දෙවරක්ම බුකර් සම්මානය සහ සාහිත්‍ය පිළිබඳ නෝබෙල් ත්‍යාගය 2003 වසරේ දිනා ගත් දකුණු අප්‍රිකානු ලේඛක (මහාචාර්ය) ජේ.එම්.කොඑට්සි ගේ Age of Iron 1990 දී පළමුවරට මුද්‍රණයෙන් නිකුත් වීය.
මේ නවකතාවේ එන සිදුවීම් කවරදා කොතැනක සිදුවිණිදැ’යි පාඨකයාට හඳුනා ගත හැක්කේ එහි එන කේප්ටවුන්, ගුගුලෙතු වැනි දකුණු අප්‍රිකානු නගර කිහිපයක නම් ඇසුරින් පමණි. එනයින් තමා මේ කියවන්නේ වර්ණභේද දකුණු අප්‍රිකාවේ නිදහස් අරගල පැවැති කාලයේ සිදුවිම් පෙළක් බව වටහා ගැනීම පාඨකයාට භාර ය. පසුබිමේ ඇත්තේ අනවරත කෲරත්වය සහ අනේක වධ හිංසාවයි.
මේ කෘතියේ අභ්‍යන්තරයට යන්නට පෙර පරිවර්තකගේ පෙරවදනේ කොටසක් උපුටා දැක්වීම මැනව’යි හඟිමි:
‘ “ කෙනෙකු අසාධාරණ ලෙස විඳවන ලෙස බලා සිටින්නන්ගේ කරුමය වන්නේ එසේ බලා සිටින්නට සිදුවීමේ ලජ්ජාව විඳවීම ය.” කොඑට්සිගේ Waiting for the Barbarians නවකතාවේ කතානායක මහේස්ත්‍රාත්වරයාට එසේ කියයි. කොඑට්සිගේ පොත් කියවනවිට අපට ඇති වන්නේ ද එවන් ලජ්ජාවකි. පොදුවේ මනුෂ්‍යයන් වශයෙන් ද, විශේෂයෙන් දේශපාලන සත්ත්වයන් වශයෙන් ද අප ගැනම ලජ්ජාවක් අප සිත් වෙළා ගනී. හෘද සාක්‍ෂියේ සාහිත්‍යය වූ කලී අවසාන විග්‍රහයේ දී, නෝන්ජල් විමතියකට තුඩු දෙන්නක් පමණක් නොවේ. කේප්ටවුන් හි ජීවත්වන කරන් මහත්මිය සම්භාව්‍ය සාහිත්‍යය පිළිබඳ සරසවි කථිකාචාර්යවරියකව සිට විශ්‍රාමලත් තැනැත්තියකි. ඇයගේ සැමියා මියගොසිනි. බරපතළ ලෙස පිළිකාවකට ගොදුරුවැ සිටින ඇයගේ ජීවිතය රැඳී පවතින්නේ සිය වෛද්‍යවරයා නියම කරන ඖෂධ මත ය.
ඇයගේ එකම දියණිය ‘ආයෙත් නම් මේ රටේ පස් පාගන්නේ නැත’යි කියා සිය සැමියා සමඟ අමෙරිකාවේ පදිංචියට ගොස් ය. හුදෙකලාවේ සිටිනා කරන් මහත්මිය අමෙරිකාවේ සිටින සිය දියණියට ලිපියක් ලියමින් සිටින්නී ය. ඇය විස්තර කරමින් සිටින්නේ තමන් දෙදෙනා අතර ඇති බැඳීම ය.
මේ අතර වර්කුයිල් නමැති නන්නාඳුනන පුද්ගලයෙක් (පාදඩයෙක්?) පැමිණ බලෙන් මෙන් ඇගේ නිවසේ ලැගුම් ගනියි.
දකුණු අෆ්‍රිකාවේ සෑම සුද්දකුට මෙන්ම ඇයට ද කළු ගෘහ සේවිකාවක් සිටියි. ඒ තැනැත්තියගේ නම ෆ්ලොරන්ස් ය. ෆ්ලොරන්ස්ගේ පුත්‍රයා වන සතළොස් වියැති බෙකී සහ ඔහුගේ සම වියේ මිතුරකු වටා කරන් මහත්මියගේ මෙන්ම පාඨක අපගේ ද අවධානය යොමුවෙයි. ඇයට ‘බුම්මාගත් මුවැති, මෝරුන් මෙන් ගොදුරු ලොබැති, ළමා වියට අවමන් කරන’ මේ කළු කොල්ලන් රුස්සන්නේ නැතත් පොදු වශයෙන් ඇය ඔවුන් දෙස බලන්නේ ළමුන් අහිංසක ය යන දෘෂ්ඨියෙනි. එසේ වුව ද මේ ළමයි යකඩයෝ ය. ඇය ඊට දොස් නගන්නේ ඔවුන්ගේ මවුන්ටයි. ඔවුහු සිය මවුන් විසින්ම දිරිගන්වන ලදුව සටනට යන්නෝ ය. ඔවුන් සටනට යවනු ලබන්නේ ‘පළිහත් රැගෙන ආපසු එව; නැතහොත් පළිහ මතින් ආපසු එව’ යන උපදේශය සහිතව ය. කොඑට්සි මේ අදහස ගන්නේ ග්‍රීක පුරාණෝක්තිවලිනි. කළු ජාතික ෆ්ලොරන්ස් ළමුන් හදන්නේ එසේ ය. සාහිත්‍යය හදාරා ඇති කරන් මහත්මිය කළු අරගලය වටහා ගන්නේ එලෙසිනි. දැන් උදාවී ඇත්තේ යකඩ යුගයයි. එහෙත් තමා සිය දියණිය හදා තිබෙන්නේ එලෙස නොවේ. ඇගේ දියණිය ඇය අතැර ගොස් ය. වර්කුයිල් වැනි නන්නත්තාරයකුගේ පිහිට පතන්නට තමාට සිදු වනුයේ එහෙයිනි.
බෙකී සහ ඔහුගේ මිතුරා පොලීසිය විසින් ඝාතනය කරනු ලැබේ. සාහිත්‍යයේ නිමග්න වී සිටි කරන් මහත්මියගේ දෙනෙත් තමා වටා පවතින කල්ලන්ගේ නිදහස් අරගලයට විවෘත වන්නේ එවිට ය. කළු විප්ලවවාදී හු ඇයට හිංසා පීඩා නොකළ ද බරපතළ ලෙස ඇණුම් පද කියති, උපහාසාත්මක ආලාප පවසති. එහෙත් ළමුන් දෙදෙනාගේ මරණ නිසා කම්පනයට පත්වන ඕ තොමෝ පොලීසිය සමග ගැටෙන්නී ය. මේ සියල්ල ඇය සිය දියණියට ලියන ලිපියේ ඇතුළත් කරන්නී ය.
එම ලිපිය කවදා හෝ දවසක සිය දියණියට ලැබිය යුතුය. මරණයේ දොරටුව අබිමුව සිටිනා ඇය උදව්වක් ලෙස එය කරන්නැ’යි වර්කුයිල්ගෙන් ඉල්ලා සිටියි. ඔහු එය පොරොන්දු නොවුනත් එසේ කරනු ඇත’යි ඇය අපේක්‍ෂා කරයි.
1994ට පෙර දකුණු අප්‍රිකාවේ කල්ලෝ සුද්දන්ට පෑගෙමින් සිටියෝ ය. ඒ අරගලය සාධාරණ සුදු මිනිසුන් දුටු ආකාරය කල්ලන් දුටු ආකාරයෙන් වෙනස් ය. දකුණු අප්‍රිකානු සුද්දකු වන කොඑට්සී ඒ අරගලයේ ආලෝකමත් මෙන්ම අඳුරු පාර්ශ්වය ද දකියි. දකුණු අප්‍රිකානු නිදහස් සටන පිළිබඳව අවබෝධයක් නැත්තකුට මෙය වටහා ගැනීම තරමක් අපහසු විය හැකි ය. යුද්ධය පවතින කළ ළමෝ ඉබේම වැඩිහිටියෝ වෙති; යකඩයෝ වෙති. ඔවුන් එයට යොමු කරන්නේ වැඩිහිටියන් විසිනි. ඒ අනුව මෙය පසුගිය සමයේ අපේ රටේ අත්දැකීම් හා කෙතරම් හොඳින් සමපාත වේ ද යන්න විචාරයට ලක් කිරීම මෙරට පාඨකයින්ට පැවරෙයි. උධෘතයකි මේ.
“කිසිම සමාවක් නෑ මට සිතුණා. සීමාවක් නැති යුද්ධයක්. සීිමා පවුරු නැති මග අරින්න බැරි තරමේ හොඳ යුද්ධයක්.
‘ඒ ළමයි කවදා හරි ලොකු වෙනකොට උඹ හිතනව ද ඔය කුරිරු කං මග ඇරෙයි කියලා? දෙමාපියන්ගේ කාලේ අහවරයි කියලා ඉගෙන ගත්තු මේ ළමයි ලොකුවෙලා දෙමාපියො වෙනකොට මොන වගේ තියේවි ද? මවුපියන් ඉන්න පුළුවන් ද මවුපියන් කියන සංකල්පේ ඔලුවෙන් අරං දැම්මට පස්සේ? උන් මිනිහෙකුට අතිං පයිං ගහනවා ඒ මිනිහා බොනවයි කියලා, මිනිස්සුන්ට ගිනි තියලා ඒ මිනිස්සු ගිනි ගන්නවා බලං ඉඳල හිනා වෙනවා. මෙහෙම එවුං තමුන්ගෙ ළමයින්ට කොහොම සලකයි ද? මොනවගේ ආදරයක් ද උන්ට දෙන්න පුළුවන් වන්නේ? උංගේ හිත් ගල්වෙනවා අපේ ඇස් පනාපිට ම. එතකොට උඹ මොකද කියන්නේ? “මේ මගේ ළමයා නෙවෙයි, සුද්දාගේ ළමයා, සුද්දා හදාපු රාක්‍ෂයා” එච්චරද උඹට කියන්න පුළුවන්, සුද්දගේ පිට වරද පටෝලා උඹට පුළුවන් අත හෝ දා ගන්න.’
“නැහැ” ෆ්ලොරන්ස් කීවා.“ඒක නොමෙයි ඇත්ත. මං එහෙම මගේ ළමයින්ගෙන් අත හෝදන්නේ නෑ. මේ ළමයි හොඳ ළමයි, අපි උන් ගැන ආඩම්බරයි.”
යකඩ ළමයි මං හිතුවා. ෆ්ලොරන්ස් උනත් එහෙම නොවෙයි කියලා හිතන්න බෑ. යකඩ යුගේ. ඒකෙන් පස්සේ එන්නේ ලෝකඩ යුගේ. මේ තරන් දැඩි නැති සැහැල්ලු යුගයක්. මැටි යුගයක්, පස් යුගයක්. මේ කාල චක්‍රෙ කවද්ද එන්නේ ජාතියට සටන්කාමී පුතුන් බිහි කරන පුරාණ ස්පාටා සම්ප්‍රදායේ සූර වීර යකඩ හදක් තියෙන මාතාවක්.
“අපි ආඩම්බරයි ඒ ළමයි ගැන”
අපි! පළිහ අරං වරෙං නැත්නම් පළිහ උඩිං වරෙං ’
‘යකඩ යුගය’ ගාමිණි වියන්ගොඩගේ කෘතියකි.