දමයන්ති ගල්පායගේ කලක් තිස්සේ සිය සිතේ කැකෑරෙන අනේකවිද විඳීම් සහ විඳවීම් දරා ගත්තේ ඒවා කවි බසට නඟමින් ඒ් සංවේදනා කවි පද අතර දිය කරමිනි. ඒවායේ යහමින් දුක, වේදනාව, පශ්චාත්තාපය, සොම්නස මෙන්ම ප්‍රහර්ශය ද තිබිණි. කවි අතර දිය කළ ඒ විඳුම් විඳවීම් දිගු ආඛ්‍යාන ගත කරන්නට ඈ පෙලඹෙන්නේ වැන්ග්‍ර හිල්ස් /21 ලියමිනි. එතැනිනිඳු නොනැවතෙන ඇය සුළුතරයකගේ ජීවිතයට සොම්නස උදා කරන්නට සිය ජීවිතය පුදන පට පණුවාගේ වේදනාවෙන් කම්පිත ව ඒ වේදනාව අකුරු අතර දිය කරන්නේ කුලාන් ඔෂිරෝ සහ සේද නවකතාවේ ය. සේද තරම් සිනිඳු හෝ සුමුදු නැති සේද නිමැවුමේ දවටා ඇය පාඨක සමාජයට කියන්නේ වත්මන් බහුතරයක් පීඩිත ජනතාවගේ කතාව බැව් කුලාන් ඔෂිරෝ සහ සේද කියවන ඔබට පැහැදිලි වනු ඇත.
නවකතාව කියන්නේ හැදෑරිය යුතු විෂයයක් කියලා ඔබ විශ්වාස කරනවාද?
ඇත්තටම ඔව්. නවකතාවක් ලියන්න හොඳ කියවීමක් තියෙන්න ඕන. ඒක විශ්වීය කියවීමක්, හැදෑරීමක් වෙන්න ඕන කියලයි මම විශ්වාස කරන්නෙ. අවට සමාජය වගේ ම ලෝකය ගැන, ඉතිහාස කාරණා පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීම අවශ්‍යයයි. ඒ කාරණා රසවත්ව කතාන්දරය ඇතුළෙ ඉබේ ගලා යන්නත්, නව්‍ය භාවයකින් බිහිවෙන්නත් හැදෑරීම බලපෑම් කරන බවයි මගේ හැඟීම.
ඔබ ජපන් පරිසරය ගැන අධ්‍යයනය කරන්න භාවිත කළ මූලාශ්‍රය කවරේද?
මම ජපානයට ගිහින් නැහැ. එය නුහුරු පරිසරයක් වුණත් නවකතාවෙදි ජපානය මට හුරු රටක් වෙන්න ඕන. මේ කතාවෙ ආරම්භයට හේතු හුඟක් තිබුණා. පොඩි කාලෙ ඉඳල රට රටවල තොරතුරු කියවන එකතු කරන පුරුද්දක් මට තිබුණා. ඒක පිස්සුවක්. මගෙ කවි වුණත් වෙනත් රටක ඉඳන් ලියනව වගෙ දැනුණ අවස්ථා බොහොමයි. අලුත් කතාවක් ලියන්න හිතද්දි කාලයක් තිස්සෙ මගෙ හිතේ තිබුණ පට පණුවන් පිළිබඳ වේදනාව ඉස්මතු වුණා. සේද නිමවන්න දීල මරණය කරා යන ජීවීන් නිසා මම ඒ ගැන හොයන්න පෙලඹුණා. ඊට හොඳම ප්‍රදේශය ජපානයේ ශිරකාවාගො කියල මම දැනගත්තෙ හොයාගත් කරුණුත් එක්ක. මගෙ යාළුවෙක් ඉන්නවා ජපානයෙ තෝකියෝවෙ. එයත් එයාගෙ බිරියත් මට ලංකාවෙ ඉඳන් ජපානයේ ඇවිදින්න සැලැස්සුවා කිව්වොත් මම නිවැරදියි. ඇත්තට ම ඒ දෙන්න ශිරකාවාගො ගිහින් මට වීඩියෝ මඟින් සජීවී ව පට පණු අට්ටාල, මල් බෙරි සේද නිමැවුම්, හකුසාන් කන්ද, ගෂෝ ශුකුරි නිවාසවල හැඩය මට පෙන්නුවා. ඔවුන් මට පට පණු අට්ටාලවල බිත්තර දාන සැළඹියන් ගෙ ඝෝෂාව අහන්න දුන්නා. ඒ වෙලාවෙ යෙනොලිතා මම බවට පත් කරන් මම ජපානයේ ඇවිද්දා; ඒ පරිසරය වින්දා. එහි සිදුවන කෙටි භූමිකම්පා අත්වින්දා වගේ දැනුණා. සමහර අනතුරු මම ඒ මොහොතේ දැක්කා. ඔවුන් දෙදෙනාටම ආදරය ස්තුතිය පුදන්න ම ඕනෙ.
ඒ වගේම පලස්තීනයේ වත්මන් ශ්‍රී ලංකා තානාපති නාවලගේ බැනට් කුරේ ජපානය එහි අතීතය වර්තමානය පිළිබඳ ඉතිහාසමය කාරණා හොයා ගන්න උදව් කළා. ඒ වගේම වයෝවෘද්ධ නගෝයා සාන් ට ස්තුති කරන්න ඕනෙ; නගසාකි ප්‍රහාරයකදි දැනුණු වේදනාව සජීව අත්දැකීමක් විදියට විස්තර කර දුන්නට. නගෝයා සාන් මේ වන විට ජීවතුන් අතර නැහැ.
ආයුර්වේද ඔසු පිළිබඳ යම් කාරණා සොයද්දි පැරැණි වෙද පොත් කියෙව්වා. ඒවා මගෙ තාත්තා සතුව තිබුණා. එම කාරණා ගැන තිර කරගන්න උදව් කළේ ප්‍රවීණ ලේඛක මහිද කුමාර දළුපොත.
සේද කර්මාන්තය ගැන ඔබ බොහෝ හදාරනවා. ඒ වගේ ම සේද කර්මාන්තය ගැන කතා කරමින් ඔබ එහි අපේ ජීවිත කතා බහාලනවා.
ඇත්තටම සේද කියන්නෙ පට පණුවාගෙ කෝෂය දිග හැර බේරා ගත් නූල්වලින් සකසන සුන්දර සිල්ක් රෙදි වර්ගයක්. සේදවලට ඉහළ වටිනාකමක් තියනවා. සේද නිමවන කිසිවකුත් සේද නූලක්වත් ගන්න ආර්ථිකයෙන් පොහොසත් අය නොවෙයි.
‘සේද මරණය’ කියල තමයි චීනය සේද ව්‍යාපාරය කාලයක් හඳුන්වලා තියෙන්නෙ. මහත්මා ගාන්ධිතුමන් සේද ව්‍යාපාරය ඉන්දියාවෙන් අයින් කර තිබුණු බවක් පවා කියැවෙනවා. ලංකාවෙත් දෙනියාය ප්‍රදේශයේ අතීතයේ සේද නිමවූ බවත් කියැවෙනවා. ඒ ගැන මම දන්නෙ නෑ ඇත්තටම.
අද වන විට ලොව බහුලව සේද නිමවන රටවල් වෙන්නෙ චීනය, ජපානය බවයි දැනගන්න ලැබුණෙ. හොයාගත් කරුණු එක්ක මගෙ කතාන්දරයට සුදුසු රට ජපානය බව මට තහවුරු වුණා. මට දැනුණ දෙයක් තමයි පට පණුවන් හරියට ම සාමාන්‍ය මිනිසුන් වගේ කියන කාරණාව. ඊට හේතුව සැළඹියන්, දාස් ගාණක් තම වර්ගයා බෝ කරනවා. ඒ පට පණුවන් උපද්දන්නෙ උන්ගෙ ස්වාභාවික අයිතිය විඳින්න නෙමෙයි කියල උන් දන්නෙ නෑ. දාස් ගාණක් පට පණුවන් උණු දියේ තැම්බිලා මැරෙන්න සලස්වලා තමයි කෝෂ අරන් සේද නූලෙන් රෙදි නිමවන්නෙ.
අපිත් පටපණුවො වගෙයි ! ඇත්තට ම සාමාන්‍ය මිනිසුන්ට නිදහසක් කියලා දෙයක් නෑ. අපි හැමෝම කුමන වෘත්තියක ශ්‍රමිකයන් කොටසක් විතරයි. පාලකයන් විසින් ශ්‍රමිකයන්ගෙ වටිනා සාරය හූර ගන්නවා. පට පණු ශ්‍රමිකයන් තම ශ්‍රමය දීල තැම්බිලා මැරිල යනවා. අපි ශ්‍රමිකයන් විදිහට අපේ ශ්‍රමය පාලකයන් ට සූරා ගන්න දෙමින් තැම්බි තැම්බී ජීවත් වෙනවා. අප ඇතුළු ලොව සියලු ශ්‍රමිකයන් පට පණුවන්ටත් වඩා අසරණ ද කියල හිතෙන තරම්.
කුලාන් ඔෂිරෝ සහ සේද කතාව එක්ක පට පණු අට්ටාල ඇතුළෙ ඉන්න ඒ සැළඹියන්ගෙන් වර්ෂාවක් වගේ නැඟෙන ඝෝෂාව අහන්න පුළුවන්. ඒ ගෝෂාව ශ්‍රමිකයන් ගෙ අඳෝනාව කියලයි මට හිතුණෙ. ගෑණු පිරිමි බොහොමයකගෙ ඇතුළාන්තයෙ ඒ ඝෝෂාව ඇති කියල මට හිතුණා.
මිනිස් සිතිවිලි හා යටි සිත කියවා ගැනීමට ඔබ දරන උත්සාහය ගැන කතා කළොත්.
මිනිස් සිතිවිලි ලෙහා දැමීම පහසු නෑ. මොකද මනෝභාව විවිධයි. උඩ සිතට වඩා යටි සිත කරන ඇඟවුම් ප්‍රබල වෙන්න පුළුවන්. කුලාන් ඔෂිරෝ කතාන්දරය යථාර්ථවාදී කතාවක් විදිහට නිමවන්න මට ඕනෙ වුණා. යෙනොලිතාගෙ යටි සිත කියවන්න මම කළු උස මිනිසා පාවිච්චි කළා. සොබාදහමෙ සමහර ස්වභාවික ක්‍රියාත්මක වීම් යටි සිතක ඇඟවුම් බවට පත්වෙමින් කතාව ඉබේම ලියැවුණා කිව්වොත් හරි. බැළලිය, කතාව ඇතුළෙ මායා යථාවකින් මනෝභාව ලෙහන්න ගත් එක උත්සාහයක්. ජපානයේ බළලුන් සහ මිනිසුන් බොහොම ළඟ බවක් කියවෙනවා. ඒ වගේම මමත් පුද්ගලිකව බළලුන්ට මිනිසුන් දැනෙන බව හිතනවා.
ඔබේ නවකතාකරණයේ මූලික ලක්ෂණයක් වෙන්නේ කතාව අවසානය තෙක් කුතූහලය රඳවා තබා ගැනීම?
ඕනෙම ප්‍රබේදයක කතාවක් ලිවීමේදී කුතූහලය තබා ගැනීම අවශ්‍යයි. පාඨකයන් කැමතියි එහෙම කතාන්දර කියවන්න. මම මගෙ පළමු නව කතාවෙදි හිතලම කුතූහලය දනවමින් ගොඩනඟන්න උත්සාහ කළේ වැන්ග්‍ර හිල්ස් /21 කියන්නෙ අභිරහස් කතාවක් නිසා. නමුත් කුලාන් ඔෂිරෝ සහ සේද නවකතාව නිමවන්න මම එහෙම ක්‍රමයක් භාවිත කරේ නෑ. ඇත්තට ම හිතට එන දේ ගළපමින් ලියැවෙන්න දුන්නා. ඒ මොහොත අනුව කතාන්දරය කුතූහලයෙන් යුතුව ගොඩනැඟී තිබුණා කියලයි මම හිතන්නෙ.
නවකතාවක ස්ථානීය පිහිටුවීම කොතරම් වැදගත් ද?
කතාවක ප්‍රස්තූතය එක්ක එහි චරිත, සිද්ධි හා සොබාදහම ගළපා ගනිද්දි සැබෑ හෝ මැවූ ස්ථාන මැනවින් ගළපා තැබීමෙන් තමයි ඒ කතාවෙ විශ්වසනීයත්වය ගොඩ නැඟෙන්නෙ. පාඨකයා කතාව කියවන් යද්දි ප්‍රබන්ධය සැබෑම ස්වරූපයෙන් දනවන්න නම් ස්ථාන ගැළපීම් නිසිව ලියන්න වෙනවා. කතාවක් කීප වතාවක් සංස්කරණය කිරීම අවශ්‍ය ඒ නිසයි. මම ජපානයට, කේරළයට වගේම මනාලිවලටත් ගිහින් නෑ. හැබැයි කුලාන් ඔෂිරෝ කතාව කියවලා ජපානයේ ඉන්න අය වගේම ජපානයේ, කේරළයේ, මනාලි, හිමාචල්වල සංචාරය කරමින් ඒ රටවල වෘත්තීය මට්ටමින් කටයුතු කළ අය මට කතා කළා. ඔවුන් පුදුමය පළ කළා නොගිහින් කොහොමද ලිව්වෙ කියලා. ඒ වගෙම යෙනොලිතා කියන කතා නායිකාව හිමුර එක්ක කතාව පුරා ඇවිදිමින් විඳගත් බොහොමයක් තැන් ගැන බොහෝ දෙනා කතා කරනවා ඇහෙද්දි ඇත්තටම මට සතුටුයි. මම හිතනවා මිනිසුන් කොහොමත් ඉන්නෙ විඳවමින්. විඳින්න පුළුවන් යමක් ලියන්න පුළුවන් නම් ඒක සතුටක්. මාත් ආසයි එහෙම පොත් කියවන්න.