– දිවි ඉනිම නිමා කළ ජාතික ක්‍රිකට් පිලේ අඩ සියවසකම 12TH MAN
– බොරැල්ල පොලිස් කූඩුවේ සිර වූ පර්සිට රුපියල් සියයක් බැඳ සතාසිවම් ඇප දෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ජයග්‍රහණවලදී මෙන්ම පරාජයන්වලදීත් එක සේ නොසැලී සිංහ ධජය අතැතිව ක්‍රිකට් පිටියේ ඇවිද ගිය පර්සි අබේසේකර යුගය දැන් අවසන්ය. ක්‍රිකට් ක්‍රීඩාවත් සමඟ බද්ධ වී සිටි මේ විනෝදකාමියා සදහටම දෑස් පියා ගත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය සැමරුම් ගණනාවකම ඇසින් දුටු එකම සාක්ෂිකාරයා ලෙසිනි. ඔහු නික්ම ගියේ ද ක්‍රීඩාවේ මතක සටහන් රැසක්ම ඉතිරි කර තබමිනි.
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ප්‍රතිවාදීන් හා තණතීරුවේ සෙල්ලම් කරද්දී හතරේ සීමාවෙන් එපිට සිට ප්‍රතිවාදියා ලෙල්ලම් කළේ පර්සි ය. ඔහුගේ අරමුණ වූයේ ප්‍රතිවාදියා පිටියට පිවිසෙද්දීම ඔහුගේ මානසික ඒකාග්‍රතාව බිංදුවට බැස්ස වීමය. පර්සිට බැණ බැණ දත්මිටි කමින් පිටියට ගිය එවැනි ප්‍රතිවාදී පිතිකරුවන් රැසක්ම ආපසු ක්‍රීඩාගාරයට පැමිණියේ හිස් අතිනි. පර්සිගේ වාග් ප්‍රහාරයෙන් මනස ව්‍යාකූල කරගත් බොහෝ පිතිකරුවන්ගේ තරග අවධානය බිඳ වැටෙන්නේ පිටියට පා තැබීමටත් පෙරය. ඒවා මුල් කාලයේ සිටම පර්සිට ආවේණික දේවල්ය. ඒ අතින් මේ සුන්දර මිනිසා අඩසිය වසක්ම ජාතික ක්‍රිකට් පිලේ 12 වැනි ක්‍රීඩකයා වීමේ අරුමයක් ද නැත.
එහෙත් එවැනි ප්‍රතිවාදීන් ලෙල්ලම් කිරීම් රැසකින් පසුව ඔහු අවසානයට නැවතුණේ පොලිසියේ සිර කූඩුවේය. මීට වසර හතරකට පෙර ‘ස්පෝර්ට්ස්ඉන්ෆෝ‘ ආයතනය විසින් නිකුත් කරනු ලැබූ ඔහුගේ ‘I’M PERCY CRICKET CRAZY‘ අපදාන කෘතියෙහි එවැනි රසවත් සිදුවීම් රැසකි.
එම කෘතියට අනුව හැත්තෑව දශකයේ මුල් කාලයේදි පර්සිට බොරැල්ලේ පොලිස් කූඩුවේ ලගින්නට වූයේ එවැනි සිදුවීමක් නිසාය. එය සිදු වූයේ පී. සරා ඕවල් (එවකට වනාතමුල්ල ක්‍රීඩාංගණයේ) පැවැති ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රෙලියාව අතර අවුරුදු 19න් පහළ කණ්ඩායම්වල ක්‍රිකට් තරගයක් අතරතුර ය. තරගය තුන්දින එකකි. ශ්‍රී ලංකා යොවුන් පිලේ නායකයා අසිත ජයවීර ය. ඒ වන විට කැන්ගරුවෝ තරගයේ ජයග්‍රහණයට ළඟා වී සිටියහ. එමෙන්ම ඔවුහු ඉතා නරක අන්දමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට බැණ වදිමින් ඔවුන් මානසිකව පසුබැස්මකට ලක් කරමින් සිටියහ. එය අතිශයින්ම අශික්ෂිත ය. පිළිකුල් සහගත ය. එය ක්‍රීඩාවේ ජීවගුණයට ද විරුද්ධ ය. ඔස්ට්‍රේලියානුවන් ශ්‍රී ලාංකික යොවුන් ක්‍රීඩකයන්ට එල්ල කළ වාග් ප්‍රහාර ඇසුණු පර්සිට අසූහාරදාහටම කේන්ති ගියේය. අපේ කොලු ගැටවු එසේ තළා පෙළා දැමීමට තරම් ඔස්ට්‍රේලියානුවන් නිර්භීත වූයේ කෙසේදැයි පර්සි උරණ වූයේය.
මේ පිළිකුල් සහගත කැංගරුවන්ට පාඩමක් ඉගැන්විය යුතුය. පර්සි එසේ සිතුවේය. එය අසිත ජයවීර සිය අර්ධ ශතකය වාර්තා කළ මොහොත ය. පර්සි පිටිය මැදට දිව්වේය. ඒ කාලයේදී එවැනි සිදුවීම් ඉතා සුලබ වන අතර, ක්‍රීඩාලෝලීන් ද එසේ පිටිය මැදට දිව ගිය අවස්ථා එමටය. එවැනි අවස්ථාවලදී ඔවුන් පිටියෙන් ඉවත් වන්නේ පන්දු රකින්නන් හා විනිසුරුවරුන්ගේ මැදිහත්වීමෙනි. ඉඳහිට පොලිස් නිලධාරීන්ට ක්‍රීඩාලෝලීන් ඉවත් කිරීමට පිටිය මැදට දිව යෑම එවකට සුලබ සිදුවීමකි.
එහෙත් පර්සිගේ පිටිය මැදට දිවිල්ල ඊට වඩා වෙනස් ය. ඔහුට තිබුණේ වෙනත් අරමුණකි. ඔහු වුවමනාවෙන්ම කාලය අපතේ හරිමින් යළි තරගයේ ආරම්භය ප්‍රමාද කළේය. ඔහු අසිත ජයවීරගේ අර්ධ ශතකයට සුබ පැතුවේය. ඔහු පසුපස පොලිස් නිලධාරීන් රොත්තක් ද දිව ගියහ. තණ තීරුවට ගිය පර්සි පිටියෙන් ඉවත් වන්නැයි කියන පොලිස් නිලධාරීන්ගේ නියෝගය නෑසුණා සේ තණතීරුවේ කැරකෙන්නට පටන් ගත්තේය. අනතුරුව ඔහු අසිතට කිට්ටු විය.
‘අසිත… ඔයාගේ බැට් එක පොඩ්ඩකට දෙන්නකෝ..‘
කිසිදු දෙගිඩියාවකින් තොරව අසිත ජයවීර සිය ක්‍රිකට් පිත්ත පර්සි වෙත දිගු කළේය. වහා පිත්තට අතට ගත් පර්සි ප්‍රධාන විනිසුරු වෙත හැරුණේය.
‘පා ඉන්නද ? පිට ඉන්නද ?‘ ඔහු විනිසුරුගෙන් සිය සීමාව විමසා සිටියේය. විනිසුරුවරයාට ලෙල්ලටම කේන්ති ගියේය.
‘පිස්සා… පලයන් යන්න.‘ විනිසුරු කෑමොර දුන්නේය.
‘පලයන් යන්න කල්ලෝ…‘ කඩුලු රකිමින් සිටි වේන් පිලිප්ස් ද කෑ ගැසුවේය.
‘කල්ලෝ හොඳයි සුද්දන්ට වඩා‘ පර්සි පසුපසට හැරී උස් හඬින් වේන් පිලිප්ස්ට පිළිතුරු දුන්නේ ක්‍රීඩාලෝලීන්ගේ ඝෝෂාව මැද්දේය.
කෙසේ වුවත් අවසානයේදී පොලිස් නිලධාරීහු පර්සි අල්ලා ගත්හ. ඔවුහු පර්සි කුදලාගෙන පිටියෙන් ඉවතට ගෙන ගියහ. එදා පර්සි අබේසේකර බොරැල්ල පොලිසිය වෙත රැගෙන ගියේ කොළඹ පැවැති ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් අතරතුර ක්‍රීඩා පිටියට කඩා වැදුණු පළමු සිදුවීම වාර්තාපොතට එක් කරමිනි.
පොලිස් නිලධාරින් බොරැල්ල පොලිස් කූඩුවේ පර්සි සිර කළ අතර, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස ප්‍රකට වනාතමුල්ලේ චණ්ඩියකු ද ඒ මොහොතේ පොලිස් කූඩුවේ සිටියේය. බීඩියක් උරමින් සිටි චණ්ඩියා පර්සිගේ හිසේ සිට දෙපතුල දක්වා ස්කෑන් පරීක්ෂණයට ලක් කළේය.
‘බොස්…ඔයා ඇයි මෙහේට ආවේ..?‘ චණ්ඩියා පර්සිගෙන් විමසා සිටියේය.
පර්සි සියලු තොරතුරු පවසද්දී චණ්ඩියා අසා සිටියේ සිනාමුසු මුහුණින් යුතුවය.
මේ පුද්ගලයා වනතාමුල්ලේ නම ගිය චණ්ඩියෙකි. මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටින ඔහුගේ පුතුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය සෑම අවස්ථාවකදීම පොලිසිය මේ මිනිසා පොලිස් කූඩුවේ සිර කළේය.
‘බොස්..මේ පොලිස්කාරයෝ අපිව මිරිස් ගෝනිවලට දමාවි. එතකොට ඔයාට හුස්ම ගන්නවත් බැරි වේවි. ඒ මදිවට පොලිස්කාරයෝ ඔයාට හොඳටම තළාවි.‘ චණ්ඩියා පර්සිව හොඳටම බය කළේය.
‘එයාලා මාවත් මිරිස් ගෝනියේ දමාවිද?‘ බියට පත් පර්සි චණ්ඩියාගෙන් විමසා සිටියේය.
‘දන්නේ නෑ බොස්‘
මොහොතකින් පොලිස් නිලධාරියකු සිර කූඩුව වෙත පැමිණියහ. ඔහු තේ කෝප්පයක් සහ බනිස් ගෙඩියක් පිරිනැමීම පර්සිගේ විමතියට හේතු විය. කෑමට කිසිදු ප්‍රියතාවක් නොතිබූ බැවින් ඔහු එය තම සිර කුඩුවේ සගයා වූ චණ්ඩියාට දුන්නේය. මොහොතකට පසු තවත් නිලධාරියකු පැමිණ පර්සි සිර කූඩුවෙන් මුදා පොලිස් ස්ථානාධිපතිවරයා වෙත රැගෙන ගියේය.
‘හායි පර්සි… අපිට සමාවෙන්න… ඔබට දැන් යන්න පුළුවනි.‘‘ ඕඅයිසී පර්සිට කීවේය.
පර්සිට ඇප දී තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ට ක්‍රීඩකයකු වූ මහාදේවන් සතාසිවම්ය. පර්සි නිදහස් කර ගැනීමට ඔහු රුපියල් සියයක ඇපයක් බැඳ තිබිණි. ක්‍රිකට් තරගය නැරැඹීමට පිටියට ගිය පර්සි අවසානයේ නිවෙසට ගියේ එදින රාත්‍රී 11ට පමණය.
පසුව වාර්තා වූ පරිදි එදින තරගය ජයපරාජයෙන් තොරව බේරා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් පිල සමත් වී තිබූ අතර, තවත් කඩුලු 3ක් ද ඉතිරි වූ බව පර්සි දැනගත්තේ පොලිස් කූඩුවෙන් නිදහස් වූවාට පසුවය. ඔහු පොලිස් ස්ථානයෙන් පිටතට පැමිණි විට දකින්නට ලැබුණේ තරගය නැරැඹීමට පැමිණ සිටි ක්‍රීඩාලෝලීන් පිරිසක් පර්සි එනතුරු කල් මරමින් සිටි බවය. පර්සි නිදහස් වූ බව දුටු ක්‍රීඩාලෝලීහු ජයඝෝෂා කළහ. ඉන් නොනැවතී ඇතැමුන් රතිඤ්ඤා දැල්වූහ. තවත් සමහරු ඔහු සිප වැලඳ ගත්හ.
පසුව එම සිදුවීම පුවත්පත්වලට ද රසවත් මාතෘකාවක් බවට පත් වී තිබිණි. එදින ‘ඊවිනිං ඔබ්සර්වර්‘ පුවත්පතේ ඔහුගේ ඡායාරූපයක් සමඟ ‘Happy supporter kisses and hugs Asitha after completing half centu්‍රry‘ ශීර්ෂ පාඨය පළ කර තිබිණි. පර්සි අබේසේකර නාමය මෙරට ක්‍රීඩාලෝලීන් අතර නොමැකෙන නාමයක් බවට පත්වීමට එය ද හේතු විය.
සැබැවින්ම පර්සි අබේසේකරගේ ශ්‍රී ලංකා කණ්ඩායම දිරි ගැන්වීමේ රාජකාරිය විනෝදජනක නොවීය. එහෙත් ඒ කිසිවකින් ඔහු නවතාලීමට කිසිවකුට නොහැකි විය. ඔහු අඩසියවසක්ම සිංහ ධජය රැගෙන පිටියට බැස්සේ එය දුෂ්කර හා අසීරු රාජකාරියක් බවට පත් විය. මරණ තර්ජන, සිර දඬුවම්, පොලිස් අඩන්තෙට්ටම් සහ පිටියට ඇතුළු වීමේ තහනම ඇතුළු විවිධ බාධක මැද්දේය.
එවැනි තාඩන පීඩනවලට අමතරව පිතිකරුවන් ක්‍රීඩාංගණයෙන් පිටතට එල්ල කරන දැවැන්ත හයේ පහරවල් ද පර්සිට තර්ජනයක් වී තිබිණි. සිංහ ධජය රැගෙන හතරේ සීමාවෙන් පිටත පිටිය වටේම දිව යන පර්සි මේ හයේ පහරවල් හිසේ වැදීම වළකා ගැනීමට ඔහු සතුව තිබූ පැරැණි යතුරුපැදි හෙල්මටයක් පලඳින්නට පටන් ගත්තේය. එය පන්දුව හිසේ වැදීමෙන් ආරක්ෂාකාරී වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ද ‘ගල් තොප්පි‘ පැලඳි කාලවකවානුව විය. 1979 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් පිල ශ්‍රී ලංකාවේ සංචාරය කළ අතර, දෙපිල අතර ගාල්ලේ පැවැති තරගයේදී ද පර්සි සිය හෙල්මටය පැලඳ පිටියට බැස්සේය. ඒ වෙද්දී පිටියෙන් පිටතට ඇදී යන යෝධ හයේ පහරවලට කොදෙව් පිතිකරුවෝ නම් දරා සිටියහ. එදා තරගයේදී සිල්වෙස්ටර් ක්ලාක්ගේ බවුන්සර් පන්දුවක් හිසෙහි වැදී බන්දුල වර්ණපුර තුවාල ලැබුවේය. ‘අපරාදේ මගේ මෝටර් සයිකලයේ හෙල්මට් එක වත් බන්දුලට දෙන්න තිබ්බා‘ එසේ සිතමින් පර්සි කනගාටුවට පත් විය.
සිහිසුන් වූ බන්දුල රෝහලට රැගෙන ගිය අතර, කවුරුත් සිතුවේ ඔහු මෙලොව හැර යන්නට ඇති බවය. වාසනාවකට ඔහු මාස දෙකකට පමණ පසු පූර්ණ සුවය ලැබුවේය.
එවකට එංගලන්ත පිලේ හිටපු නායක ටෝනි ග්‍රෙග් ගැන පර්සිට ඇත්තේ ගෞරවාන්විත හැඟුම් සමුදායකි. පසුකාලෙක විස්තර විචාරකයකු වූ ටෝනි ග්‍රෙග් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අවස්ථා රැසකම පෙනී සිටියේය. පර්සිට මේ උස ක්‍රීඩකයා මුල් වතාවට හමුවන්නේ 1977 වසරේ මෙරිලිබෝන් ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදීය. එවකට ටෝනි ග්‍රෙග් එම කණ්ඩයාමේ නායකයා ලෙස කටයුතු කළේය. මෙරිලිබෝන් පිල සහ අනුර තෙන්නකෝන්ගේ නායකත්වයෙන් යුතු ඕල් සිලෝන් කණ්ඩායම සමඟ පැවැති තරගය නැරැඹීමට ගිය පර්සි ටෝනි ග්‍රේග්ට ද සිය සුපුරුදු වාග් ප්‍රහාරය එල්ල කළේය. ටෝනි ග්‍රේග් ඊට ප්‍රතිචාර දැක්වූයේ නැත. එහෙත් පසුව ඔහු විනිසුරුවරයාට පවසා ඇත්තේ සිය කණ්ඩායම වෙනුවෙන් ජයඝෝෂා නැඟිමට පර්සි එංගලන්තයට කැටුව යෑමට තමාගේ අකමැත්තක් නැති බවය. දෙදෙනාගේ අපූරු මිත්‍රත්වය ආරම්භ වූයේ එලෙසිනි.
‘පර්සි ඔබ ශ්‍රේෂ්ඨයෙක්..‘ පසුකලෙක ටෝනි ග්‍රේග් විස්තර විචාරකයකු ලෙස කටයුතු කළ යුගයේදී පර්සිට එසේ කියා තිබිණි. ‘දැන් ඔබට මම ශ්‍රේෂ්ඨයෙක්. ඒත් 1977 දී ඔබ මට ශ්‍රේෂ්ඨයෙක් වුණා.‘ පර්සි එසේ පිළිතුරු දී තිබිණි.
‘නෑ..නෑ.. පර්සි…‘ පර්සි වැලඳ ගනිමින් ටෝනි ග්‍රෙග් එසේ පවසා ඇත්තේ සිනාමුසු මුහුණින් යුතුවය.
එවකට එංගලන්ත කණ්ඩායම දිරිගැන්වීමට පර්සි එංගලන්තයට කැටුව යෑමට ටෝනි ග්‍රේග්ට සිතක් පහළ වූව ද, ඊට වසර කිහිපයකට පසු එංගලන්තයට ගොස් ශ්‍රී ලංකා කණ්ඩායමට ජය ඝෝෂා කිරීමට නම් පර්සිට අවස්ථාව ලැබිණි. ඒ අවස්ථාව පර්සිට උදා වූයේ 1979 ලෝක කුසලාන තරගාවලියේදීය. එංගලන්තයට බලා පිටත්වීමට සූදානම් වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා කලබල වී සිටියේ පර්සි ය. ඒ වෙද්දී ශ්‍රී ලංකාවේ පැවති සියලුම ජාත්‍යන්තර තරග නරඹා තිබූ පර්සිගේ පළමු විදෙස් සංචාරය ද එය විය. ඔහුට ඒ සඳහා ඔහුගේ සේවා ආයතනයෙන් රාජකාරී නිවාඩු සමඟ අනුග්‍රාහකත්වයත් ලැබී තිබිණි. ඊට අමතරව එම සංචාරය වෙනුවෙන් පර්සිට අරමුදලක් එක්රැස් කිරීමට ඩේලි නිවුස් පුවත්පතේ වෙනම ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක වූ බව පර්සි සිය කෘතියෙහි සඳහන් කර තිබේ.
ගමන් මල්ලත් සිංහ ධජයත් රැගෙන ඔහු කටුනායක ගුවන්තොටුපොළට ගියේය. ගුවන්තොටුපොළේදී ඔහුට සුනිල් වෙත්තිමුණිගේ සහ දුලිප් මෙන්ඩිස්ගේ බිරින්ඳෑවරුන් මුණ ගැසිණි. එය ඔවුන්ගේ ද පළමු විදෙස් සංචාරය විය.
‘හායි පර්සි.. අනේ ඔයත් ඉන්න එක කොච්චර දෙයක් ද. අපි මේ මුල්ම වතාවටයි රට යන්නේ‘ පර්සි දුටු වහා ඔවුහු අතිශය සතුටට පත්ව එසේ කීහ. මෙය තමාගේ ද පළමු විදෙස් සංචාරය බව පර්සි ඔවුන්ට කීවේ නැත.
ශ්‍රී ලංකාවට ටෙස්ට් තත්ත්වය ලැබීම සහ එංගලන්තය සමඟ පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීම මෙරට ක්‍රිකට් ඉතිහාසයට මෙන්ම පර්සිට ද ස්වර්ණමය මතක සටහනකි. ශ්‍රී ලංකාවට අයිසීසීයෙන් ටෙස්ට් තත්ත්වය ලබා ගැනීමට එවකට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාව සිටි ගාමිණි දිසානායකයන් කළ මෙහෙවර හා කැපවීම ගැන පර්සි සිය කෘතියෙහි සටහන් කර ඇත්තේ අප්‍රමාණ වූ ගෞරවයකින් යුතුවය. ඔහු කියන්නේ ගාමිණි දිසානායකයන් ද ඔහුට බෙහෙවින් කාරුණික පුද්ගලයකු වූ බවය.
පර්සි අබේසේකරගේ ක්‍රිකට් දිරිගැන්වීම ජාතික කණ්ඩායමට කෙතරම් වැදගත් දැයි අවබෝධ කරගත් ක්‍රිකට් පරිපාලකයන් අතර ගාමිණී දිසානායකයන් ද විය. හෙතෙම 1983 වසරේදී එංගලන්තයේ පැවති තුන්වැනි ලෝක කුසලාන තරගාවලියට ගොස් ක්‍රීඩකයන් දිරිගැන්වීමට පර්සි අබේසේකරට අවස්ථාව සලසා දීමට ඔහු පෞද්ගලිකවම එවකට කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයාට ලිපියක් යොමු කරනු ලැබුවේ ද ඔහු විසිනි. ‘ඔබ දැනටමත් දන්නවා ඇති පර්සි අබේසේකර හෝ පර්සි කියන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ විශිෂ්ටතම දිරි ගන්වන්නා බව. ඔහුට එංගලන්තයට ගොස් ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දිරි ගැන්වීමට අවශ්‍ය වීසා බලපත්‍රය ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.‘ ගාමිණි දිසානායකයන්ගේ ඉල්ලීම පරිදි පර්සිට එවර එංගලන්තයට යෑමට අවස්ථාව උදා විය.
පසුකාලීනව පර්සිට අමතරව මෙරට බොහෝ ක්‍රිකට් දිරිගන්වන්නන් බිහි වූ අතර, ඔවුන්ට දහසින් බැඳි පියලි ලැබෙන බවත් ප්‍රසිද්ධ රහසකි. එසේ වුවද ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මෙතරම් දීර්ඝ කාලයක් ඉදිරියට ගලා ආ අතිශය දුෂ්කර කාලයේදී කණ්ඩායමේ ගමන් සගයා හෙවත් ඒක පුද්ගල දිරි ගන්වන්නා ලෙස පර්සි ලැබූ දෙස් විදෙස් ගෞරවය සහ අභිමානය ඒ කිසිවකුට දෙවැනි නොවන බව ඉඳුරාම කිව හැකිය.
ෆවුස් මොහොමඩ්