– පිරිසුදු ජලය පිරි ගංගාවක් දුටුවොත් අනාගතයට සුබයි
– ගැබිනියක්, සුදු නයෙක් සිහිනෙන් දුටුවොත් බුද්ධිමත් පුත්‍රයකු ලැබෙයි
යම් අයෙකු කළ කුසල හෝ අකුසල කර්ම විපාක දෙන අවස්ථාවන් එළඹ සිටි විට ඒවා නොයෙක් ආකාරයෙන් සුභ හෝ අසුබ ලෙස මනසට ඇතුළුවී එය නින්දේදී රූප වශයෙන් දර්ශනය වීම සිහිනයක් ලෙස අපේ පැරණි පූර්වාචාරීන් විශ්වාස කළහ. මෙයින් කුසලයන් පිළිබඳ දර්ශන ශුභ සිහිනයන් වශයෙන් ද, අකුශලයන් පිළිබඳ දර්ශන අශුභ සිහින වශයෙන් ද සැලකූහ.
මේ අයුරින් පළමු යාමයේ දකින සිහිනවල විපාක අවුරුද්දකින්ද, දෙවැනි යාමයේ දකින සිහිනවල විපාක අටමසකින්ද, තුන්වැනි යාමයේ දකින සිහිනවල විපාක තුන් මසකින්ද සතරවැනි යාමයේ දකින සිහිනවල විපාක අඩ මසකින්ද අරුණෝද ගමන වේලාවෙහි දැක්කේ නම් දස දිනකින්ද එමෙන්ම උදෑසන සිහිනයක් දකින විටම පිබිදියේ නම් එම සිහිනයේ විපාක ඒ දවසේම ලැබෙන්නේ යයි ඔවුන් විශ්වාස කළහ. තවද දහවල් දකින සිහිනවලත් අසනීප වූ කෙනෙක් දකින සිහිනවලත් ප්‍රතිඵල රහිත බව සැලකූහ. මේ අයුරින් අපි දකින සිහින විවිධාකාරය. දැන් අපි බලමු අපි දකින සිහිනවල විපාක කෙසේද කියා.
අසුන් ගැනීම
සිහිනයෙන් සැපපහසු ආසනයක් මත හිඳ ගැනීම ඉතාමත් සුබය. කිසියම් රැකියාවක් හෝ රාජ්‍ය සම්මානයක් බලාපොරොත්තුව සිටින අවස්ථාවක එවැනි සිහිනයක් දකී නම් ඔහුට හෝ ඇයට අනිවාර්යයෙන්ම එය හිමිවන බවට පෙර නිමිත්තකි. තමන් ඉඳගන සිටි අසුනෙන් බිම වැටීම අශුභ ලකුණකි. රැකියාවක් කරන්නෙක් මෙම සිහිනය දුටුවේ නම් රැකියාව ද අහිමිවෙනු ඇත.
කළු කූඹීන් දැකීම
කළු කූඹීන් බිත්තර රැගෙනවිත් තම සිරුරෙහි ගමන් කරනු දැකීම මහත් ධන ලාභයකට හේතුවක් බව කාලයක සිට පැවත එන විශ්වාසයකි. එවැනි සිහිනයක් දුටු අයෙකු දින කීපයක් ඇතුළත ලොතරැයි දිනුමක් හිමිවීමෙන් ලක්ෂපතියෙක් වූ බව මාද අත්දුටු සත්‍යයකි.
බිම ගොම ආලේප කිරීම
තමාගේ නිවසේ බිම ගොම ආලේප කර තිබෙනු සිහිනෙන් දුටුවහොත් නිවසේ වසන අයෙකුට මරණය ගෙන දෙයි. එසේ නැතහොත් ඒ හා සමාන දුක් ගෙන දෙන කරුණකට හේතුවේ.
ඇඳුම් දැකීම
සුදු ඇඳුම් ඇඳීම සිහිනෙන් දැකීමෙන් පෙන්නුම් කරන්නේ ප්‍රීතිවීමට අවස්ථා ලැබෙන බවය. නිල් හෝ රතු ඇඳුම් අඳිනු සිහිනෙන් දැකීමෙන් දුක් කම්කටොලු ළඟාවෙන අතර කිසියම් ගමනක් යාමට බලාපොරොත්තුව සිටින අවස්ථාවක කොළ පාට වස්ත්‍ර අඳිනු සිහිනෙන් දර්ශනය වූයේ නම් එකී ගමන සාර්ථක වනු ඇත.
වීදුරු දැකීම
දීප්තිමත් වීදුරු භාණ්ඩ වැනි දේ දුටුවේ නම් සාමාන්‍ය ජීවිතයට ශුභදායී බව පෙන්නුම් කිරීමකි. කිලිටු අවපැහැ ඒවා නම් ගෙදරදොර ප්රශ්නකාරිත්වයක් මෙන්ම පුද්ගලිකව ද ඔබ ගැටලුවලට මැදිවීමට පුළුවන. බිඳී ගිය වීදුරු භාණ්ඩ දුටුවේ නම් තත්ත්වයේ සහ පවතින ස්වභාවයේ වෙනසක් ඇති වන බව ඉඟි කරන පෙර නිමිත්තකි.
අනුභව කිරීම
යමකු සිහිනෙන් බත් අනුභව කරනවා දැකීම අශුභය. එය නොයෙකුත් දුක්කරදර ළඟාවීමට හේතුවේ. අන්‍යයන් බත් කනවා දැකීම ශුභය. වස්තු ලාභයකට එය හේතුවන බැව් පැවසේ. තවද අවිවාහක පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් සිහිනෙන් ඉදුණු අන්නාසි අනුභව කරනවා දුටුවේ නම් ඔහු හෝ ඇය නුදුරු අනාගතයේදි සාර්ථක යුග ජීවිතයකට ඇතුළත් වනු ඇත.
මත්පැන් බීම
සිහිනෙන් මත්පැන් බොනවා දුටුවේ නම් අසනීප හා විපත් ගෙනදේ. වරින්වර මත්පැන් බොනු දැකීම ශුභදායක බව කියැවේ.
මරණය
සිහිනෙන් තමාගේ මරණය දකී නම් විවාහය ඉක්මනට සිදුවෙයි. එම කටයුතු ද සාර්ථක වේ. අන් අයෙකුගේ මරණයක් දුටුවිට රෝග පීඩා ඇතිවේ.
මරණාසන්න වචන
යමෙකු මැරෙන මොහොතේදී කියන වචන තමන් හොරෙන් අසනවා දුටු කල ස්වකීය අදහස් සාර්ථක වේ. වාසනාවත්ත ජීවිතයකට පැමිණේ.
මළ මිනියක් ඉසිලීම
සිහිනෙන් මළ මිනියක් උසුලාගෙන යනු දැකීමෙන් අධික වස්තු සම්පත් හිමිවෙයි. මළ මිනී නෑවීම ද ජයග්‍රහණ ලැබීමට හේතු වන අතර මළ මිනිසෙකු සමඟ එකට නිදනු දැකීම දීර්ඝායුෂ ලැබීමට හේතුවේ.
පක්ෂීන්
හොඳ අර්ථවත් සිහිනයකි. මෙයින් කියැවෙන්නේ වාසිදායක යම් දෙයක් ඔබට උරුම වන බවකි. නමුත් සිහිනයෙන් දකින පක්ෂියා අනුව එය වෙනස් වෙයි. කපුටන්, උකුස්සන් ආදී පක්ෂීන් අශුභ වන අතර ලස්සන කුරුල්ලන් දැකීම වාසනා ශක්තිය අධික වීමට අවස්ථාවක් උදාවෙයි. පක්ෂීන් දෙවියන්ගේ දූතයන් ලෙස සලකන අතර උන් කීර්තියේ ද සංකේතයන්ය.
සුදු නයෙකු පෙණය නගාගෙන සිටීම
ස්ත්‍රියක් මෙවැනි සිහිනයක් දුටුවේ නම් ඇයට ඉතාමත් රූමත් බුද්ධිමත් පුතෙකු ලැබෙන බවට පූර්ව නිමිත්තකි. එසේම සුදු නයෙකු දෂ්ට කරනු දැකීම රූමත් දියණියක් ලැබෙන බවට පෙර නිමිත්තකි.
ගඟක් ගැලීම
පිරිසිදු ජලයෙන් පිරි ගංගාවක් ගලනවා සිහිනෙන් දුටුවොත් එය දුටු අයගේ අනාගතය සතුටුදායක වන අතර පිරිසිදු ජලය නෑමද ශරීර සැපය ඇති වන බවට ශුභ ලකුණක් වේ.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී හිඹුටානේ පියතිලක ද අල්විස්