Home » හනිමුන් ගිහිල්ලත් රස්සාව කරපු මනුස්සයෙක් මම

හනිමුන් ගිහිල්ලත් රස්සාව කරපු මනුස්සයෙක් මම

by Mahesh Lakehouse
November 4, 2023 12:30 am 0 comment
හර්ෂණී වීරරත්න

– හැම ගැහැනියක්ම හස්බන්ඩ්ට බණින්නේ කොහොමද ඒ විදිහට මටත් මගේ බිරිඳ බණිනවා
– දුවලා දෙන්නා එයාලගේ තාත්තා මම වීම ගැන ආඩම්බරයෙන් ඉන්නෙ
– එයා ආදරේ කරන්නේ නුවන් ලියනගේ කියන මනුස්සයාට ඒ නිසා මගේ රස්සාව එයාට එදා අදාළ වුණේ නැහැ
– එදා පුදුම වුණේ ඔහුට වඩා මම නමක් නම්බර් එකක් ඇඩ්‍රස් එකක් නැතිව පත්තර මල්ලිව හොයාගෙන ආවා නිසා

ඒ ගොරෝසු කට හඬ කදිමෙට ගැළපෙන්නේ රේඩියෝවට. ක්‍රේල් ගැසුණු කෙස් දිගු රැවුලක් සහිත රූපය නොදැක්කත් කට හඬින් බොහෝ දෙනෙකුට හඳුනා ගත හැකි අනන්‍යතාවයක් හදා ගත් ඔහු කවුරුත් දන්න පත්තර මල්ලි. ආදරණීය නුවන් ලියනගේ. රෙඩියෝ කලාව උඩු යටිකුරු කරන්න එක් පුරුකක් වූ නුවන් ඔහු හා ඔහුගේ කුටුම්බය ගැන මේ විදිහට අපිත් එක්ක කතා කළා.

ලංකාවේ බහුතරයක් දන්නේ නුවන් ලියනගේ කියලද එහෙම නැත්තම් පත්තර මල්ලී කියලද..?

මම කැමතියි මාව නුවන් ලියනගේ හැටියට හඳුන්වන්න. ඒත් බහුතරයක් කතා කරන්නේ පත්තර මල්ලී කියලා.

පත්තර මල්ලී එක්ක ගෙතුණු රස කතා ඇති..?   

අමතක නොවන කතාවක් තියෙනවා. ඒක ඇත්තටම පණ්ඩිත වැඩක්. මම ඉන්දියාවේ ගියා සමුළුවකට. එතැනදි නේපාල මාධ්‍යවේදියෙක් මාත් එක්ක හිතවත් වුණා . සමුළුව අවසන් වෙලා ලංකාවට පිටත් වෙද්දී ඔහු මට කිව්වා මම ළඟදීම ලංකාවට යන්න ඉන්නේ ආවොත් ඔයාව හමුවෙන්න පුළුවන් ද කියලා. මම කිව්වා කිසිම ප්‍රශ්නයක් නැහැ පුළුවන්… මම මට පුළුවන් උපරිම සත්කාරය කරන්නම් කියලා. මගෙන් විසිටිං කාඩ් එක ඉල්ලුවා. අර කිව්ව පණ්ඩිත වැඩේ කළේ එතැනදි. එයා දුන්නු කාඩ් එක පිටිපස්සේ මම සිංහලෙන් ලිව්වා පත්තර මල්ලී ඉන්න තැන පෙන්නන්න කියලා. මම ඔහුට කිව්වා එයාර් පෝර්ට් එකෙන් බැහැලා මේක පෙන්නලා අහන්න මම ඉන්න තැන පෙන්නයි කියලා. ඔහු එදා පුදුම වුණා කොහොමද එහෙම වෙන්නෙ කියලා. එයා ලංකාවට ඇවිත් එයාර්පෝර්ට් එකේ කිහිප දෙනෙකුට මම ලියලා දුන්නු එක පෙන්නලා. ඔවුන් කියලා පත්තර මල්ලි ඉන්නේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ. එහෙට යන්න කියලා. එතකොට මම වැඩ කළේ හිරු එකේ. WTC නොදන්න කෙනෙක් නැහැනේ. මේ සිදුවීම වුණේ 2002දි. ඔහු නතර වුණු හෝටලයෙනුත් අහලා හැමෝම එකම උත්තරේ දීලා තියෙන්නේ. මිනිහට පුදුම හිතිලා එයා මාව හොයාගෙන හිරු එකට ආවා. එදා පුදුම වුණේ ඔහුට වඩා මම. නමක් නම්බර් එකක් ඇඩ්‍රස් එකක් නොදි පත්තර මල්ලිව හොයාගෙන ආව නිසා. ඇත්තටම නුවන්ට වඩා පත්තර මල්ලිව හැමෝම දන්නවා කිව්වෙ ඒකයි. ඔය ඊට හොඳ උදාහරණයක්

පත්තර මල්ලිට අවුරුදු 25ක්, නුවන්ගේ වයස අවුරුදු 50ක්, වයස ඇහුවම පුදුම වෙන අයත් ඉන්නවා..?

මට වයස අවුරුදු 50ක් කියන එක දැනගත්තේ මෑතකදී , වයස හංගගෙන හිටියේ, වයස ඇහුවම පුදුම වෙන අයත් ඇති. ඇත්තටම කොච්චර මාරක වලින් බේරිලා ඇතිද. 50 කියන්නේ ඇරියස් එකක් වගේ.

නුවන් මාධ්‍ය ආයතන කිහිපයකට සම්බන්ධ වුණු කෙනෙක්. දැන් නුවන් නෙත් එක්කම ද ඉන්න කල්පනා කරන්නේ ..?

මාධ්‍ය ආයතනවලින් ආරාධනා ලැබුණත් නෙත් කියන්නේ හදාගත්ත තැන. මට අවශ්‍ය දේ මෙතනින් ලැබෙනවා නම් මම ඇයි වෙන තැනකට යන්නේ. යන්න හේතුවක් නැහැ . ඒ නිසා මේ තමයි මගේ අවසන් නවාතැන්පළ වෙන්නෙ. නෙත් කියන්නේ අලුත් දේ රෙඩියෝ කලාවට රැගෙන ආ රේඩියෝ නාළිකාවක්. අපෙන් බොහෝ රේඩියෝ කොපි කළා. ඒ ගැන දුකක් වගේම සතුටක් තියෙනවා. දුක මේ කර්මාන්තය රැගෙන යන්න අලුත් දේවල් බිහි නොවීම. ඒ වගේම රේස් එකක් මම දකින්නේ නැහැ . රේස් එකක් තිබ්බොත් තමයි අලුත් දේ බිහි වෙන්නේ.

නුවන්ගේ සමකාලීන රේඩියෝ මිත්‍රයෝ බොහෝදෙනෙක් ගුවන් විදුලියෙ ළමා ශිල්පීන් විදිහට බිහි වෙන්නෙ, නුවන් රෙඩියෝ කලාවට පිවිසෙන්නේ ළමා ශිල්පියෙක් හැටියට නෙමෙයි ..?

මම ගුවන් විදුලියේ ළමා පිටියේ රසිකයෙක්. ඒත් පොඩි කාලේ ඉදලා රේඩියෝ කලාවට යොමු කරන්න මගේ දෙමාපියන්ට එච්චර හැකියාවක් තිබ්බෙ නැහැ . මම ලෝරන්ස් පියතුමාගේ කිතුරස වින්දන වැඩසටහනට සම්බන්ධ වුණා. ඊට පස්සේ අලුත් රේඩියෝවක් පටන් ගන්නවා කියලා ඒකට අයදුම්පත් දැම්මා. ඒ විදිහට ලක්හඬ ගුවන් විදුලියට සම්බන්ධ වුණා. ඒත් එක්කම සිරස නව තාක්ෂණය එක්ක සමාජගත වෙනවා. ලක්හඬ එකේ පරණ ඔළු හිටියා. අපිත් තාක්ෂණය පාවිච්චි කරන්න උත්සාහ ගත්තා එක උදාහරණයක් විදිහට කිව්වොත් පූර්ව ලේසර් සද්ද ගන්න අපි උත්සාහ ගත්තා. එතකොට මාත් එක්ක රවි කුමුදේශ් හිටියා. ඔහු අද හිටියා නම් දක්ෂ ශබ්ද ඉංජිනේරුවරයෙක්. ඔහු මයික් එකට සිගරට් පැකට්වල ඊයම් කොල අතුල්ලලා අවශ්‍ය ශබ්ද ගත්තා. පරණ ඔළු එක්ක වැඩ කරන්න අමාරුයි. රවිගේ වරදක් හොයන්න බැරි නිසා එයාලා රවි ඇවිදින විදිහ හොඳ නැහැ කිව්වා. ඒවගේ සිදුවීම් තියෙනවා මේ ගමනේ. පරණ ඔළු එක්ක ගමනක් යන්න බැරි නිසා ඉන් ඉවත් වුණා .

අදටත් නුවන් ගත කරන්නේ කාර්‍යබහුල ජීවිතයක් , පවුල් ජීවිතේ මඟ ඇරිලා ඇති, කොහොමද බිරිඳ මේ ජීවිතේට මුහුණ දෙන්නෙ..?

මම මාධ්‍ය ජීවිතේට ආවට පස්සෙ තමයි ඉෂානිව මුණගැහෙන්නේ. ඇය පෙර පාසල් ගුරුවරියක් . එයා ආදරේ කරන්නේ නුවන් ලියනගේ කියන මනුස්සයාට. ඒ නිසා මගේ රස්සාව එයාට එදා අදාළ වුණේ නැහැ. කිතුජන පුබුදුව සංවිධානයේ තිබ්බා භාවනා මධ්‍යස්ථානයක්. එතැනදි අපි නිතරම මුණගැහුනා ඒ මුණගැහීම ආදරේකට පෙරළුණා ඊට පස්සේ විවාහ වෙනවා. මට දුවලා දෙන්නෙක් ඉන්නවා. ලොක්කීගේ වයස අවුරුදු 22ක්. එයා නේත්‍රා. පොඩි දුව ආර්‍යා එයාගේ වයස 18ක්. ලංකාවේ ඉන්න හැම ගැහැනියක්ම හස්බන්ඩ්ට බණින්නේ කොහොමද, ඒ විදිහට මටත් මගේ බිරිඳ දොස් කියනවා බණිනවා. මොකද අනේ කියලා තමයි පටන් ගන්නේ. ඒ කොහොම වුණත් එයා තමයි පවුල රන් කරන්නේ. ඇත්තටම මේ කාලය පුරාවට ජීවිතේට අවශ්‍ය ගොඩක් දේ මඟ හැරුණා. මට දැන් මහන්සියි කියලා දැනෙන තරමට ජීවිතේ වෙහෙසයි. ඒත් මේ ගමන අපි සමගියෙන් දුවනවා.

ඒ කියන්නේ මාධ්‍ය ජීවිතයෙන් විශ්‍රාම යන්න ළඟයි කියන එකද..?

තවම හිතලා නැහැ. පුළුවන් තරම් ඉක්මනින් විශ්‍රාම ගියොත් හොඳයි කියලා හිතෙනවා. ඒ කලකිරීමකට නෙමෙයි. මඟ හැරුණු ජීවිතේ විඳින්න ඕන කියලා හිතිලා තියෙන නිසා. හනිමුන් ගිහිල්ලත් රස්සාව කරපු මනුස්සයෙක් මම. මේ රස්සාව ලොකු ඔපචුනිටි එකක්.

වෙන රටකට ගිහිං සුවසේ ජිවත් වෙන්න හිතකුත් ඇති..?

මම වෙන රටක ජීවත් වුණා නම් මේ ලැබෙන ප්‍රතිචාර ලැබෙන්නේ නැහැ නේ. ආදරේ ලැබෙන්නේ නැහැ .ඒ වගේම තමයි විනෝද බදු නොගේවා විනෝද වෙන රටක් දාලා යන්නෙ කොහොමද .

තාත්තා වගේ දූලා දෙන්නා කලාවට සම්බන්ධ නැහැ , ඔබ ගිය මඟ යන්න කැමැත්තක් ඔවුන්ට නැද්ද ..?

දුවලා දෙන්නා කැමති නැහැ එයාලගෙ තාත්තා අහවලා කියන්න. එයාලගේ තාත්තා මම වීම ගැන ආඩම්බරයෙන් ඉන්නෙ. ඒත් මගේ නම විකුණලා දේවල් කරන්න ලබා ගන්න ආස නැහැ. මගේ ලොකු දුව වෙස් බැන්දේ එයාට වයස අවුරුදු 13දි. නටන්න දක්ෂයි. සුනිල් කොස්තා එයාගේ නාට්‍යකට ළමා ප්‍රධාන නිළිය හැටියට සම්බන්ධ කර ගත්තා. මගේ හිතවත්කම් නිසා නෙමෙයි සුනිල් අයියා එයාගේ විශේෂත්වයක් දැක්ක නිසා අවස්ථාව දුන්නා. ඒ වගේම පොඩි දුව වෙළෙඳ දැන්වීම්වලට හිටියා. මගේ දුවලා දෙන්නව බොහෝ දෙනෙක් දන්නෙ නැහැ . පොඩි දුව සම්බන්ධ වුණා කැලන්ඩර් එකකට. ඒ වැඩකටයුතු වලට එයාලව එක්කගෙන යන්නෙ වයිෆ්. වයිෆ් මට කිව්වා එන ගමන් දුව සම්බන්ධ වුණු කැලන්ඩර් එක අරන් එන්න කියලා, මම ඒ ඇඩ්වටයිසින් කම්පැනි එකට ගිහිං කැලන්ඩර් ඉල්ලුවා. නුවන් ඒවා ඉල්ලන්නේ ඔයාගේ කවුද කියලා ඇහුවා. මම කිව්වා ඒ මගෙ පොඩි දුව කියලා. අනේ අපි දැනගෙන හිටියේ නැහැනේ කියලා පුදුම වුණා . එයාලට ලැබෙන අවස්ථාව එයාලා ගන්නවා. ඒවා ලැබෙන්නෙ මම නිසා නෙමෙයි . ඉදිරියටත් කැමති නම් එයාලා සම්බන්ධ වෙයි.

ඒ විදිහට නුවන් ලියනගේ හෙවත් හැමෝම හඳුනන ආදරේ කරන පත්තර මල්ලි අපේ කතාබහ ට සමු දුන්නා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division