට හිමි වීමය. ටයිටස් තොටවත්ත යනු ප්‍රතිභාව මෙන්ම මුඛරි කතා කිරීමේ ද උපහාස කතා කීමේ සුරයකු සිනමා ක්ෂේත්‍රයේ කැපී පෙනුණු සුවිශේෂි චරිතයකි. ඔහුගේ හඳයා චිත්‍රපටය 1980 වසරේ ඉතාලියේ සොලර්නෝ ජාත්‍යන්තර චිත්‍රපටයේ එක අංශයෙන් ප්‍රථම සම්මානය දිනා ගත්තේය. ජනාධිපති සම්මාන උලෙළේදී මේ සඳහා විශේෂ සම්මානය තමාට නොලැබේ දැයි සිතූ ටයිටස් “දෙනවා කියලා දුන්නේ නෑ. ඇන්ටා මාව රැවටුවා” කියමින් ගෙදරට එන අයට කියා විනෝද විය. අද ටයිටස් හා ඇන්ටන් වික්‍රමසිංහ දෙදෙනාම ජීවතුන් අතර නැත. එසේ කීවා කියා එදා තරහ වූයේ ද නැත. අනුස්මරණ උපහාර සම්මානය එඩී ජයමාන්නට හිමි විය. රජ්‍ය ඇමැති ආනන්ද තිස්ස ද අල්විස්ගේ ප්‍රධානත්වයෙන් පැවති මේ ජනාධිපති සම්මාන උලෙළේ දක්ෂතම නළුවාට හිමි සම්මානය සිරිබෝ අයියා චිත්‍රපටයේ සිරිබෝහාමි ලෙස රඟ පෑ ජෝ අබේවික්‍රමට පිරිනැමෙන අවස්ථාව උලෙළේ ආකර්ෂණීය අවස්ථාවක් විය.

“අපේ හින්ද අගේ නෑ නේදැයි” ඇමැතිවරයා ජෝට සුබ පතමින් කීවේය.

ඇමැතිවරයා එසේ කීවේ ජෝ යු. ඇන්. පී. කාරයකු නිසාද යන ව්‍යංගයෙන් ‘දෙසතිය’ පුවත් සඟරාවේ ඡායාරූපයක් සහිත කැප්ෂනයක් ලියා තිබුණි.

1982 සිවුවැනි ජනාධිපති උලෙළේදී දක්ෂතම ගීත රචකයා ලෙස ‘බාඳුරා මල්’ චිත්‍රපටයට ‘භවයෙන් භවේ’ නම් ගීතය ලියු ගාමිණී ෆොන්සේකාගේ නම කියවිණි. ගාමිණී ෆොන්සේකා විසින් එය නිවරැදි කොට එම අවස්ථාවේ දීම එය සුනිල් ආරියරත්නට පිරිනැමීම නිසා වේගවත් අත්පොළසන් හඬක් ශාලාවේ ගිඟුම් දුන්නේය. මේ උලෙළේ දක්ෂතම සංගීතඥයා ලෙස ‘සොල්දාදු උන්නැහේ’ චිත්‍රපටය සඳහා ප්‍රේමසිරි කේමදාස ලැබු සම්මානය ඔහු විසින් ප්‍රතික්ෂේප කරන ලද්දේ එවකට විජය කුමාරතුංග බන්ධනාගාරගත නිසා එය විරෝධයක් පාමිනි. මේ උලෙළේ තවත් විශේෂයක් වූයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට මුදලින් රුපියල් ලක්ෂ දෙකක් සමඟ ස්වර්ණසිංහ සම්මානය පිරිනැමීමය.

1987 ජනාධිපති සම්මාන උලෙළේ දී මුදලින් ලක්ෂයක් හා ස්වර්ණසිංහ සම්මානය ඔහුට හිමි වූ අතර 1994 දී මුදලින් රුපියල් පනස්දාහක් සමඟ ස්වර්ණ සම්මානය හිමි කරගෙන තිබුණි. මුල්වරට සම්මානයක් අත්හිටු වූයේ 1985 ජනාධිපති සම්මාන උලෙළේදීය. දක්ෂතම පසුබිම් ගායිකාවට හිමි සම්මානයට සමහර අය අයිතිවාසිකම් කියා මුල සිටම බලපෑම් කිරීම් නිසා ඒ සම්මානය පිරිනමා නැත.

ජනාධිපති සම්මාන උලෙළේ මුල් අවුරුදු කීපය තුළ සුවිශේෂ සිද්ධි කිහිපයක් පමණක් මෙයට ඇතුළත් විය.

ඒ.ඩී. රන්ජිත් කුමාර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division