ක්‍රිකට් දිරිගන්වන්නන් ලොව බොහෝය. වර්තමානයේ ‘සුපර් ෆෑන්ස්ලා‘ කියා ආමන්ත්‍රණය කරන මේ ක්‍රිකට් ක්‍රීඩකයන් දිරිගන්වන්නන්ගේ ඉතිහාසය ඊට වඩා සුන්දරය. 19 වැනි සියවසේ මුල් භාගයේදී ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් මෙන්ම රග්බි තරගවලදීත් පිටිය දෙදරන්නට කෑගසන ‘යබ්බා‘ එවැනි පුද්ගලයෙකි. ස්ටීවන් හැරල්ඩ් ගැස්කොන් ඔහුගේ නියම නම වුවත් කා අතරත් ඔහු ප්‍රකටව සිටියේ ‘යබ්බා‘ නමිනි. යබ්බා යනු ඔස්ට්‍රේලියානු ඇබොර්ජින් ආදි වාසීන්ගේ බසට අනුව ‘වාචාලයා‘ට කියන නමය. එවකට ටෙස්ට් තරගවලට පමණක් සීමා වූ ක්‍රිකට් ක්‍රීඩාවට අද තරම් ක්‍රීඩාලෝලීන් ආසක්තව සිටියේ නැති බැවින් ක්‍රිකට් පිටියට එක්රොක් වූයේ ඉතා අඩු පිරිසකි. එබැවින් යබ්බාගේ කෑ ගැසීම් පිටිය සිසාරා නින්නාද දුන් අතර, එයින් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් ද පන්නරයක් ලබන්නට ඇත. 40 දශකයේ මුල් භාගයේදී ඔහුගේ අභාවයෙන් පසු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් සිඩ්නි ක්‍රීඩාංගණයේ ක්‍රීඩා මණ්ඩපයේ එක්තරා අසුනක යබ්බාගේ ප්‍රතිමාවක් ඉදි කිරීමෙන් එරට ක්‍රිකට් ක්‍රීඩාවට යබ්බා කෙතරම් වටිනා පුද්ගලයකු වූවා දැයි සිතාගත හැකිය. තම රටෙහි ක්‍රීඩකයන් දිරිගන්වන අතරතුරුම ප්‍රතිවාදී ක්‍රීඩකයන් මානසිකව පහළට ඇද දැමීමට අපූරු උපක්‍රම භාවිත කරන සංකල්පය කරළියට සේන්දු වූයේ ‘යබ්බා‘ගෙන් බවටත් ඉතිහාසයේ සඳහන් වේ.
පසුකාලීනව බටහිර ඉන්දීය කොදෙව්, ඉන්දියාව, පාකිස්තානය, බංගලාදේශය ඇතුළු රටවල පවා එවැනි ක්‍රිකට් ක්‍රීඩාවේ කැපී පෙනෙන දිරි ගන්වන්නන් බිහිවී තිබිණි. එංගලන්තයේ ‘බාමි ආමි’ වැනි ක්‍රිකට් ක්‍රීඩකයන් දිරි ගැන්වීමේ සහ ක්‍රීඩාලෝලීන් විනෝදයට පත් කිරීමේ කණ්ඩායම් ද බිහි විය.
ඒ අතුරින් ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවට පණ මෙන් ආදරය කළ සිය ජීවිතයම ක්‍රීඩාවට කැප කළ පර්සි අබේසේකරට හිමිවන්නේ සුවිශේෂී තැනකි. පර්සි අබේසේකර කී පමණින්ම කාගෙත් මනසෙහි ඇඳෙන සිතුවම වන්නේ සිංහ කොඩිය අත දරාගෙන ක්‍රීඩාංගණය පුරා දිව යමින් ක්‍රීඩකයන් දිරිගන්වන අපූරු රුවකි. සිය ජීවිතයෙන් වැඩි කාලයක්ම ක්‍රිකට් ක්‍රීඩාවට කැප කළ මේ ආදරණීය මිනිසා ඉකුත් ඔක්තෝබර් 30 වැනිදා මෙලොවින් සමුගන්නා විට 87 හැවිරිදි වියෙහි පසු විය. පර්සි අබේසේකරගේ ජීවිතයේ ක්‍රිකට් ක්‍රීඩාව හා බැඳුණු රසවත් සිදුවීම් රැසකි. ඉන් වැඩි ප්‍රමාණයක් ඔහු විසින්ම විවිධ අවස්ථාවන්හිදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති අතර, ක්‍රීඩාලෝලීන් ද ඒවා අසා තිබේ. එහෙත් ‘සිළුමිණ’ මේ සටහන් කරන්නේ ඔහු පිළිබඳ නොඇසූ කතාය.
දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවත් සමඟ ජීවත් වූ මේ සුන්දර මිනිසා එදා මෙදාතුර දෙස් විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන් අතර මෙන්ම දෙස් විදෙස් ක්‍රීඩාලෝලීන් අතරත් අපමණ ගෞරවයක් දිනා සිටි අතර, ක්‍රීඩකයන් ඔහු ආමන්ත්‍රණය කළේ ‘අන්කල් පර්සි‘ කියාය. ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන් සහ පර්සි අතර තිබුණේ පුදුමාකාර බැඳීමකි. ඔහු තරම් ක්‍රිකට් ක්‍රීඩකයන් සිප වැලඳ ගත් ක්‍රීඩාලෝලීයකු තවත් නැත. තණතීරුවේ පිතිහරඹයේ නිරතවීමේ ගැටලුවක් නොවන අතර, ගැටලුව වන්නේ නැවත ක්‍රීඩාගාරයට යෑම බව වතාවක් අරවින්ද ද සිල්වා කීවේ ද පර්සිගේ හාද්දකින් බේරී යෑමට නොහැකි නිසාය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ සියලු ජයග්‍රහණ හා සියලු පරාජයන් ඇසින් දුටු එකම සාක්ෂිකරුවා ලෙසත් පර්සි නම් කළ හැකිය. ඔහු තරම් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජාත්‍යන්තර ක්‍රිකට් තරග නැරැඹූ තවත් නරඹන්නකු නැති බවත් සහතිකය. ඔහුගේ තරග නැරැඹීමේ පරාසය ලෝක ක්‍රිකට් පිටියේ ශ්‍රේෂ්ඨතම පිතිකරු ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ සිට මාස්ටර් බ්ලාස්ටර් සනත් ජයසූරිය දක්වා විහිදී ගිය එකකි. සී.අයි.ගුණසේකරගේ සිට මහාදේවන් සතාසිවම් දක්වා ද, ලෝක ක්‍රිකට් පිටියේ අද්විතීය ඩබ්ලිව් ත්‍රිත්වය වූ වොරල්, වීක්ස්, වෝල්කට් සිට රාම්ඩීන් සහ වැලන්ටයින් දක්වා ද ක්‍රීඩා කෞශල්‍යය දැක බලා ගත්තේය.
දශක තුනක කාලයක් ජාතික ධජය නොමැතිව සහ තවත් දශක තුනක කාලයක් ජාතික ධජය සහිතව ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රිකට් පිටියේ පෙනී සිටි ඔහු එම වසර 60කට අධික කාලය තුළ නරඹා ඇති ජාත්‍යන්තර තරග සංඛ්‍යාව දහසකට අධික බව මීට වසර හතරකට පෙර ‘ස්පෝර්ට්ස් ඉන්ෆෝ‘ ආයතනය විසින් නිකුත් කරනු ලැබූ ඔහුගේ ‘I’M PERCY CRICKET CRAZY‘ චරිතාපදාන කෘතියෙහි ලියා ඇති පෙරවදනෙහි සටහන්වී ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙරටදී ක්‍රීඩා කරන සෑම තරගයකදීම මෙන්ම බොහෝ ජාත්‍යන්තර තරගවලදීත් ශ්‍රී ලංකා ධජය ක්‍රීඩාංගණයේ කොතැන හෝ ළෙලදෙන්නේ නම් එතැන සිටියේ පර්සිය. ශ්‍රී ලංකාවේ ඉතිහාසගත ක්‍රිකට් ක්‍රීඩාංගණය වන ‘ඕවල්‘ පිටියේ සිට, ක්‍රිකට් ක්‍රීඩාවේ මක්කම ලෙස විචාරකයන් හඳුන්වන එංගලන්තයේ ලෝඩ්ස් පිටියේදිත් ජාතික ධජය රැගෙන ක්‍රීඩකයන් දිරිගැන්වූ පර්සි සැබෑ ක්‍රිකට් ලෝලියෙකි. ඔහුගේ ධජය ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණයේදී පමණක් නොව අන්ත පරාජයන්හීදිත් එකලෙස ළෙල දුන්නේ ජය පරාජය දෙකම ක්‍රීඩාවේදී සම සිතින් විඳ දරාගැනීමේ යථාර්ථය කියා පාමිණි. ඔහුම කියන ආකාරයට ඔහු හුස්ම ගත්තේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවෙනි. ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සියල්ල අතහැර දැමූ බවත් ඔහු සිය චරිතාපදානයේ සඳහන් කර තිබේ.
“මෙලනි, ඒ කියන්නේ මගේ බිරිය සමඟ අතිනත ගන්නා විටත් මම විවාහකයෙක්. ඔව්, හොඳට හෝ නරකට මම ඒ වෙද්දිත් ක්‍රිකට් ක්‍රීඩාව සමඟ විවාහ වෙලයි හිටියේ.”
ඔහු ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් සිංහ ධජය සෙවණෙන් තණතීරුව ආසන්නයටම රැගෙන ගියේය. ඔවුන් දස්කම් පෑවත් නැතත් දැවී යෑමෙන් පසු යළි ක්‍රීඩාගාරයට ගියේ ද පර්සිගේ අත රැඳි සිංහ ධජය සෙවණින්ය. එය ඔහුට පුදුමාකාර සතුටක් ගෙන දුන් සිදුවීමකි. එහෙත් ඔහුගේ සතුටට කණකොකා හැඬුවේ ක්‍රීඩාංගණයට බාහිර පුද්ගලයන් ඇතුළුවීම තහනම් කිරීමට පසුකාලීනව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගැනීම නිසාය. ජීවිතයේ අවසන් කාලයේදිත් එය පර්සිගේ දැඩි කනගාටුවට හේතුවක් වී තිබිණි.
ඔහුගේ ක්‍රීඩකයන් දිරිගැන්වීමේ කලාව පසුකාලීනව ප්‍රගුණ කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සේන්දු වූ පුද්ගලයෝ අපමණ වෙති. ඒ අතුරින් පාකිස්තානයේ ක්‍රිකට් දිරිගන්වන්නා වන ‘චාචා‘ ක්‍රිකට් පිටියට අවතීර්ණවී ඇත්තේ පර්සි අබේසේකරගෙන් ලැබූ උත්තේජනය නිසාවෙනි.
විදුහල්පතිවරයකු වූ සයිමන් මෙන්ඩිස් අබේසේකරගේ සහ විදුහල්පතිනියක වූ ඩොලී මාගරට් ද සොයිසාගේ පවුලේ බාලයා ලෙස පර්සි ගිම්සන් මෙන්ඩිස් අබේසේකර උපන්නේ 1936 ජූලි 30 වැනිදාය. පැහැපත් දරුවකු නොවූවද ඔහුගේ මව ඔහු ආමන්ත්‍රණය කළේ ‘සුදු මහත්තයා‘ නමිනි. ඔහු කෙතරම් ඒ නමට හුරුවී සිටියේද යත් පියා විසින් තබණු ලැබූ නම එහෙම පිටින්ම අමතක වී තිබිණි. පාසල් ගිය මුල්ම දිනයේ පන්තිභාර ගුරුවරිය ඔහුගේ නම විමසූ විට තමාගේ නම ‘සුදු මහත්තයා‘ කියා ඔහු කීවේ එබැවිනි. පාසලේදී පමණක් නොව නිවෙසේදිත් ඉතා සන්සුන් හා නිහඬ චරිතයක් වූ පර්සි පසුකාලිීනව ක්‍රීඩාංගණයට බැස ක්‍රීඩකයන් දිරිගන්වමින් කෑගැසීමට තරම් ශක්ති සම්පන්න වූයේ කෙසේදැයි ඔහු පවා නොදනී.
ක්‍රිකට් ක්‍රීඩාවට ඔහුගේ සිත ගියේ ඇලෝසියස් විදුහලේ ඉගෙනුම ලැබූ කාලයේදීය. ඔහු ඊට පෙර ඉගෙනුම ලැබූ රිච්මන්ඩ් විදුහලට මහින්දය සමඟ පාසල් මහා ක්‍රිකට් තරගයක් තිබුණ ද, ඇලෝසියස් විදුහලට එවැනි තරගයක් නොතිබිණි. එබැවින් ඔහු පාසල් මහා ක්‍රිකට් තරගයේදී සිය වැඩිමල් සොහොයුරන් ඒ වනවිටත් අධ්‍යාපනය ලැබූ රිච්මන්ඩ් විදුහල වෙනුවෙන් ඔල්වරසන් දුන්නේය. එකල ඔහුගේ පළමු හා එකම විනෝදාංශය වූයේ එවකට ‘ඩේලි නිව්ස් සහ ඔබ්සර්වර්‘ පුවත්පත්වල පළ වූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ඡායාරූප කපා එකතු කිරීමය. ඒ ඡායාරූප ගොන්නේ වැඩිපුරම තිබුණේ බ්‍රැඩ්මන්ගේ ඡායාරූපය. අවසානයේදී ඔහුට මේ ශ්‍රේෂ්ඨ පිතිකරුවා සියැසින් දැක බලා ගැනීමේ භාග්‍ය උදා විය. එය සිදු වූයේ 1948 වසරේදී ඔස්ට්‍රේලියානු පිල අළු බඳුන ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කිරීමට කොළඹට පැමිණ නැව් නැඟ එංගලන්තය බලා පිටත් වෙමින් සිටි අතරතුරය.
12 හැවිරිදි පර්සි සිය වැඩිමල් සොහොයුරන් දෙදෙනකු සමඟ ඕවල් පිටියට ගියේ මේ ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයා ක්‍රීඩා කරන ආකාරය දැක බලා ගැනීමටය. 1948 මාර්තු මාසයේ 27 වැනිදා බ්‍රැඩ්මන්ලා ඕවල් පිටියේ ක්‍රීඩා කළ අතර, තරගය නැරඹීමට ක්‍රීඩාලෝලීන් විසි දහසක් ලංකාවේ නන්දෙසින් ඕවල් පිටියට එක්රොක්වී සිටි බව පර්සි සිය කෘතියෙහි සටහන් කර තිබේ. ඒ කාලයේ හැටියට එය අතිවිශාල සංඛ්‍යාවකි.
පර්සිගේ ක්‍රිකට් පිපාසයේ ආරම්භය එය විය. ඉන් අනතුරුව ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට තදින්ම බැඳුණේය. හෙතෙම වමත් පිතිකරුවකු සහ දකුණත් පා දඟ පන්දු යවන්නකු ලෙස සාන්ත ඇලෝසියස් විදුහලේ අවුරුදු 17න් පහළ කණ්ඩායමටත් තෝරාගෙන තිබිණි. පර්සිගේ ක්‍රිකට් දිවියේ හොඳම තරගය වන්නේ 1968දී ඔහු බළපිටිය කෘසේඩර්ස් පිලට නායකත්වය දෙමින් ක්‍රීඩා කළ පළාත් තරගාවලියේ අවසන් මහා තරගයයි. එම තරගයේ ප්‍රතිවාදී කණ්ඩායම වූ ඕල්ඩ් ෂෝකියන්ස් පිල මෙහෙයවා ඇත්තේ පසුකාලීනව ප්‍රවීණ පුහුණුකරුවකු වූ ලයනල් මෙන්ඩිස් ය. එම තරගයට නෙල්සන් මෙන්ඩිස් ද ක්‍රීඩා කළ බව පර්සිගේ කෘතියෙහි සඳහන් වේ. මුල සිටම කවුරුත් සිතුවේ ඕල්ඩ් ෂෝකියන්ස් පිල ජයගනු ඇති බවය. එහෙත් ලකුණු 18කින් ෂෝකියන්ස් පිල පරදවා කුසලානය දිනා ගැනීමට පර්සිගේ කණ්ඩායම සමත් විය. එම තරගයේදී පර්සි කඩුලු 6ක්ම දවාලීය.
“එදා පරාජයෙන් පස්සේ ඕල්ඩ් සෝකියන්ස් පිලේ ක්‍රීඩකයන් හඬා වැළපුණේ පොඩි ළමයි වගේ. පසුකාලීනව නෙල්සන් මගේ හොඳම මිතුරකු වුණාට පස්සේ මේ සිදුවීම සිහිපත් කරද්දී පවා ඔහුගේ මුහුණ රතු වුණා.” පර්සි සිය කෘතියෙහි එසේ සඳහන් කර තිබේ. එවකට පර්සිගේ එකම ආශාව වූයේ කෙදිනක හෝ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම මිස ජාතික කණ්ඩායමේ දිරිගන්වන්නා බවට පත්වීම නොවේ. එහෙත් ඒ වෙද්දී ඔහු පදිංචිව සිටියේ ගාල්ලේය. එවකට පිට පළාත්වල ක්‍රීඩකයන්ට ජාතික කණ්ඩායමට එක්වීමට අවස්ථාවක් නොතිබූ බව ඔහුගේ කෘතියේ සඳහන්ය.
“ඒ ගැන මම කනගාටු වෙන්නේ නෑ. මොකද ඒ වෙනුවට මට දශක 5ක්ම ජාතික කණ්ඩායමේ දොළොස්වැනි ක්‍රීඩකයා වගේ කටයුතු කරන්න වාසනාව අත්වුණු නිසා.”
පර්සි සිංහල බසට මෙන්ම ඉංග්‍රීසි බසටත් සූරයෙකි. ඔහු ඉංග්‍රිසි බසින් කරනු ලබන ඇතැම් ප්‍රකාශ ඉතා අලංකාර සහ රිද්මයානුකූලය. ‘I am Percy, Cricket Crazy, but I have no mercy for cricketers, spectors and administrators who are lazy‘ එවැනි බොහෝ වැකි පසුකාලීනව ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ උදාන වාක්‍යයන් බවට ද පත් විය.
පර්සිගේ ක්‍රිකට් උන්මාදය ඉහවහ ගියේ ඔහු බොරැල්ල ඇක්වයිනස් විදුහලේ අධ්‍යාපනය ලැබූ කාලයේදීය. වාසුදේව නානායක්කාර, කුමාර් පොන්නම්බලම් සහ ටිරෝන් ප්‍රනාන්දු වැනි පසුකාලීනව දේශපාලන පිටියේ කීර්තියට පත්වූ චරිත සමඟ සමකාලීනව අධ්‍යාපනය ලැබූ පර්සි ක්‍රිකට් තරග නැරැඹීමට ඇක්වයිනස් විදුහලට යාබදව පිහිටි ක්‍රීඩාංගණයට ගියේය. එවකට බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණය එය බව ඔහු සිය කෘතියෙහි සඳහන් කර තිබේ.
“ග්‍රවුන්ඩ් එක තිබුණේ ලේඩි රිජ්වේ රෝහලට එහා පැත්තේ. පැවිලියන් එක හැටියට පාවිච්චි කළේ අතහැර දැමූ දුම්රිය මැදිරියක්. තණතීරුවේ තණකොළ උසට වැවී තිබුණා. හුඟාක් වෙලාවට මම පන්ති කට් කරලා තරග නරඹන්න ගියා. මගේ මිතුරා ටිරෝන් ප්‍රනාන්දු තමයි මං වෙනුවෙන් පාඩම් වැඩ කොපි කරලා දුන්නේ.” ඇක්වයිනස් විදුහලේදී පර්සි වැඩිදුරටත් ක්‍රීඩාවේ නිරත විය. ඔහු එවකට තුන්වැනි කොටසේ ක්‍රිකට් තරගාවලියට ද ක්‍රීඩා කර තිබිණි. 1958 දී ‘ඩේලි නිව්ස්‘ කුසලානයට ද ක්‍රීඩා කළ බව ඔහු සඳහන් කර ඇත.
පර්සිගේ මිතුරන් අතර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෝ රැසක්ම සිටියද ශ්‍රී ලංකාවට එරෙහි තරගවලදී ප්‍රතිවාදී කණ්ඩායම් නියෝජනය කරන එවැනි මිතුරු ක්‍රීඩකයන් සිය ඇනුම්පදවලින් මානසිකව බිංදුවටම ඇද දැමීමට පර්සි තරම් හපනකු තවත් නොවීය. 2007 වසරේ පාකිස්තාන පිලේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර හිල්ටන් හෝටලයේ පැවැති පාකිස්තාන පිල සහභාගි වූ රාත්‍රී සාදයකට එක්වීමට පර්සිට ද ඇරියුම් ලැබී තිබිණි. ඔහු එහි ගියේ සිය බිරිය මෙලනි සමඟය.
එවකට පාකිස්තාන පිලේ නායකයා වකාර් යූනුස්ය. සාදය අතරතුර පර්සි ඔහු මුණ ගැසුණේය. “වකාර්, යකෙක් වගේ බෝල් කරන්න එපා” යැයි ඔහු වකාර්ට ඇනුම්පදයකින් දමා ගැසුවේය. වකාර් වහාම පර්සිගේ බිරිය වෙත හැරුණේය.
“මැඩම්, ඔබ කොහොමද මේ මනුස්සයා එක්ක ජීවත් වෙන්නේ ?” ඔහු මෙලනිගෙන් විමසුවේය.
මෙලනිත් පර්සිට දෙවැනි නැත. “මම දැන් ඒකට පුරුදුවෙලා ඉන්නේ” ඇය වකාර්ට කීවාය.
සාදය අවසන් වී යෑමට සූදානම් වී යළි ඔවුන් වෙත පැමිණි වකාර්, “මැඩම්, මේ විශිෂ්ට මිනිසා හොඳින් රැක බලාගන්න. එයා ඔබේ රටට අවශ්‍ය කෙනෙක්”යැයි කීවේය.
අවසන් හුස්මපොද නික්ම යනතුරුම සිංහ ධජය ගෙන ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් දිරිගැන්වීම තම අරමුණ කරගත් පර්සි අබේසේකරගේ සමුගැනීමේ අඩුව පුරවාලීමට තරම් කැපවීමක් ඇති ක්‍රීඩකයන් දිරිගන්වන්නකු යළි බිහි නොවනු ඇත. ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩා වංශ කතාවට පර්සි අබේසේකර ගැන වෙනම පරිච්ඡේදයක් ඇතුළත් නොවන්නේ නම් එය අඩුවක් වනු නිසැකය.
ෆවුස් මොහොමඩ්