Home » ආදරවන්තයෙක් නෙමෙයි කියන්නත් හිත දෙන්නෙ නෑ

ආදරවන්තයෙක් නෙමෙයි කියන්නත් හිත දෙන්නෙ නෑ

by sachintha
November 4, 2023 12:29 am 0 comment

සමහරු කියනවා මම හරි ලොකු සීන් කියලා

කොණ්ඩේ කර්ල් අහිංසක කෙල්ලෙක්ට මම මාරම ආසයි

මුලින්ම නිවේදනයට එද්දි තිබ්බ ඒ හදගැස්ම හැමදාමත් මාත් එක්ක තියෙනවට කැමැතියි

සතියේ දිනවල උදෑසන විකාශය වන ජීවිතයට ඉඩ දෙන්න වැඩසටහන සමඟින් ඔබ හමුවට එන ඔහු ගායනය, නිවේදනය යන ක්ෂේත්‍රයන් ද්විත්වයම ජයගත් කඩවසම් තරුණයෙක්. මේ සොඳුරු කතා බහ ඔහු සමඟයි. ඔහු නමින් ගීත් මධුසංඛ.

මේ දවස්වල කොහොමද ජීවිතේ?

මේ දවස්වල නිවේදන කටයුතුත් එක්ක තමයි බොහෝ වෙලාවට කාලය ගත වෙන්නේ. සිරස ටිවී නාලිකාවේ zz ජීවිතයට ඉඩ දෙන්න උදෑසන වැඩසටහන තමයි දැන් මුළු ජිවිතයම වෙලා තියෙන්නේ. ඒ අතරතුර ගායනය වෙනුවෙනුත් කටහඬ අභ්‍යාස වෙනුවෙනුත් දවසින් කාලයක් වෙන් කරලා තියෙනවා. ළඟදීම අලුත් නිර්මාණයක් කරන්නත් බලාපොරොත්තුවක් තියනවා. ඒ ගැනත් හිතමින් කාලය ගත කරනවා.

අපි ගීත්ගෙන්ම දැනගන්න කැමතියි ගීත් කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා?

මම ආදරයට ආදරේ කරන කෙනෙක්. මම කැමති නෑ බොරුවට සහ බොරු චෝදනාවලට. මට ඉක්මනින් කේන්ති යනවා. ඒ වගේම දුක හිතෙනවා. ඒක මගේ දුර්වලකමක්. ඒ වගේම මම කියන්න තියන දේ කෙළින් කියන කෙනෙක්. මාව ළඟින් ආශ්‍රය කරන අය දන්නවා මම වාසියට මිනිස්සු ඇසුරු කරන කෙනෙක් නෙමෙයි කියලා. සමහරු නම් කියනවා මම හරි ලොකු සීන් කියලා. ඒ මගෙ පෙනුම නිසා වෙන්න ඇති. හැබැයි මාව දන්න මිනිස්සු දන්නවා මම එහෙම නෑ කියලා.

කොහොමද ඔබට මේ දවස්වල ලැඛෙන ප්‍රතිචාර ?

සමාජ මාධ්‍යයේ රසිකයෝ, ප්‍රේක්ෂකයෝ, යාළුවෝ ලියන දේවල්වලින් තමයි වැඩිපුරම ප්‍රතිචාර ලැඛෙන්නේ. හොඳ ප්‍රතිචාර ගොඩක් අතර නරක ප්‍රතිචාරත් නැතුවම නෙමෙයි. ඒ හැමදෙයක්ම මම සතුටින් භාර ගන්නවා. විශේෂයෙන්ම වැඩසටහන් එක්ක එකතුවෙන කලාකරුවන්ගෙන් මට හොඳ ප්‍රතිචාරයක්, ආදරයක් ලැඛෙනවා. ඒ ගැන වචනයෙන් විස්තර කරන්න බැරි තරම් ආඩම්බරයි. දවසින් දවස අළුත් වෙන්න, වෙනස් වෙන්න අඩුපාඩු නැති කරගන්න තමයි මම උත්සාහ කරන්නේ.

ගීත් ගායකයෙක්, නිවේදකයෙක් නොවුණා නම් කවුරු වෙයිද?

මට දැනුම් තේරුම් ඇති කාලේ ඉඳලා මගේ ඇතුළේ ගායකයෙක්, කලාකාරයෙක් හිටියා. එතැනින් එහාට මම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ගොඩක් මහන්සි වුණ කෙනෙක්. නමුත් මම බලාපොරොත්තු වුණු තැනට යන්න මගේ උසස් පෙළ ප්‍රතිඵල ප්‍රමාණවත් වුණේ නෑ. දෛවය ඉතින් මොන අතට කැරකෙයිද කියන්න කවුරුත් දන්නේ නෑනේ. හැබැයි මම දන්නවා මොනම දෙයක් හරි පටන් ගත්තොත් වැල යන අතට මැස්ස ගහන්න. කුමන වෘත්තිය කළත් ඔළුව පාවිච්චි කරන්න පුළුවන් නම් අපිට ලොකු දුරක් යන්න පුළුවන්.

රූපවාහිනී තිරයේ ඔබ පළමු වරට ගායනය සහ නිවේදන කටයුතු කළ මුල්ම අවස්ථාවේ ඔබට දැනුණේ කොහොමද?

එදා ඒ දැනුණ හැගීම මම අදටත් අත්විඳිනවා. සමහරු කියන්න පුළුවන් අපිට කැමරාව හුරුයි, වේදිකාව හුරුයි, මයික්‍රෆෝනය හුරුයි කියලා. ඔව්, කාලයක් යද්දි ඒවා හුරුවෙන තැනට එනවා. නමුත් මම එහෙම දැනෙන එකට සියයට පනහක් විතර කැමති නෑ. මම කැමති මම මුලින්ම ගායනයට එද්දි නිවේදනයට එද්දි තිබ්බ ඒ හදගැස්ම හැමදාමත් මාත් එක්ක තියනවට. ඒක මට ලොකු ශක්තියක් විදියට දැනෙනවා. මට ලොකු ආත්ම විශ්වාසයක් තියනවා. එත් මම කැමති නෑ ඒක අධි විශ්වාසයක් කරගන්න.

ගීත් මේ වෙද්දි ආදරවන්තයෙක්ද?

ඔන්න ඔතැන තමයි මම තරමක් හිරවෙලා ඉන්නේ. ඇත්තටම ආදරය කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. මම කැමති නෑ හරියට මාව තේරුම් ගත්තේ නැති, හරියට මට අනිත් පාර්ශ්වය තේරුම් ගන්න බැරි වුණු තැනක මගේ ආදරය මෙන්න මෙතන කියලා කියන්න. ඒ නිසාම මම මේ මොහොතේ ආදරවන්තයෙක් නෙමෙයි කියලා කියන්න කැමතියි. නමුත් ආදරය කියන දේ තේරුම් ගනිමින් ඉන්න තැනක මේ වෙද්දි මම ඉන්න නිසා ආදරවන්තයෙක් නෙමෙයි කියන්නත් මට හිත දෙන්නෙන් නෑ. ඒ නිසා ඒ දෙකේම මධ්‍යස්ථ තැනක මම මාව තියනවා. මං හිතනවා මේ පිළිතුර ඇතුළේ මම ආදරය කරන්න බලාපොරොත්තු වෙන්නේ මොන වගේ ගෑනු ළමයෙක්ටද කියන එකත් තියනවා. පෙනුම ගත්තොත් කොණ්ඩේ කර්ල් අහිංසක කෙල්ලෙක්ට මම මාරම ආසයි.

ගීත්ගේ අනාගත බලාපොරොත්තු ගැනත් අපි කතා කරමු?

ජීවිතයේ මගේ ලොකුම බලාපොරොත්තුව මගෙ චූටි නංගිව යහපත් දරුවෙක් විදියට සමාජගත කරන එක. ඒක එයා ඉපදුණු වෙලේම මගේ හිතට තදින් කා වැදුණු බලාපොරොත්තුවක්. තාත්තගේ වියෝවත් එක්ක ඒක දැන් ත්‍රීව්‍රව දැනෙනවා. මම, අම්මා, ලොකු නංගි ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා. වෘත්තීය පැත්තෙන් ගත්තොත් මම බලාපොරොත්තු වෙනවා හොඳ නිවේදකයෙක් කියලා මාව හැමෝම හඳුන්වන දවසක් වෙනුවෙන් වැඩ කරන්න. ඕල් රවුන්ඩ කෙනෙක් විදියට කලාවේ නියැළෙන්න සහ ලංකාවේ බ්‍රෑන්ඩ් එකක් වෙන්න ලැබුණොත් ඒ මට ඇති.

දසුනි වත්සලා වික්‍රමසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division